අද වනවිට ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති බවට කතිකාවක් නිර්මාණය වෙමින් තිබේ. එහෙත් ඇතැමුන් පවසන්නේ මේ දිනවල රට තුළ යම් යම් ආර්ථික ගැටලු උද්ගත වෙමින් පවතින නමුත් රට බංකොලොත් වන තත්ත්වයට පත්වී නොමැති බවය. අද ඇතිව ඇති ආර්ථික ප්‍රශ්න නිසි ආර්ථික කළමනාකරණයකින් නිරාකරණය කළ හැකිය යන්න ඔවුන්ගේ මතය වේ. ආර්ථිකව නිසි පීල්ලට ගෙන දැනට පවතින පීඩනය අවම කිරීමට හදිසි ප්‍රමුඛත්වය දී කටයුතු කළ යුතු නමුත් ඒ පිළිබඳ බලධරයන්ගේ අවධානය යොමුව ඇති බවක් දක්නට නැත.
අපේ රටට වඩා මෙයට පෙර බංකොලොත්භාවයට පත්වූ රටවල් රැසක් තිබුණි. ආජන්ටිනාව, ඉක්වදෝරය, ලෙබනනය, සුරිනාම්, සැම්බියා යන රටවල් ආර්ථික අතින් අමාරුවේ වැටී තිබුණු ඒවාය. ඒ අතරින් ආජන්ටිනාව, ඉක්වදෝරය යන රටවල් දෙක මේ වනවිට යහපත් ආර්ථික තත්ත්වයට පත්ව ඇති අතර, සෙසු රටවල් ක්‍රමයෙන් ඉහළට පැමිණෙමින් සිටී. එම රටවල් ක්‍රියා කළ අයුරු ආදර්ශයට ගෙන අපේ රටට අද පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට බැරිකමක් නැත. එහෙත් බෝලය ඒ මේ අතට පාස් කරනු විනා ගැටලුව ඇඟට ගෙන බේරුම් කිරීමට ඉදිරිපත් වන්නකු නොමැතිවීම කනගාටුවට කරුණකි.
රට බංකොලොත් වී ඇතැයි පවසන අය ඒ පිළිබඳව ඉදිරිපත් කරන තර්ක කිහිපයකි. විශාල වශයෙන් ගෙවිය යුතු විදේශ ණය ඉහළ ගොස් තිබෙන පසුබිමක අපි තව තවත් ණය ලබාගනිමින් සිටිමු. ජනතාව පීඩාවට පත් කරමින් එකතු කර ගන්නා ඩොලර් විදේශ ණය ගෙවීම සඳහා ගෙඩි පිටින් භාවිත කිරීමට අපට සිදුව ඇත. ජනතාවගේ අවශ්‍යතා පසුවට තබා ලැබෙන විදේශ විනිමය ණය ගෙවීමට යොදාගැනීම නිසා ඔවුහු විශාල පීඩනයකට පත්ව සිටිති. අපට අද ගෙවන්නට ඇති විදේශ ණයවලින් සියයට 47ක්ම කෙටිකාලීන ලෙස ගත් බැඳුම්කර ණය වේ. ඒවායේ පොලිය සියයට 6 ඉක්මවා ගොස් ඇත. සෑම මාසයකම අමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවන ණය ගෙවීමට තිබේ. ඒ අතර පැරණි ණය ද රුපියල් බිලියන ගණනින් ගෙවිය යුතුය. දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන තුනක් තම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ණය අවදානමක් ඇති රටක් බවට ප්‍රකාශ කර තිබේ.
බොහෝ ආර්ථික විශේෂඥයන් පවසන්නේ වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉක්මනින්ම බහුජාතික සහ බහු පාර්ශ්වීය ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබාගත යුතු බවය. දැනට ගෙවීමට ඇති ණය පියවීම සඳහා වසර 75 දක්වා වූ ආපසු ගෙවන කාලයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලබාගත හැකි බව ඔවුන්ගේ අදහසය. අපේ ණය ප්‍රතිව්‍යුහගත කරමින් වාණිජ ණය අඩුකර දීර්ඝකාලීන සහන ණයවලට පරිවර්තනය කරගත යුතුය. එහෙත් වර්තමාන රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට පැකිලෙමින් සිටී.
අද රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ ආර්ථික විශේෂඥයන් දෙදෙනකු පළ කරන අදහස් මෙහි පළ වේ.
ණය ගෙවන්න කිසිම සැලැස්මක් නෑ
- ආචාර්ය හර්ෂ ද සිල්වා
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ බංකොලොත් වූ ආයතනයක ලක්ෂණ අපේ රට තුළින් පෙන්නුම් කරන බවය.
''යම් ආයතනයක වත්කම්වලට වඩා වගකීම් තිබෙනවා නම් එය බංකොලොත් වූවා සේ සලකනවා. අද අපේ රටට ආදායමට වඩා විශාල වැය බරක් දරන්නට සිදුව තිබෙනවා. අපේ මහ බැංකුව ගැන කතා කළහොත් පළමු වරට මහ බැංකුවේ විදේශ වත්කම් ඍණ වී තිබෙනවා. එම වත්කම් උපයා ගැනීමේ සැලසුමක් එයට නැහැ.
අද අපට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට මුදල් නැහැ. අත්‍යවශ්‍ය ඖෂධවලට, ඉන්ධනවලට මුදල් නැහැ. දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නැතිකමින් එම කර්මාන්ත කඩා වැටිලා. ජනතාවට යන එන මං නැතිවෙලා. වරායට ගෙනා බහාලුම් ගොඩට ගන්න බැරුව නාස්ති වෙනවා. දැන් ළඟ ළඟ එන උත්සව සමයට ජනතාවට අත්‍යවශ්‍ය දේවල් නැතුව කවදාවත් නැති විදියට අහේනියකට මුහුණ දෙන්න වෙලා.
මහ බැංකු අධිපති කියනවා හිඟ නැතුව ණය ගෙවනවා කියලා. එයා එහෙම ගෙව්වා කියලා පුරසාරම් කියනවා. ඉදිරියේදීද හිඟ නැතුව ගෙවන බව කියනවා. ඒත් මේ ණය කන්දරාව අද හෙට ගෙවලා ඉවර කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඉදිරියට ණය ගෙවන්න කිසිම සැලසුමක් අපේ මහ බැංකුවට නැහැ. මහ බැංකු අධිපති කියන විදියට අපට ඔය විදියට එකතු කරලා හැමදාම ණය ගෙවන්න පුළුවන්ද? වැඩිදුරක යන්නේ නැතුව අපේ ණය අර්බුදය උග්‍ර වෙනවා.
අපි මෙහෙම සිතමු. යම් පුද්ගලයකු සුළු ව්‍යාපාරයක් සඳහා බැංකුවකින් ණයක් අරගෙන තියෙනවා. යම් අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවෙලා එයාට ණය ගෙවන්න බැරිවෙලා. බැංකුව ණය අයකර ගන්න විවිධ බලපෑම් කරනවා. ඔහුට සිද්ධ වෙන්නේ තමාගේ අතේ ඇති මුදලින් ණය ගෙවන්නයි. තමන්ගේ පවුලේ යැපීමට ඇති මුදල්වලින් ණය ගෙවන්න ඔහු පියවර ගන්නවා. එහෙම නැතිනම් ගෙදර තියෙන දෙයක් විකුණනවා. එවිට පවුලේ සාමාජිකයන් ජීවත් කරවන්න ඔහුට මුදල් නැහැ. ඔවුන්ට කෑම, ඇඳීම නැහැ. දරුවන්ට අධ්‍යාපනය නැහැ. ඒ මුදල් සියල්ල වියදම් කරලා ඔහු ණය ගෙවනවා. ඔහු ආඩම්බරයෙන් කියනවා. මම සතයක්වත් ණය නැහැ, ණය හරියට ගෙව්වා කියලා. අද ඇතිවෙලා තියෙන්නෙත් එහෙම තත්ත්වයක්. ගෙදර අය නිරාහාරව සිටියදී පිටතට ණය ගෙවිල්ලක්. ඉතින් මෙය ජයග්‍රහණයක්ද? හැමදාම කරන්න පුළුවන් දෙයක්ද? අද රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර නැහැ. ඖෂධ නැහැ. ඒවාට වියදම් කළ යුතු මුදල් සියල්ල එකතු කරලා ණය ගෙවනවා. හැමදාම මෙහෙම දුවන්න බැහැ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මේ අය බයයි. ඒ මොකද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙන උපදෙස් අනුව ක්‍රියා කිරීම මේ අයගේ දේශපාලනයට අහිතකර යැයි සිතලා. පුද්ගලයන් බැංකුවලින් ගත් ණය ප්‍රතිව්‍යුහගත කර ගන්නවා ණය ගෙවන්න බැරි තත්ත්වයක් උදා වුණාම. ඒ වගේම පෞද්ගලික ආයතනත් තම ණය ප්‍රතිව්‍යුහගත කර ගන්නවා. එවිට ගෙවිය යුතු පොලිය අඩු වෙනවා. සැලසුමක් ඇතුව ගෙවලා අවසානයක් දකින්න පුළුවන්. අපි කොච්චර කිව්වත් ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න බයයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තියෙන්නේ මේ වගේ ණය ගෙවන්න අපහසු වන රටවලට සහනයක් දෙන්නයි. එය ජාත්‍යන්තර මුල්‍ය නිර්ණායක හා ප්‍රමිතීන්ට අනුව කරන දෙයක්. අද ලොව බොහෝ රටවල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහින් සහන ලබාගෙන ඒ රටවල් දියුණුවෙලා තියෙනවා. ආජන්ටිනාව, ඉක්වදෝරය යන රටවල් එයට හොඳ උදාහරණයි.
අද අපිට කරන්න සිදුවෙලා තියෙන්නේ අප සතු දේවල් අලෙවි කරලා ණය ගෙවන්නයි. ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිත ටොන් 19න් 16ක් මේ වනවිට විකුණලා. දැන් ඇත්තේ රන් සංචිත ටොන් තුනයි. මෙම රත්තරන් තියෙන්නේ අමෙරිකාවේ නිව්යොර්ක්වල බැංකුවල. එහි ඉතිරිව ඇති රන් සංචිතවල ඩොලර් අගයෙන් පසුගිය මාසයේ තවත් සියයට 50ක් අලෙවි කළා.
පසුගිය අතීතයේ අපේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාස 6කට පමණ අපට ආනයනවලට සෑහෙන විදේශ සංචිත ගබඩා කර තිබුණා. එහෙත් අද ඒ සියල්ලම පාහේ අලෙවි කරලා. අපට හදිසියකට අවශ්‍ය දෙයක් ගෙන්වා ගැනීමට මුදල් නැහැ. දැනට ඇති විදේශ සංචිතවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 700ටත් අඩුයි. බිලියන 2.3ක් තියෙන බව කීවද එයින් මිලියන 1.6ක් ඇත්තේ චීනයේ යුවාන් මුදලින්. ඒවා ඩොලර් කරලා අපට අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න බැහැ. ඒවායින් පුළුවන් චීනයෙන් බඩු ගන්න විතරයි. විදේශ සංචිතවල තියෙන වටිනාකම බින්දුවට බස්සලා හරියට ණය ගෙව්වා කියලා අපට සතුටු විය හැකිද?
2021 වසරේ දෙසැම්බර්වල ඩොලර් බිලියන 2.24ක් ආනයනවලට වියදම් කරලා වාර්තා තබලා තියෙනවා. මේ සල්ලි අපේ වත්කම් විකුණලා මුදල් කර ගන්න ඒවා. හරියට ව්‍යාපාරයක් බංකොලොත් වනවිට එයට අයිතිව තිබූ ජංගම හා ස්ථාවර වත්කම් අලෙවි කරලා මුදල් හොයනවා වගේ. එයින් එහාට පැවැත්මක් නැහැ. දැන් අපි කරන්නෙත් ණය ගෙවන්න හා අත්‍යවශ්‍ය ආනයනවලට අපේ සම්පත් විකුණලා සල්ලි හොයන එකයි. එය ආඩම්බර වන්න පුළුවන් දෙයක් නොවෙයි.
මෙම රජය බලයට පත්වූ වහාම ස්වකීය හෙංචයියලාට බදු සහන දීලා රටට හිමිව තිබූ විශාල ආදායමක් නැතිකර ගත්තා. දැන්වත් වැටුණු වලෙන් ගොඩ ආ යුතුයි. තවදුරටත් මෙම තත්ත්වය තිබුණහොත් අපේ රට ගොඩගන්න බැරි විදියට පහළට වැටෙනවා. මේ ගැන පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතුවෙලා සාකච්ඡා කරලා තීරණයකට බැසිය යුතුයි.
රට බංකොලොත් කතාව සත්‍ය විකෘති කිරීමක්
- ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල්
රට බංකොලොත් වෙලාය කියන කතාව අද ඊයේ කියපු දෙයක් නොවෙයි. මෙයට පෙරත් වාදනය කළ පරණ තැටියක්. 2020දී ණය ගෙවාගන්න බැරුව රට බංකොලොත් වෙයි කියලා මේ ආණ්ඩුවට විපක්ෂය චෝදනා කළා. එහෙන් එහෙම වුණේ නැහැ. මේ 2022, මේ වෙනතුරුම අපි ඩොලරයක්වත් හිඟ තබන්නේ නැතුව විදේශ ණය ගෙවාගෙන ඇවිත් තියෙනවා. ඉදිරියෙදිත් එහෙමයි. ඉතින් රට බංකොලොත් වෙලා කියලා කියන්නේ කොහොමද? 2021දී එහෙම වෙයි කියලා කිව්වා. 2022 ජනවාරිවල ණය ගෙවන්න බැරිවෙලා අර්බුදයක් ඇතිවෙන බව කිව්වා. කෝ එහෙම වුණාද?
ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය අඩුවෙලා තියෙන එක බංකොලොත්වීමක් කියලා විපක්ෂය කියනවා. වැදගත් වන්නේ මුදල් ළඟ තබාගෙන, සාක්කුවේ දාගෙන සිටින එකද නැතිනම් ඒවායින් වැඩගන්න එකද කියලා හිතන්න වෙනවා. අවශ්‍ය තරමට සංචිත නැතැයි කියන කතාව ඇත්ත. මම එය පිළිගන්නවා. ඒත් පාවිච්චි නොකර සංචිත තබා ගැනිල්ලේ අරමුණ කුමක්ද? සංචිත අඩුවැඩි වීම සාමාන්‍ය දෙයක්. කෙනෙක් ඉතිරි කරන්නේ ප්‍රශ්නයක් ඇතිවූ විට පාවිච්චි කරන්නයි. පසුගිය කොවිඩ් වසංගතය පැවැති සමයේ හිතපු තරම් විදේශ විනිමය අපට ලැබුණේ නැහැ. ඒ නිසා තියෙන සංචිත පාවිච්චි කළා. එහි ඇති වැරැද්ද කුමක්ද? සංචිත වැඩිපුර තියෙන එක හොඳයි. මේ වනවිටත් අපට කළමනාකරණය කරගත හැකි මට්ටමට විදේශ සංචිත තියෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති රන් සංචිත අලෙවි කරන්නේද රට බංකොලොත් වූ නිසා යැයි තර්ක කරන අය ඉන්නවා. 2010දී අපට තිබූ රන් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 90යි. ඒ කාලයට අවශ්‍ය ද්‍රවශීලතාව පවත්වාගෙන යාමට රන් සංචිතයෙන් කොටසක් ඩොලර් බවට පත්කර තිබුණා. අපි කොහේවත් රත්‍රන් තියාගෙන ඉන්නවා නොවෙයි. රත්‍රන් විතරක් නොවෙයි, පවුම්, ඩොලර්, යුරෝ, යුවාන් ආදී වශයෙන් විදේශ සංචිත කොටස් තිබෙනවා. එහෙම අඩු වැඩිවීම ගැටලුවක් වෙන්නේ නැහැ. මට මතකයි 2014 මම මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වනවිට ඩොලර් මිලියන 890ක සංචිතයක් තිබුණා. එම ප්‍රමාණය අඩුවුණේ රට බංකොලොත් වුණ නිසා යැයි කාටවත් කියන්න බැහැ. සංචිතවල ස්වභාවය විටින් විට වෙනස් වෙනවා. එය සාමාන්‍ය දෙයක්.
රටේ ඩොලර් අර්බුදයක් තියෙනවය කියන කතාව මේ දිනවල අසන්නට ලැබෙනවා. ඩොලර් නැතිවීම ගැන මතුපිටින් තිබෙන ප්‍රශ්නයට වැඩිය ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතුයි. ඇත්තටම රටේ ඩොලර් හිඟයක් තියෙනවාද? එහෙම තියෙනවා නම් භාණ්ඩ ආනයනය නවතින්න ඕනෑ. ඒත් පසුගිය 2021 අවුරුද්දේ පමණක් ඩොලර් බිලියන 21 වටිනා දේවල් රටට ගෙනත් තියෙනවා. මෙහෙම භාණ්ඩ ගෙනෙන්නේ ඒවාට මුදල් ගෙවලයි. එහෙම ගෙවන්නේ ඩොලර්වලින්. ඩොලර් නැතිනම් ගෙවන්නේ කොහොමද? මේ වනවිට මුලින් තිබුණට වැඩියෙන් සියයට 20කින් විතර ආනයන වියදම් වැඩිවෙච්ච බව කියනවා. එහෙම වැඩි වුණා නම් ඒවාට වැඩිපුර ඩොලර් ගෙවන්න වෙනවා. එහෙනම් ඩොලර් නැහැ කියලා කොහොමද කියන්නේ?
2021දී සිමෙන්ති සහ යකඩ ආනයනයට විතරක් ඩොලර් මිලියන 1500කට වැඩියෙන් ගෙවලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ සඳහා වැයවෙන්නේ ඩොලර් මිලියන 1200ක් පමණයි. බෙහෙත් ආනයනයට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 600 ප්‍රමාණයක් වියදම් වුණත්, 2021දී මිලියන 882ක බෙහෙත් ආනයනය කරලා තියෙනවා. ගෘහ උපකරණ ආනයනයට පසුගිය වසරවල ඩොලර් මිලියන 175 වැයවූ නමුත් 2021දී එම වැය ඉහළ නැගලා ඩොලර් මිලියන 257ක් වියදම් කරලා තිබෙනවා. එපමණක් නොවෙයි අත්‍යවශ්‍ය නොවන රෑපවාහිනී, පරිගණක, රෙදි සෝදන මැෂින් ආදියද විශාල ලෙස ගෙනැත් තිබෙනවා.
කොහොම වුණත් මේවා ගෙන්වීම යම් පමණකට පාලනය කළ යුතුයි යන අදහසේ මම ඉන්නවා. මේ සියල්ල කළමනාකරණය කළ යුතුයි. එවිට පාලනය පහසු වෙනවා.
ආනයනය තහනම් කළා යැයි කිව්වට දැනට මේ රටේ ආනයනය තහනම් කර ඇත්තේ වාහන පමණයි. අනිත් කිසිදු ද්‍රව්‍යයක ආනයනය පාලනය කරලා නැහැ. තෙල් පමණක් ගතහොත් 2020දී ඩොලර් බිලියන 2 ½ පමණ ඛනිජ තෙල් ආනයනය කර තිබෙනවා. ඒත් 2021දී එම ප්‍රමාණය විශාල ලෙස වැඩි වී බිලියන 4 පමණ තෙල් ගෙනත් තිබෙනවා. එලෙස දැවැන්ත ලෙස ආනයන වැඩි වී ඇතිනම් ඒවාට ගෙවීම් කර තිබෙනවා නම් රටේ ඩොලර් හිඟයක් ඇතිවෙලා යැයි කිව හැකිද? කොහොම වුණත් ආනයන බදු හා ගාස්තු ඩොලර්වලින් ගෙවන කොන්දේසිය මත වාහන විතරක් නොව අනිත් බොහෝ දේවල් ගෙන්නුවත් අපට විරුද්ධ වෙන්න බැහැ. ඒ මොකද ඒවා අපට ඩොලර් ලැබෙන මාර්ග නිසා. ඉදිරියේදී ආනයන තහනමේ වෙනසක් වේවි.
ණය ගෙවන්න විදියක් නැතුව රට බංකොලොත් වෙලාය කියලා හැමවිටම කියනවා. මෙයත් සත්‍ය විකෘති කිරීමක්. ඩොලර් බිලියන 7.5ක පමණ සංචිත 2019දී අපට ගෙවන්නට තිබුණා. ඒත් මේ වනවිට බිලියන 12කට වැඩිය අපි ණය ගෙවලා තිබෙනවා. රට බංකොලොත් නම් මුදල් නැතිනම් මේ සා විශාල ණයක් ගෙව්වේ කොහොමද? මේ මාසයෙත් ඩොලර් 500කට වඩා ණය අපට ගෙවන්න තිබෙනවා. පසුගිය මාසයේ ගෙව්වා වගේ අපි මේ මුදලත් ගෙවනවා.මෙය කරන්නේ නිසි ආර්ථික කළමනාකරණයක් තිබෙන නිසයි. අපි යන්නේ බොහොම සැලසුම් සහගත දුෂ්කර ගමනක්. ඉදිරියේදී ගෙවීමට ඇති ණයද නිසි දිනට නොවරදවා ගෙවන බවට වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.
මෙම කරුණු සලකා බලන විට අපේ රට බංකොලොත් නැති බවත් අනාගතයේදීද එවැනි තත්ත්වයක් ඇති නොවන බවද කිවයුතුයි.
I යසවර්ධන රුද්රිගු