මේ රටේ මාධ්‍යවේදීන්ට පහරදුන් සිදුවීම් එමට ඇත. පහරදීම් වලින් එහා ගොස් පැහැරගැනීම්, අතුරුදන් කිරීම් මෙන්ම අවසාන වශයෙන් මරාදැමීම දක්වාම මාධ්‍යවේදී හිංසනය දිගය. සරලව කිව්වොත් තේවිස් ගුරුගේ, රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති අල්විස්ගේ සිට ලසන්ත වික්‍රමතුංග දක්වා ඝාතන ලැයිස්තුවත් යූනුස් වැනි කාටූන් ශිල්පීන්ගේ කට කැපීමේ සිට පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් දක්වා පහරදීමේ ලැයිස්තුව දිගය. ඒ අතර ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නවුන් තවමත් අතුරුදන් ලැයිස්තුවේය.
කෙසේ වෙතත් මේ සියලු ඝාතන, පැහැර ගැනීම්, අතුරුදන් වීම් සහ පහරදීම් කිසිවකට යුක්තිය සාධාරණය ඉෂ්ට වුණු නිශ්චිත මොහොතක් නැත. එක් එක් ආණ්ඩුවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවේදී මාධ්‍යවේදීන්ට සිදුකළ අපරාධ වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන බවට කීවත් අද වෙනකම් සිදුවූ දෙයක් නැත. ඒ නිසා ඒ සියල්ල අදටත් අබිරහස්ය.
මේ සියලු මාධ්‍ය මර්දනය හමුවේ එකී සිද්ධි ලැයිස්තුවට අලුතින්ම එකතු වූ සිදුවීම වන්නේ නිදහස් මාධ්‍යවේදියකු වන චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල කරන ලද මැර ප්‍රහාරයයි. පසුගිය සඳුදා අලුයම සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද මෙම නිර්ලජ්ජිත ප්‍රහාරය අදටත් අභිරහසකි. චමුදිත යනු මෙරට මාධ්‍ය ආයතන රැසක සේවය කළ දේශපාලන සාකච්ඡා හසුරුවන්නෙකි. එකී චමුදිත කාලයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා විය. ඉන්පසුව පසුගිය යහපාලන සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකි. අවසානයේ අද වනවිට චමුදිත හිරු නාළිකාවේ නිදහස් මාධ්‍යවේදියෙකි.
නූතනත්වය සමඟ ගනුදෙනු කරන චමුදිත දැන් යූ ටියුබයෙත් විශාල ආන්දෝලනාත්මක වැඩසටහනක් කරන්නෙකි. මේ සියල්ල මැද කටයුතු කරන චමුදිතට මෙකී මැර ප්‍රහාරය එල්ල වන්නේ කිසිවක් හිතාගත නොහැකි මොහොතකය.
සඳුදා අලුයම දෙකට පමණ මෝටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණෙන සිව් දෙනකු චමුදිත පදිංචි පිළියන්දල - ගංගාරාම පාරේ පිහිටි නිවාස සංකීර්ණයට ඇතුළු වන්නේ එහි ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂක නිලධාරියාට ගිනිඅවි පෙන්වා බව සඳහන් වේ. තමන්ගේ ජීවිතයට ආදරය නම් පැත්තකට වී සිටින ලෙස ගිනි අවි පෙන්වා කියූ බවත් ඉන්පසුව එක් අයකු තමන්ගේ සමීපයේ තබා තිදෙනකු චමුදිතගේ නිවස පැත්තට ගිය බවත් මුරකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.
එලෙස චමුදිතගේ නිවසට යන තිදනෙකු ගල්වලින් සහ අසූචි පිරවූ මුට්ටි වලින් නිවසට දමාගසා ඇත. ඒ ශබ්දයට ඇහැරුණු බවත් වෙඩි ශබ්දයක් ඇසුණු බවත් චමුදිතත්, ඔහුගේ බිරිඳත් කියති. ඉන් අනතුරුව චමුදිත විසින් පොලීස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබාදී මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ බව සඳහන් වේ. එම ප්‍රහාරයත් සමඟ මෙම සිදුවීම දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල පවා ප්‍රචාරය වුණු අතර මෙම සිදුවීමත් මෙරට සිදුවු අනෙකුත් හුදකලා සිදුවීම් හා සමාන කළේය.
කෙසේ වෙතත් චමුදිතට එල්ල කරන ලද ප්‍රහාරය ඇතැම් අය, සංවිධාන විසින් දැඩිව හෙළා දැක තිබුණි. එහෙත් තවත් පිරිසක් මෙය චමුදිතට වියයුතු දෙයක් ලෙස අර්ථ ගන්වා තිබුණි. එයට හේතු වූයේ චමුදිතගේ මාධ්‍ය භාවිතය නිසාය. චමුදිතගේ මාධ්‍ය හසුරුවන ක්‍රමවේදය ඇතැම් අය විසින් විවේචනය කළ අතර ඒ ගැටලුව සහ මෙම සිදුවීම එක හා සමාන කිරීමට ඇතැම් අය උත්සාහ ගනිමින් සිටියෝය.
එහෙත් මේ සිදුවීමත් චමුදිතගේ මාධ්‍ය භාවිතයත් එක හා සමානව ගැනීම ඉතාම වැරදිය. එනම් චමුදිතගේ මාධ්‍ය භාවිතය ගැන ප්‍රශ්නයක් තිබේ නම් එය මඟහැර සිටීමට හෝ ඊට එරෙහිව නීතියම ක්‍රමවේදයකට යාමට ඕනෑම අයකුට හැකිය.එහෙත් චමුදිතට එල්ල කළ ප්‍රහාරය එකී මාධ්‍ය විරෝධය විසින් ඔහුගේ මාධ්‍යකරණය හා සාධාරණීකරණය කිරීම හරහා සිදුවන්නේ මොනම හෝ ආකාරයකින් අපරාධයට අනුබල දීමකි.ඒ නිසා ඒ ආකාරයෙන් මෙකී අපරාධ අනුමත කිරීම සාධාරණය කිරීම ඉතාම බරපතළ තත්ත්වයක් පමණක් නොව මේ රටේ අපරාධවලට ඉඩ තැබීමකි.
කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා වනවිට සීසීටි දර්ශන රැසක් පරීක්ෂා කර සැකකරුවන් පැමිණි වාහනය කුමක්ද යන්න අනුමාන කර තිබුණි. එහෙත් පැමිණි අය කවුරුන්ද යන්න තවම දන්නේ නැත. හෙල්මට් සහ කබා පැළඳ පැමිණි පිරිස කිසිසේත් ආරක්ෂක කැමරා වලින් හෝ අනුමාන කිරීමේ හැකියාවක් නැත. මේ නිසාම සොයාගත් ආරක්ෂක කැමරා රූපරාමු සියල්ල විමර්ශන කටයුතු සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට ලබාදීමට තීරණය කර ඇත.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියකුගෙන් අප විමසීමක් කළ විට ඔහු සඳහන් කර සිටියේ තවම පිළිගත හැකි හෝඩුවාවක් හෝ සාක්ෂියක් හමුවී නැති බවය. ඒ නිසා තවමත් සිතාගත නොහැකි තැනක මෙම සිද්ධියේ මුල ඇති බව ඔවුන්ගේ මතය වී ඇත. චමුදිතට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දැනට රැකියාව කරන හිරු නාළිකාවද යම් පියවරක් අනුගමනය කර ඇත. ඒ මෙම සිදුවීම ගැන යම් තොරතුරක් ලබාදෙන අයකුට ලක්ෂ පහක ත්‍යාග මුදලක් ලබාදීමට තීරණය කර තිබීමය. එය යම් ආකාරයක අගය කළ යුතු ක්‍රියාවකි. ඒ ඔහු වෙනුවෙන් ආයතනය පෙනී සීටීමය.
මේ අතර චමුදිතගේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් අය පවසන්නේ චමුදිත රට පැනයාම සඳහා මෙය සිදුකළ ක්‍රියාවක් ලෙසටය. එය ඉතාම බරපතළ චෝදනාවකි. එනම් මාධ්‍යවේදීන් රට පැනයාම සඳහා මෙවැනි දේවල් සිදුකරගන්නා බවට මතයක් පැවතීමය. එහි යම් සාධාරණයක් ඇත. එනම් ඇතැම් මාධ්‍යවේදීන් බොරු ප්‍රචාර යවමින් තමන්ට තර්ජනය ඇති බව මවා පෑ අවස්ථා අතීතයේදී අනන්ත අප්‍රමාණ ඇත. ඇතැම් ප්‍රධාන සිදුවීම් අස්සෙහි මෙලෙස බොරු ප්‍රචාර ගෙන ගිය අය අනන්ත අප්‍රමාණය. ඒ නිසා මෙවැනි චෝදනා සාමාන්‍ය දෙයකි.
එහෙත් අවසාන වශයෙන් කීමට දෙයක් ඇත. එනම් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව පාරට ගේන මොහොතක රාත්‍රියේ එළිපිට පැමිණ මෙලෙස පහරදී පැනයාම ගැටලුවකි. මාධ්‍යවේදියකුට පහරදීම මේ ආකාරයෙන් වීමම අවුලකි. ඒ සම්බන්ධයෙන් නියත වශයෙන්ම පරීක්ෂණයක් කර ඇත්ත සාධාරණය රට හමුවේ ඉදිරිපත් කළ යුතුය. එසේ නොමැතිව මේවා රඟපෑම්, මේවා බොරු, යනුවෙන් අර්ථ ගැන්වීමෙන් කිසිදු දිනක සාධාරණයක් ඉටුවන්නේ නැත. සාධාරණයක් සිදුවීමට නම් අනිවාර්යයෙන් මේ සඳහා යුක්තිය සාධාරණය ලැබිය යුතුමය. ඒ නිසා චමුදිතගේ නිවසට පහරදීම තවත් එක් හුදකලා සිදුවීමක් නොවී යුක්තිය සාධාරණය ඉටුවනතෙක් අපි සියලුදෙනා බලා සිටිමු.
I ගයාන් ගාල්ලගේ