2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

කළුගල් වැඩ බිම්වලින් පුපුරණ ද්‍රව්‍ය අතුරුදන් වීමේ අබිරහස!

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 1436

රටපුරා කළුගල් වැඩබිම් රුසකට ගෙනැවිත් තිබූ විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය විවිධ ප්‍රමාණවලින් පසුගිය කාලයේදී වරින්වර අතුරුදන් වී ඇති බවත්, කළුගල් වැඩපොළවලට ගෙන එනු ලබන පුපුරණ ද්‍රව්‍ය මේ ආකාරයට අතුරුදන්වීම හෝ අස්ථානගතවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද ජාතික විගණන කාර්යාලය මෑතකදී නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි. මේ ඒ පිළිබඳ අප කළ විමසුමකි

ගල් වෙඩි බෙහෙත් කිලෝ එකකට කළුගල් කියුබ් 1 ක්ද, වෝටර්ජෙල් කිලෝ එකකට කළුගල් කියුබ් 2 ක්ද, ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 1 කට කළු ගල් කියුබ් 2 ක්ද ආදී ලෙස පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණවලට කැණිය හැකි කළු ගල් ප්‍රමාණ භූ විද්‍යා පතල් කැණීම් කාර්යංශය මගින් නිර්දේශ කර ඇතත් ඒ සීමා උල්ලංඝණය කිරීම් සිදු වී ඇතැයිද  විගණන වාර්තාවේ සඳහන් වෙයි.

භූ විද්‍යා පතල් කැණීම් කාර්යංශයේ කැණීම් බලපත්‍රලාභී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ලියන්ගස්තොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කළුගල් වැඩබිමකට 2017 ඔක්තෝබර් 23 වැනිදා සිට නොවැම්බර් 18 වැනිදා දක්වා කාලය තුළදී නිකුත් කළ පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය මත කියුබ් 52,488ක් කැණීම් කළ හැකි වුවද කැණීම් කර ඇත්තේ කියුබ් 12,656ක් බවට අනාවරණය වූ බව විගණන වාර්තාවේ සඳහන් වෙයි. කළුගල් කියුබ් 12656ක් කැණීම සඳහා  යොදාගත යුතු අවම පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 6328කි. එහෙත් බලපත්‍රලාභියාට නිකුත් කර ඇති පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 26,244 කි. පුපුරණ ද්‍රව්‍ය කිලෝ 19,916ක් හෙවත් නිකුත් කළ ප්‍රමාණයෙන් සියයට 76ක ඉතිරි පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කවර කාර්යයක් සඳහා යොදාගත්තේ දැයි අනාවරණය නොවූ බවත් වැඩිදුරටත් විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ. 

පුපුරණ ද්‍රව්‍ය අනීතිකව සහ අතිරික්තව පරිහරණයට ඉඩ සැලසීම මගින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් විය හැකි බව නිරීක්ෂණය වන බවද විගණනයෙන් කියැවෙයි. 

පුපුරණ ද්‍රව්‍ය අනවසරයෙන් භාවිත කිරීම සහ වැඩබිම් සඳහා අතිරික්ත පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම මගින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකිරීම සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වගකිව යුතු ආයතන ඒකාබද්ධව පවතින අධීක්ෂණ ක්‍රමවේදය වඩා විධිමත් කිරීම සුදුසු බවත් විගණන කාර්යාලය රජයට නිර්දේශ කර ඇත.

තිස්සමහාරාම අංජලීගල ප්‍රදේශයේ අක්කර 2ක රජයේ ඉඩමක බලපත්‍ර නොමැතිව අනවසරයෙන් පුපුරණ ද්‍රව්‍ය යොදා කළුගල් කැණීම් කිරීමට පුපුරණ ද්‍රව්‍ය සොයාගත් ආකාරය ප්‍රශ්න සහගත බවද එම වාර්තාවේ සඳහන් වෙයි.  

2017 වසරේදී එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ‍1956 අංක 21 දරණ පුපුරණ ද්‍රව්‍ය පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කෙටුම්පතක් පවා  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරගනු ලැබීය.

ආරක්ෂක අමාත්‍යංශය විසින් කළුගල් වැඩපොළවලට පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අප කළ සොයාබැලීමේදී කළු ගලක් කැණීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් බලපත් ලබා දීමෙන් පසු ඒ සඳහා පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීමට ඒ සම්බන්ධ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකරයි. ආරක්ෂක අමාත්‍යංශය මගින් ගල් වැඩපොළ සඳහා පුපුරණ ද්‍රව්‍ය අවසර පතක් නිකුත් කිරීමේදී ආකෘති 4ක් යටතේ අයැදුම්පත් සහ ගල් පිපිරවීම සිදුකරන ස්ථානයේ සවිස්තර වාර්තාවක් සමඟ ලේඛන 9ක් ඉදිරිපත් කළ යුතු අතර ඉන්පසු දිනකට කැඩිය හැකි කළුගල් ප්‍රමාණය අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලකවරුන් මගින් වෙඩි බෙහෙත් නිකුත් කරයි. එහෙත් කවර ලිපි ගොනුවල සවිස්තර වාර්තා තිබුණද කැණීම සිදුකරන භූමි ප්‍රමාණයට පමණක් සරිලන පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමෙන් පුපුරණ ද්‍රව්‍ය ඉතිරිවීම සහ ඒ හරහා ඇති වන අවදානම් අනාරක්ෂිත ක්‍රියා මඟහරවාගත හැකි යැයි අපි විශ්වාස කරමු.

ආරක්ෂක අමාත්‍යංශය මගින් නිත්‍යනුකූලව ලබාගත් බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මාවනැල්ල මොල්ලිගොඩ ප්‍රදේශයේ කළුගල් ගල්කොරියකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් අතුරුදන් වූ සිද්ධියක් පසුගිය කාලයේ වාර්තා විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනයේදී අතුරුදන් වූ ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පේරාදෙණිය තලවත්ත ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබුණි. පරීක්ෂණවලදී අනාවරණය වූයේ සොරාගෙන තිබූ පුපුරණ ද්‍රව්‍ය වෙනත් ගල්කොරි හිමිකරුවන්ට අලෙවි කර තිබූ බවයි. මෙම ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ රටපුරා සියලු ගල්කොරි ආශ්‍රිත සිදුවන නීතිවිරෝධී ක්‍රියා මර්දනය කිරීමේ අරමුණින් ගල්කොරි හා පුපුරණ ද්‍රව්‍ය අධීක්ෂණයට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුයුක්ත විශේෂ හමුදා නිලධාරියකු පත් කරන බවයි. 

ගල්වැඩපොළවලින් අන්සතු වන  පුපුරණ ද්‍රව්‍ය නීතිවිරෝධි මසුන් මැරීමේ සිට ඉතාමත් ව්‍යසනකාරී ක්‍රියා සඳහා යොදාගත් අවස්ථා ඕනෑතරම් අප දැක ඇත. වැලිසර පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියා නයිට්‍රේට් නැමැති පුපුරණ ද්‍රව්‍ය සොරාගෙන ගල් වැඩපොළවලට විකුණා තිබූ බවට පුවතක්ද ගිය වසරේදී වාර්තා විය. පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සාගරයේ මසුන් මැරීමේ අනවසර ක්‍රියා පසුගිය කාලයේදී දක්නට ලැබිණ.

කෙසේ නමුත් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් පුපුරණ ද්‍රව්‍ය තොග ලබාගෙන මෙම පුපුරණ ද්‍රව්‍ය රතිඤ්ඤා කර්මාන්ත ශාලාවලට සහ ගල්වලවල්වලට ලබාදීමේ ව්‍යාපාරික ඒකාධිකාරයක් පැවති කාලයකුත් තිබූ බවට පසුගිය කාලවලදී වාර්තා විය. 
පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය කළ සෝදිසි මෙහෙයුම්වලදී හමුවූ ඇතැම් පුපුරණ ද්‍රව්‍ය තොග ගල්වළවලට නිකුත් කළ පුපුරණ ද්‍රව්‍යවලට සමාන ඒවා බව නාවික හමුදාවේ නිරීක්ෂණයට ලක්ව තිබිණ. පාස්කු දා ප්‍රහාරයට පෙර නාවික හමුදාව විසින්ම ඩෙටනේටර් හා ජෙල්ග්නයිට් කූරු 94ක් සොයාගෙන තිබූ බවද වාර්තා විය. නීති විරෝධි ලෙස භාවිත කරන වෙඩි බෙහෙත් මගින් ඇති විය හැකි අනිසි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් රජයේ වෙඩි බෙහෙත් ගබඩාවේ නිලධාරීන්, පුපුරණ ද්‍රව්‍ය පාලකවරුන් සහ බෙදාහරින්නන් දැනුවත් කිරීමේ නාවික හමුදා මූලස්ථානයේ පැවති හමුවකදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පැවසූයේ ගල් වළවල් සඳහා නිත්‍යනුකූලව වැලිසර රජයේ වෙඩි බෙහෙත් ගබඩාව මගින් නිකුත් කරන වෙඩි බෙහෙත් අනවසරයෙන්  වෙනත් පුද්ගයන් අතට පත් කර ඇති බවත්, පාස්කුදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සඳහා භාවිත කර ඇත්තේ ගල්වළවල් සඳහා නිත්‍යනුකූලව නිකුත් කළ වෙඩි බෙහෙත්ද යන්න සැකයක් පවතින බවත් නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය . ගල් වළවල් වෙත නිකුත් කරන නියමිත වෙඩි බෙහෙත් පරිමාණය නියම ආකාරයෙන්  බලපත්‍රලාභීන් භාවිත කර ඇතිද නැතහොත් වෙනත් පිරිස් අතට පත් කර ඇතිද යන්න පිළිබඳ තොරතුරු සොයා බැලිය යුතු බවද එසේ සොයා නොබැලීමෙන් මෙවැනි කි‍්‍රයා සිදුවිය හැකි බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. 

පසුගිය කාලයේ සිදු වී ඇති බව කියන පුපුරණ ද්‍රව්‍ය අතුරුදන් වීම සම්බන්ධයෙන්  සහ පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක සහ සංවර්ධන) සමන් දිසානායක මහතා මෙසේ පැවසීය.

“අම්බලන්තොට සිද්ධිය 2018 වසරේ සිදුවීමක්. 2018 යහපාලන ආණ්ඩුව කාලයේදී පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් තිබිලා නෑ.පසුව ආරක්ෂක අමාත්‍යංශය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සමඟ සාකච්ඡා කර සූත්‍රයක් ලබාගත්තා ගල්වළවලට පුපුරණ ද්‍රව්‍ය නිකුත් කරන්න සූත්‍රයක් සකසා ගත්තා. එහිදී ගල් වළවල් ශ්‍රේණිගත කිරීමකට ලක්කර ඒ ඒ ගල්වළවලට අදාළ ශ්‍රේණිය අනුව පුපුරණ ද්‍රව්‍ය නිකුත් කරන නිසි ක්‍රමයක් දැන් තියෙනවා. පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ ගල්වළ හිමියන්ට පුපුරණ ද්‍රව්‍ය නිකුත් කරන්නේ ඔවුන් කඩන ගල් ප්‍රමාණය විමර්ශනයකින් පසුවයි. භූ විද්‍යා කාර්යාංශය කලින් මේ වැඩේ හරියට කළේ නෑ, ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් අනුව මේ ක්‍රමය දැන් නිවැරුදි කර තිබෙනවා. 2019න් පස්සේ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගැනීමට හැකි උපරිම ප්‍රමාණයක් පවා චක්‍රලේඛයක් මගින් නිකුත් කර තිබෙනවා. බලපත්‍රලාභියා පදිංචි නිවෙසේ හෝ ගල් කොරියේ ආරක්ෂා සහිත ස්ථානයක පමණක් පුපුරණ ද්‍රව්‍ය ගබඩා කළ යුතු තැන් ලෙස නිර්දේශ නිකුත් කර තිබෙනවා.” යැයිද හෙතෙම පැවසීය.

ගල්වළ හිමිකරුවන් ලබාගන්නා පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය වෙනත් පාර්ශ්වයකට පැවරිය හැකිදැයි අප වැඩිදුරටත් අතිරේක ලේකම්වරයාගෙන් විමසූ අතර එහිදී ඔහු මෙසේ කීය.

පුපුරණ ද්‍රව්‍ය විකුණීම් බලපත්‍රය ඇති අය දිස්ත්‍රික්කවල වෙනම ඉන්නවා. ඔවුන්ට හැර වෙන කිසිදු අයකුට විකුණන්න බෑ. විකුණුම් බලපත්‍ර ඇති අයට සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලකවරුන්ගේ නියෝගය යටතේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ අධීක්ෂණය යටතේ ගල්වළ හිමියන්ට, මහාපරිමාණ ව්‍යාපෘතිවලට, තීන්ත නිෂ්පාදකයන්ට විකිණීමට පුළුවන්. ඒ හැර බලපත්‍රලාභී ගල්වළ හිමියන්ට පුපුරණ ද්‍රව්‍ය විකුණන්න බැහැ” යැයිද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.  
අනවසරයෙන් පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, රැස්කිරීම, සන්තකයේ තබාගැනීම වරදක් බවට 2019 අතිවිශේෂ මහජන ආරක්ෂක ආඥා පනතේ 38 වැනි පරිච්ඡේදයේ සඳහන් වෙයි. එසේම 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේත් , 1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනතේත් සඳහන් වෙයි. 

පුපුරණ ද්‍රව්‍ය අනවසරයෙන් ළඟ තබාගැනීමට නොහැකි වන ආකාරයට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි. අප කළ විමර්ශනයේදී අනාවරණය වූයේ පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු වර්තමානයේදී පෙරට වඩා යම් සාධනීය මට්ටමකින් සිදුවන බවයි.

ගිනිපෙට්ටියේ එක් දැල්ලකින් අඳුරට එළියක් දීමට, තීන්තවලින් මුළු ලොවක් විසිතුරු කිරීමට පුපුරණ ද්‍රව්‍ය යොදාගන්නා වගේම මුළු ලොවක් සැණෙකින් සුණු විසුණු කිරීමට තරම් රුදුරු බලයක් පුපුරණ ද්‍රව්‍යවලට තිබේ. පුපුරණ ද්‍රව්‍ය අනවශ්‍ය පුද්ගලයන්ගේ අතට පත්නොවීමට නිසි නියාමනයක් අවශ්‍යය. ගල් වැඩපොළවලට ලබාදෙන පුපුරණ දුව්‍ය අතුරුදන් වීමෙන් ජාතික ආරක්ෂාවට වන තර්ජනය සුළුකොට තැකිය නොහැකිය. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ අපි කණාමැදිරි එළියටත් බිය වෙමු. එහෙයින් රටේ ආරක්ෂාව පෙරට තබා පුපුරණ ද්‍රව්‍ය සමඟ සෙල්ලම් නොකිරීම ජනතාවගේ මෙන්ම බලධාරීන්ගේද වගකීමක් බව අපි නැවතත් සිහිපත් කරමු.

 සසංක චලන ගිම්හාන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02