ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබියදී සොරාගෙන ඇති ඉපැරණි හා පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා කරඬු සොයාගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කොට තිබේ.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම දාගැබ් ඉතිහාසය ගැන හැදෑරීමේදී අනිවාර්යයෙන් සඳහන් වෙන දාගැබක් ලෙස දැලිවල කොටවෙහෙර හැඳින්විය හැකිය. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැලිවල ග්‍රාමයේ පිහිටි මේ දාගැබ පුරාණ දාගැබ් සම්ප්‍රදාය හෙළිකරන දාගැබකි. එනම් උපරිභාගයක් නැතිව ගර්භය මත ඡත්‍ර නංවා නිමකළ ස්මාරකයකි. මෙය ලෝකයේම පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක්වූයේ එහි කැණීම්වලදී හමුවූ රන් කරඬු නිසාය. දාගැබ් ඉතිහාසය හැදෑරීමේ දී දාගැබේ මූල්ම ස්වරෑපය වටහා ගැනීමට එම කරඬු මගින් හැකියාව ලැබුණි. ඉන් පසුව 2001 දී කරන ලද කැණීමේදී හමුවූ කරඬුවක සේද රෙදි කැබැල්ලක්ද රුඳී තිබුණු අතර එය ඕස්ට්‍රේලියාවේදී රසායනික විශ්ලේෂණයට ලක් කිරීමෙන් වර්ෂ 2200ක් පැරණි බව හෙළි විය. එය දකුණු ආසියාවෙන් හමුවූ පැරණිම සේද රෙදි කැබැල්ල බවට ඒ අනුව පත්විය.
දාගැබ වර්ෂ 1957 දී මුල්වරට පුරාවිද්‍යා කැණිම්වලට ලක් කෙරිණි. එම කැණීම්වලදී චෛත්‍යයේ සතර දිසාවේ තිබී ස්ථූපයේ අනුරෑ සහිත ශිලාමය කරඬු හතරක් හමුවිය. බටහිර දිගින් හමුවූ ශිලා මංජුසාව විවෘත කිරීමේදී රන් තහඩුවලින් නිර්මාණය කළ පුරාණ දාගැබේ හැඩය සහිත කරඬුව හමුවිය. එය ඉන්දියාවේ සාංචි ස්ථූපයේ පූර්ණ අනුරුවක් වන අතර හොරු ගෙන ගිය කරඬු අතර ඒ අමිල පුරාවස්තුවද වේ.
ලංකාවේ පැරුණිම දාගැබ් කීපවරක් ප්‍රතිසංස්කරණයට ලක්වීමෙන් මුල් ස්වරෑපය හඳුනාගත නොහැකි තරමට වෙනස් වී තිබේ. එහෙත් දැලිවල කොටවෙහෙර මුල්වරට තැනීමෙන් පසුව පිළිසකර කිරීමක් සිදුවී නොමැති බැවින් මුල් ස්වරෑපයේ තවමත් පවතී. නිදන් හොරු දාගැබට හානිකර තිබුණද මෙහි කරඬු දාගැබ වටා පිහිටි කුඩා ගර්භවල තැන්පත් කර පැවතීම නිසා පුරාවිද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකිව තිබුණි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2001 වසරේදී කළ කැණීම්වලින් ද මෙවැනි රන් කරඩු හතක් හමු විය. මෙම රන් කරඩු තිබුණේ වීදුරු කරඬුවක තැන්පත් කර තවත් ලෝහමය කරඩුවක අසුරා පබළු මිශ්‍රිත සේද රෙදි කඩකින් දවටාය. පසුව ඒවා මැටි වළඳක තැන්පත් කර දාගැබේ නිදන් කර තිබුණි. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ (කැණීම් ) ආචාර්ය ඩබ්ලිව්.විජයපාල සඳහන් කර ඇත්තේ වසර දෙදහසකට වඩා පැරුණි කෞතුක වටිනාකමින් යුත් නිධන් වස්තු රෙදි කඩකින් ඔතා තිබියදී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.
දැලිවල කොටවෙහෙර චෛත්‍යයෙන් හමුවූ දඹරන් කරඬු හා කෞතුක භාණ්ඩ මහජනතාවට ප්‍රදර්ශනය සඳහා ආරක්ෂිත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට එවකට බුද්ධශාසන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මුල්ගල තබා ඇතත් එය මුල්ගලටම සීමා වී පවතී. සමරු ඵලකය පමණක් මේ වනවිට විහාරස්ථාන බිමේ පසෙක දමා තිබේ. දාගැබේ සංරක්ෂණයද ඉබිගමනින් යන්නකි. දාගැබෙන් හමුවූ පුරාවස්තු සියල්ල විහාරස්ථානයේ පිහිටි දෙමහල් ධාතු මන්දිරයේ ඉහළ මාලයේ තැන්පත් කර දොරවල් වසා යතුරු දමා තිබුණු අතර ලියුම්කරුටද ඒවා දැකගැනීමට අවස්ථාව උදාවිය. මේවා සාමාන්‍ය ජනතාවට දැකගැනීමට අවස්ථාව ලබා නොදී තිබුණේද ඒවායේ ආරක්ෂාවටයි. සෑම වසරකම වෙසක් දිනයේ හා පසුදිනයේ පමණක් කරඬු ප්‍රදර්ශනය සිදුවිය.
1957 වර්ෂයේ සිදුකළ කැණීම්වලින් හමුවූ රන් කරඬුවට අමතරව අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ සිහිගන්වන වර්ණවත් පළිගු කරඬු දෙකක්, තවත් කුඩා පළිගු කරඬු 168 ක් සහ ශිලාමය කරඬු කීපයක්ද එහි තැන්පත් කර තිබුණි. එය මෙරට ස්ථූපයකින් හමුවූ දෙවැනි වැඩිම ධාතු කරඬු සංඛ්‍යාව වේ. වැඩිම ධාතු කරඬු සංඛ්‍යාවක් හමුවී ඇත්තේ අම්පාරේ නීලගිරි ස්ථූපයෙනි. නමුත් ධාතු මන්දිරයට පූර්ණ ආරක්ෂාවක් සැලසීමට විහාරයට හැකියාවක් නොමැති වූ බව මේ සිද්ධියෙන් තහවුරු වේ. පුරාවස්තු හමුවූ ස්ථානයේම තැන්පත් කිරීමේ පුරාවිද්‍යා ප්‍රතිපත්තියට අනුවයි ඒවා විහාරයේම තබා තිබුණේ. ඒවා තැන්පත් කිරීමට ආරක්ෂිත සේප්පුවක්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සපයා තිබුණි.
දැලිවල කොටවෙහෙර රජමහ විහාරයේ දායක සභාවේ සභාපති ඩී.ආර්. තිලකරත්න මේ පිළිබඳව අදහස් පළකරමින් &අපි මේ පුරාවස්තු සේප්පුවේ දාලා හරියට ආරක්ෂා කළා. එහෙම රුකපු වස්තුව තමා නැතිවෙලා තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුව තමයි එම පුරාවස්තු එළිමහනට ගැනීම* යැයි චෝදනා කරයි.
කොටවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පුස්සැල්ලේ ආරියවංශ හිමියන් සොරකම සිදුවූ දිනයේ විහාරයේ වැඩසිට නැත. උන්වහන්සේ නුවරඑළියට වැඩම කර තිබුණේ වෙනත් විහාරස්ථානයක් වෙතය. උන්වහන්සේ පවසන්නේ මෙවැන්නකි.
පසුගිය 11 වැනිදා මම නුවරඑළියේ විහාරස්ථානයකට වැඩම කර සිටියේ. පන්සලේ පොඩිනම වන කිවුල්පනේ හිමියෝ වැඩ සිටියා. තේවාව බාර මහතා 12 වැනිදා අලුයම පැමිණ තිබෙනවා. 5.30ට පමණ ඒ සඳහා ගිහින් තිබුණා. එතැනදී දොර ඇරලා තියෙනවා දැකලා පස්සේ ඔහු කෑගහලා පොඩි නම ගිහින් තියෙනවා. ඒ වෙලාවේ තමයි දන්නෙ පුරාවස්තු නැතිවෙලා කියලා. ඒ සමඟම පොලිසියේ 119 අංකයට දැනුම් දී තිබුණා. 12 වැනිදා මේ සම්බන්ධයෙන් රඹුක්කන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
මේ අතර සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් මෙසේ පවසයි.
ඓතිහාසික උරුමයන් දිගින් දිගටම නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වුණා. කොළඹ ජාතික කෞතුකාගාරයත් මංකොල්ල කෑවා. නමුත් කාටද දඬුවම් කළේ? මේ පිටුපස ඉන්නේ කවුද? දේශපාලනඥයන් ඉන්නවා. ඒ අයට දඬුවම් නෑ. චෛත්‍යයක් ආරාමයක් හැදුවට මේ උරුමය ආරක්ෂා වෙන්නෙ නෑ. ඒකට වැඩපිළිවෙළක් අවශ්‍යයි.
ආසියාවේ ඇති වටිනාම රන් හා පළිඟු කරඬු කිහිපය තැන්පත් කර තැබීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබාදී තිබූ ආරක්ෂිත සේප්පුවෙන් ඒවා පිටතට රුගෙන වීදුරු මංජුසාවක තැන්පත් කිරීම සඳහා විහාරාධිපති හිමියන්ට සිදුව ඇත්තේ නීති ක්ෂේත්‍රයේ හිටපු පුද්ගලයකුගේ මැදිහත්වීම මත බවට වාර්තා පළ විය. එම වීදුරු මංජුසාව වෙඩි නොවදින එකක් බවත් එහි ආරක්ෂිත බව පිළිබඳවත් කරුණු කියා ඇත්තේ එම හිටපු නීති ප්‍රබලයා විසින් බවක් වාර්තා වේ.
විහාරාධිපති හිමියන් හා දායක සභාව විසින් එම කරඬුවල අනුරෑ නිර්මාණය කොට පෙර කී මංජුසාව තුළ තැන්පත් කර ඇත්තේ සැබෑ කරඬුවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහාය. මේ පිළිබඳව දැනගත් පෙර කී නීති ප්‍රබලයා කරඬු අනුරෑ වැඳුම් පිදුම් සඳහා තැබීම වැරදි බව කියා එම කරඬු ආරක්ෂිත සේප්පුවෙන් ඉවත්කර නැවත වීදුරු මංජුසාව තුළ තැබීමට විහාරාධිපති හිමියන්ට හා දායක සභාවට බලකර ඇතැයිද දැනගන්නට ඇත.
මේ කියන වීදුරු මංජුසාව විහාරස්ථානයට පූජාකර ඇත්තේ පෙර සඳහන් කළ නීති ප්‍රභලයා විසින් බවට වාර්තා වේ. එය නිර්මාණය කර ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් බවද පැවසේ.
සොරකමෙන් පසුව සිදුකළ විමර්ශනවලදී එම මංජුසාව තුළ තිබී හමුවූ රෝමකූප කිහිපයක් ඔස්සේද විමර්ශන සිදුකෙරේ. මේ අතර දායක සභාව පවසන පරිදි විහාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය විසින් යොදන මුර සංචාර පොතක් ආවාස ගෙයි ඉදිරිපස එල්ලා ඇතත් එය නිසි ලෙස ක්‍රියාත්මක වී නැත.
සොරකම සම්බන්ධයෙන් සැකකෙරෙන සිදුවීම් තුනක් ඔස්සේද විමර්ශන අරඹා තිබෙන අතර මීට පෙර පුරාවස්තු සොරකමේ යෙදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිට නැවත ඇප ලබා පැමිණි කිහිප දෙනකු ගැනද විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව තිබෙන බව දැනගන්නට ලැබේ.
සොරකම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් නිල සුනඛයන් යොදාගෙන තිබුණි. මීට අමතරව කෑගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා යටතේ කණ්ඩායමක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ කණ්ඩායමක් විමර්ශන ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. විද්‍යාත්මක සාක්ෂි හා දුරකථන දත්ත ඇසුරින් විමර්ශන සිදුකෙරෙන අතර අවශ්‍ය කෙරෙන සාධක රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කෙරෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
සේයාරූ අන්තර්ජාලයෙනි
පසුබිම් වාර්තා
සමන්ත ප්‍රදීප් විල්තෙර
කුසුම්සිරි විජයවර්ධන