2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

අඳුරෙන් එළියට පාරක් සොයන්න...

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 148

පසුගිය දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණු පුවතකින් කියවුණේ අන්තවාදී දේවවාදී ආගමක් අදහන මව්පියන් නිසා ජීවිතය අහිමි වූ දරුවකු ගැන පුවතකි. මව්පියන්ගේ අන්තවාදී විශ්වාස සහ ඇදහිලි නිසා ජීවිතය අහිමි වූ එකම දරුවා මේ දරුවා නොවේ. එවැනි පුවත් ගණනාවක් මෑත කාලයේ වාර්තා විය. රෝගයකට ප්‍රතිකාර කිරීම, ඖෂධ ලබාගැනීම පවක් ලෙස සලකමින් දෙවියන්ට යාඥා කිරීමෙන් රෝග සුවපත් කළ හැකි යැයි සිතන මෙම අන්තවාදීහු මරණයෙන් පසුවද යැදීම ඔස්සේ නැවත ප්‍රාණය ලද හැකි බව විශ්වාස කරමින් මළමිනිය අසල සිටිමින් දිවා රූ දෙවියන් යදිති.. එවන් පසුබිමකදී ඉහත සඳහන් කළ දරුවාගේ මව්පියන් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 

මිත්‍යා විශ්වාස පසුපස යාම නිසා පසුගිය කාලයේ ලංකාවේ අහිංසක ජීවිත ගණනාවකට වන්දි ගෙවීමට සිදුවිය. අවාසනාවට කරුණ වන්නේ දෙමාපියන් යටතේ හැදෙන වැඩෙන කුඩා ළමයින් මෙම තත්ත්වයට ගොදුරු වීමයි. එසේම වයෝවෘද්ධ පුද්ගලයන් ද මෙම තත්ත්වයට ගොදුරු වී සිටිති. මෑත කාලයේ මෙවන් සිදුවීම් ගණනාවක් වාර්තා විය. පසුගිය කාලයේ වාර්තා වූ තවත් සිදුවීමක් වූයේ මීගහවත්ත, දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේ ජීවත් වූ දැරියක ශරීරයට ඇතුළු වූ අමනුෂ්‍ය බලවේගයක් පන්නන්නට පහරදීම හේතුවෙන් ඉතා අවාසනාවන්ත ලෙස මිය යාමයි. මෙසේ මියගියේ නව හැවිරිදි දැරියකි. 

මෙම දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට විශ්වාස කළ දැරියගේ මව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කාන්තාවක වෙත එම දැරියව රුගෙන ගොස් ඇති අතර දේවාලය පවත්වාගෙන යන කාන්තාව දැරියට තෙල් සාත්තුවක් කොට වේවැල් කිහිපයක් කැඩී යන තුරු පහර දී තිබිණි. මෙම පහරදීම සිදුකොට තිබුණේ ''ආන්ටි ගහන්න එපා'' යැයි හඬමින් කෑගසද්දීය. මෙම පහරදීම සිදුවන අතරතුර දැරිය සිහිසුන් වීමෙන් අනතුරුව බියගම රෝහලට රුගෙන ගිය විට දැරිය මියගොස් ඇති බව තහවුරු වීය. 

මෙම මරණය සිදුව ඇත්තේ අමනුෂ්‍ය දෝෂයක් ඇති බව සිතා ඒ සම්බන්ධයෙන් මිත්‍යා ප්‍රතිකාරාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙවැනි විශ්වාස සහ ප්‍රතිකාර ක්‍රම ශිල්ප ශිෂ්ටාචාරයන් නොදියුණු ගල් යුගයේ පැවති ඒවාය. ගල් යුගයෙහි පුද්ගලයකුට මානසික රෝගයක් වැළඳුණු විට පැවති විශ්වාසය වූයේ එම පුද්ගලයාගේ හිස්කබල තුළට යක්ෂයකු නැතහොත් අමනුෂ්‍ය බලවේගයක් ඇතුළු වී ඇතැයි විශ්වාස කොට හිස් කබලෙහි සිදුරක් විදීමයි. එවිට යක්ෂයාට එම සිදුර තුළින් පිටව යා හැකි බවට විශ්වාස කෙරිණි. හිස්කබල සිදුරු කිරීම නිසා විශාල වශයෙන් එකල මිනිසුන් මිය ගියහ. විද්‍යාත්මක පුනරුදයට පෙර මධ්‍යකාලීන යුගයෙහිද මෙවැනි ප්‍රතිකාර ලෝකයේ පැවතිණි. 

21 වැනි සියවස යනු විද්‍යාත්මකව, වෛද්‍ය විද්‍යාත්මකව, මනෝවිද්‍යාත්මකව ලෝකය දියුණු යැයි පැවසෙන කාලයකි. මෙවන් දියුණු කාලවලදීද අභාග්‍ය සම්පන්න, අවාසනාවන්ත සිදුවීම් අසන්නට දකින්නට ලැබීම අතිශය කනගාටුවට කරුණකි. 
ඉහත සිද්ධියට අදාළ දේවාලය පවත්වාගෙන ගිය කට්ටඩි කාන්තාව දැරියට ප්‍රතිකාර  කිරීම සඳහා අනුගමනය කර ඇත්තේ අධි ස්වාභාවික ප්‍රවේශයකි. මේවා ගල් යුගයේ සිට පැවත එන නොදියුණු ප්‍රතිකාරාත්මක ක්‍රම ශිල්ප වේ. අධි ස්වාභාවික ප්‍රවේශය විශ්වාස කරන ආකාරයට මිනිසුන්ට මානසික අක්‍රමතා ඇති කරන්නේ යකුන්, නරක ආත්ම, අවතාර, හොල්මන් වැනි පිටස්තර ආගන්තුක අමනුෂ්‍ය බලවේග මනුෂ්‍ය ශරීරය තුළට ඇතුළු වීමෙනි. 

පුද්ගලයාගේ ශරීරයට ඇතුළු වී ඇත්තේ හොඳ ආත්මයක්ද? නරක ආත්මයක්ද? යන්න තීරණය කෙරුණේ පුද්ගලයා විසින් ප්‍රදර්ශනය කරනු ලබන රෝග ලක්ෂණ අනුවයි. යම්කිසි පුද්ගලයකු ආගමික වැදගත්කමක් සහිතව කතා කරන්නේ නම් හෝ  හැසිරෙන්නේ නම් එම ශරීරයට ඇතුළු වී ඇත්තේ දෙවියකු හෝ හොඳ ආත්මයක් බවට විශ්වාස කෙරිණි. එවන් පුද්ගලයන්ට සමාජයේ ඉහළ ගෞරවයක් ලැබුණු අතර අසාමාන්‍ය අධි ස්වාභාවික බලයක් ඇති බවටද විශ්වාස කෙරිණි. 

මනුෂ්‍ය ශරීරයට නරක ආත්මයක් නැතහොත් අමනුෂ්‍ය බලවේගයක් ඇතුළු වී ඇති බවට විශ්වාස කළ අය එම තත්ත්වය ආගමික පුද පූජා, චාරිත්‍ර මගින්ද, යකැදුරුකම් මගින්ද සුව කළ හැකි බවට විශ්වාස කෙරිණි. එවැනි ක්‍රමවේදයක් මගින් රෝගියා සුවපත් කිරීමට අපොහොසත් වුවහොත් එම පුද්ගලයා සිරකර තැබීම, තැලීම, හෝ වෙනත් ආකාරයේ වදහිංසා පැමිණවීම් මගින් එම නරක ආත්මය මනුෂ්‍ය ශරීරයෙන් පන්නා දැමිය හැකි බවට විශ්වාස කෙරිණි. 

රෝගී පුද්ගලයාට පහරදෙන විට රෝගියාගේ ශරීරය තුළට ඇතුළු වූ නරක ආත්මයට, අවතාරවලට, යක්ෂයන්ට තවදුරටත් එම ශරීරය තුළ සිටිය නොහැකි බවත් එම ශරීරයෙන් පලා යන බවත් විශ්වාස කෙරිණි. 

ඉහත සිද්ධියේදී දැරියගේ මානසික මට්ටම අතිශය පහළට ඇද දමා තිබිණි. ප්‍රචණ්ඩත්වයේ උපරිමයට ඇයව ලක්කොට තිබිණි. දේවාලයේ කට්ටඩි කාන්තාව මෙසේ දැරියට පහරදීමේදී දැරියගේ දෙමාපියන් ඊට විරුද්ධ නොවූයේ මන්ද යන්න ගැටලුවකි. කට්ටඩි කාන්තාවට තිබූ මුග්ධ ගෞරවය නිසා විය හැකිය. මීට පෙර අවස්ථා ගණනාවකම මෙවැනි සිදුවීම් සමාජය තුළින් අපට අසන්නට ලැබිණි. එක් කාන්තාවකට කට්ටඩියකු විසින් පොල් මලකින් පහරදීම හේතුවෙන් ඇය මියගොස් තිබිණි. තවත් කාන්තාවකට තැඹිලි ගෙඩි හතක් එකවර බීමට ලබාදීම හේතුවෙන් ඇය ද මියගොස් තිබිණි. 

ජාති ආගම් භේදයකින් තොරව මිනිසුන්ට ජීවිතයේ අසරණවීම්වලට, විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවෙයි. එවැනි අවස්ථාවලදී නොදියුණු, පිළිගත නොහැකි ක්‍රමවලින් පවා එම ගැටලුවලට විසඳුමක් ලබාගන්නට උත්සාහ කිරීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයකි. එල්ලෙන්නට ගසක් නොමැති විට පිදුරු ගසක වුවද එල්ලෙයි. එහෙත් මිත්‍යා විශ්වාස පසුපස ගොස් එමගින් සිදුකර ගන්නේ විනාශයක් නම් එය අනුමත කළ නොහැකි දෙයකි.

 වර්තමානයේ බොහෝ පුද්ගලයන් මිත්‍යා විශ්වාස සිය ජීවන මාර්ගයක් බවට පත්කරගෙන ඇති ආකාරය දකින්නට හැකිය. භින්නෝන්මාද රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ගෙන් ශාස්ත්‍ර අසන, පේන අසන අවස්ථාද සමාජය තුළ දකින්නට පුළුවන. භින්නෝන්මාදය ලෙස හැඳින්වෙන්නේ ප්‍රබල මානසික අක්‍රමතාවකි. භින්නෝන්මාද රෝගයෙහි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සාමාන්‍ය පුද්ගලයාට නොදැනෙන සංජානනයන් භින්නොන්මාදය සහිත පුද්ගලයා අත්දැකීමයි.

 සාමාන්‍ය පුද්ගලයා ඇස, කන, නාසය, දිව සහ සම යන පංචේන්ද්‍රියන් උපයෝගී කොටගෙන බාහිර පරිසරයේ පවතින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබාගෙන ඒවා අර්ථකථනය කරයි. එහෙත් භින්නොන්මාද රෝගය සහිත පුද්ගලයාට අපට නොදැනෙන සංවේදනයන් ඇතිවෙයි. එවැනි පුද්ගලයන්ට අපට නොපෙනෙන රෑප පෙන්නුම් කරයි. දෙවියන්, යක්ෂයන්, භූතයන්, අවතාර පෙනෙයි. එසේම අපට නොඇසෙන ශබ්ද ඇසෙයි. දෙවියන් තමා සමඟ කතා කරනු ඇසෙයි. භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මන්, අවතාර තමා සමඟ කථා කරනු ඇසෙයි. එවිට ඔවුන් සිතන්නේ තමාට අසාමාන්‍ය  බලයක් ලැබී ඇති බවයි. 

මානසික අක්‍රමතා පිළිබඳ අවබෝධයක් නොමැති ගෙදර අයද මේ පිළිබඳව සතුටු වෙති. ඔහු හෝ ඇය ඉන් පසුව කරන්නේ සිය නිවසේ හෝ යම් ස්ථානයක් කුලියට ගෙන දේවාලයක් අටවාගෙන ශාස්ත්‍ර කීම, යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, හදි හූනියම් කිරීමට කටයුතු කිරීමයි. උගත්කමක්, ආදායම් මාර්ගයක් නොමැති අයට මෙය කදිම ජීවන මාර්ගයක් මෙන්ම ධන උල්පතකි. 

 කතරගම දෙවියන් මයුර වාහනයෙන් යන විට කට්ටඩියාට ප්‍රාඩෝ, ලෑන්ඩ් රෝවර්, අවුට් ලෑන්ඩර්, ඩිෆෙන්ඩර්, බෙන්ස් භාවිත කරන්නට පුළුවනි. බොහෝ ජ්‍යොතිෂවේදීන් ගැනද කිව හැක්කේ මෙයයි. මොවුහු සෞරග්‍රහ මණ්ඩලය විකුණාගෙන කෑමට හුරුව සිටිති. මොවුන් සෑම විටම ආමන්ත්‍රණය කරන්නේ සෑම පුද්ගලයකුට ආවේණික ගැටලුය. ශාස්ත්‍ර  අර්ථකථනය කර ගන්නේ ශාස්ත්‍ර කියන පුද්ගලයා නොව අසන පුද්ගලයාය. 

මිත්‍යා විශ්වාස පසුපස යන පුද්ගලයාට අවසානයේ උරුම වන්නේ සිය ධනය විනාශ වීමකි. ඇතැම්විට අවාසනාවන්ත ලෙස සිය ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදුවෙයි. මෙවන් මිත්‍යා විශ්වාස පසුපස යන දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් නිසා අසරණ දරුවන්ට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම අතිශය කනගාටුවට කරුණකි. 

මෙවන් තත්ත්වයන් පාලනය කිරීමට නම් රජය මගින්, ආගමික කටයුතු අමාත්‍යංශය  මගින් මෙවැනි දේවාල, ආගමික ස්ථාන නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුය. නැතහොත් මිත්‍යා විශ්වාස සමාජය තුළ මුල්බැසගෙන ඇති බැවින් ඉදිරියේදී වුවද මෙවන් මරණ වාර්තාවීම නොවැළැක්විය හැකි දෙයකි.