2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

මඤ්ඤොක්කා අලෙන් ගොඩ ගිය අජිත්

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 115

අජිත් රත්නසිරි ඇඹිලිපිටිය, උඩවලව, කොළඹගෙආර ප්‍රදේශයේ ජීවත්වන ගොවි මහතෙකි. තම ප්‍රදේශයේ බොහෝ වැසියන් මඤ්ඤොක්කා වගාවෙන් ප්‍රධාන ආදායම් මාර්ගය සරිකර ගනිද්දී අජිත්ද මඤ්ඤොක්කා වගා කළේය. මේ අතර මීට වසර අටකට පමණ පෙර අජිත් තම මඤ්ඤොක්කා පළදාව මෙන්ම ගමේ වැසියන්ගේ ඵලදාවද රැගෙන කුලී පදනමට ගත් වාහනයකින් කොළඹ ගෙනාවේය. ඇතැම් දිනවල ඩිමෝ බට්ටා කුඩා රථයක නැගී අජිත් කොළඹ පැමිණියේය. ඒ රුගෙන ආවේ මඤ්ඤොක්කා පළදාව පිටරට අපනයනය කරන ලද කොළඹ නගරයේ පිහිටා තිබූ ව්‍යාපාර ස්ථානයකට බාර දීමටය. ඒ වෙද්දී එම ආයතනවලට පිට පළාත්වලින් ගස්ලබු, තැඹිලි, ඇතුළු බොහෝ දේශීය පළදාවද රුගෙන එමින් තිබිණි. එක පෙළට නතර කර තිබූ රථවාහනවලින් තම වාරය එනතුරු බලා සිටි අජිත් ඒ හැම මොහොතේම තම අනාගතය වෙනුවෙන් අලුත් දෙයක් ජීවිතයට එකතු කර ගත්තේය

අපේ ගමෙන් මඤ්ඤොක්කා අරගෙන කොළඹ කම්පැණිවලට ආපු මම ඒ අය කරන දේවල් දිහා බලාගෙන හිටියා. සමහර වෙලාවට මගේ ලොරියේ ගෙනාපු පළදාව බාන්නේ නැතිව මම අනිත් ලොරිවල පළදාව බාගන්නත් ඒ අයට උදව් කළා. ඒ අතර ඒවාට පැකිං කරන හැටි, හැමදෙයක්ම මම හොයලා දැනගත්තා. ටික දවසකට පස්සේ මමම ගමේ අයගේ මඤ්ඤොක්කා ගලවල ඒ කම්පැණිවලට මමම ගෙනියන්නට පටන් ගත්තා. මට එහෙම ගෙනියන්න මගේ වාහනයක් තිබුණෙත් නැහැ. හයර් එකට වාහනයක් අරගෙන තමයි මම ඒවා අරගෙන ගියේ. ඒක ටිකක් අවදානමක්. හැබැයි මම ඒ අවදානමට මුහුණ දුන්නා. සමහර දවස්වල මම වාහනය අරගෙන ගියා. සමහර දවස්වලට මම බඩු බාන ගෝලයාට ගියා. එහෙම ගිහින් මම මේ සම්බන්ධෆයන් අත්දැකීම් ලබාගත්තා. සමහර දවස්වල අත්දැකීම් ලබාගන්න මම ඒ කම්පැණිවල අයට උදව් කළා. අත් උදව් දුන්නා. යැයි අජිත් රත්නසිරි මහතා දේශයට පැවසීය.

අපිත් මේ හැම මොහොතකදීම ඉතා ඉවසිල්ලෙන් ඒ හැම දේ ගැනම සොයා බැලුවේය. අපනයන වන රටවල්, අපනයනය කරනු ලබන බෝග ආදිය පිළිබඳව ඔහු සොයාබැලුවේය. ඒ වනවිටත් අජිත් කොළඹට රුගෙන ගියේ මඤ්ඤොක්කා පමණි. තමන් රුගෙන ගිය මඤ්ඤොක්කා තොගය බාරදෙන්නට අජිත්ට එතරම් හදිස්සියක් තිබුණේ නැත. ඔහු ලොරිය පසෙක නතර කොට කම්පැණිය තුළ සිදුවන දේ තම දෑසින් දැක බලා ගත්තේය. දිනෙන් දිනම අජිත්ගේ හිතේ අලුත් බලාපොරොත්තුවක් මුල් ඇද්දේය. ඒ තමන්ගේ ගම් පියසේ වැවුණු මඤ්ඤොක්කා විදෙස් රටකට අපනයනය කරනා මාර්ගයක් තමන්ම සොයා ගැනීමටය. මේ හීනය අජිත්ව ධෛර්යවන්ත මිනිසෙක් බවට පත් කළේය.

ඒ කම්පැණිවලින් තොරතුරු අත්දකින ගමන් මම මේ පළදාව ලබාගන්නා විදෙස් ව්‍යාපාරිකයන් පිළිබඳව සොයා බැලුවා. කොළඹ එක්තරා කම්පැණියකින් මම දවසක් මම පැකිං කරලම බඩු ටික දෙන්නද? කියලා ඇහුවා. ඒ වෙද්දී පැකිං කිරීමේ ක්‍රමය මම දැනගෙන හිටියේ. ඒකට ඒ කම්පැණිය කැමැති වුණා. අජිත් වැඩිදුරටත් දේශයට පැවසුවේය.

වසරකට වැඩි කාලයක් මේ සම්බන්ධයෙන් සෙවීමේ කටයුතුවල නිරත වුණ අජිත්ට නව මාවතක් විවෘත විය. ඔහු ඇඹිලිපිටියේ සිට තනිවම කොළඹ වීදියක් වීදියක් ගානේ හොයා ඇසුරුම් කිරීමට අවශ්‍ය දෑ මිලදී ගත්තේය. ඒ මීට අවුරුදු හයකට පමණ පෙරදීය. අජිත්ගේ මුල්ම ඇසුරුම් බෝග තොගයම ඉතා ඉහළ පැසසුමක් ලැබුණි. එය සාර්ථක වුණි. එයින් අලුත් ගමනක් ඇරඹීය. ඔය අතරේ ඩුබායි රාජ්‍යයට ගිය අජිත් ඇසුරුම් කළ මඤ්ඤොක්කාවලට ඉහළ පැසසුමක් ලැබුණි. ඔවුන් මේවා එන්නේ කොහෙන්ද? යැයි කොළඹ කොම්පැණියෙන් සොයා බලා තිබුණි. මේ උඩවලව බඩු යැයි අවසානයේදී ඔවුන්ට දැනගන්නට ලැබුණි. ඒ වෙද්දී අජිත් අන්තර්ජාලය ඔස්සේ ඔවුන් සමඟ ව්‍යාපාරික සම්බන්ධතාවයක් ගොඩනංවා තිබුණි. ඒ හරහා ඔවුන් උඩවලවට පැමිණි ගමනේ ප්‍රතිඵලය වූයේ අජිත්ට ඍජුවම ඩුබායි රාජ්‍යයට මඤ්ඤොක්කා අපනයනය කිරීමට අවස්ථාව ලැබීමය. ඒ වෙද්දී අජිත් යම් සුළු මුදලක් ඉතිරි කරගෙන තිබුණි. එය ප්‍රමාණවත් නොවුණ නිසාවෙන් අජිත් ඔවුන්ගේ රත්රන් ආභරණ උගසට තබා මුදල් ගෙන එය තම ව්‍යාපාරයට යොමු කළේය. පහසුකම් නොලත් ව්‍යාපාරයක් ආරම්භ කර විදෙස් රටවල් හා ගනුදෙනු කිරීම අවදානම් බව අජිත් දැන සිටියේය. නමුත් ඔහු ඒ අවදානම බාරගත්තේය.

මම ගමේ අයගේ මඤ්ඤොක්කා කොටුවලට ගණන් කියල කොටුවලටම ගිහින් ඒවා ගලවා ගත්තා. ඒ දවස්වල කට්ටිය එක්ක මමත් මඤ්ඤොක්කා ගැලෙව්වා. මුලින්ම මම කොළඹට මඤ්ඤොක්කා පෙට්ටි පන්සීය, දාහ ලබාදුන්නත් ඩුබායි රාජ්‍යයට එකවර මමම මඤ්ඤොක්කා අපනයනය කරන්න අවස්ථාව ලැබුණාට පස්සේ මම සම්පූර්ණයෙන්ම කන්ටේනරයක් ඩුබායිවලට යවන්න පටන් ගත්තා. ඒ අයට ඇමතුමක් ලබලා දීලා මේ දවස්වල මොනවද ඕනේ, අඩුපාඩු මොනවද කියලා හොයල බලලා අවශ්‍ය විදිහට මම ඒ දෙවල් අපනයනය කරනවා. යැයි අජිත් රත්නසිරි වැඩිදුරටත් දේශයට පැවසීය.

මේ වෙද්දී අජිත් මඤ්ඤොක්කා, තැඹිලි, ගස්ලබු, පිටරටවලට අපනයන කරයි. ඊට අමතරව පළදාව ලැබෙන කාලවලදී ඔහු දෙහි සහ අන්නාසිද අපනයන කරයි. අජිත් රත්නසිරි තම ව්‍යාපාරය ආරම්භ කළේ තනිවමය. ඔහුගේ උදව්වට බිරිඳ, තම සහෝදර සහෝදරියන් උදව් කළද ටිකෙන් ටික ඔහු අවට ගම්වාසීන්ටද රුකියාවල් ලබා දුන්නේය. මේ වනවිට ඔහු යටතේ මෙම බෝග ඇසුරුම් කිරීමේ ක්‍රියාවලියට හැටක්, හැත්තෑවක් වැනි පිරිසක් සේවයේ යෙදෙති.

සතියකට වරක් මෙම බෝග රුගත් කන්ටේනරයක් අපනයන කෙරේ. මේ සියල්ල ඇසුරුම් කරනු ලබන්නේ අජිත්ගේ නිවෙසේය. මේ වෙද්දී අජිත්ගේ සහෝදරයන් දෙදෙනාද මෙම ව්‍යාපාරයට උදව් වෙති. මඤ්ඤොක්කා කොටුවලින් ගලවා නිවෙසට ගෙනෙන බෝග හොඳින් ඇසුරුම් කිරීමේ ක්‍රියාවලිය සොයා බලා කරනු ලබන්නේ ඔහුගේ සහෝදරයන් දෙදෙනා විසිනි. මේ වෙද්දී ගස්ලබු, තැඹිලි, මඤ්ඤොක්කා නිවසට ගෙනෙන පිරිස වැඩිය. ඒ සඳහා ඉතා සාධාරණ මුදලක් අජිත්ගෙන් ලැබුණි. මේ වෙද්දී ඩුබායි රටට අමතරව ඔහු කටාර් රාජ්‍යයට බෝග අපනයන කරයි.

මට මීට වඩා ලොකු දැනුමක් තව අවශ්‍ය වෙනවා. ඒ වගේම මගේ ළඟ දැන් සතියකට වැඩ කරන්නේ දවස් හතරක් සහ පහක් පමණයි. කන්ටේනරය ගෙනැල්ලා ඒකට තමයි අපි ඇසුරුම් කරල ගබඩා කරන්නේ. මට Cool Room එකක් නැහැ. ඒ නිසා වැඩිපුර ගාණක් තියාගෙන හරි කන්ටේනරය ගෙනැත් තියාගෙන ඒකට තමයි ඇසුරුම් කරල පටවන්නේ. කවුරුන් හෝ කෙනෙක් ආයතනයක් මට Cool Room එකක් හදල දෙනව නම් දිනපතාම වුණත් කරන්න අපිට වැඩ තියෙනවා. මේ වෙද්දී ඉල්ලුමට අනුව සැපයුම ලබාදෙන්න බැරිවෙලා තියෙනවා. මේ වෙද්දී මම ලොකුවට වගා කරනවා. ඒ විදිහට තමයි මේ බෝග ලබාදෙන්නත් සිදුවෙලා තියෙන්නේ. මේ දවස්වල අපෙන් කෝලිකුට්ටු කෙසෙල් ඉල්ලනවා. කෙසෙල් සතියකට කලින් තමයි කපන්න ඕනේ. නමුත් සමහර ගොවියෝ සතියකට පෙර කෙසෙල් කපන්න කැමැති නැහැ. ඒ නිසා මම අක්කර විස්සක විතර කෙසෙල් වගා කරලා තිබෙනවා... යැයිද අජිත් රත්නසිරි මහතා කියයි.

මේ වෙද්දී ගම්මානයේ මිනිසුන්ට රුකියා ලබාදෙමින් අජිත් ගමට විශාල සහයෝගයක් ලබාදේ. ඔහු දිරියෙන් නැගිටින ගොවි මහතෙකි. තමන් හම්බ කරපු මුදලින් යම් කොටසක් සමාජ සත්කාරවලට ලබාදෙමින් කටයුතු කරන අජිත් ආදර්ශමත් වයස අවුරුදු හතළිස් දෙකක ගොවි මහතෙකි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05