ෆේස් බුක් යනු ලොව වැඩිම පිරිසක් පරිහරණය කරන සමාජ ජාලයකි. එය ආරම්භ වූ දින සිටම එයට විශාල පිරිසක් එක්වූ අතර එයට වෙළෙඳ දැන්වීම්ද විශාල වශයෙන් ගලා එන්නට විය. පසුගිය කාලයේ එහි ආයතනික සන්නාමය &මෙටා* ලෙසින් වෙනස් කෙරුණු අතර Meta යනු Facebook, Whatsapp, Instagram, සහ Oculus යන සියලු ආයතන පවත්වාගෙන යන මව් සමාගමය.
එහෙත් පසුගිය පෙබරවාරි 2 වැනි බදාදා, එහි දෛනික ගෝලීය පරිශීලකයින් විශාල ප්‍රමාණයක් ඉන් ඉවත්ව ඇති අතර, අපේක්ෂා කළ දැන්වීම් ප්‍රමාණයද අවම වීමෙන් එම සමාගමේ කොටස් දළ වශයෙන් 26% කින් පමණ පහත වැටී තිබේ.
ඒ අනුව දළ වශයෙන් ඩොලර් බිලියන 237ක වෙළඳපළ අගය කඩා වැටීමක් එක් රුයකින් වාර්තා වූ අතර එය එක්සත් ජනපද කොටස් වෙළඳපොළ ඉතිහාසයේ විශාලතම එක්දින පහත වැටීම ලෙස සැලකේ. 2020 සැප්තැම්බර් මාසයේදී ඇපල් සමාගමේ කොටස් එක් දිනකින් ඩොලර් බිලියන 180 කින් පහත වැටීමත්, 2020 මාර්තු මාසයේදී මයික්‍රොසොෆ්ට් සමගමේ කොටස් ඩොලර් බිලියන 178 කින් පහත වැටීමත් මෙටා සමාගමේ කොටස් වෙළෙඳපළ පහත වැටීමට පෙර එක් දිනක වාර්තාගත වෙළඳපළ කඩාවැටීම් ලෙස සැලකේ.
මෙම පහත වැටීමක් සමඟ මෙටා සමාගමේ සම්පූර්ණ වෙළඳපළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 900 සිට ඩොලර් බිලියන 700 දක්වා පහත වැටි තිබේ. ඉන් පහැදිලි වන්නේ ෆේස් බුක් ආයතනයේ නව ආයතනික සන්නාමය වන මෙටා වෙත සමාජ මාධ්‍යවල ආයෝජනය කරන ආයෝජකයින්ගේ අවධානය යොමු වී නොමැති බවටය.. TikTok සමාජ ජාලය වේගයෙන් වර්ධනය වන ප්‍රතිවාදියෙකු ලෙස මතුවීමත් වැඩි ආයෝජකයන් පිරිසක් ඒ වෙතට යොමුවීමත් මෙම පසුබැසීමට හේතු වී ඇතැයිද පැවසේ. මෙටා සමාගමේ කොටස්වලින් 12.8% කට ආසන්න ප්‍රමාණයක් සතුවන්නේ මාර්ක් සකර්බර්ග්හටය.
මේ වනවිට මාර්ක් සකබර්ග්ගේ ශුද්ධ වටිනාකමද ඩොලර් බිලියන 29 කින් පමණ පහත වැටී තිබේ. ෆේස් බුක් සමාගමට විවිධ චෝදනා එල්ලවූ කාල පරිච්ඡේදවලදී පවා, ඔවුන් මෙතරම් විශාල ලෙස කඩා වැටීමකට ලක්වූයේ නැත. ෆෝබ්ස් සඟරාවට අනුව ෆේස්බුක් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සකබර්ග්ගේ ශුද්ධ වත්කම මේ වනවිට ඩොලර් බිලියන 85 දක්වා පහත වැටී තිබේ. ඒ අනුව ඔහු ෆෝබ්ස් ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවේ දොළොස්වැනි ස්ථානයට පත්ව ඇති අතර ඉන්දීය ව්‍යාපාරිකයන් වන මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි ඔහුට වඩා ඉහළින් සිටිති.
මෙවන් තත්ත්වයත් ඇතිවීමට හේතුව උද්ධමනය ඉහළ යෑම සහ සහ පොලී අනුපාත ඉහළ යාමේ බලපෑම තුළ ආයෝජකයන් මිල සඳහා අරගල කරන බැවින් තාක්‍ෂණික අංශවල කොටස් වෙළඳාම අස්ථායී බවට පත්වීම යැයි ආර්ථික විද්‍යාඥයන් මත පළකර තිබේ. මෙටා සමාගමේ කොටස් ඉක්මනින්ම යථා තත්ත්වයට පත් විය හැකි යැයි ඔවුහු විශ්වාසය පළ කරති. සකබර්ග් විසින් පසුගිය වසරේ ඩොලර් බිලියන 4.47ක් වටිනා මෙටා කොටස් විකුණා ඇතැයි වාර්තා වේ.
ෆේස් බුක් වැඩිම ආදායම උපයා ගන්නේ වෙළෙඳ දැන්වීම්වලිනි. (මෙටා සමාගමේ සමස්ත ආදායමෙන් 97%ක් පමණ ලැබෙනුයේ වෙළෙඳ ප්‍රචාරණ මගිනි.) Facebook, සහ WhatsApp පරිශීලකයන් පසුගිය මාස හතරක කාලය තුළ ක්‍රමක්‍රමයෙන් පසුබැස්ස අතර ප්‍රධාන ෆේස්බුක් යෙදවුම පරිහරණය කළ උතුරු ඇමරිකාවේ දෛනික පරිශීලකයන් මිලියන 1ක් පමණ ඔවුනට අහිමි වී තිබේ. එම පහත වැටීම ගෝලීය වශයෙන් ෆේස්බුක් දිනපතා භාවිතා කරන්නන් අවම වීමට බල පෑ අතර එය එම සමාගමේ ඉතිහාසයේ පළමු අනුක්‍රමික පහත වැටීම බව සමාගමේ ප්‍රකාශකයකු තහවුරු කර තිබේ. එහෙත් ඉන්ස්ටග්‍රෑම්හි පරිශීලක සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර එය මිලියන 10ක පමණ වැඩිවීමක් යැයි පැවසේ.
පෙර කාර්තුවේ ෆේස්බුක් දෛනික පරිශිලකයන් සංඛ්‍යාව බිලියන 1.95 වූ අතර එය මේ වනවිට බිලියන 1.93 දක්වා පහත වැටීමෙන් පැහැදිලි වන්නේ තරුණ පිරිස් ක්‍රමයෙන් ෆේස් බුක් වෙතින් ඈත්වෙමින් සිටින බව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙටා සමාගමට එරෙහිව ක්‍රියා කරන බලවේග බලවත් සහ බහුවිධ යැයි පැවසේ. 2021 අනාවරණ වූ රහස්‍ය වාර්තාවකට අනුව මෙටාහි වෙළඳ දැන්වීම් ඩොලර් බිලියන 10ක පමණ ප්‍රමාණයක් වෙනත් සමාගම් වෙත යොමු වී තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කරන පරිදි දැන්වීම්කරුවන් හට ෆේස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කර ගැනීමේ දුෂ්කරතා පවතින හෙයින් ඔවුන් තම දැන්වීම් වැඩි ප්‍රමාණයක් ගූගල් සමාගම වෙත යොමු කර ඇති බවටය.
සුළු කඩාවැටීමක් පෙන්නුම් කළද මෙටා සමාගම ලොව ලාබදායී සමාගම් අතර තවමත් විශාල ලෙස ලාබ උපදවන ආයතනයකි. එය 2021 වසරේ වෙළෙඳ දැන්වීම්වලින් පමණක් ඩොලර් බිලියන 40 කට ආසන්න ලාභයක් උපයා තිබේ. එහෙත් Quest VR (අතත්‍ය යථාර්ථ පළඳනා) හෙඩ්සෙට්, VR මෘදුකාංග, සහ AR කණ්නාඩි (පැළඳිය හැකි පරිගණක කණ්නාඩි) සහ අනෙකුත් මෙටා නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා වගකිව යුතු අංශය වන යථාර්ථ පර් යේෂණාගාර (Reality Labs) සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කිරීමට සිදුවී තිබේ. එම අංශයෙන් පසුගිය වසරේ අහිමි වූ මුදල ඩොලර් බිලියන 10.2ක් වූ අතර උපයාගෙන ඇත්තේ ඩොලර් බිලියන 2.3 ක ආදායමක් පමණි. පසුගිය බදාදා ආයෝජකයන් සමඟ පැවැති සාකච්ඡාවකදී මාර්ක් සකබර්ග් පවසා ඇත්තේ මෙටා හි මීළඟ වීආර් හෙඩ්සෙට් එක මෙම වසර අගදී නිකුත් කරන අතර එය ඉහළ මිලකට අලෙවි කරනු ඇති බවටය. ඉදිරි වසරවලදී රියැලිටි විද්‍යාගාර සඳහා ආයෝජන වැඩි කිරීමට තමා අදහස් කරන බවත් මීළඟ ප්‍රධාන පරිගණක නිර්මාණය ලෙස AR සහ VR සංයෝජනයක් හඳුන්වා දෙනු ඇති බවත් ඔහු ඉඟි කර තිබේ. මෙටා දැන් මුහුණ පා ඇති ප්‍රධානතම ගැටලුව එම ආයෝජන සඳහා යෙදවීමට සිදුවී ඇත්තේ සමාජ මාධ්‍ය ව්‍යාපාරයෙන් උපයන ආදායම වීමයි. නව වාතාවරණයට අනුගතවීම සඳහා මෙටා සමාගම එහි වෙළෙඳ දැන්වීම් යටිතල ව්‍යුහය නැවත ගොඩනඟන බව සකබර්ග් ප්‍රකාශ කර තිබේ. එහෙත් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි ඔහු සඳහන් කර නොමැත.
දෛනික පරිශීලකයන් ආකර්ෂණය කර ගැනීම සහ තමන් වෙත නතු කරතබා ගැනීමද මෙටා සමාගමට ගැටලුවක් වී තිබේ. එම සමාගමේ ප්‍රධාන තාක්‍ෂණ නිලධාරී ඩේව් වෙනර් සඳහන් කර ඇති පරිදි කොරොනා වෛරස සීමා ලිහිල් වී ඇති බැවින් මිනිසුන් නිවෙස්වල විනෝදවීම අවම කර ඇති බැවින් ෆේස්බුක් භාවිතයේ අඩුවීමක් දුටු බවයි. ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 340 ක් වෙසෙන ඉන්දියාවේ අන්තර්ජාල ගාස්තු ඉහළ යාම ගැන ද ඔහු දෝෂාරෝපණය කළේය. TikTok යෙදවුම මේ වනවිට මෙටා සමාගමේ සමාජ ජාලාවලින් තරුණ පරිශීලකයන් ඈත් කරමින් සිටින බවද වාර්තා වේ.
මෙටාවර්ස් යනු විවිධ අථත්‍ය අවකාශයන් ඒකාබද්ධ කරන ස්ථීර, සබැඳි, ත්‍රිමාණ විශ්වීය සංකල්පයකි. එය අන්තර්ජාලයේ අනාගත පුනරාවර්තනයක් ලෙස සිතිය හැකිය. මෙටාවර්ස් පරිශීලකයන්ට මෙම ත්‍රිමාණ අවකාශයන් තුළ එකට වැඩ කිරීමට, හමුවීමට, ක්‍රීඩා කිරීමට සහ සමාජගත වීමට හැකිවේ.
පර් යේෂණ ආයතනයක් වන ග්ලෝබල් ඩේටා සමාගමේ විශ්ලේෂකයකු වන රේචල් ජෝන්ස් සඳහන් කර ඇත්තේ “මෙටා සමාගම මගින් මෙටාවර්ස් කෙරෙහි ආකර්ෂණය ඇති කිරිම සඳහා එහි මූලික ව්‍යාපාරික ආකෘතිය නිර්මාණය කර ඇති බවයි.* මෙටාවර්ස් මත විශාල ලෙස ආයෝජනය කිරීම අවැදගත් දෙයක් නොවේ. තාක්‍ෂණය ඉතා ප්‍රබල වන අතර අවස්ථා රාශියක් නිර්මාණය කරන්නකි. එය විශාල ලෙස ව්‍යාප්ත වීමට අවම වශයෙන් තවත් දශකයක්වත් ගතවනු ඇත.” යනුවෙනි. එහෙයින් මෙටා සමාගම අද දිනයේ යම් කඩා වැටීමකට මුහුණ දුන්නද අනාගතයේ වඩාත් ශක්තිමත්ව නැඝී සිටිනු ඇතැයි බොහෝ විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා