2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

ඉන්දියාවේ ස්කූටර් රාජා සමුගනිියි!

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 234

ඉන්දියාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන බජාජ් ඔටෝහි හිටපු සභාපති රාහුල් බජාජ්  මිය ගියේය. දුප්පතාගේ වාහනය ලෙස හැඳින්වෙන බජාජ් ස්කූටරය ලොවපුරා ප්‍රචලිත කිරීමට සමත් වූ ඉන්දියානුවා ඔහුය. ඒ නිසාම බජාජ් ස්කූටර් රාජා ලෙස ඔහු ප්‍රකටය. බජාජ් සමූහ ව්‍යාපාරය හිමිව තිබූ ඔහු පූනේහිදී මියගොස් ඇති අතර මිය යනවිට වයස අවුරුදු 83කි. ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව මැද සිදුකෙරුණේ එක්තරා යුගයක නිමාවක් සනිටුහන් කරමිනි. රටේ පිළිගත් හඬක් තිබූ ඔහු ජනතා ගෞරවය සහ ආදරය නොමඳව හිමිකරගත් තැනැත්තෙකි.

ඉන්දියාවේ ප්‍රවීණ කර්මාන්තකරුවෙකු වන ඔහු වාහන ක්ෂේත්‍රයේ පෙරුළියක් කළ බජාජ් ඔටෝ පමණක් නොව ජීවිත රක්‍ෂණ, ආයෝජන සහ මූල්‍ය, ගෘහ උපකරණ, විදුලි ලාම්පු, සුළං බලශක්තිය, ලෝහ, වානේ ඇතුළු තවත් නිෂ්පාදන සහිත බජාජ් සමාගම් සමූහයේම ප්‍රධානියා විය. බජාජ් ඔටෝ ලොව විශාලතම ත්‍රිරෝද රථ නිෂ්පාදකයාය. එසේම ලොව තුන්වැනි විශාලතම යතුරුපැදි නිෂ්පාදකයාද වේ. ෆෝබ්ස් පෙළගැස්මට අනුව මියයන මොහොත වනවිට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 8.2ක් වූ අතර ඔහු ලෝකයේ බිලියනපතියන් අතර 302 ස්ථානයේ සිටියේය.

රාහුල් බජාජ් උපත ලැබුවේ 1938 ජූනි 10 වැනිදා, කමල්නායන් බජාජ් සහ සාවිත්‍රි බජාජ්ට දාවය. ඔහු මහත්මා ගාන්ධිගේ සමීපතමයෙකු වූ ඉන්දීය නිදහස් සටන්කාමී ජම්නලාල් බජාජ්ගේ මුණුපුරා විය. බජාජ් එක්සත් ජනපදයේ හාවර්ඩ් ව්‍යාපාරික පාසල, දිල්ලියේ ශාන්ත ස්ටීවන් විද්‍යාලය, මුම්බායි රජයේ නීති විද්‍යාලයේ සහ ජෝන් කොනන් පාසලේ ආදි සිසුවෙකි.

ඔහුගේ පුතුන් වන රජිව් බජාජ් සහ සංජිව් බජාජ් ඔහුගේ සමාගම්වල කළමනාකාරීත්වයට සම්බන්ධය. ඔහුගේ දියණිය සුනයිනා විවාහ වී සිටින්නේ Temasek India හි හිටපු ප්‍රධානියා වන මනීෂ් කෙජ්රිවාල් සමඟිනි.

රාහුල් බජාජ් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස ඔහුගේ පියාගේ ව්‍යාපාරයට එකතුවිය. එහි ඔහු අලෙවිකරණය, ගිණුම්, මිලදී ගැනීම සහ විගණනය වැනි සමාගමේ ප්‍රධාන දෙපාර්තමේන්තුව භාරව සිටියේය. බජාජ් ඔටෝහි ප්‍රධාන විධායක නිලධාරී නාවික කේ. ෆිරෝඩියාගේ මඟපෙන්වීම යටතේ රාහුල් ව්‍යාපාරයේ සූක්ෂම හැකියාවන් වර්ධනය කර ගත්තේය. පසුව Firodia සහ Bajaj දෙදෙනා වෙන් විය. 1972දී ඔහුගේ පියා අභාවප්‍රාප්ත වූ පසු රාහුල් බජාජ් ඔටෝහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත්කරන ලදී. ඔහුගේ නායකත්වය යටතේ සමාගම දැවැන්ත වර්ධනයක් අත්කර ගත්තේය. රාහුල් බජාජ් සමාගම 1970 සහ 80 ගණන් වලදී ගොඩනඟා ඇත. ඔහු ඩොලර් බිලියන ගණනක ආදායම් උපයන මට්ටමට සමාගමේ ආදායම වැඩි කළේය. යතුරුපැදි වෙළඳපළට අලුත්ම හඳුන්වා දීමක් කළ නිසා Chetak සහ Bajaj Super මාදිලි ඉන්දියානු වෙළඳපොළේ ප්‍රසිද්ධියට පත්වූයේ ඔහුගේ මුලපිරීමෙනි. මුලින් ඉතාලි Vespa Sprint මත පදනම් වූ Chetak දශක ගණනාවක් පුරා මිලියන ගණනක් ඉන්දියානුවන්ට දැරිය හැකි ප්‍රවාහන මාධ්‍යයක් වූ අතර එය 'හමාරා බජාජ්' ලෙස කාගේත් මතකයේ රැඳී ඇත‍.

Honda, Yamaha සහ Suzuki වැනි ජපන් තරගකරුවන් නව යතුරුපැදි හඳුන්වාදීම සහ ඉන්දියාවේ වෙළඳපොළේ ගතිකත්වය වෙනස් කිරීම හේතුවෙන් වෙළඳපළ ලිබරල්කරණයෙන් පසු 2001දී පමණ Bajaj විකුණුම් පහත වැටුණි. එහෙත්, ඵලදායී අලෙවිකරණය සහ ප්‍රවර්ධනය සමඟ එය ඉක්මනින් පාඩුවෙන යථා තත්ත්වයට පත් විය. බජාජ් ඔටෝ ප්‍රතිනිර්මාණය කර රාහුල් බජාජ්, පල්සර් යතුරුපැදිය ඉදිරිපත් කළේය. 2008 දී ඔහු බජාජ් ඔටෝ ඒකක තුනකට බෙදන්නට කටයුතු කළේය. ඒ බජාජ් ඔටෝ, මූල්‍ය සමාගමක් වන බජාජ් ෆින්සර්ව් සහ හෝල්ඩින් කම්පැණි ලෙසිනි. ඔහුගේ පුතුන් දැන් මේ සමාගමේ එදිනෙදා කටයුතු කළමනාකරණය කරයි.

රාහුල් බජාජ් ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) සහ ඉන්දීය මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමයේ (SIAM) සභාපතිවරයා ලෙසද  කටයුතු කර ඇත. ඔහු ඉන්දිය ව්‍යාපාරික ආයතනික කවයන් තුළ ප්‍රසිද්ධ හාදයෙකි. රාහුල් බජාජ් සෑමවිටම සරලව කතා කරන අයෙකු ලෙස සලකනු ලැබූ අතර ඔහුගේ මිතුරන් ඔහුව හැඳින්වූයේ 'බිය රහිත තැනැත්තෙකු' ලෙසය. 1970 ගණන්වලදී, ඉතාලියේ Piaggio බජාජ්ගේ බලපත්‍රය අලුත් නොකළ විට, ඔහු Chetak සහ Super වැනි නම් සහිත ඔහුගේම ස්කූටර සන්නාමයක් නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේ ඒ නිර්භීත බව නිසාය.

ඉන්දිරා ගාන්ධි යටතේ රජය “රාජ් බලපත්‍ර” නම් ක්‍රමයක් යටතේ නිෂ්පාදන නියාමනයට කටයුතු කළේය. මේ සීමාවන් හේතුවෙන්, ස්කූටරය ලබා ගැනීමට ගැනුම්කරුවන්ට වෙන්කර වසර ගණනාවක් බලා සිටීමට සිදුවිය. කෙසේ වෙතත්, රාහුල් රාජ් බලපත්‍ර ක්‍රමයට ප්‍රසිද්ධියේ විරෝධය පළ කළේය. සම්මුඛ සාකච්ඡාවකදී රාහුල් කියා සිටියේ බොහෝ ඉන්දියානුවන්ට අවශ්‍ය භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා සිරගෙට යාමට සිදුවුවහොත් තමාට ඒ වුවද කමක් නැති බවයි.

2019 නොවැම්බර් 30 වැනි දින ඔහු ට්විටර් වෙබ් අඩවියේ තියුණු විවාදයක් ඇති කළේ රට තුළ භීතියේ වාතාවරණයක් පවතින බවත් රජය විවේචනය කිරීමට මිනිසුන් බියවන බවත් පැවසීමෙන් පසුවය.

&UPA II බලයේ සිටින විට, අපට ඕනෑම කෙනෙකුට විවේචනය කළ හැකි විය, දැන් පවතින්නේ භීතියේ වාතාවරණයක්* රාහුල් බජාජ් පැවසීය. මැර ඝාතනවලට එරෙහිව එන්.ඩී.ඒ. ආණ්ඩුව ක්‍රියා නොකිරීම සහ භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රග්‍යා තාකූර් විසින් නාතුරාම් ගොඩ්සේ පිළිබඳව ඉන්දීය ඉන්කෝපරේෂන් ප්‍රවීණයන්ගේ සහ ඉහළ දේශපාලන නායකයින්ගේ එකතුවකදී මෑතකදී කළ ප්‍රකාශය ගැන ඔහු සඳහන් කළේය. ප්‍රවීණ කර්මාන්තකරුවාගේ අවංක ප්‍රකාශය වත්මන් ආණ්ඩුවේ විවේචකයන්ගේ ප්‍රසාදයට හේතු විය. වඩාත්ම අපූරුව වන්නේ සිය රජය විවේචනය කළත් අගමැති මෝදි  ද රාහුල් බජාජ් විශිෂ්ටයෙක් ලෙස ගෞරවයෙන් යුතුව සැලකීමය.

බජාජ් 2022 පෙබරවාරි 12 වැනි දින, වයස අවුරුදු 83 දී නියුමෝනියාවෙන් අභාවප්‍රාප්ත විය. ඔහු මීට පෙර පූනේහි රෑබි හෝල් සායනයට ඇතුළත් කර, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු මිය යාමට පෙර හෘදයාබාධයකින්ද පීඩා විඳ ඇති බව වාර්තා විය.

 සුගත් පී. කුලතුංගආරච්චි