2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

රන්ජන් තවමත් එකතැනමය...

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 58

රන්ජන් යනු වර්තමාන සිංහල සිනමාවේ සුපර්ස්ටාර්ය. රන්ජන් සිනමාවේදී අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සටන් කරන යුක්තිය සාධාරණයේ වීරයාය. ඒ දේම රන්ජන් දේශපාලනයේ කරන්න ගොස් අවසානයේ කට වරද්දාගෙන වැලිකඩ කූඩුවක ජීවිතේ ගෙවමින් ඇත. රන්ජන් සිනමාවේ පමණක් නොව දේශපාලනයේ පවා මහා ආන්දෝලනාත්මක පුද්ගලයකි. කට කැඩිච්ච කතා වගේම කියන්න තියෙන දේ කෙලින්ම කියන්නට හපනෙකි. කටට බ්‍රේක් නැත. සීමා නැත. ඒ නිසාම අවාසනාවකට රන්ජන්ට පාර වැරදුණේ කිසිවක් හිතාගත නොහැකි මොහොතකය.

 

කෙසේ වෙතත් එලෙස සිරගත වූ රන්ජන් වෙනුවෙන් නොයෙකුත් වැඩසටහන් පහුගිය කාලය පුරාම ක්‍රියාත්මක වුණේය. ඒ රන්ජන් එළියට ගැනීම සඳහාය. අත්සන් ගත්තේය. ඉල්ලීම් කළේය. දේවාලවල ගියේය. පොල් ගැසුවේය. මේ සියල්ලම රන්ජන් වෙනුවෙන් ක්‍රියාත්මක වුණු වැඩසටහන්ය. එහෙත් තවම රන්ජන් එළියට ආවේ නැත. රන්ජන් මෙවර පෙබරවාරි 4 නිදහස් දවසේ එළියට එන බව බොහෝදෙනා කතා වුණේය. ඒත් රන්ජන් එළියට ආවේ නැත. දැන් රන්ජන් සිරගත වී අවුරුද්දකටත් වැඩිය.
දැන් රන්ජන් මෙලෙස එළියට එන්නේ කාලය නිමවී නොවේය. අවුරුදු තුනකට හිරේ ගිය රන්ජන් අවුරුද්දෙන් එළියට එයි කියා බොහෝ අය හිතන්නේ ජනාධිපති සමාව යටතේය. ජනාධිපතිවරයාගේ අනුකම්පාව හිමිව රන්ජන්ට සිපිරි ගෙදරින් ගෙදරට යාමට හැකි වෙතැයි බොහෝදෙනාගේ අපේක්ෂාව වී ඇත. කෙසේ වෙතත් මේ රන්ජන්ගේ කතාව පිටුපස ඇහෙන එක එක කතාය.

රන්ජන් නිදහස් කරගැනීම සඳහා විපක්ෂයේ විවිධ වැඩසටහන් තිබුණත් ඇත්තටම ඒ වැඩසටහන්වල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති බව ඇතුළෙන්ම දැන් දැන් ආරංචි ඇසෙන්නට පටන් ගෙන ඇත. විශේෂයෙන් රන්ජන්ගේ හිතවතුන් මෙන්න සජබ ඇතැම් සාමාජිකයන් පවා විවේචනය කරන්නේ රන්ජන් එළියට ගැනීමට විපක්ෂයේ ඇති සටන් දියාරු ඒවා බවය. විශේෂයෙන් විපක්ෂනායකවරයා මීට වඩා ප්‍රබල සටනක් දෙනු ඇතැයි බොහෝ අය සිතූ බව ඒ අයගේ අදහස වී ඇත.

කෙසේ වෙතත් රන්ජන් රාමනයක සිරගත වන තෙක්ම ඔහුට විපක්ෂයෙන් පිළිගත හැකි නීති ආධාර නොලැබුණු බව බහුතරයකගේ අදහස වී තිබේ. රන්ජන් සිරගත වූ පසුව ජනපති සමාව ලබාගන්න සුදානම් වනවිටදී විපක්ෂනායකවරයා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් සිදුකළත් රන්ජන් තවම ඒ සඳහා ඉල්ලීමක් කර නොමැති බව දැනගන්නට ඇත. ඒ නිසා එවැනි අභියාචනාවක් නොකර සමාව දීම ගැටලුවක්ව ඇති බව පක්ෂයේ අය පවසති. ඒ නිසා මේ ජනාධිපති සමාව කල් ගොස් ඇති බව තවත් අය කියති.

කෙසේ වෙතත් නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයන්ගේ මතය වී ඇත්තේ  රන්ජන්ට සමාවක් නොදිය යුතු කියාය. එයට හේතු වී ඇත්තේ රන්ජන්ට එරෙහිව තවම අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් විභාග වෙමින් පවතින නිසාය. ඒ නිසා ඒ නඩුවේ තීන්දුව ලැබීමට කලින් ජනාධිපතිවරයා ඔහුව නිදහස් කළොත් එය අධිකරණ පද්ධතියටම කරන වරදක් බව ඔවුන්ගේ මතය වී ඇත.

මේ අතර රන්ජන් නිදහස් කර ගැනීමේ සටන විපක්ෂය විසින් කණ්ඩායම් කීපයක් විසින් මෙහෙයවන තැනට පත්ව තිබුණේය. අවසානයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සටන අතට ගන්නා බවට විපක්ෂ නායකවරයා දැනුවත් කළේය. එහෙත් විපක්ෂ නායකවරයා ඒ සියල්ල අමතක කර මේ සටන තරුණ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බව ප්‍රසිද්ධියේ කීවේය. මෙයට හරීන්ගේ හිත රිදුණේය. ඒ ඔහු ඊට නායකත්වය ගන්නා බව එළිපිට කියා තිබියදී සජිත් ඒ ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීම නිසාය. මේ නිසා බොහෝ අය කිවේ රන්ජන් එළියට ගැනීමට නිසි වැඩපිළිවෙක් නැති බව කියාය.

විපක්ෂය ඒ අකාරයෙන් පිස්සු නටනවිට නළු නිළියන් රන්ජන් වෙනුවෙන් පෙරට ආවේය. කමල් අද්දරආරච්චි, රන්ජන් සමඟ කාලයක් ගැටුමක සිටි අර්ජුන කමලනාත්, දිල්හානි අශෝකමාලා, රූකාන්ත, චන්ද්‍රලේඛා, විශේෂයෙන් ගීතා කුමාරසිංහ වැනි ප්‍රවීණ නළු නිළියන්, ගායක ගායිකාවන් රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සටන ආරම්භ කළේය. එහෙත් පුදුමය නම් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නළුවන් කිසිවකුත් රන්ජන් වෙනුවෙන් කටක් ඇරියේ නැත. මෙය බොහෝදෙනාගේ විවේචනයට ලක්විය.

කෙසේ වෙතත් මේ නළු නිළියන් රන්ජන්ගේ නිදහස වෙනුවෙන් ජනාධිපති හොයාගෙන යාම වෙනුවට ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වන නිශ්ශංක සේනාධිපති සොයාගෙන ගියේය. නිශ්ශංක කීවේ රන්ජන් නිදහස් කරගැනීමේ සටන වෙනුවෙන් උපරිමය සිදුකරන බවටය. යහපාලන රජයේදී ඇවන්ඩ්ගාර්ඩ් සමාගමට විරුද්ධව සටන් කළ රන්ජන් වෙනුවෙන් මේ අකාරයෙන් නිශ්ශංක ඉදිරිපත්වීමම බොහෝදෙනාට ප්‍රශ්නයක් විය.

මේ අතර බන්ධානාගාරය පැත්තෙන් අහන්න ලැබුණේ රන්ජන්ට දැන් ඉස්සරට වඩා බන්ධනාගාරය තුළ සැලකුම් ටිකක් වැඩි බවය. එයට හේතු වී ඇත්තේ රන්ජන්ගේ අධ්‍යාපන වැඩකටයුතු සඳහා පූර්ණ සහායක් රජයේ ප්‍රබලයකුගෙන් හිමිවන බවය. රන්ජන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම සිරගෙදර නිදහස් අවකාශයක් සඳහා මෙම පුද්ගලයා විශාල වැඩ කොටසක් සිදුකර තිබේ. රන්ජන්ගේ කාලයක් හතුරකුව සිටි මොහු දැන් රන්ජන්ගේ හොඳම මිතුරා පමණක් නොව දැන් රන්ජන් බලන්නට යන අය පවා ඔහුට කතාකර රන්ජන්ට කරන උදව් උපකාරවලට ස්තූති කිරීමට පවා සිදුව ඇත. ඒ තරමට දැන් රන්ජන්ගේ ලෝකයේ වීරයා වී ඇත.

මේ අතර රන්ජන්ගේ පවුලේ අය රන්ජන් එළියට ආ පසුව කාලයක් ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට තීන්දු කර ඇත. ඒ සම්බන්ධයෙන් ඇතැම් අයට පවා පවසා අති බව දැනගන්නට ඇත. එයට හේතුව රන්ජන් කාලයක් දේශපාලනයෙන් ඈත් කර තැබීම පවුලේ අයගේ කැමැත්ත වී තිබෙන නිසාය. එහෙත් මේවා ඇත්තද? කළ හැකිද? යන්න පිළිබඳ ප්‍රශ්න ඇත. ඒ රන්ජන්ට එරෙහිව ඇති නඩු කන්දරාව නිසාය.

පෙබරවාරි 4 වැනිදා රන්ජන් එළියට ගැනීමට නොයෙකුත් උත්සාහ දැරුවත් එය සාර්ථක වුයේ නැත. මේ නිසා දැන් ඒ ආරම්භයේ තිබූ ජවය දැන් නැත. දැන් ආයෙත් රන්ජන් ගැන සද්දයක් නැත. කෙසේ වෙතත් මේ අතර රන්ජන් එළියට ගැනීම සඳහා එජාප නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සජබයේ මන්ත්‍රීවරු පිරිසකට උපදෙසක් ලබාදී තිබුණේය. ඒ හැකි ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනුකරන ලෙසය. එහිදී රන්ජන්ගෙ දඬුවම් කාලය අඩුකිරීම හෝ සමාව ගෙන මෙය සමථයකට පත් කරගන්නා ලෙසට උපදෙස් දී ඇත. ඒ නිසා දැන් අන්තිම තුරුම්පුව වී ඇත්තේ එයය. ජනාධිපතිවරයා සමාව ලබානොදුනහොත් අධිකරණයට යාම අන්තිම අවස්ථාව වනු ඇත. ඒ නිසා දැන් සියල්ල තීරණය කළ යුත්තේ අධිකරණයමය. රන්ජන්ට අවසානයේ එකම පිළිතුරු වී ඇත්තේද ඔහු එරෙහි වූ අධිකරණයමය. එය දෛවෝපගත සිද්ධියකි.

I ගයාන් ගාල්ලගේ