2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

අස්වනු කැපෙන රජරට ගොවීන්ගේ ඉරණම!

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 76

රජයේ පිළිවෙත හරිත කෘෂිකර්මාන්තය හෙයින් ලබන යල් කන්නයේද වී වගාව සඳහා නිකුත් කරනුයේ කාබනික පොහොර බව කෘෂිකර්ම දෙපාරතමේන්තුව කියයි. ඒ අනුව ඝන පොහොර, කාබනික දියර පොහොර සහ ජෛව පොහොර ගොවීන්ට නොමිලයේ  නිකුත් කරන බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. පොහොර නිර්දේශය වනුයේ හෙක්ටයාරයකට පොහොර ටොන් එකක් බවත් ඇතැම්විට දිස්ත්‍රික්ක අනුව එහි කිසියම් වෙනස්වීමක් සිදුවිය හැකි බවද ඒ මහතා කීය. පසුගිය කන්නයේ ඇතැම් ප්‍රදේශවල කලට වේලාවට පොහොර නෙලැබුණු බවට ගොවීන්ගෙන් පැමිණිලි ලැබුණු බව කී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ඉදිරි කන්නයේ එම අඩුපාඩු මඟහරවා ගනිමින් පොහොර බෙදාහැරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා හරිත කෘෂිකර්මාන්තය සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සහාය ඇතිව සම්බන්‍ධීකරණය සඳහා යුද හමුදා නිලධාරීන්ද යොදවන බව කීය. 

මේ අතර රජය වී කිලෝවේ සහතික මිල පෙර පැවැති මිලට වඩා දෙගුණයකින් පමණ වැඩිකර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජක්‍ෂ මහතාගේ උපදෙස් මත ගොවියාට ඉතිහාසයේ මෙතෙක් කවරදාකවත් ලබා නොදුන් සහතික මිලක් මෙවර වී කිලෝවට ලබාදී ඇතැයි රජය කියයි. 

ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 90ක් සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 92ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 95ක් වශයෙන් රජයේ සහතික මිලක් නියම කර තිබේ. රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත රුගෙන එන සෑම වී කිලෝවක් සඳහාම රුපියල් දෙක බැගින් ප්‍රවාහණ ගාස්තුවක්ද ගෙවීමට කටයුතු යොදා ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි. උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ වී වගාකරන දිස්ත්‍රික්කවල මාස් කන්නයේ ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයිද වී අලෙවි මණ්ඩලය කියයි.  

උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ වී නිෂ්පාදනය කරන දිස්ත්‍රික්ක බොහොමයක මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී තිබේ. එහෙත් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මාස් කන්නයේ වී අස්වැන්න නෙළීම ඇරැඹීමට තව සති දෙක තුනක්වත් ගතවනු ඇතැයි ගොවීහු කියති. පොහොර ප්‍රශ්නය නිසා මෙවර මාස් කන්නයේ බොහෝ ප්‍රදේශවල වී වගාව ආරම්භ කිරීම ප්‍රමාද වූ බවයි  ගොවීන් පවසන්නේ. දැනට අස්වැන්න නෙලීම සිදුකෙරෙන ප්‍රදේශවලින් ලැබෙන තොරතුරු අනුව මෙවර අස්වැන්න සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කරති.

මේ අතර රජය නියම කර තිබෙන සහතික මිලට රජයට වී දෙන්නට තමන් සූදානම් නැතැයිද පොළොන්නරුවේ ගොවීහු පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළහ. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වෙල්යායේ පැවැති එම මාධ්‍ය හමුවේදී ගොවි නායකයන් කියා සිටියේ වී කිලෝව රුපියල් 120ක මිලට වඩා අඩුවෙන් අලෙවි කරන්නට තමන් සූදානම් නැති බවයි. දැනටමත් වී කිලෝවක මිල රුපියල් 120ට වඩා වැඩියෙන්  වෙළඳපොළේ පවතින බවද ඔවුහු කියා සිටියහ. වකුගඩු දෙක බේරා ගැනීම සඳහා අපට කාබනික පොහොර යොදා වී වගා කරන්නැයි උපදෙස් දී දැන් රටින් ගේන හාල් කාබනිකදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද ඔවුහු කීහ.

වන්දි ගෙවලා පාඩු පියවන්න පුළුවන්ද?

එහිදී අදහස් දැක්වූ පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා මෙසේ කියා සිටියේය.

“කාබනික පොහොර භාවිතය නිසා අද ගොවීන්ට සිද්ධ වෙලා තියෙන දේ ගැන කථා කරනකොට සියයට 40ක් 50ක් වී අස්වැන්න අඩුවෙන බව අපි මුලදී කිව්වා. දැන් අස්වැන්න නෙළන අනෙක් දිස්ත්‍රික්ක දිහා බලනකොට සීයට 60ක් විතර අඩුවෙලා. මේකට විකල්පයක් විදියට මහින්දානන්ද ඇමතිතුමා කියනවා මිලියන 40,000ක් වෙන්කරලා කියලා ගොවීන්ට වන්දි ගෙවන්න. මේක වහලා ගහන්නේ. මම ලංකාවේ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ ප්‍රකාශය ගැන නැවත නැවත අධ්‍යයනය කරන්න. මේ මොනවද කියන්නේ කියලා. මේ ගෙවන වන්දි මුදල ගැන නිකම් ගණන් හදලා බැලුවොත් හෙක්ටයාර් එකකට ලැබෙන්නේ රුපියල් 50,000යි. මේ වෙනකොට හෙක්ටයාර් එකකට ගොවියා වියදම් කරලා තියෙනවා රුපියල් ලක්‍ෂ දෙක හමාරක් විතර. එතකොට අස්වැන්න සියයට පණහක් අඩුවෙලා. සාමාන්‍යයෙන් කිලෝ 5000ක් හෙක්ටයාර් එකකින් ගන්නවා. දැන් 2,500යි හම්බවෙන්නේ. මෙතැන විශාල පාඩුවක් තියෙනවා ගොවියාට. ඒක රුපියල් 50,000කින් පියවන්න පුළුවන්ද? මුලින්ම අපිට පොහොර ටික දුන්නා නම් මේ ප්‍රශ්න මොනවත් නෑ. මිනිස්සුන්ට කන්න නැතිවෙනවා කියලා රටින් හාල් ගේනවා. අපි අහනවා ආණ්ඩුවෙන් රටින් ගේන ඒවා කාබනිකද කියලා. වකුගඩු දෙක රැකගන්න කාබනික වගාව කරන්න කියලා අපිට කිව්වා. චීනය රසායනික පොහොර වැඩිපුරම භාවිතා කරන රටක්. ලංකාවේ වී ගොවියා ගැන වගකිවයුතු මැති ඇමැති කිසිම කෙනෙක් කථා කරන්නේ නෑ. ඒකයි මේ රටට හෙණ ගහලා සාකච්ජා කරලා තීරණ තීන්දු ගන්න කියලා. කාබනික පොහොර භාවිතය නිසා පාඩු ලබන ගොවීන්ට වී කිලෝවට රුපියල් 25 බැගින් වන්දි ගෙවන බවට මහින්දානන්ද ඇමතිවරයා කරන ප්‍රකාශය එහෙම පිටින්ම ප්‍රෝඩාවක්. මේ ප්‍රෝඩාවලට අහුවෙන්න එපා කියලා අපි ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.” 

වී වගාව සඳහා රසායනික පොහොර නොලැබීම සම්බන්‍ධයෙන් බොහෝ ගොවීන් වෙතින් බලවත් මැසිවිලි නැගෙන බව නොරහසකි. ඇතැම් ගොවීන් අධික මිල ගණන් ගෙවා රසායනික පොහොර මිලදී ගෙන වගාවට යෙදූ බව අප සමඟ කීහ. තවත් සමහරු පසුගිය කන්නයේ තමන් ළඟ ඉතිරිව තිබූ රසායනික පොහොර මෙවර යෙදූ බව කියා සිටියහ. එසේ වුවද රජයේ හරිත පිළිවෙත අනුව යමින් වී කාබනික පොහොර පමණක් යොදා වී වගාකළ ගොවීහුද වෙති. එලෙස කාබනික පොහොර පමණක් යොදා සාර්ථක ලෙස වී වගාකර ඇති එම ගොවීන් ප්‍රකාශ කලේ කාබනික වගාව යනු මේ මහ පොළොවේ ක්‍රියාත්මක කළ නොහැකි දෙයක් නොවන බව තමන් ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන බවය. 

මම කළ කාබනික වගාව සාර්ථකයි

ඔවුන් සොයාගිය ගමනේදී ගිරිතලේ මහ ගොවිජනපද ව්‍යාපාරයට ජයන්තිපුර වෙල්යායේදී අපට මුණගැසුණු සිරිල් කුරේ ගොවි මහතා දශක හතරකට ආසන්න කාලයක් වී වගාවේ අත්දැකීම් බහුල අයෙකි. එම කාලසීමාව තුළ කවරදාකවත් තමන් රසායනික පොහොර මිස කාබනික පොහොර යොදා වී වගාකර නොමැති බවයි. එහෙත් මෙවර ප්‍රථම වතාවට කාබනික පොහොර යොදා කුඹුරු අක්කර එක හමාරක වී වගාකළ බවත් එය ඉතාමත් සාර්ථක බව තමන්ට පෙනී යන බවත් කීය.  
“මම කවදාවත් රසායනික පොහොර හැර වෙනත් පොහොර යොදලා වී වගා කරලා නෑ. නමුත් රජයෙන් කියලා තිබුණා මින් ඉදිරියට රසායනික පොහොර ගෙන්වන්නේ නෑ කියලා. එහෙම වුණා කියලා වී ගොවිතැන අත් හරින්න බැහැනේ. ඒ නිසා මම තීරණය කළා කාබනික පොහොර යොදලා ගොවිතැන කරනවා කියලා. හැබැයි මම ආණ්ඩුවෙන් දීපු දියර පොහොර යෙදුවේ නෑ. පොටෑෂ් විතරයි යෙදුවේ. ඒකත් මගේ කාබනික පොහොරවලට කලවම් කරලා. ඒ හැර වෙනත්  කිසිම පොහොරක් භාවිතා කළේ නෑ. මම නිෂ්පාදනය කරපු කාබනික පොහොර විතරමයි යෙදුවේ. හැබැයි එකම එක වතාවක් වල් නාශක යෙදුවා. වී වපුරලා ඉවර වෙලා වල් ඇට පැලවීම වළක්වන්න කුඹුරට යොදන වල් නාශක ගැහුවා. එච්චරමයි. ඊට පස්සේ මුර දෙකක් කාබනික පොහොර ගැහුවා. ඒවා මම කලින් කීවා වගේ මම නිෂ්පාදනය කළ කාබනික පොහොර තමා මම කුඹුරට යෙදුවේ. ඒ පොහොර නිපදවා ගැනීම සඳහා උවමනා අමුද්‍රව්‍ය සෑම එකක්ම මගේ ළඟ තිබෙනවා. මගේ ළඟ දැනට කිරි එළදෙනුන් හය දෙනෙක් ඉන්නවා. ඒ සතුන් ඇතිකරන ගවගාල ඉදිකරලා තිබෙන්නේ මගේ කුඹුරෙමයි. ඒ ගවයින්ගෙන්  ලැබෙන ගොම, ගව මූත්‍රා සියල්ලක්ම මම එකතුකර ගන්නවා. ගිනි සීරියා අතු, පිදුරු ඒ ආදිය මට මගේ කුඹුර අවට පරිසරයේ අවශ්‍ය තරම් තියෙනවා. ඒ නිසා ඉතාම පහසුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව මට තිබෙනවා. මේ කන්නයේ මගේ වගාවට යොදල අතිරික්ත ප්‍රමාණයකුත් දැනට මා සතුව තියෙනවා. ඊට අමතරව මම තවදුරත් කාබනික පොහොර නිපදවමින් ඉන්නවා. ඒ මොකද මගේ බලාපොරොත්තුව ඉදිරි කන්නයේ මුළු කුඹුරම කාබනික පොහොර පමණක් යොදලා වගා කරන්න. මම කලින් කිව්වා මගේ කුඹුරෙන් බාගයක් පමණයි මම කාබනික පොහොර යොදලා වගා කළේ කියලා. මොකද මට මුලදි පොඩි බයක් ඇතිවුණා වගාව අසාර්ථක වෙයිද කියලා. නමුත් දැන් ඒ බය නැතුව ගියා මට ඉතාම වගකීමකින් කියන්න පුළුවන් කාබනික පොහොර විතරක් යොදල කරපු වගාව ඉතාම සාර්ථකයි කියලා.''

එක රැයින් වෙනස් කරන්න බෑ

එසේ වුවද වාණිජ බෝගයක් ලෙස වී වගාකරන ගොවීන්ට වැඩි අස්වැන්නක් ලැබීමට නම් රසායනික පොහොර නොමැතිව එම ඉලක්කය කරා යාමට නොහැකි බවයි කෘෂි විද්‍යාඥයින් පවා පෙන්වා දෙන්නේ. වර්තමානයේ ඇතිවී තිබෙන පොහොර අර්බුදය හේතුවෙන් වී වගාව අත්හරින්ට ඇතැම් ගොවීන් ගෙන ඇති තීරණය පිළිබඳ කාරණයේදී පැළෑටි කායික විද්‍යාඥයෙකු වන මහාචාර්ය සමන් සෙනෙවීරයන්ගෙන් අප කළ විමසුමට පිළිතුරු දෙමින් කියා සිටියේ කාබනික වගාව වරදක් නොවෙයි. එය අපේ රටේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ආකාරයේයි වැරැද්ද යනුවෙනි. ලෝකයේ කිසිම රටක් එක රැයින් කාබනික කෘෂිකර්මයට ගොස් නැති බව පෙන්වා දෙන මහාචාර්ය සමන් සෙනෙවීර මෙම ක්‍ෂෙත්‍රයේ විද්වතුන්, උගතුන්, බුද්ධිමතුන් සමඟ සාකච්ජා කර එවැනි වැඩපිළිවෙළකට යොමුවිය යුතුව තිබූ බවද කීය. මේ වනවිට ඇතිවී තිබෙන පොහොර පිළිබඳ ප්‍රශ්නයේදී ගොවියා කබලෙන් ළිපට වැටෙන බවත් රටක ආහාර සුරක්‍ෂිතතාව යන කාරණය ඉතා වැදගත් හෙයින් ගොවියා වී වගාවෙන් ඉවත් වුවහොත් ඔහුගේ ආර්ථිකය කඩාවැටෙන බවත් එය රටේම ආර්ථිකයට බලපාන බවද කීවේය. එම නිසා මේ කාරණයේදී කළයුතුව ඇත්තේ පැලැස්තර දැමීමක් නොවන බවද පැවැසීය. වගාවට සහ පසට ඉතා වැදගත් පොහොර කුමක්ද යන්න තීරණය කිරීම කළ යුත්තේ විද්‍යාත්මක අධ්‍යනයකින් බවද මහාචාර්යවරයා මෙහිදී පෙන්වා දෙයි. එමනිසා අනිවාර්යයයෙන්ම කළ යුත්තේ කාබනික වගාව කරන අයට රජය මගින් ඒ සඳහා සහනාධාර ලබාදීම බවද සඳහන් කළේය. “අපේ රටේ කාබනිකවලින් පමණක් වී වගාව හරිම අමාරුයි කියලා මම කියන්නේ අවරුදු 70ක පමණ කාලයක් අපි කාබනික ගැන කථා කළේ නෑ. කාබනික ගොවිතැන රටේ ප්‍රචලිත වෙන්න නම් පසේ තිබෙන කාබන් ප්‍රතිශතය වැඩිකරන්න ඕන. එහි ප්‍රමාණයක් තියෙනවා. අවශ්‍ය ගානට පසේ ව්‍යුහය දියුණු කරලා පියවර වශයෙන් යන්න ඕන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ හරියටම ක්‍රියාත්මක කරන්න ඕන.” යැයිද මහාචාර්යවරයා කීවේය.

I කරුණාරත්න ගමගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05