ඈත අතීතයේ සිටම කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගතකළ බතෙහි සැබෑ රසය හඳුනාගත් ශ්‍රී ලාංකිකයෝ වාරි තාක්ෂණය පිළිබඳ මනා දැනුමකින් සන්නද්ධව සිටි බව නොරහසකි. නිකරුණේ ගලාගිය ස්වභාවික දිය පහරවල් උපයෝගී කරගනිමින් ලොවම විස්මයට පත්වන අයුරින් මෙරට ඉදිකර ඇති වැව් අමුණු හා ඊට යොදාගෙන ඇති වාරි තාක්ෂණය අදටද දෙස් විදෙස් සියලුදෙනා පුදුමයට පත් කිරීමට සමත් වී තිබේ.
දුටුගැමුණු රජ සමයේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මහියංගනය ප්‍රදේශයේ ඉදිකර ඇති සොරබොර වැව අදටද අනගි නිර්මාණයක් ලෙස ලෝ ප්‍රකටය. බින්තැන්නේ මුහුද ලෙසින් එදා හඳුන්වනු ලැබූ සොරබොර වැව බුලතා නම් යෝධයකු විසින් රජුන් පුදුමයට පත් කිරීම සඳහා ඉදිකරන ලද්දකි.
අද පාඨක ඔබට අප කියන්නට යන්නේ ඉතිහාස කතාවක් නොවේ. ඉහතින් සඳහන් කළ ඉතිහාස කතා කිහිපයක්ම අප අවුස්සා ගත්තේ අපේ අද කතාවට මග පාදාගන්නටය. අද අපේ කතා නායකයා වන්නේ 68 හැවිරිදි සය දරු පියකු වන විමලසේන සුවදහැන්නදි මහතා නොහොත් තම්මැන්නාවේ ගොවි රජාය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි අති දුෂ්කරම ගම ලෙසින් සැළකෙන බඳගිරිය, තම්මැන්නාව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඒකක 86 කොටසේ තවමත් සිය බිරිඳ සමඟ පදිංචිව සිටින ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම ගොවි රජෙකි. ගොවිතැනට උපන් හපන්කම් ඇති මේ ගොවි රජා එකල මේ ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණු දුන් එකම ගැටලුව වූ වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය එක්රුස් කිරීමට හැකි ජල අක්කර අඩි 08 වැවක් නිර්මාණය කර තමන් වගා කටයුතු කරමින් සිටි කුඹුරු අක්කර 30ක් හා ගොඩ අක්කර 20ක් ගම්මුන් අතරේ බෙදාදුන් වර්තමානයේ බිහි වූ බුලතා යෝධයා යැයි කීම වරදක් නොමැතිය.
රජයේ පාර්ශ්වයෙන් පැමිණ වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා දෙනතෙක් බලා නොසිටි විමලසේන ගොවි මහතා ප්‍රදේශයේ තවත් ගොවීන් කිහිප දෙනෙකුද එක්ව 1989 දී වැවක් හෑරීම ආරම්භ කර තිබේ. කුඩා ඇළ පාරක් හරස් කර පළමුවෙන්ම මෙම වැව සෑදීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ වීල්බැරෝ එකකින් පස් ඇද සකස් කරගත් බැම්මක් සකසා ගනිමිනි. එදා නොපසුබට උත්සාහයෙක් හා අධිෂ්ඨානයෙන් යුතුව ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය වැව සකස් කිරීමේ කටයුතු කරගෙන යද්දී බොහෝ ගොවීහු මේක මහා පිස්සු වැඩක් යැයි කියා වැව ඉදිකිරිම අතරමග නවතා දමා ගියෝය. කවුරුන් කොහොම මේ කටයුත්ත අතහැර ගියත් විමලසේන ගොවි මහතා සිය බිරිඳ සකස් කර දුන් බත් පිඟාන කා ගොවිතැන් කටයුතු සිදුකරන අතරේ වැව සකස් කිරීමේ කටයුතුද පියවරෙන් පියවර සකස් කෙරුණි. වැව ඉදිකිරිමේ මුල් කාලයේදී ඒ සඳහා උදව්වට ගොවීන් පිරිසක් සම්බන්ධ වුණද වැව සකස් කර අවසන් වනවිට විමලසේන මහතා සමඟ ඉතිරි වූයේ ගොවින් තිදෙනකු පමණි. සකස් කෙරුණු වැවද නම් කෙරුණේ බැමිණියන්වල වැව නමිනි.
බැමිණියන්වල වැව නිර්මාණය කළේ කෙසේද යන්න පිළිබදව වැවෙහි නිර්මාතෘවරයා වූ විමලසේන ගොවි මහතා මෙලෙස පැවසීය.
අපි දන්න එකම කර්මාන්තය තමයි කෘෂි කර්මාන්තය. එදා අපිට මේ ප්‍රදේශයේ වගා කටයුතු සිදුකිරීමට තරම් ප්‍රමාණවත් ජලයක් තිබුණේ නැහැ. මගේ මුල් පදිංචිය බඳගිරිය. මෙහේ ගොවිතැන් කරගෙන ඉන්නකොට තමයි විවාහ වුණේ. විවාහ වෙලා මම 1973 අම්පාරට පදිංචියට ගියා. අම්පාරේ ඉඳන් මාදුරුඔය ව්‍යාපාරයට සම්බන්ධවෙලා වගා කටයුතු කළා. මම මාදුරුඔයට වෙලා වගාකටයුතු කරගෙන ඉන්නකොට තමයි ලුණුගම්වෙහෙර ව්‍යාපාරයට මුල්ගල් තිබ්බේ. මාදුරුඔය ඉන්නකොටත් මම වගාකිරීමේ පෙරළි ගොඩක් සිදුකළා. මේ නිසා ඒ පැත්තේ හිටිය නිලධාරීන් හා දේශපාලඥයින් මාව හොඳට දන්නවා. ලුණුගම්වෙහෙර ව්‍යාපාරයට මුල්ගල් තිබ්බම මට ඕන වුණා යළි ගමට එන්න. එතකොට මේ හම්බන්තොට හිටිය මහ දිසාපතිවරයා වුණේ ඩී.ඩී. හේරත් මහත්තයා. මම එතුමාට ලිපියකින් ඉල්ලීමක් කළා මාදුරුඔය ව්‍යාපාරයෙන් මටත් ලුණුගම්වෙහෙර ව්‍යාපාරයට එන්න හදලා දෙන්න කියලා. ඒ වෙලාවේ දිසාපතිතුමා මට කිව්වා තවම ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ ඉඩම් බෙදලා දීලා නෑ. ඒ වෙනකොට ඉල්ලීමක් කරන්න කිව්වා. එතකම් මට මාදුරුඔයට වෙලා ඉන්න බැරි නිසා මම ආයෙත් එහෙ ඉඩම් අතහැරලා බඳගිරියේ මහගෙදරට ආවා. ඒ ඇවිත් තමයි දැන් මේ ඉන්න ඉඩම බලෙන් අල්ලගෙන වගා කරන්න පටන් ගත්තේ. ඒ එනකොට මට දරුවෝ දෙන්නෙක් හිටියා.
මම මෙතැනට ඇවිත් අල්ලගත්ත ඉඩම සම්පූර්ණයෙන්ම වගා කළා. ඒ කාලේ නීතියක් තිබුණා අල්ලගත්ත රජයේ ඉඩම්වල පොල් වගා කරන්න බෑ කියලා. නමුත් මම ඒක ගණන් ගත්තේ නැතුව මේ ඉඩමේ පොල් හිටෙව්වා. අනිත් ගොවියෝ කවුරුවත් එතකොට පොල් හිටවලාවත් නෑ. ඉඩම නැතිවෙයි කියලා බයට පොල් වගා කලේ නැතුව අතුරු භෝග විතරක් වගාකළා. මම පොල් ඉන්දලා පොල් කන්න පටන් ගන්නකොට තමයි ඔන්න අනිත් ගොවියොත් පොල් ඉන්දන්න පටන් ගත්තේ. මෙහෙම ඉන්නකොට මට කන්න කුඹුරු කෑල්ලකුත් හදාගන්න ඕන වුණා. ඒකට මම දන්න කියන කෘෂිකර්ම නිලධාරීන් දෙතුන් දෙනෙකුගෙන් උපදෙස් ඉල්ලුවා. ඒ කීප දෙනෙක්ම ඇවිත් මෙතන ඉඩම බලලා කිව්වා මේකේ කුඹුරක් හදන්න බෑ. මෙතැන ලවණ ගතිය වැඩියි කියලා. කෘෂිකර්ම නිලධාරීන් මොනවා කිව්වත් මට මෙතන කුඹුරක් හදනකම් ඉවසීමක් තිබුණේ නෑ. මම කළ වැඩේ අඟල් තුනක් විතර ලුණු මිදිච්ච බරෝපිට් එකක් කූඩ පස් කපලා (පස් කපලා කූඩෙන් ඇදලා) පොළොව හැදුවා. ඒ වෙනකොට මේ පොළොවේ හොඳටම ලුණු මිදිලා මිදිලා තිබුණේ. පොහොර පසක් නෙමේ මෙතන තිබුණේ. නමුත් මම උත්සාහය අතහැරියේ නෑ. කූඩ පස් කපලා පොළොව පෙරළලා කුඹුරක් හදාගත්තා බත් කන්න පුළුවන් ගානට. හැමෝම පුදුම වුණා මම කුඹුරක් මෙතන කරා කිව්වමත්.
මම මෙතනට ආවේ එතකොට 1989දී. ඒ ඇවිත් කොහොම හරි ගොවිතැන් වැඩ කරගෙන ගියත් අපිට ගොවිතැනට ප්‍රමාණවත් ජලයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මම මෙහේ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයාගෙනුත් උදව් ඉල්ලුවා. නමුත් වැඩක් වුණේ නෑ. පස්සේ මම කළ වැඩේ ගමේ හිටිය තවත් ගොයියෝ කීප දෙනෙකුත් එක්ක ඇවිත් මෙතනින් ගලාගෙන ගිය පුංචි දොළපාරක් හරස් කරලා ගල් බැම්මක් බැඳලා සක්ක දමලා ප්ලාස්ටර් කළා. වැඩේ යද්දී මගදී ගොවියෝ එක්කෙනා දෙන්නා මේක අතහැරලා ගියා. මේක සාර්ථක වැඩක් නෙමේ කියලා. අන්තිමේ කොහොම හරි ඉතිරි වුණේ අපි තුන්දෙනෙකු විතරයි. අපි වැව් බැම්මක් බැඳලා පොඩියට වැවක් හදා ගත්තා. ගොවිතැන් කරගෙන යන ගමන් මට වාරිමාර්ගයේ වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ වෙලාවේ මට ඒකේ වැඩකරන රෙසිපිකට් බාස් කෙනෙක් හමු වුණා. (කොන්ක්‍රිට් බාස් කෙනෙක්) එයාගේ මාර්ගයෙන් මම වාරිමාර්ගයේ ලොකු මහත්තයෙක් අඳුරගත්තා. පස්සේ මම ඒ ලොකු මහත්තයට කිව්වා පුළුවන් නම් මට ටික වෙලාවකට වැව හදාගන්න ඩෝසරයක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මහත්තයා මට කිව්වා පරිස්සමට ගිහින් වැඩේ කරගෙන එන්න. හැබැයි තෙල් ගහගන්න වෙනවා කිව්වා. මම හා කියලා ඩෝසරේ අරන් ඇවිත් මගේ සල්ලි වලින් ඩෝසරේට තෙල් ගහලා ඩ්‍රයිවර්ටත් සල්ලි දීලා වැව් බැම්ම ටිකක් ලොකු කරලා හදා ගත්තා. නමුත් ඒකත් මම හිතපු තරම් සාර්ථක වුණේ නෑ. පස්සේ මම කල්පනා කළා කොහොමද මේ වැව හදා ගන්නේ කියලා. තනියම මේක කරගන්නත් විදියක් නෑ. නිලධාරීන්ගෙන් ඉල්ලීම් කළාට කවුරුවත් ගණන් ගන්නෙත් නෑ. පස්සේ මම කළ වැඩේ 12 දෙනෙක් එකතු කරගෙන හැදුවා සමිතියක්. සමිතියක් හදලා අපි එක්කෙනා රුපියල් 5000 ගානේ එකතු කළා. එහෙම එකතු කරලා ගමේ වෙන වැඩකට ඇවිත් තිබුණු ඩෝසරයක් අපි ආයෙත් ගෙනත් වැව් බැම්ම නියම ප්‍රමිතියට හදන්න කටයුතු කරගෙන ගියා.
ඒ වෙලාවේ කවුදෝ කෙනෙක් වන සංරක්ෂණයට කියලා අනවසරයෙන් වැවක් හාරනවය කියලා. ඉතින් වන සංරක්ෂනේ අය කඩාගෙන ඇවිත් මේක තහනම් කළා. කොහොම හරි වන සංරක්ෂණයෙන් මෙතනට එනකොට ඩෝසරේ වැවේ තිබුණේ නෑ. ඩෝසරේ වැඩ කර කර ඉද්දී කැඩිලා වෑල්ඩින් කරන්න වෙන තැනකට ගෙනිහින් තිබුණේ. ඒ නිසා වන සංරක්ෂණේ අයට ඩෝසරේ අල්ලගන්න බැරි වුණා. කොහොම හරි එවකට මෙහේ වන සංරක්ෂනේ බාරව හිටපු සමරසිංහ කියන මහත්තයා මට තුණ්ඩු කෑල්ලක් දීලා ගිහින් තිබුණා මට කාර්යාලයට එන්න කියලා. මම තමයි පළමු විත්තිකරු කරලා තිබුණේ වැව හාරන එකට. මම වන සංරක්ෂණ කාර්යාලයට ගියාම ඒකේ හිටිය මහත්වරු මට කතා කරන්න ඉඩ දුන්නේම නෑ. මම කරපු වරද තමයි මේ ආර හරස් කරලා වැවක් බඳින්න ගත්තා කියලයි. කොහොම හරි මම කෑගහලා එතන හිටිය ලොකු මහත්තයට කිව්වා මහත්තයෝ මම පාරිසරික ව්‍යසනයක් කරලා තියේ නම් ඕනිම දඬුවමක් මට දෙන්න. හැබැයි කවුරුවත් කිව්ව පළියට මට මෙහෙම කරන එක වැරදියිනේ. ඔබතුමාම ගිහින් බලලා තීන්දුවක් ගන්න කියලා මම කිවුවා. ඔන්න කොහොම හරි වන සංරක්ෂනේ ලොකු මහත්තුරු ටික ආවා මේක බලන්න. ඒ ඇවිත් ඒ අයත් පුදුම වුණා මොකද්ද මේ විශ්වකර්ම වැඩේ කියලා. ඒ මහත්තුරු ඇවිත් බලලා බොහොම හොඳයි මේක දිගටම කරගෙන යන්න. මගෙත් සහාය දෙන්නම් කියලා එවකට හිටිය වන සංරක්ෂණ මහත්තුරු ගියා. මමත් හිතුවා ඉතින් ඒ අය ඇත්තටම මේකට මට සහාය දේවි කියලා. මම වැවේ තව තව වැඩ ටිකක්කරනකොට ඔන්න ආයෙත් වන සංරක්ෂණයෙන් ඇවිත් තහනම් කරලා මාව අරන් ගියා. දැන් මේ අය මට නඩු දමන්නමයි හදන්නේ. මම මොනවා කිව්වත් අහන්නේම නෑ. ඉතින් මම එක දිගට නිදහසට කරුණු කියන කොට ඔන්න මාව වන සංරක්ෂනේ මහත්වරු මාව ඇතෑරියා. හැබැයි කොන්දේසියක් ඇතිව. ඒ තමයි වැවත් හදාගන්න. දැනට වගාකරන අක්කර දෙක විතරක් වගා කරන්න. අනිත් ඉඩම් සුද්ද කරන්න එපා කිව්වා. දැන් මොනවා කරන්නද. අක්කර දෙකක් වගා කරන්න නම් මෙච්චර දුක් විඳලා වැවක් හදන්න ඕනිය. අන්තිමේ අපි ඉඩම පරිහරණ කමිටුව දක්වා යනකම්ම ලියුම් ලියන්න වුණා වගා කටයුතු පුළුල් කරගන්න. අන්තිමේ කොහොම හරි අපි ජයග්‍රහණය කළා. අපි ඔප්පු කරලා පෙන්නුවා අපිට ඕනේ වගා කටයුතු කරන්න. මේ රටේ කෘෂි කර්මාන්තය දියුණු කරන්න කියලා. මම මේ වැව හදන්න ලියුම් යවල ඇති හැම අමාත්‍යංශයකටම. නිලධාරියෙකුටම. එදා නිලධාරීන් ඇවිත් මේ වැව හදද්දී මට ගොඩක් කරදර කළා. හැබැයි අද මේ වැව යටතේ කුඹුරු අක්කර 30ක් හා ගොඩ අක්කර 20ක් යල මහ වගා කරනවා. මේ තුළින් ලැබෙන අස්වැන්න අපි ගෙවල්වල හංගගෙන ඉන්නේ නෑ. අපි රටටයි මේ බත් ටික එළවළු ටික සපයන්නේ. මම මහා ලොකුවට ඉගෙනගෙන නැති වුණාට ගම් මට්ටමෙන් ජනතා සේවයට කියලා දමලා ඉන්න අපේ ඇතැම් නිලධාරීන්ට තවමත් නිසි අවබෝධයක් නෑ ගොවියන් එක්ක ගමේ මිනිස්සු එක්ක ගනුදෙණු කරන විදිය. වැඩ කරන විදිය. ගොවියාගේ සිතුම් පැතුම් තේරුම් ගන්න සිතල කාමරවල ඉන්න මහත්තුරුන්ට බෑ* යැයි ඔහු පැවසීය.
එදා පුංචි දිය කඩක් හරස් කර විමලසේන සුවදහැන්නදි මහතා ඉදිකෙරුණු වැව අද පළාතකටම ආභරණයක් වී තිබේ. එදා තරුණ ජවයෙන් කටයුතු කළ ඔහු අද 68 වන වියේ පසුවෙයි. අදටත් ඔහු සිය බිරිඳ වන 67 හැවිරිදි විදානගමගේ සෝමාවතී මහත්මිය සමඟ වැව පාමුලම අටවාගත් පුංචි පැල්පතකට වී ගොවිතැන් බත් කරගෙන වැවද රුක ගනිමින් සැඳෑ සමය ගතකරයි. තම කාලය ශ්‍රමය වැය කරමින් ගම්මුන් වෙනුවෙන් වැවක් තැනූ මේ අපූරු මිනිසා අද ඒ දෙස බලා ලබන්නේ නිරාමිස ප්‍රීතියකි.
මේ අපූරු ගමන සඳහා අපට මග පෙන් වූ බඳගිරිය කෑලියවැලෑන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හා යොවුන් සංවර්ධන අධ්‍යාපන නිකේතනයේ කළමනාකරු මහින්ද බංඩාර මහතාට විශේෂ ස්තුතිය.
සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර