මීට සති දෙකකට ඉහතදී ආණ්ඩු පක්ෂය අනුරාධපුර සල්ගාදු පිටියේ දැවැන්ත රුලියක් සාර්ථකව නිම කළේය. එම රුලිය ඡන්දයකට යාමේ සූදානමකින් පැවැත්වූවක් යන්න බොහෝ දෙනෙකුගේ මතය විය. මේ මස අවසන් වනවිට මැතිවරණ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලයද අවසන් වීමට නියමිතය. එම තේරීම්කාරක සභාව ඉදිරියේ කොමිසම තරයේ කියා සිටියේ මැතිවරණ සම්බන්ධයෙන් සහ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් මහජන විශ්වාසය ගොඩනැගීමට වෙනස්කම් කිහිපයක්ම කළ යුතු බවයි. එම වෙනස්කම් අතර මැතිවරණ කොමිසම තේරීම් කාරක සභාවට ඉදිරිපත් කළ එක් යෝජනාවක් වූයේ මහජන මතයට එරෙහිවන මන්ත්‍රීවරු ගෙදර යවන ක්‍රමයක් පිළිබඳ යෝජනාවයි. මැතිවරණයක් පැවැත්වුවත් නැතත් ත්‍රාඩ, වංචා, දූෂණවලට හවුල් මන්ත්‍රීවරු සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු යන තිර ස්ථාවරයක කොමිසම පසුවන නිසා මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් දේශය සිදු කළේය. දේශයට අදහස් දක්වමින් සභාපතිවරයා තේරීම් කාරක සභාවට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මෙලෙස විග්‍රහ කළේය.
ව්‍යවස්ථාදායකයෙන් තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියේ මැතිවරණ ක්‍රමය කෙරෙහි, පත්වන නියෝජිතයන් කෙරෙහි මහජන විශ්වාසය පළුදු වෙමින් යන බව නිරීක්ෂණය වුණ නිසා. මෙහිදී නීතීමය සංශෝධන රාශියක් සිදුකළ යුතුව තිබෙනවා. ඒ නිසයි කොමිසම හැටියට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න ඉල්ලීම කළේ. ඒ තේරීම් කාරක සභාවේ සියලු පක්ෂවල නියෝජිතයෝ සිටිනවා. එනිසා තේරීම් කාරක සභාවට ඉදිරිපත්වන නිර්දේශ නීතිගත කිරීමේදී පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමේ පුළුවන් අවස්ථාව වැඩියි. 2015න් පස්සෙ පත්කළ මේ තේරීම් කාරක සභාවට විවිධ පක්ෂ, නිරීක්ෂණ කණ්ඩායම්, පුද්ගලයන් නිරීක්ෂණ ලබා දුන්නා. ඒවගේම කොමිෂන් සභාව දවස් දෙකක් තිස්සේ ලිඛිතව හා වාචිකව කරුණු දැක්වීම් කළා.
පළාත් පාලන සභා තියෙන්නේ ප්‍රදේශයේ තියෙන මහජනතාවගේ එදිනෙදා ගැටලු සහ යටිතල පහසුකම් හඳුනාගෙන ඒවාට ක්‍රියාමාර්ග ගැනීමට. පහුගිය කාලය තුළ සභාවල අපි දැක්කෙ ඒවා කතා කරනවාට වඩා බාහු බලය පෙන්වන ස්ථාන බවට පත්කරගෙන තිබීම. සභාව තුළ විතරක් නෙවෙයි සභාවෙන් පිට ඇවිල්ලත් ඒ අය පහරදීම් කරගන්නවා. එතකොට මහජනතාවට මේ අය කෙරෙහි ලොකු කලකිරීම් ඇති වෙනවා. අපට ප්‍රශ්නයක් නෑ ඒ අය කෙරෙහි ඇතිවන කලකිරීම ගැන. නමුත් ඔවුන්ගේ ක්‍රියා නිසා ජනතාව මැතිවරණ ක්‍රමවේදයක්, මේවගේ ආයතන අවශ්‍ය නෑ කියල හිතන්න පෙළෙඹෙනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අවදානමක් කියලයි අපි දකින්නේ. ඒ නිසා මේ වගේ ක්‍රියාකරන මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් කාරණා දෙකක් කළ හැකියි කියල අපි කරුණු ඉදිරිපත් කළා. එකක් තමයි, ඔවුන් ‘නැවත කැඳවීමේ’ ක්‍රමවේදයක් අපි යෝජනා කරල තියෙනවා. ඒ සම්බන්ධයෙන් යම් මහජන ප්‍රතිශතයක් සහිතව, යම් විභාගයකට ලක් කරලා, එය තහවුරු වෙනවා නම් නැවත කැඳවීමේ අවස්ථාවක් ලබාදිය යුතුයි. මෙලෙස නැවත කැඳවීම තුළින් මහජන අභිලාෂයන්ට පිටුපාන මන්ත්‍රීවරුන්ගේ ධුරය අහිමි කරන්න පුළුවන්.
දැනට යම් අයකු නියෝජිතයෙකු ලෙස පත්කළ පසු ඔවුන් ක්‍රියාකරන්නේ මහජන අපේක්ෂාවන් අභිලාශයන් අනුව නොවේ. එවන් අය කෙරෙහි නැවත ඡන්දයක් එනතුරු ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් මිනිසුන්ට නැහැ. සමහර අපෙක්ෂකයන්ගේ නාස්තිකාර මුදල් වියදම ආර්ථිකයට නුසුදුසුයි වගේම සම මැතිවරණ බිමක් හැදෙන්නෙත් නැහැ. සමහර අපේක්කෂකයෝ මිලියන ගණන් වියදම් කරනවා. සමහර විට මුදල් දෙන්නෙ ව්‍යාපාරිකයෝ හෝ සංවිධාන වෙන්න පුළුවන්. එතකොට ඒ නියෝජිතයන්ගේ බැඳීම තියෙන්නෙ ජනතාවට නෙවෙයි බැඳීම එන්නේ ව්‍යාපාරිකයන්ට. ඔවුන් මහජන නියෝජනයක් නෙවෙයි මුදල්මය නියෝජිතයෝ. එනිසා මෙවැනි අය සම්බන්ධයෙන් සීමා පැනවිය යුතු වනවා.
දෙවනුව කොමිෂන් සභාව මැතිවරණ අවස්ථාවකදී ඡන්ද අපේක්ෂකයන්ට ආචාර ධර්ම පද්ධතියක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනවා. මේ ආචාර ධර්ම පද්ධතිය නීතිගත කරන්නත් එය ඡන්ද සීමා කාලයෙන් පස්සෙ තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නිල කාල සීමාවටත් අදාළ කරගන්න කටයුතු කරන්නැයි කියන ඉල්ලීමක් අපි ඉදිරිපත් කළා. එම ආචාර ධර්ම කඩකළොත් එය සැලකන්නේ මැතිවරණ වරදක් හැටියට. මැතිවරණ වරදක් කළ බවට අධිකරණයක් මගින් තහවුරු වනවා නම් එවැනි අයගේ මන්ත්‍රී ධූරයත් අහිමි වෙනවා.
නමුත් අපේ අධිකරණ ක්‍රියාවලියේ පොදුවේ තියෙන ප්‍රමාදය නිසා මැතිවරණ ගැටලු, පක්ෂ අතර ගැටලු හා ආරවුල් අධිකරණයට ගියහම සමහර විට අවුරුදු ගණන් යනවා. ඒ නිසා මැතිවරණ වෙනුවෙන්, මැතිවරණ ආරවුල් විසඳීමටත්, සමතකරණය කිරීමටත්, එවැනි නඩු ඉක්මණින් අවසන් කිරීමටත් ‘මැතිවරණ විනිශ්චය අධිකාරියක්’ පිහිටුවන්න කියලා අපි යෝජනා කළා. ඒ විනිශ්චය අධිකාරියේ නඩු මෙහෙයවීමේ බලයත් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතුයි. එමගින් ඉක්මනින් එවැනි නඩු විනිශ්චය කර යම් වරදක් කර ඇත්නම් නීත්‍යානුකූල දඬුවමක් දීමෙන් මහජන විශ්වාසය ගොඩනැගීමට පුළුවන් වනවා.
පක්ෂ ලියාපදිංචි කිරීම ගැනත් අපි යෝජනා ඉදිරිපත් කළේ මැතිවරණ වංචා කිරීමේ අරමුණින් පක්ෂ ලියාපදිංචි කිරීම් නිරීක්ෂණය වී තිබෙන නිසා. දැනටමත් පක්ෂ 79ක් විතර ලියාපදිංචි වෙලා තියෙනවා. විවිධ මත ධාරා තිබීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට ශක්තියත්. නමුත් ඒ මුවාවෙන් යම් යම් කූට අරමුණු සඳහා ඒ අවස්ථාව යොදාගෙන අගතිගාමීව අයුතු ලෙස කටයුතු කිරීමට ඉඩදිය යුතු නැහැ. එනිසා පක්ෂයක් ලියාපදිංචි කිරීමේ දි එකවර ලියාපදිංචිය දෙන්නෙ නෑ. පක්ෂයක් ලියාපදිංචි කරල අවුරුදු දෙකක් යනකම් පිළිගත් පක්ෂයකට ලැබෙන වරප්‍රසාද හම්බවෙන්නෙ නැහැ. අවුරුදු දෙකක කාලයක් ජනතාව අතර දේශපාලන ක්‍රියාකාරකම් කරල පක්ෂයක් ලෙස තහවුරු කරන්න පුළුවන් නම් විතරක් එම පක්ෂය පිළිගත් පක්ෂයක් හැටියට සැලකෙන්නේ. එක් දිස්ත්‍රික්කයකට පමණක් පදනම් වෙලා ඉන්න සමහර පක්ෂ ප්‍රාදේශීය පක්ෂ හැටියට ලියාපදිංචි කරන්නත් වෙනව. හැබැයි එවැනි පක්ෂවලට පුළුවන් වෙන්නේ අදාළ ප්‍රදේශය තුළ පමණක් මැතිවරණවලට ඉදිරිපත් වීමට.
තේරීම් කාරක සභාවේ කාලය අවසන් වූ පසු ඉදිරි මාසවල මැතිවරණයක් පැවැත්වීමේ සූදානමක් කොමිසමට ඇත්දැයි අප කළ විමසුමට මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා දැක්වූයේ මෙවෙන් අදහසක්.
මැතිවරණ කොමිසම තියෙන්නෙ නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීමටනෙ. ඡන්දයක් පවත්වනව නම් පවත්වන්න තියෙන්නෙ පළාත් සභා ඡන්දය. ඒත් පළාත් සභා සම්බන්ධයෙන් නීතීමය ගැටලුවක් තියෙනවා. පළාත් සභාව සම්බන්ධයෙන් 1988 අංක දෙක කියන පැරණි නීතියක් තියෙනවා. ඊට පස්සේ 2017 අංක 17 කියල තව පනතකුත් ආවා. මේ පනත සම්මත වුණාට සීමා නීර්ණය කොටස සම්මත වුණේ නැහැ. දැන් ගැටලුවක් තියෙනවා මේ දෙකෙන් කොයි මොන පනත ද මැතිවරණයට බලපාන්නෙ කියල. මේ සම්බන්ධයෙන් නීතිපතිගෙ අදහස තමයි පනත්වල ගැටලුවක් තියෙන නිසා පලාත් ඡන්ද විමසිම් පනතට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම මගින් මෙම ගැටලුව නිරාකරණය කරන්න පුළුවන් කියලා. මේ ගැටලුව පාර්ලිමේන්තුවෙන් නිරවුල් කළොත් කොමිසමට බලය ලැබෙනවා පළාත් සභා ඡන්දය පවත්වන්න.
ඊට අමතරව පළාත් පාලන මැතිවරණය මාර්තු මස 20ට පෙර පැවැත්විය යුතුව තිබුණා. කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය සඳහා සූදනම් වුණා. ඡන්ද පොළොවල් පරීක්ෂා කරලා, නිලධාරී සංචිතත් හැදුවා. ඒත් පළාත් පාලන ආයතන පාලනය වන පනත් තුළින් ධූර කාලය අඩුකරන්න හෝ උපරිමය අවුරුද්දකින් වැඩි කරන්න විෂය භාර අමාත්‍යවරයාට බලය තියෙනවා. ඒ බලය පාවිච්චි කරල ගැසට් නිවේදනයක් මගින් ඡන්ද විමසීම් කාලය අවුරුද්දකින් දීර්ඝ කරන්න අමාත්‍යවරයා කටයුතු කරලා තියෙනවා. පනතේ තියෙන නීතීමය බලය මත ඔහු කළ ක්‍රියාව හා කල් දැමීම නිසා කොමිසමට බලයක් නෑ පළාත් පාලන මැතිවරණයක් පවත්වන්න. අමාත්‍යවරයා දැමූ එම කල්දැමීම ගැසට් නිවේදනයකින් ඔහු සංශෝධනයක් කරලා නීතීමය බාධාව ඉවත් කරනවා නම් කොමිසට ඡන්දය පැවැත්වීමේ අවස්ථාවක් ලැබෙනවා.
මැතිවරණයක් කඩිනමින් පැවැත්වීමට වඩා කොමිසම ඉදිරිපත් කරන මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංශෝධන කළයුතු යන්න අපගේ අදහසයි. නිදහස් හා සාධරණ මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාවෙන් බලය පැවරෙන මැතිවරණ කොමිසම, සාධාරණ මැතිවරණ ක්‍රමයක් සහ මැතිවරණ නීති සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මෙම යෝජනා ප්‍රශංසනීයය. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක යුරෝපා රටවල්වල ‘නැවත කැඳවීම’ වැනි ක්‍රමවේද මහජන අභිලාෂයන් නොතකා ක්‍රියාත්මක වන මන්ත්‍රීවරු මෙල්ල කිරීමට යොදා ගනු ලබයි. එනිසා තේරීම් කාරක සභාව ඉදිරිපත් කොට තිබෙන මෙම යෝජනා ව්‍යවස්ථාදායකයේ සම්මත කරන්නේ නම් එයයි ජනතාව සැබෑ ලෙසම ලබන මැතිවරණ ජයග්‍රහණය.
සකීෆ් සාම්