සමන් චන්ද්‍රනාත් වීරසිංහ යනු දක්ෂ ගීත රචකයකු දක්ෂ මාධ්‍යවේදියකු මෙන්ම දක්ෂ කතා කාරයෙකි. ''කතාකාරයකු'' යැයි මා කීවේ ඔහු කා සමඟත් නොනවත්වා කතා කිරීමට ඇති දක්ෂතාවය නිසාය. ඔහු කෙටියෙන් කතා කිරීමක් නැත. හිතවතකු හෝ මිතුරකු හමුවී කතාවට වැටෙන ඔහු සෙනෙහසින් නොකඩවා කතාව කරගෙන යයි. ජංගම දුරකතනයට මේ නිසා හොඳ ගණනක් ගෙවීමට සිදුවනු ඇතැයි මා කීවොත් ඔබ පිළිගන්නවාද? එහෙත් ඒ කිසිම දිනක තව කෙනකුගේ නූගුණක්, අපහාසයක් කතා කළේ නැත. සමන්ගේ කතා ඇසීමට අප පුල පුලා බලා සිටින්නේ මී විතක් ගන්නා අවස්ථාවලය. සාහිත්‍යය, සොබාදහම. සෞන්දර්යය ගැන ඔහු කරන කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. කිසි දිනෙක අසුබවාදී නොවූ සමන් හැමවිමට සිනා රුල්ලකින් මුව සරසාගෙන සිටියේය. සිනාවෙන් තොර මුහුණක් වසර 50ක් ඔහු ඇසුරු කළ කිසිදා මා දැක නැත.
ඔහු හැමවිටම හැමට අතහිත දුන්, ඔහු මිතුරකු හමු වූ විට බඩ බැඳගෙන උදව් කළේය. මට ඔහු හමුවන්නේ මීට වසර 50කටත් පෙර සිටය. 1969 වසරේ මුල මාසයේ දිනක මා මිත්‍ර කවියකු වූ රක්වානේ කිංස්ලි දිසානායක (ඔහු පසුව රංගනවේදියකු නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විය) සමඟ බම්බලපිටියේ මැජස්ටික් සිනමා හල අසළ පිහිටි ග්ලේන් ආබ පාරේ නිවසකට ගියේය. ඒ නිවස මෙරට සිටි කෘතහස්ත දේශපාලනඥයකු වූ ආර්.ජී. සේනානායක මහතාට අයත් වූවකි. ඔහුගේ අලුත්ම දේශපාලන පක්ෂය වූ සිංහල මහජන පක්ෂය මගින් නිකුත් කළ නිල පුවත්පත වූ ''සිංහල ජාතිය'' පත්‍රයේ කර්තෘ වූයේ දක්ෂ කවියකු වූ පී. මලල්ගොඩය. මේ පත්‍රයේ සහාය සංස්කාරක වූ තරුණයකු මට හඳුනාගන්නට ලැබිණ. එදින අප එහි යනවිට ඔහු සිටියේ ආර්.ජී. සේනානායක මහතා හා මලල්ගොඩ කවියා සමඟ කතා කරමිනි. මගේ මිතුරා සමඟ එහි ගියේ ''සිංහල ජාතිය'' පත්‍රයට ලිපි ලිවීමට මා තුළ තිබූ ආසාවෙනි. මට ඒ අවස්ථාව ලැබිණ.
එදා එහි සිටි පත්‍රයේ සහාය කර්තෘ වූයේ මගේ වයසේම සිටි සමන් චන්ද්‍රනාත් වීරසිංහය. හවස මලල්ගොඩ හා දිසානායක යන කවියන් හා සමන් සමඟ හමුවීම මට ජීවිතයේ අමතක නොවන දිනයකි. කවියන් දෙදෙනා, මීවිත ගනිමින් හිටිවන කවි කී විට සමන්ද ඊට නොදෙවැනි කවිවලින් පිළිතුරු දුන්නේය.
''මූ නං යකෙක්. අපිටම හරියන යකෙක්.'' මලල්ගොඩ කවියා සිනාසෙමින් කීවේය.
සමන් ප්‍රතිභාපූර්ණ කවියෙක් කියා හඳුනාගත්තේ එදාය. ඉක්මණින් සමන් මගේ ගජයෙක් විය. මිය යනතෙක් හොඳම ගජයෙක් වී සිටියේය. මාධ්‍යවේදියකු ලෙසද මිතුරකු වූ ඔහු පදිංචිව සිටියේ මොරටුව මා පදිංචි නිවසට යාබද ලක්ෂපතියේ ෆොන්සේකා මාවතේය. තම මිනිපිරියකට කැමැති කෑම සොයා ඔහු ලක්ෂපතියේ සිට සරමක් හැඳගෙන පයින්ම අප නිවස අසළ වෙළෙඳසලක සිටිනු බොහෝ විට මා දැක තිබුණි.
සමන් ගීත රචකයකු ලෙස ගුවන් විදුලියට හඳුන්වා දෙන්නේ 1970 දසකයේ ගුවන් විදුලියේ ''නව රස ධාරා'' නම් සංගීතමය වැඩසටහනකිනි. මේ වැඩසටහන සඳහා එවා තිබූ නොයෙක් ගීත රචනා අතරින් හොඳ ගුණාත්මක නිර්මාණ තේරෑ සංගීතඥ සරත් දසනායක තෝරාගත් අපූරු ගීතයක් විය. මේ රචකයා ආධුනිකයෙකි. දසනායක විසින් තනු නිර්මාණයෙන් වික්ටර් රත්නායක ඒ ගීතය ගායනා කළේය. ඒ මේ ගීතයයි.
''සිරිලක් දෙරණේ වහල් අඳුර පිස
විමුක්තියේ රිවි කිරණ ගලා...''
එතැනින් ඇරඹූ සමන් විසින් රචනා කල ගීත හා චිත්‍රපට ගීත වැඩිම ගණනක තනු නිර්මාණය කළේ සරත් දසනායකය. ෂෙල්ටන් ප්‍රේමරත්න අනික් සංගීතඥයාය. සරත් දසනායක තනුව නිර්මාණය කළ චන්ද්‍රිකා සිරිවර්ධන හා සුනිල් සිරිවර්ධන ගැයූ මේ යුග ගීය සමන්ගේ රචනාවකි. අයියා කෙනෙකු හා නැගණියකගේ ආදරය පිළිබිඹු කරන මේ ගීතය එක කුස උපන් සොහොයුරෙක් හා සොයුරියක් ගායනා කිරීම විශේෂයකි.
අයියා - රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ
පුංචි කමට අපි හිටියා මතක් වෙනව නඟේ
නංගි - පුංචි අතින් අල්ලාගෙන ඒ දණ්ඩෙන් නැගී
ලන්ද පුරා කළ සක්මන් මතකයි අයියණ්ඩි
සමන් ලියූ ගීත රැසකි. එයින් දෝතකි මේ.
''වාදකයාණෙනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිරි රාවය
කෙතක ගොයම් නෙළනා ළඳුන්ගේ
දෙතොලේ ගීයට මුසු කළ මැනවි''
(ගායනය - සුනිල් එදිරිසිංහ/ ස්වර රචනය - පී.වී. නන්දසිරි)
''සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මමත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා...''
(ගායනය හා ස්වර නිර්මාණය - දයාරත්න රණතුංග)
මීට අමතරව සරල ගී, චිත්‍රපට ගී, කැසට් ගී, දේශාභිමානී ගී, ගම්උදා ගී රැසකි.
පුවත්පත් කලාවට සමන් යොමුවන්නේ තාත්තා වූ ''ඉරිදා ලංකාදීප'' පත්‍රයේ කතුවරයකු වූ විමල් වීරසිංහයන්ගේ ආභාෂයෙනි. තාත්තා සමඟ ටයිම්ස් ගොඩනැගිල්ලට නිතර යන එන සමන්ගේ ඇල්ම බැල්ම වැටෙන්නේ මහා පත්‍රකලාවේදීන් දැකීමෙනි. ඩී.බී. ධනපාල, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, පියල් වික්‍රමසිංහ, දීගොඩ පියදාස, සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර, මහානාම දිසානායක, ධර්මසිරි ජයකොඩි, කරුණාසේන ජයලත්, ධර්මසිරි ගමගේ, සමන් තිලකසිරි ආදීන් හඳුනාගන්නේ තාත්තා කී කතා ඇසුරෙනි. ඔහු ලියූ ටිකිරි කතා, කවි පළ කිරීමට දිරි දෙන්නේ පියා නොව ලංකාදීප ඇත්තෝය. සමන් විසින් ලියූ කවි තුළ දේශාභිමානයට තිබූ නැඹුරුව හා කුසලතාව ඉවෙන් දුටු ඉරිදා ලංකාදීප විශේෂාංග කර්තෘ ධර්මසිරි ජයකොඩි තම කර්තෘ මාණ්ඩලික ධර්මසිරි ගමගේ සමඟ ඒවා ගැන පැහැදීමකින් කතා කළේය.
සමන් චන්ද්‍රනාත් 1947 ජූලි 05 වැනිදා පානදුරේ උපත ලැබීය. පාසල් යන කාලේ සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර සංස්කරණය කළ ''කාලයේ සටහන්'' නම් සඟරාවට ඔහු තීරු ලිපි ලියමින් ලේඛන කලාව ඇරඹීය. එකල ඔහුට ''ලංකාදීප'' පත්‍රයට බැඳී නිදහස් ලේඛකයෙක් හැටියට එක පේළියට ශත 4 බැගින් ගෙවීම යටතේ වැඩකර ඇත. ඒ කාලයේ ඔහුගේ කාලීන ආධුනික ලේඛකයන් වූයේ ඇන්ටන් අල්විස්, ආනන්ද ධර්මප්‍රිය, සිරි පෙරේරා ආදීන්ය. ලංකාදීප පත්‍රයේ උපකර්තෘව සිටියදී සමන් අමාරුවේ වැටුණු අවස්ථාද තිබේ. වරක් හිටපු ජනාධිපති ජයවර්ධන මහතාගේ කාලයේ තමාට ලැබුණ ප්‍රවෘත්තියක තිබූ ''ජනාධිපතිතුමා'' වචනය කපා ''ජනාධිපතිවරයා'' යයි සංස්කරණය කළේය. මේ ක්‍රියාව නිසා ජනාධිපතිවරයාගේ නිලය පහත හෙළන්නට තැත් කළැයි ''^ටයිම්ස්'' නිසි බලධාරියා ඩොනල්ඩ් රණවීර මාස නවයක් සමන්ව අනිවාර්ය නිවාඩු යවා ඇත. මේ අතර ''ඇත්ත'' කර්තෘ බී.ඒ. සිර්වර්ධන ''තුමාට'' වඩා ''වරයා'' ගෞරව සහිත බව පත්‍රයෙන් පෙන්වා දුන්නේය. මෙය දුටු බලධාරියා යළි කැඳවීමේ ලිපියක් සමන්ට එවීය. ටයිම්ස් ආයතනය මුල්වරට වහන්නට ළං වී තිබියදී සමන්ට ලැබී ඇත්තේ ''අස්කරණ ලදී'' යන ලියුම බව වරක් කර්තෘ මාණ්ඩලික ඇන්ටන් අල්විස් අපට කියා තිබුණි.
පසුව දිනමිණ නියෝජ්‍ය කතුවරයා වූ සමන් ''සිළුමිණ''ට මාරු කිරීමෙන් පසු ''හංස තටාකය'' ''සඳමඬල'' අතිරේක බිහිකිරීමට මූලිකත්වය ගත්තේය.
සමන්ගේ සමකාලීන පත්තර මිතුරා ගීත රචක හිතවතා වූයේ අජන්තා රණසිංහය. අජන්තා විසින් ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට චිත්‍රපට ගී රචනා කරද්දී සමන් සරත් දසනායකයන්ගේ සංගීතයට චිත්‍රපට ගීත ලිව්වේය. සමන්ගේ මෙන්ම අජන්තාගේ ගේය පද එක සමානව නිර්මාණාත්මක විය.
සමන් චිත්‍රපට රැසක් ලියා තිබුණි. ඒ අතරින් ''ආත්මා'' චිත්‍රපටයට සරත් දසනායක ස්වර නිර්මාණය කළ ලතා වල්පොල හා ග්‍රේෂන් ආනන්ද ගැයූ ''හිම රේණු වැටෙනා''ගීතය චිත්‍රපට ගී අතර සුවිශේෂ මං සලකුණකි.
අප සමග ලේක්හවුසියේ එකම වහළක් යට සේවයේ යෙදී සිටි සමන් චන්ද්‍රනාත් වීරසිංහ නම් මේ පිරුණු මිනිසා උත්තම ගණයේ හදවතක් ඇත්තකු ලෙස මම දකිමි.
I ඒ.ඩී. රන්ජිත් කුමාර