පසුගිය සිකුරාදා (18) වනවිට ඉන්ධන සම්බන්ධ යාවත්කාලීන වූ නවතම පුවත අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් නිර්මාණය කරනු ලැබුවේය. ඒ අනුව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉන්ධන ආනයන මත පනවා ඇති බදු ඉවත්කරන ලෙස ලිඛිත ඉල්ලීමක් සිදුකළ බව කියා සිටියේය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිගින් දිගටම ලබන අලාභය පියවා ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම සිදුකළ බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
මේ මොහොතේ අපි මුහුණ දෙන්නෙ ලංකා ඉතිහාසයේ වැඩිම තෙල් මිලටයි. තෙල් සංස්ථාවේ ගණනය කිරීම් අනුව පෙට්‍රල් 92 ලීටර් එකකින් රු.19ක් , පෙට්‍රල් 95 ලීටර් එකකින් රු.17ක්, ඩීසල් ලීටර් එකකකින් රු.52ක්, සුපිරි ඩීසල් ලීටර් එකකින් රු.35ක්, භූමිතෙල් ලීටර් එකකින් රු.63ක් අලාභ ලබමින් තමා තෙල් විකිණීම සිදු කරන්නේ. ඒ අනුව දිනකට සංස්ථාවට වන පාඩුව රුපියල් මිලියන 551ක්. ඩොලර් මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් ලබාදිය නොහැකි නම්, තෙල් ආනයනය සඳහා ඩොලර් ලබාදිය නොහැකියි කියලා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා ජනවාරි මාසයේ 28 වැනිදා මට ලිඛිත දැනුම් දැනුම්දීමක් සිදුකරලා තියෙනවා.
මේ තත්ත්වය මත ඩොලර් නැතිවීම කෙසේ වෙතත් රුපියල් නැතිවීම මත නුදුරු දිනක තෙල් හිඟයක් රටේ ඇතිවීමේ බරපතළ අවදානමක් පවතිනවා. මේ අනුව සංස්ථාවේ ගණනය කිරීම් අනුව පෙට්‍රල් 92 ලීටරයක් මත රු.42ක්, පෙට්‍රල් 95 ලීටරයක් මත රු.64ක්, ඩීසල් ලීටරයක් මත රු.17ක්, සුපිරි ඩීසල් ලීටරයක් මත රු.39ක්, භූමිතෙල් ලීටර් එකකින් රු.63ක් අය ආදී වශයෙන් බදු පනවා තිබෙනවා. මේ බදුවලින් දිනකට රුපියල් මිලියන 368ක් මුදල් අමාත්‍යංශයේ උපයා ගනු ලබනවා.
මෙම බදු සියල්ල ඉවත් කළොත් සංස්ථාව දෛනිකව ලබන රුපියල් මිලියන 551ක පාඩුවෙන් රුපියල් මිලියන 368ක් ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කරගන්න පුළුවන්. ඒ නිසා ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරදෙන ලෙස මම මුදල් අමාත්‍යතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කළා.
උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ මුදල් අමාත්‍යංශය පාර්ශ්වයෙන් විමසීමක් සිදුකළ නමුත් ඒ වනවිටත් අදාළ ලිපිය ඔවුන් අතට පත් වී නොතිබුණි. කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කර පරිදි එතරම් විශාල බදු ප්‍රමාණයක් ඉන්ධන මත ඇතැයි අදාළ නිලධාරීන් පැහැදිලි කළේ නැත. කෙසේ වෙතත් ඔවුන් කියා සිටියේ බදු අය කිරීම නතර කළහොත් සංස්ථාව පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම පවා අර්බුදයකට ලක්වනු ඇති බවයි. එම නිසාම උද්ගතව ඇති තත්ත්වය ඉතා සංකීර්ණ බව අපට අවබෝධ වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුකරන ලෙසට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති පසුබිමක උදය ගම්මන්පිල අමාත්‍යවරයා විසින් බදු අඩු කිරීම පිළිබඳ ඉල්ලීම ඉදිරිපත් කිරීමද විශේෂිතය. පසුගිය සතියේ බදාදා (16) මේ හා සම්බන්ධව ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය. පවතින තත්ත්වය තුළ පෙබරවාරි මාසයේ පමණක් අලාභය රුපියල් බිලියන 11ක් පමණ වනු ඇතැයි ඔහු කීවේය. ඉන්ධන මිල ඉහළ දැමීමක් හෝ ඉන්ධන මත පනවා ඇති බදු සහනයක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව ඔහුද එදින කියා සිටියේය.
මේ අතර ඉන්ධන මිල වැඩි නොකළහොත් විදුලි බලාගාර, දුම්රිය, මගී බස්රථ හා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබාදීමේ තීරණයකට යන බවටද පසුගියදාක ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසා ඇත. ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම අත්‍යවශ්‍ය බවත් නොඑසේ නම් මේ මාසයේ ලබා තිබෙන පාඩුව වැඩි වී ආයතනය බරපතළ මූල්‍ය අර්බුදයකට යනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
පසුගිය අඟහරුවාදා ඉන්ධන හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමට ඉන්දීය සහයෝගය ශ්‍රී ලංකාවට හිමිවිය. ඒ අනුව ඉන්දියාවෙන් මෙරට ඉන්ධන අවශ්‍යතාව සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් කොළඹ වරාය හරහා ලැබුණි. අදාළ ඉන්ධන භාර ගැනීම සඳහා පැමිණි උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉන්දීය සහයෝගය සම්බන්ධ පැහැදිලි කිරීමක් සිදුකළේය. ශ්‍රී ලංකාව මුහුණපා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ලංකාවේ ප්‍රධානතම ආනයන භාණ්ඩය වන ඛනිජ තෙල් ආනයනය කිරීමේ දැඩි දුෂ්කරතාවකට මුහුණපා සිටින බැවින් ණය පහසුකම් යටතේ ඉන්ධන සපයන ලෙස මිත්‍ර රටවලින් ඉල්ලීමක් කළ බව අමාත්‍යවරයා කීය. ඒ අනුව ඩොලර් මිලියන 500ක ණය මුදලක් දීමට ඉන්දියාව ඉදිරිපත් වූ බවත් ඔහු මෙහිදී පැවසීය.
සම්බන්ධව වැඩිදුරටත් පැහැදිලි කළ උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ණය මුදල සම්බන්ධ කටයුතු තවදුරටත් සකස් සකස් වෙමින් පවතින බවයි. ඒ අතර ඇති වූ නියඟය හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රයේ ඩීසල් සඳහා තියෙන ඉල්ලුම ඉහළ බැවින් ණය මුදල සූදානම් කරනතුරු ක්ෂණික උදව්වක් කරන ලෙස කළ ඉල්ලීමට අනුව ඉන්දීය මහ කොමසාරිස්තුමා මැදිහත් වී ඉන්දියාවේ IOC සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක නැවක් මෙලෙස දීමට කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.
IOC සමාගම මෙරට තුළ මේ වනවිටත් ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකර තිබේ. ඒ හේතුවෙන් ජනතාව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත ඇදී ඒමද ඉහළ ගොස් ඇත. එම නිසාවෙන් ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්ද අර්බුදය ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පවතින බව සංස්ථා ආරංචි මාර්ග පවසයි. එසේම ඉන්ධන අර්බුදය සමඟ සමග එකිනෙක බැඳී ඇති විදුලි අර්බුදයද නැවත ප්‍රබල ලෙස හිස ඔසවන ලකුණු සති අන්තය වනවිට දක්නට ලැබුණි. විදුලි අර්බුදය සමථයකට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා පළ වුවද ඉන්ධන සම්බන්ධ වුණු අර්බුදය වඩාත් සංකීර්ණ වනවිට විදුලි අර්බුදය එහි කොටසක් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකිය.
මෙම තත්ත්වයන් මත අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටින්නේ තමා මෙම ඇමැතිධූරය දරනුයේ දැඩි පීඩනයකින් බවයි. ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද යන්න තමන්ටද පැහැදිලි නොමැති බව ඔහු කියා සිටී. ඉන්ධන අර්බුදය අතරේම ආණ්ඩුවේ දේශපාලන අර්බුදයද එකිනෙක සම්බන්ධ වීම හේතුවෙන් අමාත්‍යාංශ තොර චෝදනා කර ගැනීමක් බෝල පාස්කර ගැනීමක් සිදුවන බවට විපක්ෂයේ පිරිස් චෝදනා කරති. කෙසේ නමුත් පවතින තත්ත්වය දෙස සාවධානයෙන් බලාසිටීම මිසක මෙරට පුරවැසියන් ලෙස අපට කළ හැක්කේ කුමක්ද? ඒවා ඔබ තනි තනිව සිතා බැලිය යුතු කරුණකි.
චමිඳු නිසල් ද සිල්වා