ආනයන පාලනය වත්මන් ආණ්ඩුව උනන්දුවක් දැක්වූ අංශයකි. රටට නිපදවිය හැකි ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නතර කළේය. විදේශ විනිමය හිඟය සලකා බැලීමෙන් පසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හැර ආනයනය කරන අනෙක් දේ පාලනයක් පැනවීය. පාලනය කෙසේ වෙතත් අවශ්‍ය දේ ගෙන්වීමට පවා ණයවර ලිපි සකස් කරගැනීම පහසු වූයේ නැත. පරිශ්‍රමයකට පසු රටට ළඟාවන කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා පවා විනිමය හිඟ කාලයකි.
පාලනය කෙසේ නමුත් ආනයනය සීමා වී නැත. මහ බැංකුවේ වාර්තා දක්වන පරිදි ආනයන වියදම ඉහළ ගොස් තිබේ. නොගෙන්වන්නට තීරණ තිබිය දී පවා ගෙන්වන ලද ප්‍රමාණය ඉහළ බව පෙනේ. පිටරටින් ගෙන්වන දේ නතර කිරීමෙන් දුෂ්කරතාවයකට පත්වූයේ සාමාන්‍ය ජනතාව පමණකි. සුඛෝපභෝගී ජීවිතවලට හුරු වී සිටි පිරිස් තමන්ට අවශ්‍ය දේ ගෙන්වාගෙන තිබේ. ජනතාවට බෙහෙත් පෙත්තක් සොයාගැනීම අපහසු නමුත් ඇතැම් මිල අධික ආහාර වර්ගවල හිඟයක් නැත. පාලන රෙගුලාසි ක්‍රියාත්මක කරන බලධාරීහු මෙම පැති ගැන විමර්ශනය කළ යුතුය.
• අපනයන වර්ධනය පරාජය කරන ආනයනය
මහ බැංකු වාර්තා දක්වන පරිදි 2021 වසරේ අපනයන සියයට 20 කින් වැඩි වී ඇත. අවසාන මාස හතක කාලයේ ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා අපනයන ආදායම වාර්තා වීම කැපී පෙනෙන තත්ත්වයකි. කෙසේ නමුත් ආනයන වියදමද සියයට 28.5 කින් වර්ධනය ඇත. වැඩිම වියදම ඉන්ධන ආනයනයට බව දැක්වේ. අපනයන වලින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක් උපයන විට ආනයනන සඳහා ගෙවන්නට සිදුවූ මුදල ඇමරිකානු ඩොලර් බිලියන 20.6 කි. ඇමරිකානු ඩොලර් බිලියන අටක පමණ වෙළෙඳ පරතරයක් නිර්මාණය කර ඇති බව දැක්වේ.
වෙළෙඳපොළ භාණ්ඩ හිඟයක් ඇති කරන තරමට තද පාලනයක තිබුණ රටක මෙවැනි විශාල වෙළෙඳ පරතරය අත්පත් කරදෙන ජයග්‍රහණයක් නැත. සාමාන්‍යයෙන් පසුගිය වසර කිහිපය තුළ වෙළෙඳ පරතරය ඇමරිකානු ඩොලර් බිලියන දහයක පමණ සාමාන්‍ය අගයක් ගෙන තිබුණි. පසුගිය වසරේ අඩුවීම ඩොලර් බිලියන දෙකක් පමණකි.
2020 ජනවාරි හා නොවැම්බර් අතර කාලය තුළ ඉන්ධන ආනයනයට ඇමරිකානු ඩොලර් බිලියන 2.7ක් වැය කරන ලද අතර 2021 එනම් පසුගිය වසරේ එම කාලය තුළ වියදම ඇමරිකානු ඩොලර් බිලියන 3.3 දක්වා නැග ඇත. රෙදිපිළි ආනයනය ඇමරිකානු ඩොලර් බිලියන 2.1ක සිට පසුගිය වසරේ මුල් මාස එකොළහ තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2.7 තෙක් ඉහළ ගොස් ඇත. උපකරණ හා මෙවලම් ආනයන වියදම පසුගිය වසරට වසා 2021 මුල් මාස එකොළහ තුළ ඇමරිකානු ඩොලර් මිලියන 600කින් වර්ධනය වී තිබේ. ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන්වීම, පොහොර හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය ආනයනයද පසුගිය වසරේ සමාන කාලයට වඩා වැඩි බව මහ බැංකු වාර්තා දක්වයි. මේවායෙන් තේරුම්ගත යුතු කුමක්ද?
• අපනයන අංශය ගැන සැලකිලිමත් නොවීම
2021 වසරේ අපනයන ආදායම සියයට විස්සකින් නැග ඇත. දෙසැම්බර් මාසයේ පමණක් ශ්‍රී ලංකාවේ අපනයන අංශය කලින් වසරේ සමාන කාලයට වඩා සියයට 16.71 කින් වර්ධනය වී තිබේ. එම මාසය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.12 ක විනිමය උපයන ලද බව අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තාවක් කියා සිටී. ශ්‍රී ලංකාව 2021 වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 20 ක අපනයන ආදායමක් අපේක්ෂා කරන බව මුලින් ප්‍රකාශ කර තිබුණි. එය පහසු ඉලක්කයක් නොවේ. මෙතෙක් සාර්ථක කරගත නොහැකි වූ අගයකි. නිකුත් වී ඇති වාර්තා අනුව අපනයනයෙන් උපයාගත හැකි වූ විනිමය ඇමරිකානු ඩොලර් බිලියන 12.6 කි.
ආනයන සීමාව රට තුළ නිෂ්පාදනය වැඩිකරන හේතුවකි. එයින් කොටසක් අපනයන සඳහා අවස්ථාවක් බව සඳහන් කළ යුතුය. මෑත කාලය තුළ ආනයනය සීමාකිරීම තුළ ලබාගෙන ඇති වාසිය කුමක්ද? විකල්ප භාණ්ඩ නිපදවා නැත. කිසිම ප්‍රමිතියකට නැති මැදි ආදායම් රටක ජනතාවගේ ආකර්ෂණය දිනාගත නොහැකි සරල දේ නිපදවා ඇති බව මාධ්‍යවලින් ප්‍රචාරය කෙරේ. ඇතැම් වාහන නිපදවා ඇති බව කියැවේ. වෙළෙඳ ද්‍රව්‍ය සම්බන්ධයෙන් හොඳ නමක් රටට තිබුණි. කුරුඳු, මිනිරන්, කුළුබඩු වර්ග මුතු මැණික් යනාදිය ලංකාවේ විශිෂ්ටතම අපනයන ද්‍රව්‍ය විය. සම්ප්‍රදායික අපනයන අංශ බව දක්වා වැඩි උනන්දුවක් නොදක්වන නමුත් මේවා දියුණු කළ හැකි පැති ගැන අපට හිතන්නට අලුත් පැත්තක් ඇත. නමුත් මේවායේ වර්ධනයක් සිදුවී නැත.
ලෝකයේ සාර්ථක ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනයට අවස්ථා දිය යුතුය. හම්බන්තොට හා ආශ්‍රිත ප්‍රදේශවල කෘෂි හා කර්මාන්ත කලාප නම් කිරීම නොපමාව සිදුකළ යුතුය. පාරම්පරික ගම්බිම් ඒවායේ පුරාවස්තු ගැන අභිමානයෙන් කතා කරන පිරිස් රටට ආදායමක් ගෙන එන පැති ගැනද ආණ්ඩුවට බල කරන ව්‍යාපාර ආරම්භ කළ යුතුව ඇත.
• ආනයනය වැඩිවන හේතු
තෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 3.7කි. සියයට හතළිස් හතකින් ඉහළ නැග ඇත. මන්නාරමෙන් තෙල් කැනීම ගැන කතාකරන දේශපාලනඥයන් මෙම පැති ගැන සැලකිල්ලක් දැක්විය යුතුය. බලශක්ති අවශ්‍යතා සඳහා කරනආනයනය මෙරට සමස්ත ආනයනයෙන් පහෙන් එකකට ආසන්නය. බොරතෙල් මිල වැඩිවෙමින් තිබේ. තෙල් ගෙන්වන්නට දරන පරිශ්‍රමය බලවත්ය. ඉන්දියාවේ සහාය අවශ්‍ය වී තිබේ. රාජ්‍යතාන්ත්‍රික මටට්මින් සාකච්ඡා සාර්ථක වී තෙල් නැවක් ඉන්දියාවේ සිට කොළඹට පැමිණීම උත්සවයක සිරිගත් බව මාධ්‍ය වාර්තා කර තිබුණි. තෙල් ආනයනය පාලනය කළහොත් අස්වැසිල්ලක් ලැබේ. විකල්ප බලශක්තිය ගැන අවධානය යොමු කළ හැක.
රජයේ වාර්තා අනාවරණය කරන පරිදි සූර්ය විදුලිය උත්පාදන ව්‍යාපෘති පන්දහසකට වැඩි ප්‍රමාණයක් පැත්තකට කර ඇත. මන්නාරමේ ඉදිකළ හැකි සුළං බලාගාරවලින් දැනට උත්පාදනය කරන විදුලියට වඩා විදුලිය ප්‍රමාණයක් ලබාගත හැකි බව ප්‍රකාශ වී තිබේ. එම විදුලිය මෙරට කර්මාන්ත හා ව්‍යාපාරවලට අඩුම ගාස්තුවකින් බලශක්තිය සපයනු ඇත. ගල් අඟුරු හා දැවිතෙල් බලාගාර නිසොල්මන් කළහොත් එයින් ලැබෙන ජවය බලවත් එකකි. වගකිව යුතු අංශ එය කෙරෙහි අවධානය යොමු නොකරන්නේ ඇයි?
රටට ගෙන්වන ඉන්ධන වලින් සියයට හැටක් ප්‍රවාහන අවශ්‍යතාවලට වැය කෙරේ. විදුලිය වාහන ප්‍රචලිත කරන පුළුල් වැඩපිළිවෙළක් අපට නැත. වාහන ආනයනය සදහා තහනම ලිහිල් කිරීමෙන් පසු විදුලිය බලයෙන් ධාවනය වන වාහන ගෙන්වන බව ප්‍රකාශ වී තිබේ. ඒවාට විදුලිය සපයන්නේ තෙල් ආනයනය කර උත්පාදනය කරන බලාගාරවලින්ද? ආනයන වියදම දෙගුණ තෙගුණ වනු ඇති අතර එය වළක්වන්නට අපට ඇති ක්‍රියාමාර්ග කවරේද?
• අපනයනය සඳහා ආනයන අවශ්‍යතා
කර්මාන්තකරුවෝ මෑතකදී ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළහ. තමන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනයේදී පහසුවක් ඇති කරන ලෙස අදාළ අංශවලට ඔවුන් දැනුම් දී ඇත. අමුද්‍රව්‍ය රහිතව නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යා නොහැක. ඇමරිකානු ඩොලර් බිලියන පහක ඇඟළුම් අපනයනය කරන නමුත් ඇමරිකානු ඩොලර් බිලියන තුනක පමණ රෙදිපිළි ගෙන්වා තිබේ. යන්ත්‍ර සූත්‍ර වෙනම විය හැකිය. ශ්‍රම ලාභය හා බදු පමණක් රටට වාසියකි. ශ්‍රී ලංකාව කරන්නේ අතරමැදි සේවා බව සඳහන් කරන්නට අවශ්‍යය. ඇනවුම් ඇති අවස්ථාවල අවශ්‍ය ප්‍රමාණයට රෙදි හෝ අනෙක් මෙවලම් ගෙන්වා ගැනීමට බාධා ඇතිවුවහොත් සිදුවන්නේ අනර්ථයකි. විනිමය හිඟය හා බැංකු සමග කටයුතු කරන්නට සිදුවීම මත මෙරට ප්‍රධාන පෙලේ ඇඟළුම් කම්හල්වල අනවශ්‍ය බරක් ඇති බව පෙනේ. ඒවා වියදම්ය. එම වියදම පවා ඇඟළුම් ඒකකයක මිල වැඩි කරයි. පොහොර වියදම වැඩිවන විට තේ දළු කිලෝවක නිෂ්පාදන මිල වැඩිවෙයි. මෙම සංකීර්ණ පැති ගැන ගැඹුරින් සළකා බැලීම අවශ්‍යය.
ආනයනය පාලනය තුළ වැඩි වාසියක් ලැබී නැත. ඉදිරියේදී සංචාරකයන්ගේ පැමිණීම වැඩිවුවහොත් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා මස්, මාළු හා එළවළු පවා පිටරටින් ආනයනය කරන්නට සිදුවෙයි. සංචාරක ඉපැයීම් වැඩිවන විට ඒවා ගෙන්වීම ප්‍රශ්නයක් නොවෙන්නට ඉඩ තිබේ. එහෙත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මූලික රාමුවෙන් ගැලවීමක් නැත. ආනයනය පාලනය පහසු නැත. පසුගිය වසරක එකහමාරක තුළ පාලනයෙන් පසු ලබාගෙන ඇති ජයග්‍රහණ මොනවාද? අත්‍යවශ්‍ය දේ පවා රට තුළ නැත. එය ආණ්ඩුවේ ජනප්‍රියතාව අඩුකරන හේතුවක් වී ඇත. තවත් කෙටි කාලයක් ඇවෑමෙන් මැති ඇමැතිවරුන් පවා වාහන ඉල්ලා අරගලය අරඹනු ඇති බව සැක කළ හැක. රටට අවශ්‍ය අනෙක් ක්‍රමයකි. ආනයන හා සමානව අපනයනය, විදේශ ආදායම වැඩි කරගත යුතුව ඇත.
සාරා කන්දෙගොඩ