2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

ගෙදර මිදුලෙදිම මරා දැමූ තංගල්ලේ කොස්තාපල්

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 286

තංගල්ල විතාරන්දෙණිය තේනගම ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ සමඟම පහරකෑමට ලක්වූ ඔහුගේ සහෝදරයා සිහිවිසඥව ගතියෙන් තවමත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පහරකෑමෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් කොස්තාපල්වරයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල අන්තර් හුවමාරුවේ අධිවේගී රථවාහන පොලිස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි නිලධාරියෙකි.

පෞද්ගලික කෝන්තරයක් මත වූ ආරවුලක් හේතුවෙන් සිදුකළ ඝාතනයක් බවට සැක කෙරෙන අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙසේ වාර්තා වේ.

විදානගමගේ චතුරංග දිල්ෂාන් (34) මහතා පදිංචිව සිටියේ තංගල්ල පොලිස් බල ප්‍රදේශයේ විතාරන්දෙණිය තේනගමය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරිය සඳහා බැඳී වසර කිහිපයකි. කාලයක පටන් ඔහු සේවය කරමින් තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලීසියේ කසාගල අන්තර් හුවමාරුව අසලය. පසුගිය 17 වැනිදා මෙම පොලිස් කොස්තාපල්වරයා නිවසේ රුඳී සිට ඇත. එදින රාත්‍රියේ ඔහුගේ සොහොයුරා සමඟ පොලිස් කොස්තාපල්වරයා ආහාර භුක්ති විඳිමින් සිට තිබුණි. ඒ අවස්ථාවේ ඔහුගේ බිරිය හා කුඩා දරුවාද එම නිවසේ සිට ඇත. රාත්‍රී 9ට පමණ වූ ඒ මොහොතේ නිවසේ දොර ජනේල වසා තිබියදී හිටිහැටියේම යමක් බිම වැටෙන ශබ්දයක් ඇසී තිබුණි. ශබ්දයත් සමඟ බිම ඇද වැටුණේ තමාගේ යතුරුපැදිය බව හඳුනාගන්නට පොලිස් කොස්තාපල්වරයාට වැඩිවෙලාවක් ගතවූයේ නැත. බත් පිඟාන පසෙක තැබූ ඔහු වහා ගෙමිදුලට බැස්සේ යතුරුපැදිය පෙරළීම ගැන බැලීමටය. ඔහු පසුපසින් ඔහුගේ සොහොයුරාද එළියට බැස තිබුණේ ඔහුගේ සහායටය. අයියා මලෝ දෙන්නා ගෙයින් එළියට බහින විටත් මිදුලේ කිහිප දෙනකු රුඳී සිට තිබුණි. එම පිරිස දහයක් දොළහක් පමණ වන්නට ඇත. කොස්තාපල්වරයාගේ යතුරුපැදිය පෙරළා තිබුණේ ඔවුන් විසිනි.

ඇයි මොකක්ද ප්‍රශ්නෙ? පිරිස හමුවේ විමසා තිබුණේ පොලිස් කොස්තාපල්වරයාය. පෙරළා පිළිතුරු දුන් අයෙක් ප්‍රශ්නෙ.... ප්‍රශ්නෙ තමා උඹලා...? යැයි කියන ගමන් අත වූ පොල්ලකින් වැරෙන් පහරක් කොස්තාපල්වරයා වෙත එල්ලකර තිබිණි. ඒ සමඟ ඔහුව බේරා ගැනීමට මැදිහත් වූ කොස්තාපල්වරයාගේ සොහොයුරාටද පිරිස පහරදී තිබුණි. ඔවුන්ගේ පහරකෑම හමුවේ බිම ඇදවැටුණු අයියා මලෝ දෙන්නාගේ හිස මූණ ඇතුළු තැන් රුසකින් ලේ ගලන්නට විය. එසේ තිබියදී පිරිස එක්ව සොහොයුරන් දෙදෙනා බිම ඇදගෙන ගොස් තිබුණේ අසල්වැසි ඉඩමක් වෙතය.

කොස්තාපල්වරයාගේ නිවෙස ආසන්නයේ තවත් ඉඩම් දෙකකි. එක ඉඩමක පවුලක් ජීවත්වන නිවසකි. ඊට යාබද ඉඩමේ ඉදිකරමින් පවතින හෝටලයකි. කොස්තාපල්වරයාට හා ඔහුගේ සොහොයුරාට පහර දෙමින් ඇදගෙන ගොස් තිබුණේ එම හෝටලය ඉදිකරන භූමිය වෙතය. එහිදීද දෙදෙනාට පොලු මුගුරුවලින් පහරදුන් පිරිසෙන් අයකු ටික වෙලාවකට පසුව කොස්තාපල්වරයාගේ නිවෙසට ගොස් අන්න දෙන්නව මරල දාලා තියෙන්නේ... ගිහින් බලපන්.... යැයි කොස්තාපල්වරයාගේ බිරිය හමුවේ කියා තිබුණේ උජාරුවටය. එසේ කියා පිටත් වූ පුද්ගලයා පසුපස දුවගිය කොස්තාපල්ගේ බිරිය එම හෝටලය වෙත ඇතු වී ඇත. එහි මිදුලේ අයියා මලෝ දෙන්නා ලේ පෙරෙන තුවාල සහිතව වැටී සිටින බව ඇය දැක තිබේ.

බිරියගේ කෑගැසීම හමුවේ අසල්වැසි ගම්මුන් ඒ වෙත පැමිණ තිබුණි. ඒ වනවිටත් පහරදුන් පිරිස ප්‍රදේශයෙන් පලාගොස් තිබියදී තුවාලකරුවන් දෙදෙනා රෝහල් ගත කිරීමට පැමිණි පිරිස කටයුතු කර ඇත. කොස්තාපල්වරයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇති අතර ඊට ආසන්නම හේතුව බවට වාර්තා වූයේ හිසට එල්ල වී තිබූ පොලු පහරකි. ඔහුගේ සොහොයුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවට රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය සහෝදරයාට මෙන්ම ඔහුටත් හිසට තද පහරක් එල්ල වී ඇතැයි කියන අතර ඔහු සිහි විසඥව සිටී.

මෙසේ ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා රාජකාරි ස්ථානයේ මෙන්ම පදිංචි ප්‍රදේශයේ ජනතාව අතර හොඳ හිත දිනා සිටි එක්දරු පියෙකි. ඔහුගේ නිවෙසට යාබද ඉඩමක ඉදිකරන හෝටලයේ හිමිකරු යහමින් අතමිට මුදල් ඇත්තෙකි. ඔහු වරින් වර විදේශ ගත වෙමින් ව්‍යාපාර කටයුතුවල නිරත වන අතර කාලයක පටන් හෝටලයේ ඉදිකිරීම් සඳහා මේසන්වරු හා වඩු බාස්වරු කටයුතු කරමින් සිට ඇත. හෝටලයේ වැඩකළ පුද්ගලයකු හා අසල්වැසි නිවෙසක කාන්තාවක අතර අනියම් සබඳතාවක් ගොඩනැගී තිබුණේ එසේ හෝටලය ඉදිකරන අතරතුරය. මේ සබඳතාව අතරතුර යම් කතාවකට කොස්තාපල්වරයාගේ නිවැසියන්ද සම්බන්ධ වී ඇතැයි කියති. එහිදී වූ ආරවුලක් දිගදුර යාමෙන් හටගත් ගැටුමක් හේතුවෙන් ඝාතනය සිදුව තිබෙන බවට පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් විස්තර කරන මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ බිරිය වන සෙනුරි හිමායා රාජපක්ෂ මෙසේ පැවසුවාය.

බයික් එක පෙරළෙන සද්දෙට අපි එළියට ආවා. අපි එනකොට කට්ටියක් ගෙදර ළඟම හිටියා. දහ දෙනෙක් විතර හිටියා. මගේ මහත්තයා ගිහින් එයාලගෙන් ඇහුවා ඇයි, මොකක්ද ප්‍රශ්නෙ කියලා. එතකොට එක්කෙනෙක් ඇවිත් මහත්තයාට පොල්ලකින් ගැහුවා. මහත්තයාගේ මල්ලිත් ඒ වෙලාවේ හිටියා. මල්ලිටත් ගහලා මල්ලිගේ තොල පැලිලා ලේ එනව දැක්කා. පොඩි දරුවා මගෙ අතේ හිටියේ. එයා බයවෙන නිසා මම දරුවව ගේ ඇතුළෙන් තියන්න ගියා. මම එද්දි කට්ටිය හොඳටම ගහ ගන්නවා. ඊටපස්සේ බිම දාලා දෙන්නවම ඇදගෙන ගියා ඉස්සරහ තියෙන හෝටලේ ළඟට. බේරගන්න ගිහින් මටත් තුවාල වුණා. දරුවා ගේ ඇතුළෙ අඬනව ඇහුණ නිසා දරුවව අරන් මම ආයෙ එද්දී මහත්තයාව අරන් ගිහින් තිබුණා. මහත්තයායි මල්ලියි දෙන්නගෙන්ම සද්දයක්වත් ඇහුණෙ නැහැ. ටික වෙලාවකින් එක්කෙනෙක් ඇවිත් කිව්වා අන්න දෙන්නවම මරල දාලා තියෙන්නේ ඇවිත් බලපන් කියලා. හෝටලේ මිදුලේ මහත්තයා ලේ පෙරාගෙන මුනින් අතට වැටිලා හිටියා යැයිද කීවාය.
සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

පසුබිම් වාර්තා හා සේයාරූ - අනීෂා මානගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05