2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

ලෝකයේ ලොකුම සිමෙන්ති කම්හල් අතරට යන හම්බන්තොට ලංවා සිමෙන්ට්

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 719

සිමෙන්ති හිඟයකින් අනේකවිධ පීඩා විඳිමින්, මාෆියාවකින් හෙම්බත් වී සිටිමින් බාල සිමෙන්තියෙන් හැදූ අත්තිවාරමක් තරමටම අවිනිශ්චිත අනාගතයක සිහින මැවූ මෙරට ජනතාවට නව රම්‍ය උදෑසනක් වන් නව්‍ය බලාපොරොත්තුවක් දෑස් මානයේ දැල්වී තිබේ. එනම් හම්බන්තොට සිමෙන්ති කම්හලයි. 

හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63ක භූමිය පුරා ඉදිවන ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක්වන ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ නව කර්මාන්තශාලාව එන මස 7 වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතින් විවෘත වීමට නියමිතය. මෙරට කර්මාන්ත අමාත්‍යංශයේ ලියාපදිංචි දේශීය සිමෙන්ති කම්හල් 6ක් ඇති අතර එම ලැයිස්තුවට  අලුතෙන් එක්වන නව කම්හල හම්බන්තොට මිරිජ්ජවිල සිමෙන්ති කම්හලයි. 

රුහුණු ආර්ථික පරිවර්තනයේ කේන්ද්‍රස්ථානය ලෙස හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබුවේ 2019 මාර්තු 24 වැනිදා එවක යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එවක මෙම කර්මාන්ත පුරයේ ඉදිකිරීම්වලට විරෝධය පළකරමින් දැවැන්ත විරෝධතා මාලාවක්ද පැවැත්විණි. මෙසේ නොබෝදා විවෘත වන්නේ බාධක මැද එසේ ආ ගමන්මගේ සාර අස්වැන්නයි. මෙරට ඉදිවන එක් කම්හලකින් ලැබෙන ප්‍රතිලාභ අසීමිතය. අපේ රටේ ශ්‍රම බළකායට අත්වැලක් වෙමින් රුකියා දසදහස් ගණනක් හිමිවෙයි. ශ්‍රී ලංකාව වැනි දියුණු වන රටකට දේශීය ව්‍යාපාර බිහිවීම අනාගත ආයෝජනයකි. හැට්ට කටුව පවා පිටරටින් ගෙන්වාගන්නා රටක අගය කළ යුතු හොඳ ප්‍රවණතාවකි.

මෙම නව සිමෙන්ති කම්හල මගින් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4ක සිමෙන්ති ධාරිතාවක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මේ වනවිට ඇස්තමේන්තු කර තිබේ. දේශීය කර්මාන්තය නංවමින් මෙරට නිෂ්පාදන වැඩිකිරීම ලංකාව වැනි දියුණු වන රටකට යහපත් ප්‍රවණතාවකි. මෙවැනි කම්හල්වලින් නව රුකියා මාර්ග ඇති වී අපේ රටේ ශ්‍රම බළකාය ශක්තිමත් කිරීමට හැකිවීම අනාගතයට හොඳ ආයෝජනයකි. මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටි සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සහ හම්බන්තොට අන්තර්ජාතික වරාය එකිනෙක සම්බන්ධ කරමින්  ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පෞද්.) සමාගම සහ හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් (පෞද්.) සමාගම අතර විශේෂ ගිවිසුම් දෙකකට ඉකුත් වසරේ අත්සන් තැබිණි. මෙම ගිවිසුම්වලට අනුව ලංවා සංස්ථා සිමෙන්ති සමාගම වෙත අනුයුක්ත කර ඇති ජැටිය පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු කිරීමට එම සමාගම සතු ෂිප් අන්ලෝඩර් දෙකකට අවස්ථාව ලැබේ. වරාය සහ කර්මාන්තශාලාව යා කරන ඉහළම කාර්යක්ෂමතාවකින් යුත් කන්වේයර් බෙල්ට් එක නිසා අපතේ යෑම් සහ පරිසර දූෂණය අවම වන අතර, මෙය පරිසර හිතකාමි ලෙස කටයුතු කරමින් කාර්යක්ෂමතාව වැඩිකර ගැනීම සම්බන්ධයෙන් අනෙකුත් සමාගම්වලටද මහඟු ආදර්ශයක් වනු ඇත. දුහුවිලි ඇතුළු නොවන පරිදි ආවරණය කර අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන මේ කන්වේයර් බෙල්ට් එක මඟින් පැයකට අමුද්‍රව්‍ය ටොන් 1,200ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී. එමෙන්ම නවීනතම යටිතල පහසුකම් භාවිත කරමින් ටොන් 60,000ක ධාරිතාවෙන් යුත් නෞකාවකින් රුගෙන එනු ලබන අමුද්‍රව්‍ය දින 3ක් තුළ ගොඩබෑමට හැකිවෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිමෙන්ති නිෂ්පාදනය කිරීමට හැකි මෙරට සිමෙන්ති අවශ්‍යතාව බොහෝ දුරක් සැපිරිය හැකි මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් වෙනුවෙන් මේ දක්වා ඩොලර් මිලියන 100කට වඩා වියදම් කර ඇති අතර මෙම සිමෙන්ති කර්මාන්තශාලාව දැනට ලංකාවේ ඉදි වී තිබෙන විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙයි. වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ 28ක් නිෂ්පාදනය කරන අතර සිමෙන්ති කොට්ට මිලියන 76ක් පමණ නිෂ්පාදනය කළ හැකි බවට තක්සේරු කර තිබේ. වර්තමානයේ ලෝකයේ පවතින ඉහළම තාක්ෂණය කම්හලට යොදාගෙන ඇති අතර සියලු නිෂ්පාදන කටයුතු ස්වයංක්‍රීයව සිදුකරයි. 

මෙම කර්මාන්තශාලාව මගින් උසස්ම  තත්ත්වයේ නිෂ්පාදන ලබාගත හැකිවීම ඉදිකිරීම් කර්මාන්තයට බෙහෙවින් වාසිදායක වනු ඇති බවත් මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ උපරිම නිෂ්පාදන හැකියාවක් සඳහා නවීනතම යුරෝපීය තාක්ෂණය භාවිත කරන අතරම පරිසර හිතකාමීත්වය සුරකිමින් අඛණ්ඩ නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කෙරෙන එකම කර්මාන්තශාලාව බවට මෙය පත්වෙනු ඇත. ප්‍රධාන පාලක මැදිරි ඇති ස්ථාන පිළිබඳ ඔබ අසා ඇතත් සිමෙන්ති කම්හලක ප්‍රධාන පාලක මැදිරියක් ඇතැයි කිවහොත් ඔබ පුදුම වනු නොඅනුමානය. සම්පූර්ණ කම්හලේ ක්‍රියාවලිය ඕනෑම මොහොතක ස්මාර්ට් ජංගම දුරකතනයක තිරයකින් නැරඹීමට හැකි තරම් දියුණු තාක්ෂණයක් යොදාගෙන මෙම කර්මාන්තශාලාව ඉදිකර තිබේ. 

මෙම කර්මාන්තශාලාවේ පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය යන්ත්‍රසූත්‍ර  ඇතුළත් වෙයි. මෙය ජාත්‍යන්තර ප්‍රවණතාවලට සමගාමී වන, ශ‍්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සම්බන්ධ පුරෝගාමී පියවරකි. භාණ්ඩ ප්‍රවාහන නෞකා  3 කට සමාන ගබඩා පහසුකම් ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සතු වන අතර, වරායේ සිට කර්මාන්තශාලාව දක්වා අමුද්‍රව්‍ය ප්‍රවාහනයට කිලෝමීටර් 2.1ක දිගින් යුත් කන්වේයර් බෙල්ට් එකක්ද යොදා ඇත. එයින් පැයකට ටොන් 1200ක වේගයෙන් අමුද්‍රව්‍ය කර්මාන්තශාලාව තුළට ගෙන්වාගැනීමට හැකිය. හම්බන්තොට වරායේ සිට අමුද්‍රව්‍ය ස්වයංක්‍රීයව නළ මාර්ග ඔස්සේ ඇවිත් පැයකට සිමෙන්ති පැකට් ලක්ෂ 2ක් ඇසුරුම් බවට පත්වෙයි. 

මෙම කර්මාන්තශාලාවේ සම්පූර්ණ ආයෝජනය ලංවා සමූහ ව්‍යාපාරය දරන අතර ශ්‍රී ලාංකිකයකුට තනි අයිතිය හිමි එකම සහ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව මෙය වෙයි. මෙහි ආයෝජකයා වන්නේ නන්දන ජයදේව ලොකුවිතාන මහතාය. මැදවච්චිය, කොබිටියගොල්ලෑව නම් දුෂ්කර ගම්මානයේ උපත ලබා ව්‍යාපාරික ලෝකය දිග්විජය කළ නන්දන ජයදේව ලොකුවිතාන මහතා මේ වන විට දෙස් විදෙස් ව්‍යාපාර රුසක හිමිකරුවෙකි. සිලෝන් ස්ටීල් කෝපරේෂන් සමාගමේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජධානියේ ඔනික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියාද වන නන්දන මහතා කොරියානු සමාගමක් විසින් පවත්වාගෙන යනු ලැබූ ඔරුවල වානේ සංස්ථාව විකුණන අවස්ථාවේ මිලදී ගත්තේය. මොහු මහල් 8කින් කාමර 351කින් සමන්විත ඩුබායි මැරියට් අල් ජඩාෆ් හෝටලයේ හිමිකරුද වෙයි. ඉකුත් වසරේදී හොරණදී විවෘත වූ දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල වන ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගමේ හිමිකරුද නන්දන මහතාය.

හම්බන්තොට ලංවා සිමෙන්ති කර්මාන්ත ශාලාවේ  ව්‍යාපෘති කළමනාකරු ලෙස නුවන් පී. ජයසූරිය, ප්‍රධාන විධායක නිලධාරී ලෙස තුසිත ගුණවර්ණසූරිය යන නිලධාරීහු කටයුතු කරති.  

නව සිමෙන්ති කර්මාන්තශාලාව විවෘතවීම සම්බන්ධයෙන් ‍ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසූයේ මෙවැන්නකි. 

“හම්බන්තොට කර්මාන්තශාලාව විවෘතයෙන් පසු නිෂ්පාදන අරඹා මාර්තු මුල් සතිය හෝ දෙවැනි සතිය වෙනකොට නිෂ්පාදන වෙළෙඳපොළට දීමට හැකි වෙතැයි මා විශ්වාස කරනවා. දේශීය නිෂ්පාදනයට අපි තැනක් දිය යුතුමයි. එනිසා දේශීය කම්හලක් මෙරට ආරම්භ වීම ගැන අපි සන්තෝස වෙනවා* යැයිද ඔහු පැවසීය.

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක ස්ථාපනය වූ දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව ඉකුත් වසරේ විවෘත කෙරිණි. මෙම නව කම්හල ඉදිවීමෙන් පසු එතෙක් පැවති වෙළෙඳපොළේ ඉහළ ගිය ටයර් මිලේ වෙනසක් වේවි යැයි සිතුවද එහි වෙනසක් නොවූ බවට ජනතාව පවසති. ඉහත ආකාරයට මෙම නව සිමෙන්ති කම්හල විවෘත වීම සහ සිමෙන්ති මිල සමග සැසඳීමට අපි ඉක්මන් නොවෙමු.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල වැසී යාමේ ඛේදවාචකය ගැන මේ මොහොතේ කතා නොකරම බැරිය. රටක නව සුවිසල් කම්හලක් ඉදිවීම වගේම සුවිසල් කම්හලක් වැසීයාමද සැලකිය යුතු තත්ත්වයකි. 1950 වසරේ ආරම්භ කළ කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථා කම්හල උතුරේ වෙඩි හඬින් නිහඬ වී තවමත් අතහැර දමා තිබේ. මෙවැනි දේශීය සම්පතට යළි පණ දී එයින් නිසි ප්‍රයෝජන ගැනීම බලධාරීන්ගේ වගකීමකි. හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාව මෙන්ම තවතවත් දේශීය කර්මාන්ත බිහිවීම යහපත් ප්‍රවණතාවකි. 

 සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05