2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

ජවිපෙ ජොන්ස්ටන් හැප්පෙන මධ්‍යම අධිවේගයේ ටෙන්ඩර් ජරමරේ

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 11

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධ පසුගිය සතියේ මාධ්‍ය අවකාශ තුළ දැවැන්ත අාන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවුණි. එහි ඉදිකිරීම් කටයුතුවලදී සිදුව ඇතැයි පැවසෙන දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ &දූෂණ විරෝධී* නම් හඬ සංවිධාන හෙළිදරව් කිරීමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය විය. චෝදනාවට පක්ෂව මෙන්ම ප්‍රතිපක්ෂවද විවිධ පාර්ශ්ව අදහස් දක්වා තිබුණි.

ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝමීටර් 20 ඉදිකිරීමේදී රුපියල් කෝටි 16,440ක මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුවන බවට වූ හෙළිදරව්ව මෙම සිදුවීම් පෙළට නිමිත්ත සැපයුවේය. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මෙම හෙළිදරව් සිදුකරන ලදී. ඊට එල්ල වූ ප්‍රතිරෝධය සමඟ ඔහු තමා එම ප‍්‍රකාශ සිදුකළේ අවශ්‍ය ලිපි ලේඛන සාක්‍ෂි සහිතව යැයි ඔහු ඉකුත් පෙබරවාරි 22දා මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

මධ්‍යම අධිවේගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝමීටර් 20 ඉදිකිරීම සඳහා ටෙන්ඩර්කරුවන් 9 දෙනකු අයදුම්පත් රුගෙන ගොස් ඇති බව වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය. එහෙත් ඔහුට අනුව ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වූයේ චීන සමාගමක් සහ මෙරට සමාගම් කිහිපයක එකතුවකින් සකසාගත් සමාගමක් පමණි. ඒ අනුව ලංසු ඉදිරිපත් කර ඇති සමාගම් දෙකක් වන්නේ චීන සමාගමක් වන මෙටලර්ජිකල් කෝපරේෂන් (MCC) හා ලංකා යටිතල පහසුකම් සංවර්ධන සමූහය (LIDC) යන සමාගම් දෙකයි.

වසන්ත සමරසිංහ මහතා පවසන පරිදි මේ වනවිටත් චීන සමාගම මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ නොසලකා හැර ඇත. මේ හා සම්බන්ධ තවත් මූලාශ්‍ර අනුව මෙම නොසලකා හැරීම ව්‍යාපෘතියට අදාළ මූල්‍ය යෝජනා විවෘත කිරීමේ සිදුව ඇතැයි කියවේ. කෙසේ වෙතත් චීන සමාගම නොසලකා හැරීම පිළිබඳ චීන රාජ්‍යතාන්ත්‍රිකයකු විසින් මෙරට බලධාරීන්ට හට දෝෂාරෝපණය කර ඇති බව වසන්ත සමරසිංහ මහතා පවසයි.
මේ වනවිට දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළිදරව් කරන පරිදි අදාළ ටෙන්ඩරය සඳහා චීන සමාගමට ඩොලර් මිලියන 1050ක ලංසුවක් ඉදිරිපත් ඉදිරිපත් කර ඇත. ඊට අමතරව මෙරට සමාගම ඩොලර් මිලියන 1872 ක (කිලෝමීටරයක් ඩොලර් මිලියන 92ක) ලංසුවක් ඉදිරිපත් කර ඇත. මේ අනුව චීන සමාගම අඩු ලන්සුව ඉදිරිපත් කර ඇති බව පෙනී යයි. එහෙත් වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිස පෙන්වා දෙන්නේ මේ වනවිටත් මෙරට සමාගමට ටෙන්ඩරය පිරිනැමීමට බලධාරීන් එකඟ වී ඇති බවකි.

මේ අනුව ඩොලර් මිලියන 822ක ප්‍රබල වංචාවක් මෙම ගනුදෙනුවේදී සිදුවන බවත් දූෂණ විරෝධී හඬ සංවිධාන පෙන්වා දෙයි. ඔවුන් පැහැදිලි කරන පරිදි චීන සමාගම නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස දේශීය සමාගමට ටෙන්ඩරය ලබාගැනීමට අවකාශ උදාවේ. චීන ටෙන්ඩරයේ අඩුපාඩු ඇතිනම් එය නොසලකා හැරීම සාධාරණය. එහෙත් තරගකාරී මිල සැසඳීමකට අවස්ථාව නොමැති පසුබිමක බලධාරීන් නැවත මිල කැඳවීමක් සිදුකළ යුතුව තිබුණි. එහෙත් ඔවුන් එය සිදු නොකොට දේශීය සමාගම සමඟ එකඟතාවකට පැමිණ ඇති බව පෙනී යයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලය පිළිබඳ මෙම කතාබහ මතුවූයේ සති කිහිපයකට ඉහතදීය. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා දෙකක් අවලංගු කිරීමත්, නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමත්, ඇතැම් තීන්දු හේතුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍යමය පාඩුවක් සිදුවන බවටත් වාර්තා පළ වීමත් මෙම සංවාදය කාගේත් අවධනය යොමුවීමට හේතුවිය. ඒ අනුව වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙම ගනුදෙනු සම්බන්ධ කැබිනට් මණ්ඩලය පවා රුවටීමක් සිදුව ඇති බවයි.

ටෙන්ඩර්වලට සමාගම් දෙකක් ඉදිරිපත් වෙලා එක සමාගමක් ඉවත් වුණා නම් අනෙක් සමාගමට දෙන්න පෙර එහි මූල්‍යමය වටිනාකම බලන්න ඕනෑ. චීන සමාගම රුපියල් බිලියන 210 කට ටෙන්ඩරයට ඉදිරිපත් වනවිට මෙරට සමාගම රුපියල් බිලියන 374.4 කට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. මෙහි මූල්‍ය පරතරය රුපියල් බිලියන 164.4යි. මේ හෙළිදරව්වත් සමඟ මාර්ග ඉදිකිරීමේ නිරතව සිටින ඉංජිනේරුවන් මේ කිලෝමීටර් 20 රුපියල් බිලියන 120 කට කරන්න පුළුවන් කියනවා.
අපි කියන්නේ ටෙන්ඩර් දෙකෙන් එකක් ප‍්‍රතික්‍ෂේප වුණානම් නැවත ටෙන්ඩර් කැඳවන්න තිබුණා. එනිසා නැවත ටෙන්ඩර් කැඳවලා බලන්න. එතකොට සත්‍ය වටිනාකම තියෙන ටෙන්ඩරය හඳුනාගන්න පුළුවන්. චීනය ඉදිරිපත් වුණත් ඔවුන් මෙරට උප කොන්ත‍්‍රාත්කරුවන් හරහා තමයි ඉදිකිරීම් සිදුකරන්නේ. එහෙම කරන්නෙත් ඔවුන් සියයට 30ක හෝ 40ක ලාභයක් තියාගෙනයි. මේ සත්‍ය හෙළි කළාම තරහ යනවා. අපි ගාව තව තොරතුරු තියෙනවා. ඉදිරියේදී ඒවත් හෙළි කරනවා.

වසන්ත සමරසිංහ මහතා මෙලෙස අදහස් දැක්වීමක් සිදුකරන විට ආණ්ඩුව පාර්ශ්වයෙන්ද මෙම චෝදනාවට පිළිතුරු බැඳීම පසුගිය සතියේ අවස්ථා කිහිපයකදී සිදුවිය. සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මේ සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු පැහැදිලි කිරීමක් සිදුකළේය. පෙබරවාරි 22 වැනිදා ඔහු මෙම පැහැදිලි කිරීම සිදුකරමින් පවසා සිටියේ විපක්ෂය අද චෝදනා කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ අඩුම තරමින් ලියුම්කවරයක්වත් ගලවපු නැති ටෙන්ඩරයක් ගැන බවයි. ඊට අමතරව පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම චෝදනාවට පිළිතුරු දී තිබුණි.

 දූෂණ විරෝධී හඬේ නියෝජනය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහත්මයා චෝදනා වගයක් කරලා තියෙනවා දූෂණයක් වෙලා තියෙනවා කියලා. තාම ප්‍රසම්පාදන කටයුතු කෙරීගෙන යන්නේ. කිසිම ටෙන්ඩරයක් තාම දීලා නැහැ.
ඔහු කියනවා එම්.සී.සී. කියලා සමාගමක් ගැන. එම්.සී.සී. කියන කටුනායක අධිවේගී මාර්ගය හදපු ඔය කියපු සමාගම කිසිසේත්ම ටෙන්ඩරයට ඉදිරිපත් වෙලා නැහැ. ඒ සමාගම තමයි වටරවුම් මාර්ගයේ මංතීරු 06ක් බිලියන 66කට කොන්ත්‍රාත් දීලා තිබුණා. ඔවුන් ඒ මංතීරු 6න් මංතීරු 02ක් අඩු කරලා මංතීරු 4ක් හදලා බිලියන 66කට දුන්න සමාගම.

වසන්ත මන්ත්‍රීතුමා කියනවා අල්ලස් එකට ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා කියලා. උසාවි යනවා කියලා. මම අහන්න කැමති එතුමා ඇයි යහපාලන කාලයේ බිලියන 66ට තිබුණු මංතීරු 6ක් මංතීරු 4ට අඩු කරලා දෙද්දී අල්ලස් එකට ගියේ නැත්තේ ඇයි? උසාවියට ගියේ නැත්තේ ඇයි? කියලා.

ඒ කියන්නේ පැහැදිලිවම කියන දෙයක් තමයි මේ ගොල්ලො කාගෙන් හරි සල්ලි අරගෙන ඒ සමාගම නියෝජනය කරනවා. ඒ නිසා අපි කියනවා කිසිම දූෂණයක් සිද්ධ වෙලා නෑ. අපි කියනවා කරුණාකරලා බොරු චෝදනා පටලවන්නේ නැතුව ඇත්ත සොයාගෙන කතාකරන්න. සමාගම් පස්සේ ගිහින් සමාගම්වල නියෝජිතයෝ දෙන දේවල් අරගෙන මාධ්‍යට ඇවිල්ලා ඉතුරු 3෴ත් අඩුකරගන්න එපා.

මේ අනුව මෙම ගනුදෙනු පිළිබඳ ආණ්ඩුව සහ විපක්ෂ එකින් එකට වෙනස් මත පළකරන බව පැහැදිලිය. එබැවින් අධිකරණ හමුවේ මෙම ගනුදෙනුවේ විනිවිදභාවය තහවුරු කරගැනීම සුදුසුය. මන්දයත් මේ ගනුදෙනුව සම්බන්ධව කියවන මිල ගණන් සුළුපටු නොවේ. එසේම අවසානයේදී මෙහි කියවෙන සෑම රුපියලක්ම මහජනතාව දරා ගැනීමට සිදුවේ. එබැවින් මෙම ගනුදෙනු පිළිබඳ අවදියෙන් සිටීම අප සියලු දෙනාගේ යුතුකමක් සහ වගකීමකි.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05