මනෝවිද්‍යාවේ සඳහන් වන ආකාරයට ප්‍රචණ්ඩකාරී ළමා හැසිරීම් ඇතිවිට දෙමාපියන්ට මෙන්ම දරුවන්ටද ආතති සහගත වටපිටාවක් ඇතිවෙයි. එසේම දරුවාගේ මානසික වර්ධනය අඩාල වෙයි. නිවස තුළ සහ ප්‍රජාව තුළ ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම දරුවකු තුළ ප්‍රචණ්ඩත්වය, ආක්‍රමණශීලීත්වය ඇතිකරන්නට සමත් වේ. සමහර දරුවන් හැදී වැඩෙන්නේ තම දෙමාපියන් තම ජීවිත කාලය පුරාම රණ්ඩු වන ආකාරය දකිමිනි. මේවා දකින ළමයා ද අනුකරණය හරහා ප්‍රචණ්ඩකාරී වෙයි.
මේ පිළිබඳව පරීක්ෂණ කළ මනෝ විද්‍යාඥයකු ලෙස සඳහන් වන්නේ ඇල්බට් බන්ඩුරාය. සමාජ ඉගෙනුම්වාදී න්‍යාය බිහිකිරීමෙහිලා පුරෝගාමියා වූයේ ඔහුය. බන්ඩුරා සඳහන් කරන ආකාරයට ළමයා ප්‍රචණ්ඩත්වය ඉගෙන ගන්නේ සමාජ අනුකරණය හරහා සමාජය තුළින්මය. මෙහිදී ළමයා ජීවමාන සහ සංකේතාත්මක භූමිකා ආකෘති අනුකරණය කරයි. ජීවමාන සමාජ ආකෘති යනු දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ගුරුවරුන් වැනි භූමිකාය. වැඩිහිටියන්ගේ ප්‍රචණ්ඩකාරී, ආක්‍රමණශීලී චර්යාවන් දකින ළමයින් ඒවා අනුකරණය කරමින් ප්‍රචණ්ඩකාරී, ආක්‍රමණශීලී චර්යාවන් ප්‍රදර්ශනය කරති.
ඇල්බට් බන්ඩුරා සඳහන් කරන ආකාරයට ළමයින් ප්‍රචණ්ඩකාරී වන්නට සංකේතාත්මක භූමිකා ආකෘති බලපායි. රෑපවාහිනියෙන්, අන්තර්ජාලයෙන් ප්‍රචණ්ඩකාරී දර්ශන දකින විට ඒවා අනුකරණය කරන්නට නිරායාසයෙන් දරුවන් පෙළඹෙති. ඒ නිසා සෑමවිටම ළමයින් ප්‍රචණ්ඩකාරී දර්ශනවලට නිරාවරණය කිරීම නොකළ යුතු දෙයකි. රූපවාහිනී ප්‍රවෘත්ති තුළින් අපට නිතරම දකින්නට ලැබෙන්නේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ඇතුළත් පුවත්ය. මේවා නිරන්තරයෙන් හුවා දක්වමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නොකළ යුතු දෙයකි.
ළමුන් සහ නව යොවුන් වියේ අය අතර ප්‍රචණ්ඩකාරී හැසිරීම් සිදුවීම පිළිබඳව විශාල සැලකිල්ලක් පවතී. මෙම සංකීර්ණ හා කරදරකාරී ගැටලුව දෙමාපියන්, ගුරුවරුන් සහ අනෙකුත් වැඩිහිටියන් විසින් පරිස්සමෙන් තේරුම් ගත යුතු දෙයකි.
කෝපය, ශාරීරික ආක්‍රමණ, පහරදීම, පයින් ගැසීම හෝ සපා කෑම, හිරිහැර කිරීම, වාචික ප්‍රහාර, තර්ජන හෝ ප්‍රචණ්ඩත්වය ඔස්සේ අන් අය පාලනය කිරීමට උත්සාහ කිරීම, අන් අයට රිදවීමට උත්සාහ කිරීම, ආයුධ භාවිතය, සතුන්ට හිංසා කිරීම, ගිනි තැබීම, හිතාමතාම දේපල විනාශ කිරීම ළමුන්ගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට ඇතුළත් කළ හැකිය.
බොහෝ පර්ෙය්ෂණ අධ්‍යයනයන් නිගමනය කර ඇති ආකාරයට ළමයින් ප්‍රචණ්ඩකාරී වීමට සාධක කිහිපයක් බලපායි. මෙම සාධකවලට ඇතුළත් වන්නේ ශාරීරික හිංසනයට සහ/හෝ ලිංගික අපයෝජනයට ගොදුරු වීම, නිවසේ සහ/හෝ ප්‍රජාව තුළ ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම, හිරිහැරයට ගොදුරු වීම, ජානමය සාධක, මාධ්‍යවල ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම (රූපවාහිනී, චිත්‍රපට ආදිය), නිවසේ මත්ද්‍රව්‍ය සහ/හෝ මද්‍යසාර තිබීම, මත්ද්‍රව්‍ය සහ/හෝ මද්‍යසාර භාවිතය, නිවසේ ගිනිඅවි තිබීම, ආතති සහගත පවුල් සමාජ-ආර්ථික සාධක එනම්, දරිද්‍රතාවය, අහිමිවීම, විවාහ කඩවීම, තනි මාපියන්, විරුකියාව, විස්තීරණ පවුලක සහයෝගය අහිමි වීම යනාදියයි.
දෙමාපියන් සෑමවිටම අවදානම් පහත හැසිරීම් පෙන්වන දරුවන් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක්, අවධානයක් යොමු කළ යුතුයි. දැඩි කෝපය, නිතර කේන්තිය ගැනීම හෝ පහරදීම, අතිශය ආවේගශීලී බව, පහසුවෙන් කලකිරීමට පත්වීම. දරුවන් තුළ මෙවැනි හැසිරීම් අවම කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන් සැලකිලිමත් විය යුතුය.
දරුවකු ප්‍රචණ්ඩ ලෙස හැසිරීම පෙන්නුම් කළහොත් කුමක් කළ හැකිද?
දෙමව්පියන් හෝ වෙනත් වැඩිහිටියකු ගැන සැලකිලිමත් වන සෑමවිටම, සුදුසුකම්ලත් මානසික සෞඛ්‍ය වෘත්තිකයකු වෙත ළමයින් යොමු කළ යුතුය. එවිට මානසික සෞඛ්‍ය වෘත්තිකයා අවශ්‍ය මඟපෙන්වීම දෙමාපියන් වෙත ලබා දෙයි. මානසික සෞඛ්‍ය වෘත්තිකයා දරුවාට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ඔහුගේ හෝ ඇයගේ කෝපය පාලනය කරන්නේ කෙසේදැයි සැලකිලිමත් වෙයි. දෙමාපියන් දැනුවත් කරයි. සුදුසු ආකාරවලින් ප්‍රචණ්ඩත්වය ප්‍රකාශ කිරීමට මඟපෙන්වයි.
ප්‍රචණ්ඩත්වයෙහි ප්‍රතිවිපාක පිළිබඳ අවබෝධයක් ළමයින්ට ලබාදිය යුතුය. ළමයින්ගේ ප්‍රචණ්ඩත්වයට බලපාන පවුල් ආරවුල්, පාසල් ප්‍රශ්න සහ ප්‍රජා ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.
පැහැදිලිවම, ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයට මඟ පාදයි. ඉහත දක්වන ලද ආකාරයට ළමයකු ප්‍රචණ්ඩත්වය සඳහා යොමුවීමට ඍජුව හෝ වක්‍රව බලපාන අවදානම් සාධක සැලකිය යුතු ලෙස අඩු කළහොත් හෝ ඉවත් කළහොත් බොහෝ ප්‍රචණ්ඩ හැසිරීම් අඩු කිරීමට හෝ වළක්වා ගැනීමට පවා හැකි බව පර්ෙය්ෂණ අධ්‍යයන පෙන්වා දෙයි. වැදගත්ම දෙය නම්, නිවසේ ජීවත් වන අය හරහා, ප්‍රජාව හරහා සහ මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වයට ළමුන් සහ යෞවනයන් නිරාවරණය වීම අඩු කිරීමට අවධානය යොමු කිරීමය.
රූපවාහිනී මාධ්‍ය මගින් පෙන්වන ටෙලිනාට්‍යවල ප්‍රචණ්ඩත්වය හුවා දක්වන ආකාරයක් දකින්නට හැකිය. එක්තරා පෞද්ගලික රූපවාහිනියක නාට්‍යයක් විකාශනය කෙරෙයි. සෑමවිටම එම නාට්‍ය තුළින් පෙන්වන්නේ පහරදෙන දර්ශනයි. තරුණ කාන්තාවන් පිරිමින්ට පහරදෙන දර්ශනයි. දෙමාපියන් තම දරුවන්ද පෙරටු කරගෙන මෙම නාට්‍ය දර්ශන නරඹන විට දරුවන්ගේ මනසට ඇතුළු වන්නේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ හැඟීම්ය.
ඉහත කරුණුවලට අමතරව, පහත සඳහන් උපක්‍රම මගින් ප්‍රචණ්ඩකාරී හැසිරීම් අඩු කිරීමට හෝ වළක්වා ගැනීමට කටයුතු කිරීමට හැකිය. ළමා අපචාර වැළැක්වීම (දෙමාපියන් පුහුණු කිරීම, පවුල් ආධාරක වැඩසටහන් වැනි වැඩසටහන් භාවිත කිරීම), නව යොවුන් වියේ දරුවන් සඳහා ලිංගික අධ්‍යාපනය සහ මාපිය වැඩසටහන් පැවැත්වීම, ප්‍රචණ්ඩකාරී තරුණයන් සඳහා පූර්ව හඳුනාගැනීමේ සහ මැදිහත්වීමේ වැඩසටහන් පැවැත්වීම, දෙමාපියන් විසින්, වැඩිහිටියන් විසින්, ගුරුවරුන් විසින් අන්තර්ජාලය, ටැබ්, ස්මාර්ට් ෆෝන්, රෑපවාහිනිය, වීඩියෝ සහ චිත්‍රපට මගින් ළමයින්ගේ ප්‍රචණ්ඩත්වය නැරඹීම අධීක්ෂණය කිරීම තුළින් මෙය පාලනය කිරීමක් කළ යුතුය.
මෙසේ කිරීමේදී එය ළමයාගේ මානසිකත්වයට පීඩාවක් නොවන අයුරින් කිරීමට ද වගබලා ගැනීම වැදගත්ය. බොහෝ දෙමාපියන් මේවා පාලනය කරන්නට යන්නේ ළමයින්ගේ මානසිකත්වයට පීඩාවක් ගෙන දෙමිනි. එහි අවසාන ප්‍රතිඵලය ඇතැම්විට ළමයින් සියදිවි නසාගැනීම වීමට හැකිය. එවැනි සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.
සමහර අවස්ථාවලදී ළමයින් තමන්ට වඩා විශාල ගැටලුවක් නිසා කලකිරීමට පත් වී සිටීමට පුළුවන. ඔවුන් තවමත් ඔවුන්ගේ ආවේග පාලනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගෙන නොමැත. ආතති සහගත සිදුවීම්, චිත්තවේග පාලනය කළ නොහැකිවීමේ ගැටලු, අවධානය යොමුකිරීමේ ඌණතාවයන්, ඔටිසම් රෝග ලක්ෂණ හෝ අධි ක්‍රියාකාරීත්වය වැනි විශේෂ දුෂ්කරතා සමඟ ළමයින් පොරබදමින් සිටීමට පුළුවන. මනෝ උපදේශනය තුළින් මානසික පුරුදු ඇතිකිරීමෙන්, ධනාත්මක, නිර්මාණාත්මක, ගැටලු විසඳීමේ සිතුවිලි ඇතිකිරීමට ළමයින් පුහුණු කිරීමෙන්, නරක හැසිරීම පුපුරා යාමට පෙර එය නැවැත්විය හැකිය.
ඔබේ දරුවා සෙල්ලම් සඟයන් සමඟ ආරවුල් ඇතිකරගන්නා විට පරිස්සමෙන් අධීක්ෂණය කළ යුතුය. ළමයින් ශාරීරික ගැටුමකට පැටලී සිටින විට හෝ එක් දරුවකු පාලනය කළ නොහැකි කෝපයෙන් සිටින විට සහ අනෙකාට පහරදෙන විට හෝ සපාකමින් සිටින විට ඔබ මැදිහත් විය යුතුය. ඔවුන් සන්සුන් වන තුරු වෙන්කර තැබිය යුතුය.
ඔබේ දරුවාට සැමවිටම කාරුණික බව පිළිබඳ පාඩම් කියා දිය යුතුය. සැමවිටම යහපත් හැසිරීම් ශක්තිමත් කර ප්‍රශංසා කළ යුතුය. වැඩිහිටියකු වශයෙන් ඔබ සැමවිටම ඔබේ කේන්තිය පාලනය කරගත යුතුය. සැමවිටම ඔබේ දරුවා ඉදිරිපිට ඔබේ හැසිරීම නිරීක්ෂණය කළ යුතුය. ඔහුට සුදුසු හැසිරීම් ඉගැන්වීමට හොඳම ක්‍රමයක් නම් ඔබේම කෝපය පාලනය කිරීමයි. ඔබ සන්සුන්, සාමකාමී ආකාරයෙන් ඔබේ කෝපය ප්‍රකාශ කරන්නේ නම්, ඔබේ දරුවා ඔබේ ආදර්ශය අනුගමනය කරනු ඇත.