පසුගිය දින කිහිපය ඇතුළත දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණු සංඛ්‍යාවේ ඉහළ යාමක් වාර්තා වීම රටේම අවධානයට ලක්විය. කුරුණෑගල වඳුරාගල අකරගනේ වැවේ ගිලීමෙන් වයස අවුරුදු දහතුනක සහ දාහතරක පාසල් සිසුවියන් දෙදෙනකු මියගිය අතර වයස අවුරුදු දහතුනක තවත් සිසුවියකද දියේ ගිලීමේදී ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් බේරාගැනීමට හැකිවී තිබුණි. කෙසේ වුවද මෙසේ අවදානම නොතකා නොසැලකිලිමත් ලෙසින් දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් සිදුවන මරණ වෙනුවෙන් වන්දි ලබාදීමට මෙන්ම වගකීමක් ගැනීමට නොහැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා දේශයට පැවසීය.
ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ සහන සේවා මධ්‍යස්ථානයෙන් මෙරට සිදුවන ආපදාවලට වන්දි ගෙවීම සිදු කරයි. ඒ අනුව රට තුළ සිදුවන ගංවතුර, නායයාම්, කාර්මික උවදුරු, සුනාමි (කම්පන තරංග), භූමිකම්පා, ගුවන් අනතුරු, ගිනිගැනීම්, වසංගත රෝග, පිපිරීම්, ගුවන්යානා කඩා වැටීම්, සිවිල් හෝ අභ්‍යන්තර ගැටුම්, රසායනික අනතුරු, විකිරණ අනතුරු, තෙල් කාන්දුවීම්, න්‍යෂ්ටික ව්‍යසන, නාගරිකව සිදුවන ගිනිගැනීම් සහ ලැව්ගිනි, වෙරළ ඛාදනය, ටොනාඩෝ, අකුණු අනතුරු සහ ප්‍රබල අකුණු පිපිරීම් වැනි ආපදා තත්ත්වයන්ට මුහුණදෙන අයට වන්දි මුදලක් හිමිවේ. මේ අනුව ස්වභාවික ආපදාවලින් සිදුවන මරණ සම්බන්ධයෙන් පමණක් වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත. එමෙන්ම හිතුමතේ විනෝදය උදෙසා නොසැලකිල්ලෙන් දියේ ඔරු පැදීමට, නෑමට ගොස්, පාලම් මතින් කරණම් ගැසීමට හෝ මත්පැන් පානය කර දිය නෑමට ගොස් සිදුවන මරණවලට වන්දි ලබා නොදීමට තීරණය කර තිබේ. සැබැවින්ම තමන්ගේ නොසැලකිලිමත් බව නිසා සිදුවන එවැනි මරණ සඳහා වන්දි ලබාදීමට ජනතාවගේ මුදල් යෙදවීම අසාධාරණයකි.
දියේ ගිලීමෙන් මියයන බොහෝ දෙනා මිය යන්නේ ඔවුන්ගේ නොසැලකිලිමත්කමින්. ගංවතුර ඇතිවුණු බොහෝ වෙලාවට තරුණ පරපුර ගංවතුරේ ඔරු පදිමින් විනෝද වෙනවා. අන් අයගේ ආකර්ශනය, අවධානය දිනාගන්න පාලම්වලින් බල්ටි ගහනවා. මත්පැන් බී නොදන්නා පළාත්වල ගංඟා ඇළදොළවල, මුහුදේ නානවා. මේක හරිම අවදානම් තත්ත්වයක්. බොහෝ තරුණ ජීවිත දිය රකුසාට බිලිවෙන්නේ නොසැලකිලිමත්කම නිසා. ඒකට මේ රටේ මිනිසුන්ගේ මුදල් යෙදීම අසාධාරණයි. මේ පුද්ගලයන්ට අපි බොහෝ අවවාද කරලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයකට අවධානයක් යොමු නොකර තාවකාලික සතුට වෙනුවෙන් ජීවිත කාලයම වන්දි ගෙවන්න ඔවුන්ට සිදුවෙනවා.* යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා දේශයට පැවසීය.
රට පුරා ඇති ගංඟා, ඇළදොළ මෙන්ම වෙරළ ආශ්‍රිත බොහෝ තැන්වල අනතුරු ඇඟවීමේ පුවරු සවිකර තිබුණද එම පුවරු නොතකා එම ස්ථානවලට ගොස් දිය නෑමට හෝ දියෙහි විවිධ සෙල්ලම් කිරීමට ගොස් ජීවිතක්ෂයට පත්වුණු පිරිස මේ වනවිට ඉහළ ගොස් තිබේ. මේ අතර පාසල් දරුවන් සහ තරුණ පිරිස වැඩි බව ද වාර්තා වේ. ගංඟා, ඇළදොළ පිහිටා ඇති බොහෝ ගම්වල ගැමියන් ඒ ආශ්‍රිතව නෑම නුසුදුසු බව දැන සිටියද පිට ප්‍රදේශවලින් මේ ස්ථානවලට පැමිණෙන බොහෝ පිරිස් ගැමියන්ගේ උපදෙස් නොකතා දිය නෑමෙහි නිරත වෙති. අවසානයේදී ජීවිතවලින් ඔවුහු වන්දි ගෙවති. බොහෝ පාසල් දරුවන් මියයන්නේ දෙමව්පියන්ද අසල සිටියදීය. විනෝද චාරිකා ගොස් බොහෝ විට ගංඟා, ඇළදොළ අසල විනෝද වන අවස්ථාවලදී දෙමව්පියන් අල්ලාප සල්ලාපයේ යෙදී සිටිමින්, මත්පැන් පානය කරමින් ප්‍රීති වන අතර, දරුවන් නොදන්නා ඇළදොළවල නෑමට ගොස් නිස්කාරණේ වටිනා ජීවිත අහිමි කර ගනිති.
බොහෝ දරුවන් නොදන්නා ඇළදොළවල බැහැලා විනෝද වෙනවා. වැවේ ඇවිදගෙන යනවා. නානවා. ඇත්තටම මේක ඉතා අවදානම් අවස්ථාවක්. කාට හෝ වැවේ නාන්න අවශ්‍ය නම් බාල්දියකින් නාන්න පුළුවන්. සමහරුන්ට වැවේ බාල්දියකින් නාන එක විහිළුවක් වෙලා. නෑම සහ දියේ විනෝද වීම කියන්නේ දෙකක්. දිය කියන්නේ විනෝද වෙන තැනක් නෙවෙයි. ඒක මිනිස්සු තේරුම් ගන්න ඕනෙ. දියේ ගිලී මියයාම සියදිවි හානිකර ගැනීමක් වගෙයි. තමන්ගේ ජීවිතය දැන දැනම හානිකර ගැනීමක්. යැයි සුදත්ත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
බොහෝ අය මත්පැන් පානය කිරීමෙන් පසුව දියේ නෑමට ප්‍රියතාවයක් දක්වති. බොහෝ තරුපහේ හෝටල්වල පිහිනුම් තටාකයේ සිටින පිරිස තටාකය අසල තමන්ගේ මත්පැන් වීදුරුව තබාගනිමින් පිහිනුම් ක්‍රීඩාවේ නියැලෙති. එමෙන්ම බොහෝ තරුපහේ හෝටල්වල පිහිනුම් තටාකය ආසන්නයේම මත්පැන් අලෙවිසල් කිහිපයක් පිහිටා තිබේ. එලෙසින්ම විනෝද චාරිකා යන බොහෝ දෙනා මත්පැන් පානය කිරීමට යොදාගනු ලබන්නේ මුහුදු වෙරළ හෝ ඇළදොළ, වැව් ආශ්‍රිතවය. තමන්ගේ නොසැලකිලිමත් බව නිසා මියයන පුද්ගලයන්ට ආපදා වන්දි ලෙස මහජන මුදල් වෙන්කිරීම සැබැවින්ම අසාධාරණය.
මේ අතර සමහරු අනතුරු පිළිබඳ දැනුම්වත් කරන ඇතැම් අනතුරු පුවරු ඉවත් කරති. නොදන්නා පළාතකට දිය නෑමට යන පිරිස් එවැනි අනතුරු පුවරු නොමැතිකම නිසාම හිතුමතේ ප්‍රීති වන්නට උත්සාහ ගනිති. ඇතැමුන් බොහෝ විට මෙම අනතුරු පුවරු ඉවත් කරනු ලබන්නේ සංචාරකයන් ගෙන්වා ගැනීමට ඇති උනන්දුව නිසාය. මෙය සමාජ ගැටලුවකි. වැවක් පිහිටි තැනක ඒ ආශ්‍රිත රැකියාවලින් ජීවත් වන පිරිසක් ඉබේ ගොඩනැගෙති. සංචාරකයන් එහා මෙහා ගෙන යන ත්‍රීරෝද රථ රියැදුරන්, බදින ලද වැව් මාළු වෙළෙඳාමේ යෙදෙන අය, මඟපෙන්වන්නන් මෙන්ම කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන ගැමියන්ට මෙම පුවරු ප්‍රදර්ශනය නිසා සංචාරකයන් නොපැමිණීමෙන් සිදුවන්නේ පාඩුවකි. එම නිසා ඔවුහු මෙම අනතුරු පුවරු ගලවා ඉවත් කරති. එයින් සිදුවන්නේ අනතුරුවල ඉඟි නොදැන සිටීමෙන් තවත් ජීවිත බිලිගැනීම පමණි.
මේ සියලු තැන්වලට ජීවිත ආරක්ෂණ සේවාවක් ලබා දිය නොහැක. එවැනි දිය නෑමට හැකි වැව්, මුහුද ආශ්‍රිතව ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් කළ පසු ඒ අසල ජීවිත ආරක්ෂණ සේවකයන් කණ්ඩායමක් නිරන්තරයෙන් සූදානම්ව සිටිති. යම් හෙයකින් එම කොටසේ යම් කෙනකු දියේ ගිලීමකට ලක්වුවහොත් ඔවුහු ඉතා ක්ෂණිකව ක්‍රියාත්මක වී එම ජීවිතය බේරා ගනිති. නමුත් මෙරට ඇති සියලු ඇළදොළ, ගංඟා, මුහුදු ආශ්‍රිතව එවැනි ජීවිත ආරක්ෂකයන් සූදානමින් රඳවා තැබිය නොහැක. කෙතරම් පිහිනීමට පුහුණුවක් ලැබුවද අවදානම් ප්‍රදේශවල ඔවුන්ටද පිහිනිය නොහැක
දිශානි ජයමාලි කරුණාරත්න