2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

ලංකාවට එරෙහිව යළිත් කැරකෙන ජිනීවා තොප්පිය

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 62

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිය පෙබරවාරි 28 වැනිදා ජිනීවා නුවරදී ආරම්භ වී අප්‍රේල් 01දා තෙක් පැවැත්වීමට නියමිතය. මෙම සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත පිරිසේ නායකත්වය ගන්නේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. ඔහු සමඟ අධිකරණ ඇමැති අලි සබ්‍රි හා තවත් නියෝජිතයන් කිහිප දෙනකු සහභාගී වීමට නියමිතය. මෙම සැසිවාරයේදී විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව පිළිබඳ පැවැත්වෙන අන්තර් ක්‍රියාකාරී සංවාදය ඇමතීමට නියමිත අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනකු හමුවීමටද නියමිතය.

පසුගිය මානව හිමිකම් සැසිවාරයකදී සම්මත කරගනු ලැබූ 46/1 යෝජනාව අනුව මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධ සිය ලිඛිත වාර්තාව මාර්තු 03දා සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පිටු 17කින් සමන්විත එම වාර්තාව මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් චෝදනා ඉදිරිපත් කර තිබේ.

මෙම වාර්තාවේ පිටපතක් මින් දෙසතියකට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කරන ලද අතර මෙරට නිලධාරීන් විසින් එය අධ්‍යයනය කොට එමගින් මතු කර ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ නිරීක්ෂණ සහ පැහැදිලි කිරීම් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යවා ඇතැයි වාර්තා වේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් 2021 පසුගිය සැප්තැම්බර් 13දා ආරම්භ කෙරුණු  48 වැනි සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාචික වාර්තාව මගින් අදහස් ප්‍රකාශ කළාය. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී සම්මත කරගත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ විධිවිධාන සලසන පරිදි මානව හිමිකම් කවුන්සිලයේ ‘අන්තර්ක්‍රියාකාරී සංවාදය’ සඳහා මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාව පදනම් විය. “ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන මාතෘකාව යටතේ මෙම යෝජනාව සම්මත වූයේ පසුගිය වසරේ මාර්තු 23 වැනිදාය. රටවල් 22ක් පක්ෂව ඡන්දය දුන් අතර එකොළොස් දෙනෙක් විරුද්ධව ඡන්දය භාවිත කළහ. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

පසුගිය වසරේ වාර්තාව හා සසඳන විට, මෙවර වාර්තාවෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය අපොහොසත් වීම පිළිබඳව දීර්ඝ ලෙස විග්‍රහ කර තිබේ. පිටු 17කින් යුත් වාර්තාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ කඩිනමින් සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව සඳහන් කර ඇත. අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ මරණ සහ නීති විරෝධී ඝාතන ඉහළ ගොස් ඇතැයි එහි සඳහන් කර තිබේ. ඉන් ගම්‍ය කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති තාවකාලික ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තෘප්තිමත් නොවන බවද රජය විසින් නැවත නැවතත් සහතික කළද අවශ්‍ය වෙනස්කම් සිදු නොකිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද එහි සඳහන්ය. මේ හේතුවෙන් යුරෝපා සංගමයේ GSP Plus බදු පහසුකම කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බවටද සැකයක් පවතී. මෙම පහසුකම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා යුරෝපීය පාර්ලිමේන්තුව දැනටමත් යෝජනාවක් සම්මත කර ඇතැයි වාර්තා වේ. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්ති තුනක් ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩු පවතින බව යුරෝපා සංගමය ප්‍රකාශ කිරීම හේතුවෙන් 2010 වසරේදී ශ්‍රී ලංකාවට ලබා දුන් ජීඑස්පී ප්ලස් සහනය ඉවත් කර ගන්නා ලදී. 2017 මැයි 19 වැනි දින, පසුගිය යහපාලන  රජය සමයේ යළි එය ලැබුණු අතර පසුගිය වසරේ ඔක්තෝබර් 21 වැනි දින සිය නිරීක්ෂණ මෙහෙයුම අවසන් කිරීමෙන් පසු යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සංචාරයට පැමිණි නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳවද සාකච්ඡා කළ බවයි.

ජීඑස්පී ප්ලස් අත්හිටුවීමට කටයුතු කළහොත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට දැඩි ලෙස බලපෑ හැකිය. 2020 දී, රට ප්‍රධාන වශයෙන් යුරෝපා සංගමයේ වෙළෙඳපොළ වෙත නිමිඇඳුම් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.9 ක් උපයා ඇති අතර, මෙරට විදේශ මුදල් ඉපැයීමේ එක් විශාලතම අංශයක් වන්නේ ඇඟලුම් කර්මාන්තයයි. ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා දෙවැනි විශාලතම අපනයනකරුවා වන්නේ යුරෝපා සංගමයයි. ජීඑස්පී ප්ලස් පහසුකම රටේ අපනයනකරුවන්ට බෙහෙවින් වැදගත් වන්නේ එහෙයිනි.

මානව හිමිකම් නීතිඥවරියක සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක මෙන්ම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක ද වන අම්බිකා සත්කුනනාදන් යුරෝපා පාර්ලිමේන්තු අනුකමිටුව හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් මෑතක දී සිදු කළ ප්‍රකාශය නිසා ද ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ. 2022 ජනවාරි 27 වැනි දින යුරෝපා පාර්ලිමේන්තු අනුකමිටුව හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අවස්ථාවේ දී, ඇය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් දක්වා තිබේ. මත්ද්‍රව්‍ය නිවාරණ යුද්ධයේදී ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබාගැනීමට මෙන්ම, අනීතික ඝාතන සාධාරණීකරණය කිරීමට ද යොදාගන්නා බවද,  අමාත්‍යාංශ මිලිටරිකරණ කිරීම,  රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා, එක් රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය හා සමාජ සංහිඳියාව ආරක්‍ෂා කිරීම ගැන රජය අවධානය යොමු කරන්නේ ද යන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරුකීමට බැඳී සිටින බව තහවුරු කිරීම සඳහා ජීඑස්පී ප්ලස් ඉවත් කර සම්බාධක පැනවිය යුතු බවට යෝජනා කර ඇතැයිද වාර්තා වේ. 

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නීතිඥ සත්කුනනාදන් ලබා දුන් ප්‍රකාශයේ අඩංගු නොමඟ යවන සුළු ප්‍රකාශ රුසක් පිළිබඳව විදේශ අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සහ මානව හිමිකම් කවුන්සිලය සමග දිගුකාලීන සහයෝගීතාවක නිරතවෙමින්, දේශීය ක්‍රියාවලීන් සහ ආයතන හරහා සිය වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතු ඉටුකිරීම සම්බන්ධයෙන් ඇති කැපවීම ක්‍රියාවට නංවන මෙවැනි අවස්ථාවක ඇය කළ ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා රජය විවිධ අංශයන් ඔස්සේ ලබා ඇති ප්‍රගතිය මුළුමනින්ම නොසලකා හැරීමකට ලක්කෙරෙන බවද එමගින් රජයේ අභිප්‍රාය සහ අවංකභාවය පිළිබඳව සැකයක් උපදින බවද සඳහන් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේදී නව නීති කෙටුම්පත් කිරීමට කාලය ගතවනු ඇතැයි විදේශ අමාත්‍ය පීරිස් ප්‍රකාශ කර තිබේ. පසුගිය සතියේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් පෙත්සමක් අත්සන් කිරීමට පියවර ගත්හ. මෙරට මානව හිමිකම් කොමිසම ද එවැනිම ඉල්ලීමක් කර තිබේ.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මගින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ 2019 පාස්කු ඉරිදා සමූලඝාතන පිළිබඳවද සඳහන්ය. එය “නිසි විමර්ශනයක ප්‍රගතියක් නොමැති බැවින් සාධාරණයක් ඉටු කරන ලෙසට* කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කරන ලද අරගලයේ ප්‍රතිඵලයකි. උන්වහන්සේ පාප් වහන්සේ බැහැදැකීම සඳහා වතිකානුව බලා යාමට නියමිත අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද පැමිණීමට නියමිත බව පැවසේ.

නීතිපතිවරයාට ස්වාධීනව කටයුතු කරන ලෙස ද මෙම වාර්තාවෙන් ඉල්ලා තිබේ. මෙවැනි චෝදනාවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කිරීමත් සමඟ නීතිපතිවරයා විවේචනයට ලක් වූ බව සැලකිල්ලට ගත යුතුය. නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව චෝදනා 855ක් පනවා තිබූ නමුත් ඒවා කිසිවක් සනාථ කිරීමට නොහැකි විය.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් 49 වැනි සැසිවාරයේදී ඡන්ද විමසීමක් සිදු නොවනු ඇත. කෙසේ වෙතත්, මෙම සැසිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගැනීමට නියමිත තවත් යෝජනාවක් සඳහා පූර්වගාමී වේ.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ වාර්තාව මෙරට නීතිපතිවරයා දැඩි ලෙස විවේචනය කර ඇති අතර එම ආයතනය ස්වාධීන විය යුතු බවට නිර්දේශ කර ඇත. වාර්තාවේ සඳහන් වන්නේ පසුගිය වසරේ පිහිටුවන ලද නව ලේකම් කාර්යාලය මගින් සාක්ෂි රැස්කර ඇති බවටය. මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් විද්‍යුත් මෘදුකාංගයක් ඇසුරින් තොරතුරු සහ සාක්ෂි රුස්කර ඇතැයි ද, දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව ඇති පුද්ගල තොරතුරු රුසක් හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.

සිවිල් කටයුතු මෙහෙයවීම සඳහා හමුදා නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන්ද වාර්තාවේ සඳහන්ය. පසුගිය වසරේ යෝජනාවේදී සිවිල් ක්‍රියාකාරකම්වලට මිලිටරි මැදිහත්වීම නතර කරන ලෙස ඉල්ලා තිබිණි. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට පසුගිය සතියේ එල්ල වූ ප්‍රහාරය සහ සමාජ ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව පැවසේ. 

මූලාශ්‍ර සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05