2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

පූජිත් හේමසිරි නිදහස් වූ පාස්කු නඩු තීන්දුව

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 211

''මෙහි ඉදිරිපත් වී ඇති සමස්ත සාක්ෂි සලකා බැලීමේදී අඩුම තරමින් චූදිත නොසැලකිල්ලකින් කටයුතු කළ බවට හෝ සාක්ෂි ඉදිරිපත් වී නැත. අපරාධ නොසැලකිල්ල යන්න සලකා බැලීමේදී චූදිතයකුගේ හුදු නොසැලකිල්ල ඔප්පු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර චූදිත නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම සහ මියගිය අයගේ හෝ අයවළුන්ගේ මරණයට එකම හා ආසන්නතම හේතුව චූදිතයකුගේ නොසැලකිල්ල බව ඉතාමත් ප්‍රබල සාක්ෂි මගින් පැමිණිල්ල ඔප්පු කළ යුතුය. මෙම නඩුවේදී ඉහත දැක්වීමට යෙදුණු ඉදිරිපත් සාක්ෂි අනුව අඩු තරමින් චූදිත විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වන අපරීක්ෂාකාරී ක්‍රියාවක් හෝ නොසැලකිලිමත් ක්‍රියාවක් සිදු කළ බවට හෝ පැමිණිල්ල විසින් ප්‍රබල හා කාවදින සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව අපගේ ස්ථාවරයයි.''

ඉහත සඳහන් වන්නේ රටේ මෑත කාලයේ ඉමහත් ආන්දෝලනයට ලක්වූ පාස්කු ප්‍රහාර නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් දෙනු ලැබූ පිටු 139ක් හා පිටු 161ක නඩු තීන්දු දෙකකින් උපුටා ගත් කොටසකි. මෙහි සුවිශේෂත්වය වනුයේ පුරා මාස 4ක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය පමණක් අවසානයේදී විත්ති වාචිකය නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමය. මෙහි විත්තිකරුවන් වූයේ එවකට ආරක්ෂක අංශවල ප්‍රබල නිලධාරීන් දෙදෙනකුව සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් සේනාධිබණ්ඩාර ජයසුන්දර යන අයයි.

නඩු දෙක විභාග කර පසුගිය 18දා ඒකමතිකව තීන්දු ප්‍රකාශ කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා වූයේ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ විනිසුරුවරයා වන අතර, ඒ.කේ.එම්. පටබැඳිගේ සහ එම්.වයි.එම්. ඉර්ෂඩින් යන මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා සෙසු සාමාජිකයෝ වූහ.

විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අපරාධ නඩු දෙකක් වෙන වෙනම විභාග වූ අතර ඒ දෙකේම සාමාජිකයන් වූයේ මෙම විනිසුරුවරුන් තිදෙනාය. මෙම නඩු තීන්දුවල තවත් සුවිශේෂ කරුණක් සඳහන්ව තිබුණු අතර එය වූයේ විත්තිකරුවන් චේතනාන්විතව මෙය සිදු කළ බවට පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව චෝදනා ඔප්පු කර නැති අතර, මෙම අපරාධයට වගකිවයුත්තේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන රාජ්‍ය බුද්ධි අංශයේ එවකට ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන බවට තීන්දු කර තිබීමය.

නීතිපතිවරයා විසින් චූදිතයන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය සමඟ කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 සහ 300 වගන්ති යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි සිදු කළ බවට චෝදනා 854 ක් යටතේ නඩුව විභාග කර තිබුණි. චෝදනා පත්‍රයේ තොරතුරු 855ක් ලෙස සඳහන්ව තිබුණද, 501 සහ 511 යන චෝදනා දෙකම එක චෝදනාවක් බව සනාථ වීම නිසා චෝදනා 854ක් ලෙස සලකා කටයුතු කර ඇත. මෙම නඩු නීතිපතිවරයා විසින් 1988 අංක 21 දරණ පනතින් සංශෝධිත 1979 අංක 15 දරණ අපරාධ නඩු විභාග සංග්‍රහය යටතේ 450(3) වගන්තිය යටතේ ඉදිරිපත් කර තිබූ තොරතුරු වාර්තාවක් මත ආරම්භ කර තිබේ.

මෙම නඩුවල පැමිණිලි සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 1215ක පිරිසක් සාක්කිවලට කැඳවීමට චෝදනා පත්‍රවල සඳහන්ව තිබුණද, නඩු දෙක සඳහා පැමිණිල්ල පිළිවෙළින් කැඳවා තිබුණේ සාක්ෂිකරුවන් 6 හා 4 දෙනකු වීමද කැපී පෙනේ.
2019 අප්‍රේල් මස 07 හා 2019 අප්‍රේල් මස 21 දින අතර කාලසීමාව තුළදී ස්වයං ඝාතන සහ වෙනත් වරදවල් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් කාසිම්, මොහොමඩ් සහරාන් හෙවත් සහරාන් හාෂීම් ඇතුළු තවත් අය විසින් සිදු කරන බවට තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට ක්‍රියා නොකිරීම නිසා 2019 අප්‍රේල් 21 දින කොළඹ 02, ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලය තුළදී ස්වයං බෝම්බ ප්‍රහාර සිදු කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී තිබිණ.

මෙම චෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට ඒ කාලයේ රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී ලෙස කටයුතු කළ වර්තමාන ජ්‍යෙෂ්ඨ පොලිස්පති දීගොඩ ගමගේ නිලන්ත ජයවර්ධන, විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු වන රත්නසිරි කොඩිතුවක්කු, දෙරණ මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරු තරංග දිනූෂ් ජයකොඩි, ඇන්ටන් සුදර්ශන සමීර පියතුමා, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ උපාලි රත්නායක, දිපේන්ද්‍ර රුවන් විජයවර්ධන හා නියෝජ්‍ය අධිකරණ රෙජිස්ට්‍රාර් චමිලා දමයන්ති යන අය කැඳවා තිබිණ. අධිකරණයේදී දෙරණ මාධ්‍ය ජාලය මගින් විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක් අඩංගු සී.ඩී. තැටියක්ද අධිකරණයේදී විකාශය කෙරුණි.

විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුවල සාක්ෂි විභාගය පසුගිය මස 19 හා 20දා අවසන් කිරීමෙන් පසුව මාර්තු මස 18දා නියෝග දෙක ප්‍රකාශයට පත් කෙරුණි.

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් රටේ වගකිව යුතු තනතුරු දැරූ දේශපාලන අධිකාරියට වගකීමක් පැවරී තිබුණද, රාජ්‍ය නිලධාරීන් වෙත එම වගකීම පවරා නඩු පැවරීම සාධාරණ නොවන අතර, වගකීම් පැහැර හැර ඇත්තේ එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ පැමිණිල්ලේ පළමුවැනි සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන බව පෙනී යන්නේ යැයි නාමල් බලල්ලේ, ආදිත්‍ය බටබැඳිගේ හා මොහොමඩ් ඉර්ෂදීන් යන විනිසුරුවරු පෙන්වා දුන්හ.

එසේම රටේ එවකට පැවැති දේශපාලන වාතාවරණය අනුව විත්තිකරුවන්ට ස්වාධීනව තීරණ ගැනීමේ ගැටලු පැවතිය හැකි බව පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි අනුව පෙනී යන බවද සඳහන්ය.

අනෙක් අතට 2019-04-07 දින සිට 20දා දක්වා කාලය තුළ පැමිණිල්ලේ සාක්ෂිකරු, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට යොමු කළ කරුණු කිසිවක් චූදිතයන්ගේ අවධානයට ලක් කළ බවට පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත්වීමක් සිදුව නැත. මේ අනුව ජාතික බුද්ධි අංශ ප්‍රධානී විසින් තමාට ලද තොරතුර සම්බන්ධයෙන් චූදිත සමඟ සාකච්ඡා කළේද, චූදිතට ඒ ගැන දැනුම් දුන්නේද යන කරුණු ගැන දැනගැනීම සඳහා පැමිණිල්ලට කැඳවිය හැකිව තිබුණු හොඳම සාක්ෂිකරු වන්නේ එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී වශයෙන් කටයුතු කළ සිසිර මෙන්ඩිස් නැමැත්තා බව නඩු තීන්දුවේ දැක්වේ. එම සාක්ෂිකරු විවෘත අධිකරණයේ පෙනී සිටියද නඩුවේ සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි දීමට සුදුසු සාක්ෂිකරුවකු ලෙස අධිකරණ තීරණය කළද, පැමිණිල්ල ඔහු සාක්ෂියට නොකැඳවීමට තීරණය කිරීමෙන් පෙනී යන්නේ ඔහු කැඳවූයේ නම් පැමිණිල්ලට අවාසිදායක වන්නේය යන කරුණ පමණි යැයි තීන්දුවේ දැක්වේ.

එසේම චූදිත පොලිස්පතිවරයා සමඟ කුමන කරුණු සාකච්ඡා කළේද, මෙවැනි ප්‍රහාරයක් පිළිබඳව ලද තොරතුරු අනුව සාකච්ඡා කරන ලද කරුණු මොනවාද යන්න ගැන කැඳවිය යුතුව තිබූ තවත් වැදගත් සාක්ෂිකරුවකු වන්නේ එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අය නමුදු ඔහුද කැඳවා නොමැති බව නඩු තීන්දුව අවධාරණය කර ඇත.

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ඇති වැදගත් ස්ථාන දෙකක් වන්නේ බුද්ධි සමාලෝචන මණ්ඩලය සහ ආරක්ෂිත කවුන්සලය වන අතර මෙම කාලසීමාව වනවිට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධනගේ සාක්ෂියට අනුව ආරක්ෂක කවුන්සලය සෑහෙන කාලයක් තුළ නිසි පරිදි රැස්වී නොමැති බව පෙනීයන්නේ යැයි නඩු තීන්දුවේ දැක්වේ. එපමණක් නොව බුද්ධි සමාලෝචන මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලය රැස් කිරීමෙන් පවා මෙම චූදිතට ස්වාධීන තීරණ ගැනීමේ පරිසරයක් තිබුණේද යන්න බරපතල ගැටලුවක් බව පැමිණිල්ලේ සාක්ෂි අනුව අනාවරණය වෙයි.

එසේම පැමිණිල්ලේ එකම සාක්ෂිකරුවකු වන රුවන් විජයවර්ධනගේ සාක්ෂියට අනුව ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ චූදිත තීරණ ගැනීම සම්බන්ධයෙන් අසරණභාවයට පත්ව සිටි බවද සනාථ වී ඇත. ප්‍රහාරය පිළිබඳ රටේ බුද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති තොරතුරුවල බරපතළ භාවය තේරුම්ගෙන ආරක්ෂාව යෙදීමේ ප්‍රමුඛතම වගකීමක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තිබී ඇත.

නඩු තීන්දුවේ සඳහන් වන තවත් වැදගත් කරුණක් වන්නේ පොලිස් ආඥාපනතේ 56 වන වගන්තිය අනුව යම් අපරාධයක් සිදුවීම වැළැක්වීම සඳහා තොරතුරක් ලද පසුව එය වැළැක්වීමට කටයුතු කිරීමේ ප්‍රමුඛතම කාර්ය ඇත්තේ පොලිස් නිලධාරීන්ට බවය. බුද්ධි අධ්‍යක්ෂවරයා ලබාදුන් තොරතුරු චූදිත විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අවස්ථාවක සිවිල් නිලධරයකු වූ චූදිතට අපරාධ චෝදනාවක් ගොනු කිරීමට හැකිද යන්න බරපතළ ගැටලුවක් බවද තීන්දුවේ සඳහන්ය. සාක්ෂි අනුව වැඩිදුරටත් පවසා ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය කිසිදු අවස්ථාවක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට උත්සාහ නොකළ බවත් යුද හමුදා බුද්ධි අංශය සමග රාජ්‍ය බුද්ධි සේවය සහයෝගයෙන් කටයුතු නොකළ බවය. එසේම සාක්ෂිකරුගේ අවබෝධය අනුව පවසා සිට ඇත්තේ මෙම කාලසීමාව තුළ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට ජනාධිපතිවරයා සමඟ නිසි ලෙස සම්බන්ධ වීමේ හැකියාවක් තිබුණු බවකි. විශේෂයෙන්ම 2019.04.20 දින රටේ විධායක ජනාධිපතිවරයා විදේශ ගතව සිටින අවස්ථාවකදී එසේ ලද තොරතුර රටේ අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සමඟ 0හෝ සාකච්ඡා නොකළ බව පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු පිළිගෙන තිබේ.

නඩු තීන්දුවේ සඳහන් වන්නේ ඉදිරිපත් වී ඇති සියලුම සාක්ෂි සලකා බැලීමේදී නගා ඇති චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ලට වාසිදායක සාක්ෂිකරුවන් වන්නේ කැඳවන ලද සාක්ෂිකරුවන් හයදෙනා පමණක් යැයි නිගමනය කිරීමට සිදුවන බවය. එසේ නොමැති වූවා නම් සෙසු සාක්ෂිකරුවන් අතරින් නගා ඇති චෝදනා ඔප්පු කිරීමට ඔවුන් කැඳවීමට පැමිණිල්ලට හැකියාවක් තිබුණි. එසේම චූදිත විසින් පැමිණිල්ලේ ලකුණු කර ඇත්තේ චූදිත මාධ්‍යකරුවන් නැගූ ප්‍රශ්නවලට දී ඇති පිළිතුරු කිහිපයක් වන අතර, ඒවා සියල්ල සලකා බැලීමේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස චූදිත නීති විරෝධී ''නොකර හැරීමක්'' සිදුකර ඇති බවට නිගමනය කළ නොහැකි බව පැහැදිලිව පෙනී යන්නේ යැයි විනිසුරුවරුන් සඳහන් කර ඇත.

''මෙම නඩුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව පැමිණිල්ල විසින් කිසිදු අවස්ථාවක චෝදනාවල සඳහන් ස්වයං ඝාතක බෝම්බ පිපිරීම් වැළැක්වීම සඳහා චූදිත විසින් ගත යුතුව තිබූ ක්‍රියාමාර්ග මොනවාද හා එකී ක්‍රියාමාර්ග චූදිත විසින් නොගෙන තිබුණේය යන කරුණ කිසිදු ආකාරයකින් ඔප්පු කර නොමැති බව තීරණය කරමි. ඒ අනුව චෝවදනාවල සඳහන් වැරදි සඳහා චූදිත සහරාන් හෂීම් හෝ අනෙකුත් ස්වයංඝාතකයන්ට චේතනාන්විතව අනුබල දුන්නේය යන කරුණ පමණක් නොව චූදිත විසින් කරන ලද නොකර හැරීම් සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇත.''

ඒ නඩු තීන්දුව අවසානයේදී සඳහන් කර ඇති සුවිශේෂ නිගමනයයි. එසේම සාක්ෂි සියල්ල සමස්තයක් ලෙස සලකා බැලීමේදී චූදිතගේ අපරාධ චේතනාව තබා අඩුම වශයෙන් නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව හෝ සනාථ කිරීමට පැමිණිල්ල සාක්ෂි ඉදිරිපත් කර නැති බවද තීන්දුවේ දැක්වේ.

හිටපු පොලිස්පති පූජිත විජේතුංග පිළිබඳ නඩු තීන්දුවේ දක්වා ඇත්තේ පැමිණිල්ලේ දක්වා ඇති සාක්ෂිකරුවන් 1216 අතරින් කැඳවන ලද සාක්ෂිකරුවන් පස් දෙනකුගේ සාක්ෂි තුළ මෙකී ප්‍රහාර වැළැක්වීම සඳහා චූදිත විසින් ගත යුතුව තිබූ ක්‍රියාමාර්ග මොනවාද, ඒවා චූදිත විසින් නොගත්තේය යන කරුණු ඔප්පු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් නොවූ බවය. එවන් පසුබිමක් තුළ චූදිත අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් දී ඇත්තේ කුමන පදනමක් මතද යන්න පවා ගැටලු සහගත බව දක්වා තිබේ. මෙම සිදුවීම ඉතා බරපතළ හා සංවේදී සිද්ධියකි. කිතුනු බැතිමතුන්ට ඉතා වැදගත් දිනයක් වන පාස්කු දිනයේදී ආගමික වතාවත්වල යෙදෙන්නවුන්, කිසිවක් නොදන්නා කුඩා දරුවන් පවා ම්ලේච්ඡ ලෙස ඝාතනයට ලක්වුවද තවත් පිරිසක් සුවකළ නොහැකි ආකාරයේ තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් තම දෙමාපියන් අහිමිවීම නිසා අනාගතය පිළිබඳ දැඩි අවිනිශ්චිත භාතාවයට පත්ව ඇත. එසේ වුවද එම සංවේදී කරුණු පදනම් කරගෙන යමෙකුට එරෙහිව සාක්ෂි නොමැතිව නඩු පැවරීමට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද නඩු තීන්දුවක දැක්වේ.

චූදිතයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනුකරන විට නීතිපති මෙයට වඩා සැලකිල්ලෙන් හා වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුව තිබුණු බවද. පාස්කු ප්‍රහාරය වැනි සංවේදී කරුණකදී හුදෙක් නඩු පැවරීමකින් ඔබ්බට ගොස් වගකීමෙන් කටයුතු කළ යුතුව තිබුණු බවද නඩු තීන්දුවේ දැක්වේ.

I යසවර්ධන රුද්රිගු