2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

ලයිට් බිලට කෝටියක් හිඟ තිබ්බත් රතු බිලක් නැති ඇමැති නිවෙස

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 214

දිවයින පුරාම විදුලි කප්පාදුවක් ගෙවුණු සතියේ මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශ කළේය. එවැනි කප්පාදුවක් තවම සිදුනොකරන බව එම කොමිසම මීට කලින් කීවත් ගෙවුණු සතියේ අවසන් තීරණය වුණේ පැය හතරහමාරක විදුලි කප්පාදුවක් කාණ්ඩ තුනක් යටතේ සිදුකරන බවය.

එය ඉවසාගෙන ජනතාව හිටියත් ඒ විදුලි කප්පාදුව හැමෝටම එක හැන්දෙන් බෙදුණේ නැත. පසුගියදා මාධ්‍ය වාර්තා කළේ පිළියන්දල ප්‍රදේශයේ එවැනි කප්පාදුවක් නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් බොහෝදෙනා විමසා සිටියේ විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මහතාගේ නිවස පිළියන්දල පිහිටි නිසා කප්පාදුව සිදුනොවන්නේද යන්නය. ආයේ අමුතුවෙන් අහන්න දෙයක් නැත. ලොකු ලොක්කෝ ඉන්නා තැන එයාලට බෙදෙන හැන්ද එකින් එක වෙනස් බව අමුතුවෙන් කිවයුතු නැත. රටේ නීතිය පවා බලය ඉදිරියේ නැවන පාඩම දන්නේ අපේ උප්පත්තියේ සිටය. ඒ තරමට මේ සමාජය එකිනෙකාට වෙනස් වෙනස් නීති ක්‍රියාත්මක වන වෙනස් වෙනස් ආකාරයට සලකන අපබ්‍රංස සමාජයක් බවට ඉබේටම පත්ව ඇත. මේ සියල්ලටම මුව හම මෙන් එකම හේතුව දේශපාලනය බව කිවයුතුමය.

කෙසේ වෙතත් මේ කියන්න යන්නේ තවත් බෙදීමක් ගැනය. ඒ මේ රටේ මැති ඇමතිවරුන් විසින් තැන් තැන්වල තබන පොලු ගැනය. මේ තවත් පොල්ලක් ගැනය. එනම් එක්තරා අමාත්‍යවරයෙක් විසින් ඔහුගේ නිවෙසේ විදුලියට තබා ඇති පොල්ල එක්කෝටි විසි ලක්ෂයක් බව පසුගියදා විදුලි සේවක සංගමයේ කැඳවම්කරු රන්ජන් ජයලාල් කීවේය. ඔහු නම නොකිව්වත් මේ ඇමතිවරයා කවුද යන්න දන්නෝ දනිති. එහෙත් නම නොකියන්නේ ඔහු මේ වනවිටත් අදාළ මුදල ගෙවීමට පොරොන්දුව සිටින්නේ යැයි කියන බැවිනි.

2015 සිට මෙම බිල්පත් ගෙවා නැති බව දැනගන්නට ඇත. මෙම නිවෙසේ මීට පෙර සිට ඇත්තේ ආරක්ෂක ප්‍රධානියෙකි. ඔහුගෙන් පසුව අමාත්‍යවරයා මෙම නිවසට පැමිණ ඇති අතර 2015 සිට එම බිල්පත් ගොඩගැසී ඇත. පුදුමය එය නොවේය. එනම් ගමේ නිවෙස්වල එක මාසයක පවා මුදල් හිඟයක් තියෙන විට දින 14කින් එය ගෙවන ලෙසට රතු නිවේදන එන රටක අමාත්‍යවරයාට එවැනි ලියුමක් නොලැබුණේ ඇයිද යන්නය. එසේ බැලුවහොත් ඇමතිවරයාගේ නිවෙසට මේ වනවිට රතු නිවේදන කඳු ගැසී තිබිය යුතුය. එහෙත් අප එසේ වී ඇතිදැයි දන්නේ නැත.

කෙසේ වෙතත් රතු බිල ආ පසු එය මග හැරියොත් ඊළඟ අවස්ථාවේ නියත වශයෙන්ම විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කරනු ඇත. නිවැසියන් ගෙදර නැතත් තාප්පෙන් පැන හෝ විදුලිය විසන්ධි කරනු ඇත. එහෙත් ඇමතිවරුන්ට ඒ නීතිය අදාළ නැත. අඩුම තරමේ විදුලිය විසන්ධි කිරීමට හෝ ඒ හතර මායිමේ ගියාදැයි අපි දන්නේ නැත.

අප මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී විදුලිබල මණ්ඩලයේ සේවකයන් පැවසුවේ මෙලෙස හිඟ මුදල් තිබීමට සම්පූර්ණයෙන් එම ප්‍රදේශය බාර විදුලි ඉංජිනේරුවරයා වගකිව යුතු බවය. ඔහු කෙලින් නීතිය ක්‍රියාත්මක කරනවා නම් කිසිවක් නැතුව විදුලිය විසන්ධි කළ යුතුම බව ඔවුහු පවසති. එහෙත් අමාත්‍යවරයා ඇතැම් අවස්ථාවල ඔවුන්ට ඇමතුම් ලබාදුන් පසුව විදුලි කප්පාදු කිරීම් නවතින බව දැනගන්නට ඇත. මෙයද එවැනිම අවස්ථාවක් බව සඳහන් වේ.

2015 පෙබරවාරි සිට 2021 දෙසැම්බර් දක්වා අමාත්‍යවරයා ගෙවිය යුතු මුළු මුදල 12,056,803.38 කි. පුදුමය නම් මෙතරම් ලයිට් බිලක් ඒමට එකී අමාත්‍යවරයාගේ නිවෙසේ කුමක් කරන්නේද යන්නද? එය අපට අදාළ නැත. අපට ප්‍රශ්නය වන්නේ පොඩි මිනිහාට එක නීතියකුත්, ලොකු මිනිහාට වෙනම නීතියකුත් ක්‍රියාත්මක වීම ගැනය. විදුලිබල අමාත්‍යවරයාත්, තෙල් ඇමතිවරයාත් තරගයට නහයෙන් අඬන්නේ සල්ලි නෑ කියාය. ඇත්තය විදුලිබල මණ්ඩලයට මෙය එසේ මෙසේ පාඩුවක් නොවේ. එහෙත් මණ්ඩලයට උණ ගන්නේ අහිංසක මිනිහෙක් මාසයක් ලයිට් බිල නොගෙව්වොත්ය. ඊට විරුද්ධ වුණොත් පොලීසියෙන් පවා රුගෙනවිත් තර්ජනය කර හෝ විදුලිය විසන්ධි කරයි. එහෙත් අමාත්‍යවරයාගේ නිවෙස රකින්නේ පොලීසියෙන්ය. මේවා පුදුම හිතෙන කතාය.

අප මේ සම්බන්ධයෙන් විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල්ගෙන් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ මෙම අමාත්‍යවරයා පමණක් නොව තවත් මැති ඇමැතිවරු ගණනාවක් රුපියල් 50,000 සිට ලක්ෂ පහ හය පොලු තබා ඇති බව දැනගන්නට තිබෙන බවය. මෙ‍ය තවදුරටත් එලෙසම සිදුවන්නේ නම් කොයි මොහොතක හෝ මේ තොරතුරු කෙසේ හෝ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඔහු පැවසුවේ ඇතැම් ඇමතිවරු සහ මන්ත්‍රීවරු නිසි ලෙස මාසිකව විදුලි බිල්පත් ගෙවන බවය. එක්තරා හිටපු විදුලිබල ඇමතිවරයෙක් ඔහු පැමිණි සැනින්ම ඔහුගේ නිවෙසේ හිඟ විදුලි බිල්පත් සොයාබලා අවශ්‍ය ලෙස ඒවා පියවූ බවද දැනගන්නට ඇත.

මේ ආකාරයෙන් රටේ නීතිය රුකිය යුතු පිරිස් රටේ ජනතා මුදල් ලබාගනිමින් ජනතා මුදල්වලට වංචා කරන්නේ නම් ජනතාවට ඒ බර උසුලන්නට සිදුවන බව අමුතුවෙන් කිවයුතු නැත. හැමදාම ජනතාව කළේ අනුන්ගේ කුණු ඇදීම මිස වෙනත් දෙයක් නොවේය. දැනුත් ජනතාව අදින්නේ අනුන්ගේ බරය. අඩුම තරමින් තමන්ගේ බිල පවා ජනතාවගේ කර මත වැටෙන තැනට පත්කරන අමාත්‍යවරුන් ගැන අමුතුවෙන් කතා කළයුතු නැත. කෙසේ වෙතත් කෝටියක් පොලු තැබූ අමාත්‍යවරයා මේ වනවිට බිල්පත ගෙවීමට එකඟ වී ඇත. එහෙත් එය ගෙවන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමක් නැත. ඒවා ඇමතිවරයාගේ අතින් ගෙවනවාද? නැත්තම් අමාත්‍යංශයෙන් ගෙවනවාද? යන්න තවම දන්නේ නැත. අමාත්‍යවරයා අතින් ගෙවන්නේ නම් අපට කමක් නැත. එහෙත් ඒවා අමාත්‍යංශයෙන් ගෙවන්නේ නම් එය තවත් ප්‍රශ්නයක ආරම්භයකි. එය කෙසේද පියවන්නේ යන්න අපි බලා සිටිමු.

 ගයාන් ගාල්ලගේ