2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

සුද්දන්ගෙ කාලෙ පුස්කොළ පොත් ලියපු ගල්ලෙන්ගොල්ල

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 280

බ්‍රිතාන්‍ය පාලනය උඩරට පමණක් නොව මුළු රටම ගිලගෙන පැවති 19 වැනි සියවසේදී පුස්කොළ පොත් අතින් ලියමින් විහාරස්ථානවලට පූජා කරමින් ධර්ම ශාස්ත්‍රීය සේවයක් කළ පිං බිමක් ලෙස උඩුනුවර ගල්ලෙන්ගොල්ල පොත්ගුල් විහාරය හැඳින්වීමට පුළුවන. ඒ සඳහා මුල් වී ඇත්තේ ගල්ලෙන්ගොල්ල ලෙන් විහාරය ආරම්භ කිරීමටත් මුල්වුණු වනවාසී වැලිගමුවේ අත්ථදස්සි හිමියෝ වෙති. ඒ ගැන දීර්ඝ විස්තරයක් ඒ හිමියන් බුද්ධවර්ෂ 2427දී ලියූ පිං පොතේ සටහන් කර තිබේ.

විහාරය ආරම්භ කිරීමට මුල්තැන ගෙන කටයුතු කළ වැලිගමුවේ හිමි පුස්කොළ පොත් ලිවීමට ප්‍රවීණත්වයක් දැක්වූ හිමිනමකි. මේ විහාරයේ පොත්ගුල තනවා තිබෙන්නේ උන්වහන්සේ ලියූ පුස්කොළ පොත් තැන්පත් කිරීමෙනි. අත්ථදස්සි හිමි ලියූ පුස්කොළ පොත් තැන්පත් කර උඩුනුවර අඟුණාවල සහ මාතලේ කූඹියන්ගොඩ විහාරවලද පොත්ගුල් ඉදිකරවා ඇති බව පැවසේ.

19 වැනි සියවසේදී බුරුමයෙන් (රාමඤ්ඤය) උපසම්පදාව ලබාගෙන දකුණේ පිහිටවූ රාමඤ්ඤ නිකාය මධ්‍යම පළාතේ වර්ධනය කිරීමේ මූලස්ථානයක් ලෙසද ගල්ලෙන්ගොල්ල කටයුතු කර තිබේ. වර්ෂ 1867දී ගම්පොළ දී රාමඤ්ඤ නිකායේ උපසම්පදා විනය කර්මයක්ද සිදුකර ඇත. මෙය රාමඤ්ඤ නිකායට අයත් විහාරයකි. උරුලෑවත්ත විහාරය සහ පත්තිනි දෙවොල නරඹා වැඳපුදා ගැනීමෙන් පසු එයට නුදුරින් පිහිටි ගල්ලෙන්ගොල්ලට පැමිණිය හැකිය. අද දක්නට ලැබෙන විහාරය රජමහා විහාරයක් නොවූවත් රජ සමයේ මෙහි ඉපැරණි ආරණ්‍ය භූමියක් පැවති බවට පුරාණ ගල්ලෙන් සාක්ෂි දරයි. විහාරය පිහිටා තිබෙන්නේ සුන්දර කඳුකර වටපිටාවක පිහිටි ලෙන් ඇසුරු කරගෙනය. එය උඩුනුවර පුරා විහිදී ඇති සින්දුරන් කන්දයි. එහි තැනින් තැන විශාල ගල් පර්වත පිහිටා තිබේ. ගල්ලෙන්ගොල්ල විහාරය පිටුපස ඇති කුඩා ලෙන තුළින් උරුලෑවත්තේ ගල්ලෙන් විහාරයට සහ සින්දුරන් කන්ද දෙසට යන උමං මාර්ග දෙකක් ඇති බවත් ඒ උමං ඔස්සේ ගිය විට විශාල පොකුණකට වැටෙන බවත් ජනප්‍රවාදයේ එන කතාවකි. මෙම ලෙන් තුළ කුඩා උමං මාර්ග පිහිටි බව අදත් දැකගත හැකිය.

විහාරය අවට කන්දේ තැනින් තැන ගල්ලෙන් කිහිපයක්ම ඇති නිසා ඒ පෙදෙස ගල්ලෙන්ගොල්ල ලෙස හඳුන්වා තිබේ. පුරාණයේ සින්දුරන් කන්දේ සිදුවූ නායයාමක් නිසා විශාල පර්වත එකින් එක දැවටීම නිසා මෙසේ ලෙන් සකස් වී ඇති බව පෙනේ. විහාරයේ විවිධ අංග කඳු පාමුල තැනිතලාවේ සිට කඳුමුදුන දක්වා විහිදී ඇත. තෙමහල් පොත්ගුල් විහාරය, ලෙන් විහාරය සහ ආවාසයක්, බෝමළුව, දාගැබ සහ ධර්ම ශාලාව, ශ්‍රීපාද කුටිය, පෝය ගෙය, භික්ෂු ආවාසය ලෙස මෙහි විහාර අංග සඳහන් කළ හැකිය.

තෙමහල් පොත්ගුල් විහාරය ඉදිකරවා ඇත්තේ කඳු බෑවුමේ කළුගල් යොදා සකස් කළ අත්තිවාරමක් මතය. එය තැනූ අන්දම අත්ථදස්සි හිමි පිංපොතේ සටහන් කර ඇත්තේ මෙලෙසයි. දකුණු පැත්තේ අඩි පහළොවක් පළල අඩි පනහක් දිගින් යුක්තවද උසින් අඩං තිහක් ඇති උඩින් අඩි පනස් පහක් දිගින් හා අඩි විසිපහක් පළල ඇති මහ බෝක්කුව බන්දවා නොයෙක් විචිත්‍ර චිත්‍ර කර්මාන්ත කරවා එහි සිතියමේ දහසක් බුද්ධ රෑප අන්දවා දොළොස් රියන් උස මහ බුද්ධ රූප දෙකක් පියුමතුරා මෛත්‍රී බුදුන් වෙනුවට අන්දවා ගෞතම බුදුන් වෙනුවට දහ අට රියන් දිග ඇති සැතපෙන මහ බුද්ධ රෑපයක් බන්දවා...* (එච්.එම්.එස්. දන්දෙණිය - උඩුනුවර විහාර වංශය III කොටස, අමුද්‍රිත පිටපත, පේරාදෙණිය වි.වි. පුස්තකාලය)

වැලිගමුවේ අත්ථදස්සි හිමි ආරම්භ කළ විහාර කර්මාන්තය නිමකර ඇත්තේ උන්වහන්සේගෙන් පසුව 1915දී බව විහාරයේ උඩුමහලේ ඇති සටහනින් පැහැදිලි වේ. එම විහාර මන්දිරය නිම කරවා 1915දී නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම කළ බව එහි පුවරුවක සඳහන් කර තිබේ.

මෙය ඉතා විශාල තෙමහල් විහාරයකි. ඉංග්‍රීසි පාලන සමයේ එය ඉදිකරවීම විශාල අභියෝගයක් වන්නට ඇත. ආරුක්කු, කුලුනු ආදිය සහිතව නිමාකළ විහාර ගොඩනැගිල්ලේ මූර්ති සහ බිතුසිතුවම් මහනුවර සම්ප්‍රදායට අනුව නිම කිරීමට සිත්තරා උත්සාහ ගෙන තිබේ. උඩරට ද්විමාන සම්ප්‍රදාය ක්‍රමයෙන් ත්‍රිමාණ ආකාරයට හැරෙන අන්දම මෙහිදී දැක බලාගත හැකිය. උඩරට සාම්ප්‍රදායික මෝස්තර රුසකින්ද විහාරයේ වියන සහ බිත්ති අලංකාර කිරීමට සිත්තරා උත්සාහ කර තිබේ. 
මේ විහාරය ගැන ආචාර්ය සිරි ගුණසිංහ සහ එල්.ටී.පී. මංජු ශ්‍රී මෙසේ සඳහන් කර සිටී.

මෙය ඉතා සුවිසල් තැනක් වන අතර ගෘහ නිර්මාණය ශිල්පියාගේ දෘෂ්ටි කෝණයෙන් විමසා බලන විට වැදගත් වේ. චිත්‍ර එතරම් පැරණි ඒවා නොවේ. වියන්තලය සාමාන්‍ය රසාත්මක බවක් පළ කරන්නේ එහි තිබෙන %පූට්ටු^ තේමාවන් සහිත චිත්‍ර නිසයි. (ශ්‍රී ලංකාවේ විහාර බිතුසිතුවම් පිළිබඳ සමීක්ෂණ වාර්තාව, 48 පිට)

විහාරයේ ඉදිරිපස මණ්ඩපයකි. පළමු මහල තනා ඇත්තේ කටාරම් සහිත ලෙනක් ඇසුරු කරගෙනය. ගල් උළුවස්සකින් බැතිමතා ඇතුළු වන්නේ කුලුණු සහිත බරාඳයකටය. එහි හිඳ බුදු පිළිමයක්ද හිටි පිළිමයක් සහ සැතපෙන ප්‍රතිමාවක්ද දැකගත හැකිය. කුලුණු මෙන්ම වියනද විහාර බිත්තිද සිතුවමෙන් අලංකෘතය. මෙම චිත්‍ර ශිල්පීය වශයෙන් විශිෂ්ට නොවේ. වියන සරසා තිබෙන්නේ නාරිලතා මල්, හංස පූට්ටු සහ කඩුපුල් මල් සහිත සිතුවම් රටාවකිනි. බිම් මහලේ දකුණු පස කුටිය වෙන්ව ඇත්තේ විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවකටය. ඒ දෙපස හිටි බුදු පිළිම දෙකකි. එහි සඳහන් කර ඇති සටහනකට අනුව එම කොටසේ චිත්‍ර ප්‍රතිසංස්කරණය කරවා ඇත්තේ 1979දීය. එසේ ප්‍රතිසංස්කරණය කරවා තිබෙන්නේ බු.ව. 2425දී කරවූ විහාරයයි. එහි මුලින්ම ඇඳ තිබූ අසූ මහා රහත් රෑපද සැතපෙන පිළිමයේ ශ්‍රී පතුලේ මංගල ලකුණු 216ද ප්‍රතිසංස්කරණයේදී මකා දමා තිබෙන බව දැන ගැනීමට ලැබුණි.

දෙවැනි මහලට පිවිසීමට පියගැට පෙළකි. එහි විහාර මන්දිරයට දොරටු දෙකකි. උඩුමහලද විශාල ආරුක්කු හතරකින් යුක්තව තනා තිබේ. එහි බිත්තියේ ලියා ඇති සටහනට අනුව 1915දී එවකට විහාරාධිපතිව සිටි මාත්ගමුවේ ධම්මජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි උඩුමාලේ ඇතුළ පමණක් රුපියල් එක්දහස් විසිහතක් වැය කරවා පී.ඇල්. සෙන්දිරිස් නම් සිත්තරා ලවා සිතුවම් කරවා ඇත.

විහාරය කරවීමට මුල් වූ වැලිගමුවේ අත්ථදස්සි නාහිමි විහාර කර්මාන්තය හය අවුරුද්දක් තුළ රුපියල් පනස් දහසක වියදමින් කරවා බු.ව. 2435 (ක්‍රි.ව. 1874) අපවත් වූ බවද එහි සටහන් කර තිබේ. වැඳ සිටින ආකාරයෙන් නිම කළ වැලිගමුවේ නාහිමියන්ගේ ප්‍රතිමාවක්ද මෙහි දැක ගැනීමට පුළුවන. මෙම විහාරයේ සිතුවම් හා මූර්තිවල නවීන ලක්ෂණ මතුව තිබේ. අටවිසි බුද්ධ ප්‍රතිමා, හිඳි බුද්ධ ප්‍රතිමා දෙකක්ද කරවා තිබේ.

පිළිමගෙය මැද විශාල පිත්තල කරඬුවකි. බුද්ධ චරිතය හා සත්සතිය චිත්‍රවලින් බිත්ති සරසා තිබේ.

විහාරයේ තුන්වන මහල මෑත යුගයට අයත් චිත්‍ර හා මූර්තිවලින් යුක්තය. 

කඳු මුදුන මත ඈත දර්ශනය දැකගත හැකි ස්ථානය හඳුන්වන්නේ අසුන්ගල ලෙසිනි. එයට නුදුරින් ගල් පර්වතයක නෙළූ මෑත අතීතයට අයත් සිරිපා සලකුණක්ද දැක ගැනීමට ලැබේ. පැරණි ප්‍රාකාරයක සහ පියගැට පෙළක ශේෂ ද මේ අසල වනයේ දැකගත හැකිය. කන්දේ නැගෙනහිර බෑවුමේ තවත් ගල්ලෙන් කිහිපයක්ම පිහිටියේය.

ගල්ලෙන්ගොල්ලේ කටාරම් කෙටූ ලෙන් තෙමහල් ප්‍රතිමා ගෘහ, දාගැබ, ධර්ම ශාලාව හා පැරණි පියගැට පෙළ 2009.1.24 දින පුරාවිද්‍යා ස්මාරක ලෙස ප්‍රකාශිතය.

 කුසුම්සිරි විජයවර්ධන