2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

ජනතාව පෙළන හදිසි වැඩවර්ජන

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 50

ජීවිතය පුරා අපි බොහෝ දේ දිනා ගැනීමට අරගල කරමු. එහෙත් එම අරගල තුළදී අප කිසිවෙකුට අනෙකා පීඩාවට පත්කිරීමට අයිතියක් නැත. එහෙත් ලොව සෑම අරගලයකදීම අරගලයක් තුළම පීඩාවට පත්වන්නෝ සිටිති. මෙම සටහන වෘත්තීය අරගල තුළදී පීඩාවට පත්වන පොදුජනයා පිළිබඳවය.

අප රට තුළ පවත්නා ආර්ථිකය සාමාජීය දේශපාලන වටපිටාව තුළ මෑතකාලීන වෘත්තීය අරගල රැසක් දිනපතා වාර්තා වෙමින් පවතී. එම වෘත්තීය සටන්වල උපරිම අවස්ථාව වර්ජනයයි. ඕනෑම වෘත්තිකයකු වර්ජනයට අවතීර්ණ විය යුත්තේ අවසාන විකල්ප ලෙසය. ආචාරධාර්මිකව තත්ත්වය එසේ වුවද ලොවපුරා වර්ජන ක්‍රියාමාර්ග සමඟ දේශපාලනික හේතු බැඳී පවතියි. එනිසාම ඇතැම්විට වෘත්තිකයන් වර්ජන සඳහා අවතීර්ණ වන්නේ සිය අවසාන විකල්පය ලෙස නොව සිය දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අරමුණිනි. එනිසාම අප ඉතා සාවදානව වර්ජනය සම්බන්ධයෙන් අවබෝධ කොට ගැනීම වැදගත්ය.

මෙරට තුළ මෑතකාලීනව මහජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්වූ වර්ජන ක්‍රියාත්මක කළේය. අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ග සඳහා එළඹියේ සිය වැටුප් දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණය කරගැනීමේ අරමුණිනි. එම වෘත්තීය ක්‍රියාමාර්ගවලදී කැපී පෙනුණු සුවිශේෂී තත්ත්වයක් වූයේය. එනම් වර්ජන සඳහා එළැඹි වෘත්තීය සමිති අතර මෙන්ම වෘත්තීය ස්ථර අතරද ගැටුම් දක්නට ලැබීමයි. ඒ සඳහා වූ ප්‍රධානම හේතුව දේශපාලනය බව නොවලහා කිව හැකිය.

රෝහල් කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වූ සෞඛ්‍ය වර්ජන හේතුවෙන් රටපුරා රෝගීන් ලක්ෂ ගණනක් පීඩාවට පත්වූහ. අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට වර්ජකයන් කටයුතු කළද බාහිර රෝගී අංශ ඇතුළු බොහෝ අංශ බිඳ වැටුණි. රෝහල්වලට පැමිණි රෝගීන්ට හැරීයාමට සිදුවූ අතර සතිපතා හෝ මාසිකව ලබාගත යුතු ඖෂධ ලබාගැනීමට නොහැකි විය. මාධ්‍ය විසින් මේ මොහොතේ මෙම රෝගීන්ගේ දුක් අඳෝනාවන් සමාජගත කළ නමුත් ඊළඟ ඇසිල්ලේ එය සියල්ලෝම අමතක කර දැමූහ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන සම්බන්ධ කිසිදු වෘත්තීය පාර්ශ්වයකට පක්ෂපාතී වීමට අවශ්‍ය නොවේ. කෙසේ නමුත් පොදුවේ ඔවුන් සැමට වෘත්තීය ගැටලු ඇති බවද අපි පිළිගනිමු. එහෙත් සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රයක් තුළ නිරන්තර වෘත්තීය ක්‍රියාමාර්ග ලෙස වර්ජනය තෝරා ගැනීම කිසිවිටෙක අනුමත කළ නොහැකිය. මේ හරහා පීඩාවට පත්වන්නේ පොදු සමාජයේ දැඩි ජීවන අරගලයක නිරත වී සිටින ජනතාවයි. රජයේ රෝහල මිසක් ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැත. එසේම ඔවුන්ට සිය විරෝධය රටට කීමට හෝ හඬක් නැගීමට තැනක් නැත. යමෙක් මාධ්‍යය ඉදිරියේ සිය පීඩාව කියත්ම එය පෙරළා දේශපාලනීකරණය කිරීමට පිරිසක් බලා සිටිති.

සෞඛ්‍ය වර්ජනවලට නොදෙවැනි ලෙස මෑතකාලීනව ජනතාව පීඩාවට පත්වූයේ දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙනි. පූර්ව දැනුම්දීම් පවා සිදු නොකොට සිදුකරන ලද මෙම වර්ජන හේතුවෙන් දහස් සංඛ්‍යාත දුම්රිය මගීහු පීඩාවට පත්වූහ. දුම්රිය ගමන් වාර අතරතුරදී අතරමග දුම්රිය නවතා ඇතැම් වෘත්තිකයන් වර්ජන සඳහා සහාය දක්වනු දක්නට ලැබුණි. එම වර්ජනය ඇතුළු බොහෝ දුම්රිය වර්ජන සඳහා හේතුවන්නේ දුම්රිය වෘත්තීය ස්ථර අතර පවත්නා වැටුප් විෂමතාවන්ය. ඒ හැරුණු කොට පාලන අධිකාරිය සමඟ පවත්නා ගැටුම්ද ඇතැම්විට දුම්රිය වර්ජන සඳහා හේතු වේ.

බොහෝවිට දුම්රිය වර්ජන හේතුවෙන් කොළඹ කාර්යාල දුම්රිය සේවා භාවිත කරන පිරිස ප්‍රමුඛව පාසල් සිසුන්, ආසන වෙන්කළ සංචාරකයන් සහ නගරාන්තර දුම්රිය භාවිත කරන පිරිස් පීඩාවට පත්වෙති. දුම්රිය වර්ජන ඉතා අමානුෂික ස්වභාවකින් ක්‍රියාත්මක වීම මෑතකාලීනව කැපී පෙනෙයි. උදෑසන දුම්රිය ගමන්වාර අරඹා සවස් කාලයේ ගමන්වාර අවලංගු වන පරිදි වර්ජකයන් සිය ක්‍රියාමාර්ග දියත් කරයි. මාසික ප්‍රවේශ පත්‍ර ලබාගත් මගීහු මෙවන් අවස්ථාවල දැඩි ලෙස පීඩාවට පත්වෙති. වර්ජකයන්ගේ වුවමනාවද එය බව විටෙක පෙනී යයි. දැඩි හානියක් කොට සිය අවශ්‍යතාව ඉටුකර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

සෞඛ්‍ය වර්ජනවලදී මෙන්ම දුම්රිය වර්ජන වර්ජනවලදීද දුම්රිය මගියාගේ හඬ යටපත් වී යයි. ඔවුන්ගේ කෝපය පමණක් මාධ්‍යයේ පුවත් මැවීමට හේතුවේ. ආසන්න මාස දෙකක පමණ කාලය තුළ සිදුවූ දුම්රිය වර්ජන, සෞඛ්‍ය වර්ජන සේම ඉතා කෲර ලෙස මහජනතාව අපහසුතාවයට ලක් කළේය. එසේම ජාතික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය. හදිසියේම සිදුකරන වැඩවර්ජන හේතුවෙන් මහාමාර්ග අවහිරතා ඇතිවීමේ ප්‍රතිඵලයෙන් වසරකට රුපියල් බිලියන 7ක පමණ ඉන්ධන හානියක් සිදුවන බව කියැවේ. මේ අනුව සිහිපත් කළ යුත්තේ දුම්රිය පාලන අධිකාරිය සහ වෘත්තිකයන් අතර පවතින ගැටුම්වල වින්දිතයන් බවට දුම්රිය මගියා පත්වීම මේ හා සම්බන්ධ සැබෑ ඛේදවාචකයක් බවයි.

ඉකුත් මාසයකට අධික කාලය තුළ තවත් වර්ජන රැසක් වාර්තා වුවද මූලික වශයෙන් වැඩවර්ජන ප්‍රමාණයක් වාර්තා වූයේ දුම්රිය සහ සෞඛ්‍ය යන දෙඅංශයෙනි. එම නිසාම වර්ජන සම්බන්ධ සංවාදය එම ක්ෂේත්‍රය ද්විත්වය අපි පාදක කොට ගතිමු.  කෙසේ වෙතත් පසුගිය වසරේ සිදුවූ ගුරු වර්ජනයටද වර්ජන දාමය අපට අමතක කළ දැමිය නොහැක. පොදුවේ සලකා බැලූ විට වර්තමාන වර්ජන සම්බන්ධ යම් අපුලක් ජනිත වේ. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් දැවැන්ත වෘත්තීය අරගල දියත් කළ ඉතිහාසයක් අප රට සතුව ඇත. ඒ පිළිබඳ ඓතිහාසික අභිමානයක් වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළ වේ. එහෙත් අද තත්ත්වය ඊට වෙනස්ය. සමස්තයක් ලෙස වර්තමානයේ මෙම ක්ෂේත්‍රයේ පිරිසක් බහුතරය පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල අතකොළු වී සිටිති.

කෙසේවෙතත් පාලක පන්තියද වර්ජන සඳහා අවතීර්ණ වීමට පෙර වර්තමාන වෘත්තීය ගැටලු පිළිබඳ පැහැදිලි අවබෝධයකින් කටයුතු කරන බවක් තහවුරු කළ නොහැකි. බොහෝවිට වෘත්තීය ගැටලු සම්බන්ධ අලස ස්වභාවයක් පාලකයන් පෙන්නුම් කරයි. එහෙත් සැබවින්ම මෙම බොහෝ ගැටලු වර්ජනවලින් තොරව විසඳාගැනීමට හැකි ගැටලුය. එහෙත් දේශපාලනික හේතු සේම රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවයද මෙම අර්බුද දියුණු තියුණුවීමට හේතු වී තිබේ.

ජනාධිපතිවරයාගේ දැඩි විරෝධතාව හේතුවෙන් සෘජු වර්ජන උද්ඝෝෂණ මර්දනයට ආරක්ෂක අංශ මැදිහත් නොවේ. එහෙත් එම මර්දනය දියත් කිරීමට වුවමනාව සහිත පිරිස්ද පාලකයන්ට සමීපව සිටින බව කිවයුතුය. මේ අතර අවසාන වශයෙන් කිවයුත්තේ වැඩවර්ජන හෝ මහජනතාව අපහසුතාවට පත්වන වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේදී පූර්ව දැනුම්දීම් නොකරන වෘත්තීය සමිති නායකයන්ට හා අදාළ වෘත්තීය සමිතිවලට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කළ හැකි පරිදි නව නීති අඩංගු පනතක් ඉදිරියේදී හඳුන්වා දෙන බවට කම්කරු ඇමැති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා සූදානම් වනු ඇති බවයි. නොදුරේදීම එම කටයුත්ත පවා විවේනය වීමට ඉඩ තිබේ. කෙසේ නමුත් එම පනත බලා මිස එය නොබලා ඔබට ගතු කීමට අප සූදානම් නැත.

 චමිඳු නිසල් ද සිල්වා