සිරි රහල් හිමියන්ගේ සැළලිහිණි සංදේශයේ කෝට්ටේ සිට කැලණියට පිටත්කර යවන සැළලිහිණියාට නැගෙනහිර පෙනෙන සමනොළ ගල ගැන නොකියාම බැරිවූයේ එය ගව් ගණනක් මෙපිට බටහිර පැත්තට ඉර උදාවත් සමග පෙනෙන අති සුන්දර දසුනක් වූ නිසාත් ඒ වෙත ඇති භක්තියත් නිසාය. රටේ බටහිර තීරයට ආසන්න කොළඹට සමීප රත්මලාන, බොරලැස්ගමුව, මහරගම, මාලබේ හා කැලණිය පැත්තට සියලු කොන්ක්‍රීට් වනාන්තර තිබියදී අදටත් ඇතැම් දිනවල දිවා කාලයේ පවා සොබාදහමෙන් නිර්මිත සමනොළ ගල ඇතුළු කඳු පන්තිය දිස්වේ. බටහිර මුහුදෙන් මෙරටට සමීප වන නාවික යාත්‍රාවලට පවා සමනොළ ගිර ඇතුළු රට මැද්දෙන් ඉහළට එසවුණු කඳු පන්තිය ඇතැම් විට දිස්වෙන බව කියවා ඇත්තෙමි. රට මධ්‍යයෙන් ඉහළට එසැවී ප්‍රතාපවත් ලෙස ඉහළ නැගී සිටින මීටර් දෙදහස් දෙසීය හතළිස් තුනක් උස ශ්‍රීපාද කන්ද සියලු ආගම් භක්තිකයන්ගේ භක්තියටත් ගෞරව සම්ප්‍රයුක්ත බියටත් පාත්‍ර වූයේය. පුදුම විය යුත්තේ එය එසේ නොවී නම් පමණකි.
බෞද්ධයෝ බුදු හිමියන්ගේ සිරි පතුල සමනොළ ගිර මුදුනේ සටහන්ව තැබූ බව අතීතයේ පටන් විශ්වාස කරති. ශුද්ධ වූ බයිබලය කෙරේ විශ්වාසය තැබූවන් අදහන්නේ එහි ආදම්ගේ පාදය සටහන්ව ඇති බවයි. හින්දු භක්තිකයෝ සිරීපාද කන්ද ශිව ආගමට සම්බන්ධ කරති. මුස්ලිම් භක්තිකයෝ සිය එකම දෙවියන්ට ශ්‍රීපාද කන්ද සම්බන්ධ කරති.
ලොව හැමගේ ආගම එතැනයි
ලොව හැමගේ ජාතිය එතැනයි
ඒ සිරිපා ජය භූමියයි
යනුවෙන් මහගම සේකරයන් ලියා තැබුවේ ඒ නිසාය.
හැඩයෙන් හඳුනාගත හැකිවූ රටේ ගව් ගණනක් ඈතට දිස්වෙන කඳු බොහෝය. හුන්නස්ගිරි කන්ද, බතලේගල කන්ද, අලගල්ලේ කන්ද ඉන් කිහිපයකි. එහෙත් සිරීපාද කන්ද මෙන් රටේ වැඩි ප්‍රදේශයකට දිස්වන තවත් කන්දක් නැත.
බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනොළ කන්ද
යනුවෙන් ජන කවියා කීවේ ඒ නිසාය.
එවන් උච්චතම ස්ථානයක තම ආගමේ ශාස්තෘන් වහන්සේගේ පා සටහන ඇති බවට පවතින විශ්වාසයෙන් සංකේතවත් කරන අදහස් බොහෝය. තම ශාස්තෘන් වහන්සේගේ ආරක්ෂාවත්, ධර්මයේ අනුහසත් මුළු රටටම බලපාන බව ඉන් මතුවන එක් අදහසකි. කැලණියේ මනිඅක්ඛ නා රජුගේ ආරාධනයෙන් මෙරටට වැඩි බුදුහිමියන්, සමන්ත කූඨයේ සිරිපතුල සටහන් කොට රටේ ආරක්ෂාවත් සිරිපා අඩවියත් සුමන සමන් දෙවියන්ට භාරකළ බව ජනප්‍රවාදයේ කියැවේ.
ශ්‍රී පාදය ගැන මහාවංශයේ තොරතුරු දුටුගැමුණු යුගය දක්වා ඈතට දිවෙයි. දුටුගැමුණු රජුගේ ථේරපුත්තාභය යෝධයා ශ්‍රී පාදය වන්දනා කළ බව පැවසෙන අතර එළාර රජුගේ සෙබළකු වූ දීඝජන්තු සුමනගිරි විහාරයේ ආකාස චෛත්‍යයට පට වස්ත්‍රයක් පූජා කළ බවද මහා වංශයේ සඳහන්ය. නිශ්ශංකමල්ල රජ සිරිපා කරුණා කරන බැතිමතුන්ට ගිලීමලේ ප්‍රදේශයේ නින්දගම් ලබාදුන් අතර පළමුවෙන්ම ශ්‍රී පාදස්ථානයට යන මාර්ගයක් විධිමත්ව ඉදිකොට ඇත්තේ (මහාවංශයට අනුව) දෙවැනි පරාක්‍රමබාහු රජතුමාය. ඉතිහාසය එසේ වුව ශ්‍රී පාදයට විදුලි ආලෝකය ලබාදී ඇත්තේ 1948 මාර්තු මාසයේය.
මධ්‍යම කඳුකරයේ ශ්‍රී පාද කඳු මුදුණ ඇතුළු කඳු පන්තිය ශ්‍රී ලංකාවේ දේශගුණ රටාවත්, රටේ ජලවහනයටත් තීරණාත්මක බලපෑමක් ඇති කරන්නකි. ජල වාෂ්ප රුගෙන එන නිරිත දිග මෝසම් සුළඟත්, සංවහන සුළං ධාරාත් බටහිර බෑවුම දිගේ ඉහළ නැග එතැන් පටන් රටේ නිරිත දිග කලාපය පුරා වර්ෂාව ඇද හැලෙන්නට සලස්වයි. මෙරට තෙත් කලාපයත් නිර්මාණය වී ඇත්තේ ඒ ආකාරයටයි. මධ්‍යම කඳුකරයේ සිට සිව් දිසාවට ඇද හැලෙන ගංගා ආරම්භ වන්නේ ශ්‍රීපාද අඩවියෙන් යැයි විශ්වාසයක් පවතී. සීතල දිය දහරා ශ්‍රීපාද අඩවියෙන් පහලට ගලා අවුත් අතු ඉති ගංගා එක්ව මහා ගංගාවලට යාවේ.
අම්මට සිරි ගජ වෙනකොට
දූලගෙ බඩ කට පිරවෙන්නේ
යනුවෙන් ජන කවියා ව්‍යංගාර්ථයෙන් කීවේ සිරිපා අඩවියට වැසි ඇද හැලෙන විට ගංගා පිරී යන කතාවය. එහිදී අම්මාට උපමා කළේ ශ්‍රී පාද අඩවියයි. සොබාදහමේ මාතාව වන් සිරිපා අඩවියට මාතෘ භක්තියෙන් යුතුව සැලකීමත් වැඳුම් පිදුම් කිරීමත්, එහි නිර්මලත්වය ආරක්ෂා කිරීමත් වටනේ රටේ දේශගුණයත්, වර්ෂණ රටාවත් ජල වහනයටත් තීරණාත්මක ලෙස එකී කඳු පන්තිය බලපාන බැවිනි. රටේ යල මහ දෙකන්නයත්, සමස්ත කෘෂි රටාවත් තීරණය වූයේ ඒ අනුසාරයෙනි.
ශ්‍රී පාදය ජනජීවිතයට කෙතරම් බලපෑවාද කිවහොත් මෙරට ගද්‍ය පද්‍ය හා ගීත සාහිත්‍යයට සෑම කල්හිම ශ්‍රීපාදය සම්බන්ධ වී තිබේ. ශ්‍රී පාදය සමඟ බැඳුණු ජන කතා පාඨකයන් හට අමුතුවෙන් විස්තර කොට කීම අවශ්‍ය නොවේ. සිරිපාදෙට යන සමනලුන්ගේ කතාව වඩාත් ජනප්‍රිය වූවකි.
මහාවංශය හැරුණු කොට ශ්‍රී පාදය සම්බන්ධ විස්තර දීපවංශය, චූලවංශය, රාජාවලිය හා දඹදෙනි යුගයේ ලියැවුණු සමන්ත කූඨ වර්ණනාව ඇතුළු සම්භාව්‍ය ග්‍රන්ථ රාශියක පවතී. සැළලිහිණිය ඇතුළු කෝට්ටේ යුගයේ ලියැවුණු සංදේශ කාව්‍ය කිහිපයක සමන්ගිර ගැන සඳහන් වේ. වඩාත් අවධාරණය කොට කිවයුතු කාරණය වන්නේ නූතන ගීත සාහිත්‍යයට සිරිපාදය නැතිවම බැරිවීමයි. දශක ගණනාවකට පෙර ලියැවුණු &මුනි නන්දන සිරි පාද වඳිමු සමනොළ කන්දේ* ගීයෙන් (ජී.ඩී. පෙරේරා ලියූ) පටන් ගත් විට &සිරිපාදේ සමනොළ කන්ද පෙනේ* ගීය හරහා හැම වර්ගයේම ගායකයන් ශ්‍රී පාදය ගැන ගැයූ ගීත බොහෝය. අමරදේවයන් ගැයූ ඉහත සඳහන් (ලොව හැමගේ ආගම එතැනයි) ගීය හැරුණු කොට මහගම සේකරයන්ම ලියූ &සිරිපා පියුමේ රොන් සුණු තැවරී* ගීය පිරිත් ගායනයක ස්වර රටාව ඇසුරින් අමරදේවයන් ගායනා කළේය.
ජෝතිපාලයන්ගේ සීත සුනිල් දිය දහරා මොහිදීන් බෙග් ගැයූ සකල සතම බොදු බැතියෙන් යන ගීතද පොදු ජනයා අතර බෙහෙවින් ජනප්‍රිය වූයේය.
නැගෙනහිරෙන් හිරු පායා එන හිමිදිරියේ ශ්‍රී පාද කන්දේ සෙවනැල්ල සමපාද ත්‍රිකෝණයක හැඩයෙන් ධරණී තලයේ ඈතට විසිර යාම හැත්තෑ ගණන් වලදී ලෝකයේ ස්වභාවික විශ්මයන්ගෙන් එකක් ලෙස නම්කර තිබිණි. එම සෙවනැල්ලේ ජ්‍යාමිතික හැඩය හා එහි පැතිරීම ගැන මෑත කාලයේ පවා පර්යේෂණ සිදුවූ බව පෙනේ.
සාමාන්‍යයෙන් ශ්‍රී පාද වන්දනාවේ යන්නට වැඩිදෙනා භාවිත කර ඇත්තේ හැටන් - නල්ලතන්නිය පාර හෝ රත්නපුර - පලාබද්දල පාරයි. ඒ හැරුණු කොට කුරුවිට එරත්න පාරද භාවිත කරති. ඒ හැරුණු කොට මූර්යාවත්ත, මුක්කුවත්ත, හා මාලිබොඩ හරහා යන තවත් අප්‍රසිද්ධ අතුරු මාර්ග තැනක්ද ඇත. විවිධ මාර්ග ඔස්සේ එකම අරමුණකට යාම ජනවහරේ කොහෙන් ගියත් සිරිපාදෙට යන පදයෙන් හඳුන්වන්නේ මේ නිසාමය.
උඳුවප් පොහෝ දිනෙන් පටන්ගෙන වෙසක් පොහෝ දිනයෙන් අවසන් වෙන ශ්‍රී පාද සමයේ පළමු මාස දෙකේදීම සාමාන්‍යයෙන් ඉහත කී ප්‍රධාන මාර්ග දෙකේ ස්වභාවික ලස්සන බැතිමතුන්ගේ මානව ක්‍රියාකාරකම් නිසා අවලස්සන වෙයි. වැඩිපුරම එම මාර්ග පරිසර දූෂණයට ලක්වන්නේ ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය බැතිමතුන් විසින් තැන තැන විසුරුවා හැරීම නිසාය. සීත ගඟුලේ අතහැර දැමූ ප්ලාස්ටික් බෝතල් ටොන් ගණනක් දැක්වෙන චලන රෑපයක් මම අන්තර්ජාලයේ දැක ඇත්තෙමි. සිරිපා අඩවියට මාතෘත්වයේ භක්තියෙන් සැළකීමේ වැදගත්කම සාමාන්‍ය ගැමි ජනයා දනී. එහි නිර්මල බව රුකිය යුතුය. භක්තිය හිත දරාගෙන සිරිපා කරුණා කරන අතර සොබාදහම වෙතත් අපගේ බැතිමතුන් කරුණාව පාන්නේ නම් මැනවි.
විසි වැනි සියවසේ මුල් කාලයේ ගත් ශ්‍රී පාදයේ උඩ මළුවේ ඡායාරෑප අයකුට අන්තර්ජාලයෙන් දැකගත හැකිය. මෑතදී ගත් එම ස්ථානයේ ඡායාරෑපද සුලභය. ඒ ඡායාරෑප දෙවර්ගය සංසන්දනය කළ විට පැරණි උඩමළුව කොතරම් සුන්දර දැයි සිතේ. දැන් එතැන ඇත්තේ කොන්ක්‍රීට් ගොඩනැගිලි සමූහයකි. සොබාදහමේ සුන්දරත්වය විඳගන්නා රසය පරයා භක්ති රසය බොහෝදුර ගොස් ඇත්තා සේ පෙනේ.
ඒ කාලයේ සිරිපා පියුමේ රොන් සුණු තැවරී..... ගිමන් නිවන පවන් හමා ඒ.... නිවී පහන් වී ලය සැනැහේ.... යනුවෙන් සේකර ලියා තැබීම පුදුමයක් නොවේ.
සමන් පුෂ්ප ලියනගේ