ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවන නමුත් රට තුළ ඉන්ධන ගාස්තු වැඩි නොකෙරේ. විදුලිබල මණ්ඩලයෙන් අයවිය යුතු ණයවලින් කොටසක් ඛණිජ තෙල් සංස්ථාවට නිදහස් කරන්නට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත. පැය හතරහමාරක විදුලිය කප්පාදුවක සිටින ජනතාවට ලැබෙන අලුත් තොරතුරු මේවා බව සඳහන් කළ යුතුය. ආර්ථිකයේ අර්බුදය පැතිරී ඇති තරම මෙම කරුණු දෙක දක්වයි. දරන්නට සිදුවන පිරිවැය ජනතාව කරා හැරවීමට ඇති අකැමැත්ත ප‍්‍රකාශ වේ.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම රට තුළ අලෙවි කරන ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. මිල වැඩි කළ යුතු ප‍්‍රමාණය ගැන ඉඟියක් එයින් සැපයේ. ඉකුත් බදාදා එස්.එම්.එස්. පණිවුඩයක් රට පුරා විසුරුවා හැරිණ. සිංගප්පූරුවේ සමාගමකට මුදල් ගෙවන ලද අතර වරායෙන් පිටත නැංගුරම්ලා තිබුණු නැවක ඩීසල් පොම්ප කිරීම අරඹන ලද බව එමගින් තහවුරු කළේය. එදිනෙදා පාලනය වන තැනට ශ‍්‍රී ලංකාව පත්ව ඇති බව පෙනෙයි.
• ගෝඨාභය ජනාධිපති කරවන ලද අරමුණ
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කරගන්නට ජනතාව තීන්දු කළේ කෙටිකාලීන වාසි ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් නොවේ. වරින් වර පත් කරන ලද ආණ්ඩුවලින් රට අමාරු තැනකට පත්වූ බව නොරහසකි. නිසි ප‍්‍රතිපත්ති අනුගමනය නොකළ පාලකයන් ඇතිකරන ලද විනාශය වළකා ගැනීම අරමුණ විය. තමන්ගේ දරුවන්ගේ අනාගතය එකම බලාපොරොත්තුව බව පැහැදිලිව පෙනිණ. ජාතික ආරක්ෂාව හා ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් දිගුකාලීන දර්ශනයක් සෞභාග්‍යයේ දැක්ම තුළින් පිළිබිඹු විය.
කොවිඩ් වසංගතය අනපේක්ෂිත බාධාවක් ලෙස නැගිණ. පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවෙන් පසු සංචාරක කර්මාන්තය අවදානමකට පත්වූ අතර කොවිඩ් වසංගතයෙන් ඇති කරන ලද පීඩනය එය අන්තයට ගෙන ගියේය. දිගුකාලීන දැක්ම පසෙක තබන ලද ආණ්ඩුවට ජනතාවගේ ජීවිත බේරාගැනීමේ සටන ශක්තිමත් කරන්නට සිදුවූ බව මතක් කළ යුතුය. වෛරසය පැතිරීම වළක්වනු සඳහා රට ''ලොක්ඩවුන්'' කළ යුතු බව එක් පාර්ශ්වයක් එක හඬින් කියා සිටිය දී තවත් පාර්ශ්වයක් එසේ නොකළ යුතු බවට දැවැන්ත තර්ක සමඟ ජනතාව හමුවට ගියේය. තවත් පැත්තකින් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගණනාවකි. බස්, දුම්රිය හා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන පරිදි ගෙන ගිය ගුරු විදුහල්පති වර්ජනය එයින් ප‍්‍රධානය.
• එදා වේල ආර්ථික රාමුවෙන් ගැලවීම
ජාතික ආදායම පිරිහී වියදම අහස උසට නැග ගිය රටක මුල්‍ය ආකෘතිය පහසු එකක් නොවේ. ජීවන වියදම ප‍්‍රශ්නයකි. ආනයන නතර කරන්නට සිදුවන තරමට විනිමය හිඟයක් පවතී. හෙට ගැන කල්පනා කිරීම වෙනුවට අද ගැන හිතන්නට සිදුවීමට හේතු ඉතාමත් පැහැදිලිය.
කැබ්නට් මණ්ඩලයට, මහජන නියෝජිතයන්ට පවතින සංකීර්ණ ව්‍යුහය තුළ බරපතළ වගකීමක් තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කරන්නට රට එකතු කරගත් ආකාරයට ආර්ථිකය හදාගැනීමටද බලවේගයක් අවශ්‍යය. විවිධ අදහස්, විවිධ මතභේද හමුවේ රට කැඳවා ඇති තැන ගැන ආණ්ඩුවට බරපතළ අවදානමකි. අනාගතයේ දී බලයට පත්වන්නට අපේක්ෂා කරන දේශපාලන පක්ෂ හා නායකයන් යුහුසුළු වන බව පෙනේ. ඡන්දයකටත් කලින් ආණ්ඩුව භාරගන්නට සූදානම්ය. බලයට පත්වෙන්නට සූදානම් වන දේශපාලනඥයන් පරෙස්සම් වීම සුදුසුය. ආණ්ඩුවක් අතට ගත් වහා සල්ලි උල්පත් මතුවන්නේ නැත. ලෝක ආර්ථිකයේ පවතින ව්‍යුහයට එපිටින් වෙනත් ගමනක් නැත. දූෂණ, අක‍්‍රමිකතා, මුදල් අච්චු ගැසීම, ණය ගැනීම වැනි වචන අනාගත ආණ්ඩුවකට ද එක හා සමානය.
පවතින දුෂ්කරතා පිළිගත යුතුය. තෙල් නැවක් ගෙන එන අතර එය පිළිගැනීම, තෙල් මිල දී ගන්නට තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස බැංකුවලට කරන නියෝග, විදුලිය කපන බව ප‍්‍රකාශ වන අතරවාරයේ එසේ නොසිදුවෙන බවට කරන නිවේදන, හුදෙක් ජන ජීවිතය පවතින තැන ගැන නොතකා සිදුවන අනිච්ඡානුග ක‍්‍රියා බව පැහැදිලි වෙමින් තිබේ. එදා වේල ගැන පමණක් නොව එයට එපිටින් හදාගත යුතු අලුත් රාමුව ගැන ද පරෙස්සම් වීම වැදගත්ය.
• ආණ්ඩුවේ එකමුතුව වැදගත්:
ආර්ථික ප‍්‍රශ්න ජනතාවට පමණක් නොව දේශපාලන ක‍්‍රමයට ද ගැටලු ඇතිකර තිබේ. ගැටුම් නිර්මාණය කර තිබේ. ආණ්ඩුවේ ප‍්‍රධාන මැති ඇමැතිවරුන්, ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් අතර පැන නැගී ඇති ස්වභාවය එයට සාක්ෂියකි. මහා භාණ්ඩාගාරය සතු සම්පත් හිඟවන විට සැලසුම් බිඳ වැටේ. මැති ඇමැතිවරුන්ගේ දේශපාලන ගමනට බාධා සිදුවේ. ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකි. මැතිවරණයෙන් දිනන්නට මහජන නියෝජිතයන් ජනතාව හමුවට යා යුතුය. ඡන්දයේ දී වේදිකා දෙදරවන ලද පිරිසට අමාත්‍යංශයකදී බලය නැතිවීම ප‍්‍රශ්නයකි. ආර්ථික සමෘද්ධිය සහිත කාලයේ ඇමැතිවරුන් අතර ගැටුම බලය වෙනුවෙනි. දැන් රට දිළිඳුය. සටන තිබෙන්නේ සම්පත් බෙදාගැනීමටය. මෙය වටහා ගත යුතු වැදගත් කරුණකි. පවතින සීමිත සම්පත් ප‍්‍රමාණය තමන්ට, තමන්ගේ ආසනයට බෙදාගැනීම වෙනුවට ආර්ථිකය හදන්නට, එයින් ශක්තියක් ඇතිකර ගන්නට වෑයම් නොකරන්නේ ඇයි?
බෙදෙන, ගැටෙන අවස්ථාවක වාසිය සෙසු දේශපාලන පක්ෂවලටය. ජනතාව ඉදිරියට පැමිණ පුරසාරම් කියන සෑම අවස්ථාවකම එහි ප‍්‍රතිවිපාක ද විඳින්නට සිදුවේ. පළමුවෙන් රට තුළ ඇතිකරගත යුතු විනය අපට හොඳ පාඩමකි. ජේ.ආර්. ජයවර්ධන මහතා හයෙන් පහක බලයක් සහිත ආණ්ඩුවක ප‍්‍රධානියා බව අමතක කළ යුතු නැත. එහෙත් ඔහු මැති ඇමැතිවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන තිබුණි. රට හදන්නට තීරණ ගත යුතු අතර තීරණ ගැනීමේ දී විවිධ මත තිබිය හැකි නමුත් ඒවා නිරාකරණය කරගත යුතු වන්නේ ද ආණ්ඩුව ඇතුළේය. ජනමාධ්‍ය ඉදිරියේ නොවේ. මාධ්‍ය ඉදිරියේ මලු ලිහන මැති ඇමැතිවරුන් එයින් අත්කර ගන්නා විපාක රටට හිතකර නැත.
• ආර්ථික ප‍්‍රතිසංස්කරණ
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට පැලැස්තර විසඳුම් නැත. නිදහස ලැබූ දිනයේ සිට අලවන ලද පැලැස්තරවල කෙළවරක් නැත. ජාතික ආදායම රජයේ සේවක වැටුප් ගෙවාගැනීමට පමණකි. සියයට අසූ තුනක ප‍්‍රතිශතයක් රජයේ සේවක වැටුප්වලට ගෙවූ පසු අමාත්‍යංශවලට බෙදන්නේ කෙසේද? ජනතාවට සහන දෙන්නට ධනය උපයන්නේ කොතැනින්ද? ආරක්ෂාවට පවා ණයට මුදල් ගෙන වියදම් කරන රටක් බව පෙන්වා දිය යුතුය. හදිසි අවස්ථාවක අලුත් බද්දක් පැනවීමට යෝජනා කළහොත් එයට ද එරෙහිව අධිකරණයට යන රටක ජාතික ආදායම සොයා ගැනීමට මුදල් අච්චුගැසීම හැර අන් මඟක් නැත. වැඩිම මුදල් ප‍්‍රමාණයක් අච්චුගසන, ඒවා බෙදාහරින ශ‍්‍රී ලංකාව අධික උද්ධමන අනුපාතිකයක බවට චෝදනා කිරීම වලංගු කාරණයක් නොවේ.
ජනතාව ගැන සිතන, පවතින ගැටලුවලින් ගැලවෙන ක‍්‍රමයක් සඳහා ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. රාජ්‍ය ආයතන කාර්යක්ෂම කළ යුතු අතර දෙස් විදෙස් ආයෝජනවලට ඉඩ දිය යුතුව තිබේ. ආනයන පාලනය තුළ රේගු බදු අඩුය. ආර්ථික ක‍්‍රියාකාරීත්වය සීමා වන විට ආදායම් ලැබෙන්නේ කොතැනින්ද? අසංවිධිත රාමුව වෙනස් කරන සැලසුම් සකස් කිරීම ආණ්ඩුවේ වගකීමකි. සංවර්ධනයට කලින් ජනතාව මුහුණ දී ඇති හදිසි තත්ත්වයෙන් ගලවා ගත යුතුය. පැය හතරහමාරක විදුලිය කැපීම, තෙල් හිඟය මත බස් ධාවනය නතරවීම, තිරිඟු පිටි රහිතව බේකරි කර්මාන්තයේ ඇදවැටීම පමණක් නොව, සමහර ඖෂධවල හිඟය ද අපට පෙන්වන්නේ වහා තීරණ ගැනීමේ වැදගත්කම බව සඳහන් කළ යුතුය.
වාණිජ ණය ගැනීම වෙනුවට ජාත්‍යන්තර ප‍්‍රජාව සහ සංවර්ධන ආයතන සමඟ සාකච්ඡා කර ක්ෂණික වැඩපිළිවෙළ ඇති කළ යුතුව තිබේ. ඉන්දියාව සමඟ ඇති ගනුදෙනුව හොඳ උදාහරණයකි. චීනය, ජපානය සමඟ ද මෙවැනි ආකර්ෂණීය වැඩපිළිවෙළකට ගමන් කළහොත් තාවකාලික සහනයකි. රට තුළ නිෂ්පාදනය නංවන, අපනයන වැඩි කරන ක‍්‍රම සහිත ආර්ථික ප‍්‍රතිසංස්කරණ සඳහා ජනතා පෙළඹවීමක් වහාම අවශ්‍ය වී තිබේ.
සාරා කන්දෙගොඩ