2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

මෙදා අලුත් අවුරුද්දට තිත්ත රස කැවිලි!

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 226

අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී රසකැවිලි නිෂ්පාදන කිරීමට පවා ගැටලු සහගත තත්ත්වයන් උදා වේ යැයි රසකැවිලි නිෂ්පාදකයෝ මැසිවිලි නගති. රසකැවිලි අමුද්‍රව්‍ය මේ වනවිටත් වෙළඳපොළේ නැති අතර ඇතැම් රසකැවිලි නිෂ්පාදකයන් තම වෘත්තියෙන් ඈත්ව ඇති බවද පෙනී ගොස් ඇත.

''මම මේ ව්‍යාපාරය පටන් අරගෙන දැන් අවුරුදු විසි දෙකක් වෙනවා. හැම අවුරුද්දෙම මම ලැබෙන ඇනවුම්වලට රසකැවිලි නිෂ්පාදනය කරනවා. විශේෂයෙන් සිංහල හින්දු අලුත් අවුරුද්දට ඇනවුම් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ගිය වසරේ වුණත් කොවිඩ් වසංගතය රට පුරා තිබුණත් අපිට ඇනවුම් තිබුණා. කොවිඩ් තිබුණත් ඒ සිංහල අලුත් අවුරුද්දට හැම ගෙදරකම වගේ රසකැවිලි තිබුණා. මට වුණත් ඒ වසරේ ඇනවුම් ලැබුණා. නමුත් මේ වසරේ අපි ලොකු ගැටලුවකට මුහුණ දීලයි ඉන්නේ. රසකැවිලි නිෂ්පාදනය කරන අමුද්‍රව්‍යවල මිල ඉහළ ගිහින්. මේ වෙද්දී හාල් පිටිවල හිඟයක් පවතිනවා. සතොස තිබෙන හාල් තමයි මෝල්වල කොටන්නේ. අපිට ඒක ගෙනැත් හදන්න බැහැ. ඒ කාලේදී තෙත සහල් කිලෝවක මිල රුපියල් එකසිය දහයයි. අද ඒ තෙත හාල් කිලෝවක මිල රුපියල් දෙසීයක් වෙලා. පාන්පිටි ඇත්තෙම නැහැ. පොල්තෙල්වල මිල ඉතා ඉහළයි. ඒ නිසා මේ දවස්වල අපි රසකැවිලි නිෂ්පාදනයේ නතර කරලයි තියෙන්නේ.'' 

යැයි නීලම්මහර ''රන්සේයා'' රසකැවිලි නිෂ්පාදකයෝ''හි ධම්මිකා අල්විස් මහත්මිය දේශයට පැවසීය.

සිංහල අලුත් අවුරුද්දට පමණක් නොව විශේෂ උත්සව අවස්ථාවලදී රසකැවිලිවලට ඉතා ඉහළ ඉල්ලුමක් ඇත. කැවුම්, කොකිස්, අතිරස, ආස්මී වැනි රසකැවිලිවලට උත්සව කාලවලදී විශේෂ තැනක් හිමිවේ. නමුත් මේ වනවිටත් ''රන්සේයා'' රසකැවිලි නිෂ්පාදකයන් ඒ ලැබෙන ඇනවුම් තාවකාලිකව නතර කර ඇත. එයට ප්‍රධාන හේතුව වන්නේ අමුද්‍රව්‍යවල හිඟතාවයයි. ඇතැම් අමුද්‍රව්‍ය මිල ඉහළ ගිය අතර, ඒ හේතුවෙන් රසකැවිලිවල මිල ඉහළ යනවිට පාරිභෝගිකයෝ ඒවා මිලදී ගැනීමට අකමැත්තක් දක්වති. බොහෝ විට අලුත් අවුරුදු සමය වෙනුවෙන් රසකැවිලි නිෂ්පාදකයන් සූදානම් වන්නේ මාර්තු මාසේ සිටය. නමුත් මේ පවතින තත්ත්වය හමුවේ ඉදිරි කාලයේදී අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලැබේදැයි ඔවුන්ට සැකයක් පවතී.

''අලුත් අවුරුද්දට රසකැවිලි හදන්නට පෙරම මම වෙන වසරවලදී පොල්තෙල් බෝතල් පහළොවක් පමණ ගෙනැත් තියා ගන්නවා. තෙත පිටි කිලෝ විස්සක් කොටලා, සීනි කිලෝ විස්සක් විතර තොග වශයෙන් ගෙනැත් ගෙදර තියා ගන්නවා. රසකැවිලි හදන්නට පටන්ගන්නට පස්සේ අවශ්‍ය පරිදි තව තවත් ගේනවා. නමුත් තවමත් ඒ කිසිවක් කරගන්නේ නැහැ. මම මුංඇට කැවුම්, කොණ්ඩ කැවුම්, කොකිස්, අලුවා, අතිරස ආදී රසකැවිලි නිෂ්පාදනය කරනවා. හැම වසරේදී මගෙන් රසකැවිලි මිලදී ගන්න පිරිසක් ඉන්නවා. වෙන වසරවලදී මේ වෙද්දී අපි නිෂ්පාදන සඳහා සූදානම් වෙනවා. නමුත් මේ වසරේදී තවමත් එහෙම සූදානමක් නැහැ.''

යැයි ධම්මිකා අල්විස් මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසීය.

ඇය තමන්ට ලැබෙන සියලුම රසකැවිලි නිෂ්පාදනය කරන්නේ තනියමය. ඇයට මේ කටයුතු සඳහා නිවැසියන්ගේ උදව් උපකාර ලැබුණද රසකැවිලි සාදන්නේ තම අතින්මය. රූ නිදිමරමින් ඇයම නිෂ්පාදනය කොට එහි ඇසුරුම් කරන්නීය. එම රසකැවිලි අතපත ගෑමට ඇය වෙන කිසිවකුට දෙන්නේ නැත. ඇයගේ රසකැවිලිවල පිරිසිදුකම, තම ගැනුම්කරුවන්ගේ විශ්වාසය ඇය සැමදා රැකගන්නීය.

''අපි අවුරුදු කාලේ විතරක් නෙමේ හැමදාම කැවුම් හදනවා. ''උණු උණු කැවුම්'' කන්න බොහෝ දෙනා කැමැතියි. සමහරු අපේ වාහනයේ ළඟ ඉඳගෙනම අපි බඳින කැවුම් උණු උණුවේම කාලා තේ කහට එකක් බීලා තමයි යන්නේ. අනෙක් රසකැවිලිත් අපි හදලා ඒ වාහනයේම විකුණනවා. නමුත් දැන් එදාම හැමදාම උණු උණු කැවුම් හදන්න බැරි තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. හැම අමුද්‍රව්‍යයක්ම වැඩියි. පාන් පිටි ඇත්තේම නැහැ. මෙහෙම ගියොත් සිංහල අලුත් අවුරුද්දටවත් රසකැවිලි හදන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ.''

යැයි මහරගම කැවුම් වෙළෙඳාමේ නිරත මාලතී හේරත් මහත්මිය දේශයට පැවසීය.

''සිංහල කැවිලි Hut'' මාතර ප්‍රදේශයේ රසකැවිලි නිෂ්පාදනය කරන ආයතනයකි. මාතර පමණක් නොව ඔවුන්ගේ තවත් අනු ශාඛාවක් පසුගිය වසර කිහිපය තුළදීම කොළඹ නගරයේ පවත්වාගෙන ගියේය. එම ශාඛාවටද රසකැවිලි ගෙන්වා ගනු ලබන්නේ මාතර ප්‍රධාන ආයතනයේ සිටය. දිනපතා ලැබෙන ඇනවුම්වලට අවශ්‍ය රසකැවිලි අධිවේගී මාර්ගයෙන් කොළඹ ශාඛාවට ප්‍රවාහනය වේ. නමුත් පසුගිය වසරේ කොළඹ ''සිංහල කැවිලි Hut'' වසා දැමීමට සිදුවූයේ කොවිඩ් වසංගතය හේතුවෙනි.
''අපි අපේ රසකැවිලි හදන්නේ නිසි ප්‍රමිතියට අනුවයි. කොවිඩ් වසංගතය හේතුවෙන් මාතර සිට කොළඹට දිනපතා රසකැවිලි ප්‍රවාහනය කරන්නට බැරිවුණු නිසා කොළඹ ආයතනය වසා දැමුවා. මාතර රසකැවිලි හදද්දී පොල්වැනි අමුද්‍රව්‍යවල මිල කොළඹට සාපේක්ෂව යම් අඩුවක් පවතිනවා. දොදොල් හදද්දී පොල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒවා ටිකක් අඩුවෙන් අපිට මිලදී ගන්න පුළුවන්. පාන් පිටිවල සොයාගන්න අමාරුයි. පසුගිය කාලේදී අමුද්‍රව්‍යවල යම් තොග ප්‍රමාණයක් තියාගෙන තිබුණත් මේ වෙද්දී ඇතැම් අමුද්‍රව්‍යවල යම් හිඟයක් පවතිනවා. කෙසේ හෝ අපේ පාරිභෝගිකයන්ට නිසි ප්‍රමිතියට රසකැවිලි ලබාදෙන්න අපි හැමවිටම උත්සාහ ගන්නවා.''

යැයි ''සිංහල කැවිලි Hut'' හි අජිත් හෙට්ටිආරච්චි මහතා දේශයට පැවසීය.

''අපේ සංගමයේ ආයතන විසි අටක් පමණ සාමාජිකත්වය දරනවා. ඒ අතරින් බිස්කට්, කේක්, ස්නැක්, ජුජුබ්ස්, ජෙලි, අයිස්ක්‍රීම්, චොකලට් වැනි රසකැවිලි අඩංගු වෙනවා. මේ දවස්වල අමුද්‍රව්‍යවල මිල සහ අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේදීත් යම් යම් ගැටලු ඇතිවෙලා තියෙනවා. නමුත් එයින් අපි අපේ වෙළඳපොළට කිසිම හිඟයක් කරන්නේ නැහැ. අපේ සංගමයට කැවුම් කොකිස් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන අපි කතා කරන්නේ නැහැ. කොවිඩ් කාලෙදීත් අපේ රසකැවිලිවලින් වෙළෙඳපොළට හිඟයක් ඇති කළේ නැහැ. දැන් කරන්නේත් නැහැ. නිෂ්පාදනය කරගැනීමේදී අමුද්‍රව්‍ය සපයා ගැනීම සහ මිලෙහි ඇති අපහසුතාවය පමණයි අපිට තිබෙන්නේ. විශේෂයෙන් පාන්පිටිවල හිඟයක් පවතිනවා. ඇසුරුම් ද්‍රව්‍යවලත් යම් යම් අඩුපාඩු තිබෙනවා. ඒවාවල මිල වැඩිවෙලා තියෙනවා. නමුත් අපේ ආයතනවල පවතින මූල්‍යමය හයිය සහ පිටරට සමාගම් හා ආයතනවල ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, සම්බන්ධය මත අද වනතුරු එක කර්මාන්තශාලාවක්වත් වහලා නැහැ. අපි කොහොම හරි අපේ නිෂ්පාදන කරගෙන යනවා.''

යැයි රසකැවිලි හිමියන්ගේ සංගමයේ සභාපති එස්.එම්.පී. සූරියකුමාර මහතා දේශයට පැවසීය.

පසුගිය මාස හය ඇතුළත බොහෝ රසකැවිලිවල මිලෙහි යම් වැඩිවීමක් සිදුවුණි. සභාපතිවරයා පවසන පරිදි ඔවුන්ගේ සංගමේ සාමාජිකත්වය දරන සියලුම ආයතනවල එකම අරමුණ වන්නේ මේ අවුරුද්ද කෙසේ හෝ ලාභ නොලබා හෝ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරගෙන වෙළෙඳපොළට නිෂ්පාදන සපයා දෙමින් වෙළෙඳපොළේ රැඳී සිටීමය. කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ දෙනෙක් බිස්කට් වැනි රසකැවිලි කෑමට වැඩි කැමැත්තක් දැක්වූ බවද, එයින් එක්ව විශාල ඉල්ලුමක් ලැබී ඇති බවද සූරියකුමාර මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න