මේ වන විට රට පුරා උද්ගතව ඇති ඉන්ධන හිඟය රටම අවුල් සහගත තත්ත්වයකට පත් කර තිබේ. ඊට බලපා ඇත්තේ අපගේ විදේශ විනිමය හිඟයයි. ආහාර, ඖෂධ, ගෑස්, කිරිපිටි, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා රජයට ඩොලර් නැත. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගිය 23 දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ රටේ පවතින්නේ විදුලි හිඟයක් හෝ ඉන්ධන හිඟයක් හෝ නොව ඩොලර් හිඟයක් බවයි.
මේ වන විට ජනතාව දැඩිව පීඩාවට පත් කර ඇත්තේ ඉන්ධන හිඟයයි. එහි ප්‍රතිඵලයක් ලෙස දිනකට පැය 5ක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමටද සිදුවී තිබේ. ජල විදුලිය මගින් ක්‍රියාත්මක බලගාර සඳහා අවශ්‍ය ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති පසුබිමක් තුළ ඉන්ධන නොමැතිකමින් තාප විදුලි බලාගාර වරින් වර බිඳවැටීම හේතුවෙන් රටම අවුලෙන් අවුලට පත්වෙමින් තිබේ. විදුලිය කැපීම නිසා රටේ සෑම අංශයක්ම පීඩාවට පත්වන අතර ආර්ථිකයද තවදුරටත් කඩා වැටීමකට ලක්වෙමින් තිබේ. මේ දිනවල අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර එයට පෙනී සිටින සිසු සිසුවියන් විශාල අසීරුතාවකට මුහුණ පා ඇතැයි පැවසේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරන්නේ රටේ ඇත්තේ විදුලිය අර්බුදයක් නොව තෙල් අර්බුදයක් බවත් තෙල් නොමැති බැවින් විදුලිය කැපීමට සිදුවී ඇති බවත්ය. ඊළඟ මාස දෙක සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් සංචිත ඔවුන් අනිවාර්යයෙන්ම ආනයනය කරගත යුතු බවත් එසේ නොවුණහොත් දිනපතාම විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවත් ඔහු සඳහන් කරයි. විදුලිය කප්පාදුව නිසා ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමද අඩාල වී තිබේ. එහෙත් කොළඹ දිස්ත්‍රික්කයට මෙවැනි තත්ත්වයක් උදාවීමට ඇති ඉඩකඩ අවම වන්නේ අඹතලේ සහ බියගම ප්‍රදේශවල පිහිටි ජල පිරිපහදු මධ්‍යස්ථානවලට පැය 24 පුරාම විදුලිය කප්පාදුවක් සිදු නොකරන බැවිනි.
බොහෝ ඉන්ධනහල්වල ඉන්ධන නොමැති අතර වාහන හිමියෝ බොහෝ දුර බැහැර සිට ඉන්ධන ටිකක් ලබාගැනීම සඳහා විවිධ ප්‍රදේශවලට යනු දැකිය හැකිය. දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් නොමැත* ඩීසල් නොමැත* යන පුවරු ප්‍රදර්ශනය කර තිබේ. ඇතැම් ඒවා වසා දමා තිබේ. ඉන්ධන පවතින පිරවුම්හල්හි ඇත්තේ දිගු පෝලිම්ය. ජනතාව ප්‍රකාශ කරන්නේ හැමදේටම පෝලිම්. මොනාටද දැන් පෝලිම් නැත්තේ* කියාය. පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් මතුව ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අරමුණින් යැයි පාරිභෝගියන් විශාල පිරිසකගේ අදහස විය. ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ට බොහෝ වෙලාවක් පෝලිම්වල රුඳී සිටීමට සිදු වූ අතර පැවැති ඉන්ධන ප්‍රමාණය අවසන් වීමෙන් ඇතැමකුට හිස් අතින්ම ආපසු යන්නට සිදු විය. බොහෝ ත්‍රිරෝද රථ රියදුරන් පවසන්නේ තමන් හයර් එකක් ගොස් ලැබෙන මුදලින් වරින් වර පෙට්‍රල් ලබාගන්නා බවත් තෙල් හිඟය නිසා එකවර ෆුල් ටෑන්ක් ගැසීමට සිදුවීමෙන් තමන් කබලෙන් ලිපට වැටී ඇති බවත්ය. දුර ප්‍රදේශ කරා අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන කටයුතු ද ඇනහිට තිබේ.
ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස්රථ ධාවනයද අඩාල වන තත්ත්වයක් උද්ගතව තිබේ. ඇතැම් ප්‍රදේශවලවල ධාවනය වන්නේ සීමිත බස්රථ කිහිපයක් බව විවිධ පළාත්වලින් අසන්නට ලැබේ. අන්තර් පළාත් පෞද්ගලික බස්රථ 100ක පමණ දෛනික ගමන් වාර මේ වන අවලංගු කර ඇතැයිද වාර්තා වේ.
ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පසුගිය 23 දා සඳහන් කළේ මේ තත්ත්වය තව දින කිහිපයක් පැවතියහොත් පෞද්ගලික බස්රථ ධාවනය කිරීමට නොහැති තත්ත්වයක් උද්ගතවන බවයි. සාමාන්‍යයෙන් බස්රථයක ඩීසල් ලීටර් 160ත් 200ත් අතර ප්‍රමාණයක් ගබඩා වී තිබෙනවා. එම ප්‍රමාණයෙන් ඉදිරියට ධාවනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණයි. රජය අද දිනයේ හෝ හෙට දිනයේ ඩීසල් ලබා නොදුනහොත් දින දෙකකට පසු පෞද්ගලික බස්රථ ධාවනය ඇනහිටිනවා.* යැයි සඳහන් කළේය. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් බස් රථයකට නිකුත් කරනුයේ රුපියල් 2000 ඩීසල් ප්‍රමාණයක් බවද බස් හිමියෝ මැසිවිලි නඟති. බස් රථ සඳහා අවශ්‍ය ඔටෝ ඩීසල් නොමැති හෙයින් වැඩි මුදලක් ගෙවා සුපිරි ඩීසල් භාවිත කිරීමට සිදුවී ඇතැයිද ඔවුහු සඳහන් කරති. දුම්රිය සඳහා තවම ඉන්ධන හිඟයක් බල නොපවත්වන අතර තවමත් අවශ්‍ය තරම් ඉන්ධන දුම්රිය දෙපාර්තමේන්තු ගබඩාවල පවතින බවට වාර්තා වේ.
බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආ.ර් ඔල්ගා මහත්මිය සඳහන් කරන පරිදි මින් මාස කිහිපයකට ඉහත තිබූ තෙල් සංචිත ප්‍රමාණයට වඩා දැන් ඇත්තේ අඩු ප්‍රමාණයකි. පෙර සති තුනකට පමණ තෙල් සංචිත ගබඩාවල පැවති නමුදු මේ වන ඇත්තේ සතියකට පමණ කාලයක් සඳහා අවශ්‍ය ප්‍රමාණයක් පමණි. මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් නැව් කිහිපයක් මෙරටට ළඟා වී ඇති බවද ඒවා ගොඩබෑමෙන් පසු දැනට පවතින තත්ත්වය සමනය වනු ඇතැයි ද, නොබෝ දිනකින් ඇනවුම් කළ තවත් නැව් කිහිපයක් මෙරටට ළඟාවීමට නියමිත අතර අගෝස්තු මාසය දක්වා නොකඩවා බොරතෙල් ලබාගැනීම සඳහා කොන්ත්‍රාත්තුවක්ද පවතින බව ඇය සඳහන් කර තිබිණි.
සාමාන්‍යයෙන් ලංකාවට ආනයනය කරනුයේ මර්බන් නමැති බොරතෙල් වර්ගයයි. පසුගිය දෙසැම්බරයේ මර්බන් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 71. 24ක් වූ අතර පෙබරවාරි මුල් සතිය වන විට බැරලයක මිල ඩොලර් 82ක් දක්වා ඉහළ ගියේය. පෙබරවාරි අවසානය වන විට ලෝක වෙළෙඳපොළේ බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සඳහා 2014න් පසු වාර්තා වූ වැඩිම මිල වාර්තා කරමින් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගියේය. මාර්තු මාසය වන විට එය තවත් ඉහළ යාමට නියමිතය.
පිරිපහදු කළ ඩීසල් බැරලයක දැන් මිල ඩොලර් 106ත් 108ත් අතර පරාසයක පවතින අතර පෙට්‍රල් බැරලයක මිල 104ත් 106ත් අතර පරාසයක පවතී. මේ වන විට නැව් ගාස්තුද විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මේ අතර රුසියාව හා යුක්රේනය අතර පැන නැඟෙමින් ඇති යුද තත්ත්වය හමුවේ තෙල් බැරලයක් ඩොලර් 115 වැනි අගයකට යා හැකි බවට අනුමාන කළ හැකියැයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි.
පසුගිය දෙසැම්බර් මාසය වන විට සාමාන්‍යයෙන් ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක් අවශ්‍ය වූ අතර ජනවාරියේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ එය ඇමෙරිකානු ඩොලර් මිලියන 450ත් 480ත් වැනි ප්‍රමාණයකට ඉහළ ගොස් තිබේ. මෙලෙස මිල ඉහළ යෑම ඛනිජ තෙල් සංස්ථාවට දැරිය නොහැකි තත්ත්වයක් උදාකර ඇත්තේ විදුලිබල මණ්ඩලයට සහ තවත් ආයතන කිහිපයකට ඉන්ධන ලබා දීම වෙනුවෙන් අයවිය යුතු මුදල් නොලැබීම හේතුවෙනි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියක 91,000ක්ද ස්වාධීන විදුලි සමාගම්වලින් රුපියල් බිලියන 96ක්ද, ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඩොලර් මිලියන 330ක්ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයවිය යුතු නමුත් මෙතෙක් ඒවා ගෙවා නොමැත. ඒ අනුව 2008 සිට 2021 දක්වා අයකර ගැනීමට නොහැකි වී ඇති මුදල රුපියල් බිලියන 400ක් පමණ වේ. මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 750ක් පමණ වන බව පැවසේ. විදුලිබල මණ්ඩලයට තමන් ලබාගත් තෙල් වෙනුවෙන් ණය ගෙවීමට නොහැකි වී ඇත්තේ විදුලිය සැපයීම වෙනුවෙන් පාරිභෝගිකයන්ගෙන් අයවිය යුතු රුපියල් මිලියන 43,000ක් මෙතෙක් අය කර ගැනීමට නොහැකි වූ බැවිනැයි විදුලි බල මණ්ඩලය කියයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරකින් රුපියල් 19ක්ද, ඩීසල් ලීටරයකින් රුපියල් 52ක් ද පාඩු ලබන බව එම සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි. ඉන්ධන පිරවුම්හල්වල මේ දිනවල පවතින හිඟය ඇතිවූයේ ඉන්ධන හිඟයක් ඇතිවේය යන බියෙන් බොහෝ පිරිස් වැඩිවශයෙන් ඉන්ධන මිලදී ගැනීමට පෙළඹුණු බැවින් යැයි ඔහු කියා සිටියි. සාමාන්‍යයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තොග ගබඩා පර්යන්තයේ සිට ඉන්ධන පිරවුම්හල්වලට දිනකට ඩීසල් මෙට්‍රික්ටොන් 5500ත් 6000ත් අතර ප්‍රමාණයක් නිකුත් කරනු ලබන බවත් එහෙත් පසුගිය සතියේ මෙට්‍රික් ටොන් 9000ක් නිකුත් කර ඇති බවත් ඒ අනුව ජනතාව එදිනෙදා පරිභෝජනයට අවශය ප්‍රමාණයට වඩා ඉන්ධන මිලදී ගෙන ඇති බවක් පෙනෙනන්ට ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඛනිජ තෙල් සංස්ථාව දැනට ලබන අලාබය පියවා ගැනීම සඳහා පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි. ඛනිජ තෙල් සංස්ථාව ලබන අලාබය අවම කර ගැනීමටත් මිල වැඩි කොට ජනතාව අපහසුතාවට පත් නොකිරීම සඳහාත් ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කිරීම බවත් ඒ සම්බන්ධයෙන් තමන් මුදල් අමාත්‍යවරයාට ලිපියක් යොමු කර ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේය. බදු ඉවත් නොකළහොත් ඉන්ධන සඳහා දැවැන්ත මිල වැඩි කිරීමක් සිදු කළ යුතු බවත් බදු ඉවත් කළහොත් ඉතා සුළු මිල වැඩි කිරීමකින් දැනට පවතින අර්බුදය විසඳාගත හැකිවනු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර මහ බැංකුව ඛනිජ තෙල් සංස්ථාවට ලබාදෙන ණය ප්‍රමාණයේ සීමාව ඉක්මවා ණය ලබා නොදෙන ලෙසට වාණිජ බැංකුවලට පවසා තිබිණි. එමෙන්ම ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ලබා දීමට එම ප්‍රමාණයට සරිලන රුපියල් ලබා දිය යුතු බවටද ඛනිජ තෙල් සංස්ථාවට දන්වා තිබිණි.
රට මුහුණ දී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට හා ඉන්ධන සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා පසුගිය 22 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ කැබිනට් රුස්වීමේදී මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාටත් උපදෙස් ලබා දුන්නේය. එහිදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල රජය මගින් පියවා දැමීමටද තීරණය විය.
ඒ අනුව පසුගිය සෙනසුරාදා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 රුගෙන නෞකාවක් පැමිණියේය. එම පෙට්‍රල් ප්‍රමාණය දින 11ක අවශ්‍යතාව සපුරාලීමට පමණක් සෑහේ. ඩීසල් මෙට්‍රික් ටොන් 41,000 රුගෙන මෙරටට ළඟාවූ සිංගප්පූරු නෞකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් 22 දා රාත්‍රියේම ගෙවීමට පියවර ගැනීම හේතුවෙන් පසුගිය 23 වැනිදා වන විට එම ඉන්ධන තොග ගොඩබෑමට පියවර ගැනිණි. ඩීසල් ගොඩබෑම ප්‍රමාද වීම හේතුවෙන් එම නෞකාවට ප්‍රමාද ගාස්තු වශයෙන් තවත් ඩොලර් 38,000ක් ගෙවීමට සිදුව ඇතැයිද වාර්තා වේ. එම සිංගප්පූරු නෞකාවෙන් ගොඩ බෑ ඩීසල් ප්‍රමාණවත් වන්නේ දින 6ක කාලයකට පමණි.
තවත් පෙට්‍රල් තොගයක් රුගත් නෞකාවක් වරායෙන් පිටත නවතා ඇති අතර ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය ලබා දීමට මුදල් අමාත්‍යවරයා පොරොන්දු වීම හේතුවෙන් එම නැවේ ඇති ප්‍රෙටල් ද කඩිනමින් ගොඩබෑමට හැකි බව බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එහෙත් පසුගිය 25 සහ 27 දින මෙරටට ළඟාවීමට නියමිත වූ තවත් ඩීසල් නැව් දෙකක් සඳහා ඩොලර් නිදහස් කිරීම සම්බන්ධයෙන් මහබැංකුවෙන් අනුමැතිය ලැබී නොමැති බවද වාර්තා වේ. එමෙන්ම ඉන්ධන මිල ඉහළ නොදැමීමටද අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී තීරණයකට එළැඹි බවද ඔහු ප්‍රකාශ කළේය. ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එළඹෙන මාර්තු මස 15 වැනි දින තෙල් නිපදවන රටවල සියලුම තානාපතිවරුන් කැඳවා දිගු කාලීන ණය පහසුකම් යටතේ තෙල් ලබා ගැනීමට ඇති හැකියාව සොයා බැලීමට නියමිත බව පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ මොහොතේ ඉන්ධන ආනයනය සඳහා මුදල් වෙන් කර ගැනීම අභියෝගයක් වී ඇති බවයි.
ඉන්ධන හිඟයට විකල්පයක් ලෙස ඉන්ධන ලබා දීම සීමා කළ යුතු බවට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටී. ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ නිසා කළ යුත්තේ ඉන්ධන භාවිතය සීමා කිරීමයි. ඉන්ධනවල මිල වැඩි කිරීමක් සිදු වුවහොත් එය අඩු අදායම්ලාභීන්ට බලපානවා. අඩු ආදායම්ලාභීන්ගේ වාහනවලට ඉන්ධන ලබාගැනීම ඇති ආර්ථික ශක්තිය හීනවෙනවා.. ඒ අනුව කිසියම් සීමාවක් පනවා ඉන්ධන වැඩියෙන් භාවිත කිරීම වළක්වාලිය යුතුයි. එවිට අපට ජාත්‍යන්තරයෙන් මිලදී ගැනීමට සිදුවන ඉන්ධන ප්‍රමාණය අවම වෙනවා.
මේ වන විට ඩීසල් හා නැප්තා නොමැතිකමින් තවත් තාප බලාගාර කිහිපයක් අක්‍රිය වී ඇතැයි වාර්තා වේ. එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා පසුගිය 23 දා මුදල් ගෙවා නිදහස් කරගත් ඩීසල් තොගයෙන් මෙට්‍රික් ටොන් 6000ක් විදුලිබල මණ්ඩලයට ලබා දෙන බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. ආර්, ඔල්ගා මහත්මිය ප්‍රකාශ කර තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා