2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

පොලීසිය රැප් කරන්න ගිහින් කූඩුවේ ලැග්ග රැප් ගායකයා

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 82

පානදුර කෙසෙල්වත්ත තක්ෂිලා විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයකි. එයට සහභාගීවීමට නියමිත ප්‍රධාන ආරාධිතයා වූ වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැමිණීමට තිබුණේ තවත් මිනිත්තු පහක පමණ කාලයකි. උත්සවය සඳහා ආරක්ෂාව සපයමින් සිටි පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ස්ථානාධිපතිවරයාගේ මුව ආවරණය ගැලවීමට උත්සාහ කොට තිබුණේ රටේ ප්‍රසිද්ධ රුප් ගායකයෙකි.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන මැයි මාසයේදීය. පානදුර හා අවට ප්‍රදේශයේ පාසල්වල ඉගෙනුම ලබන මෙවර එම විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් ''ප්‍රතිඵල සංවර්ධන වැඩමුළුව'' සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කොට තිබුණි. එහි පළමු සම්මන්ත්‍රණය උත්සවාකාරයෙන් පැවැත්වීමට සූදානම් කර තිබුණේ පානදුර තක්ෂිලා විද්‍යාලයේදීය. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා සහභාගි වීමට නියමිතව තිබුණි. මේ සඳහා සියලු කටයුතු සූදානමින් තිබුණේ පසුගිය 20 වැනිදා දිනයේදීය. ඒ සඳහා සහභාගීවීමට පාසල් නිල ඇඳුමින් සැරසුණු දරුදැරියන් රුසක් තක්ෂිලා විද්‍යාලයට රුස්ව සිටියෝය.

කැබිනට් අමාත්‍යවරයකු සහභාගි වන ප්‍රසිද්ධ උත්සවයකදී එම පරිසරයට අවශ්‍ය කරන නිශ්චිත ආරක්ෂක ක්‍රමවේදයක් තිබිය යුතුය. ඒ සඳහා නියමිත චක්‍රලේඛයක් ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතියෙන් පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇත. ඒ අනුව අදාළ බල ප්‍රදේශය අයත් පොලීසියේ ස්ථානාධිපතිවරයාට එහි වගකීම පැවරේ. අවශ්‍ය කරන ආරක්ෂිත රාජකාරි සඳහා නිලධාරීන් යෙදවීම හා ක්‍රියාත්මක කිරීමට මෙම උත්සව භූමියේ එම වගකීම පැවරී තිබුණේ පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් විජේවීර මහතා වෙතය.

පානදුර කෙසෙල්වත්ත තක්ෂිලා විද්‍යාලයේ පැවැත්වෙන උත්සවය සඳහා නියමිත මොහොතට පෙර පානදුර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් එහි පැමිණ තිබුණි. පාසලේ ප්‍රධාන ගෙට්ටුව ආසන්නයේ පාසල් පරිශ්‍රය ආසන්නයේම නිවෙසක උත්සවයක් පැවැත්වෙන බව පෙනෙන්නට තිබුණි. එම නිවෙසේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් ගීත ගායනා කරන හඬද ඇසෙන්නට විය. ඒ අතරතුර රැප් ගායනයක ශබ්දයද ඇසෙන්නට විය. මේ ආකාරයට නැගෙන ශබ්දය ''ප්‍රතිඵල සංවර්ධන සම්මන්ත්‍රණ මාලාවට'' බාධාවක් හෝ අවහිරයක් වනු ඇතිදැයි යන සැකය පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයාට ඇතිවී තිබුණි. ඒ හේතුවෙන් අදාළ නිවෙස සම්බන්ධයෙන් සෝදිසි කර බලා ඇත. එහිදී දැනගැනීමට ලැබී ඇත්තේ එම නිවසේ දියණිය වැඩිවියට පත්වීම නිමිත්තෙන් සාදයක් පවත්වන බවය.

එම කරුණු විමසා බැලූ පොලීසිය යළිත් පාසල් පරිශ්‍රය දෙසට හැරුණා පමණය. තවත් නිමේෂයක් හෝ ගතවන්නට පෙර සාදය පැවැති නිවෙසේ තාප්පය අතරින් වූ ගේට්ටුව හැරගත් දෙදෙනෙක් එළියට පැමිණියහ. ඉන් එක් අයකු තැනින් තැන ඉරුණු ඩෙනිමක් සහ ටී ෂර්ටයක් ඇඳගත් අයෙකි. ශරීරයේ අත්පාවල පිටතට පෙනෙන සේ පච්ච කිහිපයක් සරසාගෙන සිටි ඔහු සිංහල ඉංග්‍රීසි මිශ්‍ර භාෂාවකින් පොලීසියට දොස් පවරන්නට විය. ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයාටත් එරෙහිවද කරුණු කියන්නට විය. ඒ බොහොමයක් අතර පරුෂ වචන රැසක් එළියට පැන්නේ අසල්වැසියන්ට හා රැස්ව සිටි පිරිසටත් දැඩි අප්‍රසාදයක් ඇතිවන පරිදිය. එම පුද්ගලයාගේ හැසිරීම අනුව ඔහු අධික ලෙස මත්පැන් පානය කොට හෝ මත්ද්‍රව්‍යක් භාවිතා කොට සිටි බවට පොලීසියට නිරීක්ෂණය වී තිබිණ.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහුට බැණවැදුණු රුප් ගායකයා පොලිස් නිලධාරියාගේ පපුවේ වූ අංක තහඩුව සමඟ නිල ඇඳුම අතගාන සැණින් ඔහුගේ මුව ආවරණය ගැලවීමට උත්සාහ දරා ඇත.

මෙය දුටු පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් විජේවීර ''ඔයා කවුද? මොකක්ද කරන්නේ? වහාම නවත්වන්න? යැයි පවසා ඇත. ඒ සමඟ බීමතින් බැණ වදිමින් සිටි එම පුද්ගලයා ''මොකක්ද ප්‍රශ්නෙ...? යැයි අසමින් පොලිස් ස්ථානධිපතිවරයා වෙත පැමිණ ඔහුගේ නිකටට ඇඟිල්ල තබා ඔහු පැළඳ සිටි මුව ආවරණය ගැලවීමට උත්සාහ කර ඇත. ''තමුන් ලොකු වරදක් කරන්නේ.... කරුණාකරලා ශබ්ද වහලා ඕක නවත්වන්න* මෙසේ උපදෙස් ලබාදී තිබුණේ උත්සවයේ ආරක්ෂාව බාරව සිටි පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයා විසිනි. ඒ අවස්ථාවේ තවත් පරුෂ වචන කිහිපයක් කී රුප් ගායකයා අසල සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන් අසලට ගොස් ''මේ ඉන්නේ මරු කොල්ලෝ උඹලා වගේ නෙවේ අර පොලීසිය....'' යැයි කියමින් නැවත අසභ්‍ය වචන කියා ඇත.

ඒත් සමඟම පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරීන් හතර දෙනකුට උපදෙස් ලබාදී තිබුණේ වහාම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයෙන් පොලිසිය වෙත රැගෙන යන ලෙසය. එසේ රැගෙන ගිය සැකකාර පුද්ගලයා පොලිස් සිරමැඳිරියේ රඳවා තැබූ විටද ගෝඨාභය ජනාධිපතිවරයාට හා පොලිස් නිලධාරීන්ට අසභ්‍ය ලෙස බණිමින් තර්ජනය කර ඇත. මේ ආකාරයෙන් රෑ එළිවෙනකම් සිර මැදිරියේ ඉන්නට සිදුවූ එම ප්‍රසිද්ධ රැප් ගායකයකු බව කියන තැනැත්තාගේ සිහිවිකල් බව අඩු වී තිබුණේ පසුදින එළි වූ පසුවය.

පසුව සැකකාර පුද්ගලයාගේ හැසිරීම, බැණ වැදීම ස්ථානාධිපතිවරයාගේ හා තවත් නිලධාරියකුගේ මුව ආවරණ ගැලවීමට උත්සාහ කිරීම යන කරුණුවලට එරෙහිව විමර්ශන අරඹා තිබුණේ පානදුර උතුර පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හිරන්ත තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී සැකකාර රැප් ගායකයා සමාව අයැද තිබෙන අතර පොලීසියේ ස්ථානාධිපතිවරයාට වැඳ සමාව ඉල්ලා තිබිණි. කෙසේ හෝ සැකකරුගේ හැසිරීමට එරෙහිව සිදුකළ විමර්ශන අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ සාපරාධී බලහත්කාරය පෑම හා කලහය යන චෝදනාවලටය. අධිකරණයේදී සැකකරු මෙන්ම ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔහුගෙන් සිදුවූ වරද පිළිගෙන තිබෙන අතර සැකකරු ඇප මත මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මතය. ඒ අනුව එම නඩුව නැවත සැප්තැම්බර් 12 වැනිදා කැඳවීමට නියමිතය.

මෙම සැකකරු පානදුර කෙසෙල්වත්ත තක්ෂිලා මාවතේ පදිංචිකරුවකු වන ජනප්‍රිය රුප් ගායකයෙකි. ඔහුගේ අසල්වැසි ඥාති නිවසක පැවැති සාදයකට සහභාගි වූ අවස්ථාවේ බීමත්ව පොලීසිය සමඟ ඔහු මෙම ගැටුම ඇතිකරගෙන තිබිණි. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර