වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය (MCPA) සභාපති - වෛද්‍ය ජී.ජී. චමල් සංජීව
1965 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ආර්ථික සහ සමාජ දර්ශකවල ඉතා ඉහළ තලයක පවතිද්දී ඉතා පහළ තලයක පැවැති සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, චීනය හා ජපානය ඇතුළු බොහෝ රටවල් 2000 වර්ෂය වන විට ශ්‍රී ලංකාව අභිබවා ගිය අන්දමටම අප අපගේ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් මීට වඩා දැඩි සැලකිල්ලක් නොදක්වන්නේ නම් තවත් වසර පහළොවක් විස්සක් පමණ ගත වූ පසුව අපට සතුටු විය නොහැකි සෞඛ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ ශේෂ වී පැවතිය හැකි බව අපගේ නිරීක්ෂණයයි. අප අවධාරණය කරනු ලබන්නේ අපේ රටේ සෞඛ්‍ය සේවය විසි එක්වැනි සියවසට ගැලපෙන පරිදි නවීකරණය වීම සඳහා වහ වහා නව ප්‍රතිපත්ති සකස් වීම සිදුවිය යුතු බවයි. එහෙත් අවාසනාවට මෙන් අපගේ නිරීක්ෂණය නම් පසුගිය දශක කිහිපයක කාලයක් මුළුල්ලේම අපගේ සෞඛ්‍ය සේවාවේ ප්‍රතිපත්ති සකස් වීමේ දී නව මානයන් කෙරෙහි ඉතා අඩු අවධානයක් යොමු වී ඇති බවයි.
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටින සමාජ ආර්ථික අර්බුදය සමඟ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගමන් මඟ සකස් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ලබාගන්නා පරිපාලන තීන්දු තීරණවලට ඉතා ඉහළ තත්ත්වයක් හිමිවිය යුතු නමුත් පසුගිය කාලසීමාව තුළ ගනු ලැබූ බොහෝ තීරණවල විද්‍යානුකූලභාවය සහ විනිවිදභාවය ප්‍රශ්න සහගත තත්ත්වයකට පත්ව ඇත. විශේෂයෙන්ම රෝගී සත්කාරක සේවා කටයුතු සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණවලදී පවා ඇතැම් තීරණවල විද්‍යානුකූලභාවය ප්‍රශ්න සහගත බව අපගේ නිරීක්ෂණයයි.
විද්‍යානුකූල පසුබිමක් මත විනිවිද පෙනෙන සුළු තීන්දු තීරණ ගැනීමට හැකියාව පවතිද්දී ඇතැම් වෘත්තීය සමිති ව්‍යාපාරවල දැඩි බලපෑම් මත හෙවත් වෘත්තීය සමිති මාෆියාවේ ක්‍රියාකාරීත්වය නිසා ද ඇතැම් ඉහළ නිලධාරීන්ගේ නිලධාරිවාදී ක්‍රියාකාරීත්වය හෙවත් නිලධාරිවාදී මාෆියාව නිසා ද දේශපාලන බලපෑම් හෙවත් දේශපාලන මාෆියාව නිසා ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන යහපැවැත්ම දැඩි ලෙස අනතුරට ලක්ව ඇති බව අපගේ මතයයි.
එහෙත් පසුගිය කාලසීමාව මුළුල්ලේ අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිරත ඇතැම් අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී වෛද්‍යවරුන්ගේ බොහෝ වෘත්තීය සමිති ව්‍යාපාර පවා වෛද්‍යවරුන්ගේ මූලික වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හෝ මානව හා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව ඉතා පැහැදිලිය. පෙනෙන්නට තිබූ අවස්ථා ගණනාවකදීම දිගින් දිගටම වෛද්‍යවරුන්ගේ කායික සහ මානසික ඒකාග්‍රතාව බිඳවැටෙන සිදුවීම් ගණනාවක්ම සිදුවෙද්දී ප්‍රාදේශීය වශයෙන් සේවය කරන වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ට රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට නොහැකි වූ පරිසරයක් නිර්මාණය වී ඇත.
බොහෝ අවස්ථාවලදී වෘත්තිය සමිති ව්‍යාපාර වෘත්තීය සමිති නායකයාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත මෙහෙයවන ස්ථානයක් බවට පත්වීම නිසා එය නියෝජනය කරන සාමාජිකයන්ගේ අයිතිවාසිකම් නොසලකා හරින ලද අවස්ථාවන් ක්‍රමානුකූලව වැඩි වර්ධනය වෙමින් පවතින බව අපගේ නිරීක්ෂණයයි. එක් පැත්තකින් වෘත්තීය සමිතිය නියෝජනය කරන සාමාජිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් බිඳවැටීම් දිගින් දිගටම සිදුවන අතර අනෙක් අන්තයෙන් නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රධාන බල කණුවක් වන රෝගී සත්කාර සේවා ලබාගන්නා සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් බිඳවැටීම සම්බන්ධයෙන් කිසිවකු හඬ නොනැගීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.
ඉතා විද්‍යානුකූල පදනමක් මත නිවැරදි පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව නිත්‍යනුකුලභාවයට පත් කර ප්‍රකාශයට පත් කරන ලද නව වෛද්‍ය සේවා ව්‍යවස්ථා සක්‍රිය කිරීම වසරකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති අතර දිගින් දිගටම විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ලවන බලපෑම මත මෙම ප්‍රමාද වීම සිදු වී ඇත.
නිත්‍යනුකූල වශයෙන් ප්‍රකාශයට පත්කර ගන්නා ලද ගැසට්ටුව සක්‍රීය කිරීම වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංගමය ඇතුළු විවිධ පාර්ශ්ව කිහිපයක පෞද්ගලික අවශ්‍යතාවයන් මත අක්‍රිය තත්ත්වයේ පැවතීම නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන රටක මහජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලද රෝහල් පරිපාලන විෂය පථය හදාරන ලද වෛද්‍යවරුන්ට රටේ මහජනතාවට සේවය කිරීමට බාධාවක් වී ඇති බව ඉතා පැහැදිලිව නිරීක්ෂණය වෙයි. පෞද්ගලිකව විවිධ කණ්ඩායම්වල ඕනෑ එපාකම් මත මෙම වෛද්‍ය සේවා ව්‍යවස්ථාව සක්‍රිය කිරීම ප්‍රමාද වී පැවතීම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටින අතර මෙහිදී හඳුනාගත් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී,
1. වෛද්‍ය සේවා ව්‍යවස්ථා ගැසට්ටුව සක්‍රිය නොකිරීම.
2. රෝහල් පරිපාලනය කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ තනතුරු සඳහා නිසි අයදුම්පත් කැඳවීමකින් තොරව පුරප්පාඩු පිරවීම.
3. රෝහල් පරිපාලනය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය උපාධි (MD) සම්පුර්ණ කරන ලද වෛද්‍ය නිලධාරිවරුන් සිටියදී රෝහල් පරිපාලනය සම්බන්ධ ඉහළ තනතුරුවල පුරප්පාඩු පිරවීමේදී අදාළ විශේෂඥ වෛද්‍ය උපාධිය නොසලකා කටයුතු කිරීමට හැකිවන පරිදි ලකුණු දීමේ ක්‍රමවේදයන් වෙනස් කිරීම.
විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගෙන ඇති වෙනම විශේෂඥ වෛද්‍ය උපාධි පාඨමාලාවක් වන රෝහල් පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වීම සඳහා අවම වශයෙන් වසර අටකට ආසන්න කාලයක් මේ රටේ සාමාන්‍ය මහජනතාවගේ බදු මුදල්වලින් අදාළ විෂය පථය හදාරන වෛද්‍යවරුන් අධ්‍යාපනය ලබන බැවින් අවසානයේ විශේෂඥ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔවුන්ට තමන්ගේ විශේෂඥ වෛද්‍ය උපාධියට නොගැලපෙන තනතුරු ලැබීමේ ප්‍රවණතාවය මේ වන විට ඉහළ යමින් පවතියි. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමේ දී පවා රෝහල් පරිපාලන විශේෂඥ වෛද්‍ය උපාධිය අනාගතයේදී නොසලකා ලකුණු ලබා දීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කරවා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් කටයුතු කිරීම.
4. රෝහල් පරිපාලන ව්‍යුහය සම්බන්ධ ගැටලු සහගත තත්ත්වයන් පවතිද්දී රෝහල් පරිපාලන විද්‍යායතනය හෝ රෝහල් පරිපාලකයන්ගේ සංසදය හෝ දෙන නිර්දේශ සම්බන්ධ ප්‍රමුඛතාවක් ලබා නොදීම.
5. රෝහල් පරිපාලන විෂය පථය සම්බන්ධ පුහුණුව ලද ප්‍රමාණවත් වෛද්‍යවරුන් සංඛ්‍යාවක් ස්ථිර රැකියාවන් නොමැතිව සිටිය දී ඇතැම් රෝහල් අධ්‍යක්ෂකවරුන් සෞඛ්‍ය ආයතන කිහිපයක ආවරණ රාජකාරි සිදු කිරීම. මේ අන්දමට එක් රෝහල් අධ්‍යක්ෂකවරයකු ස්ථාන කිහිපයක රාජකාරි කිරීම සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බව බිඳවැටීමට ද හේතු වේ.
වර්තමානය වන විට රෝගී සත්කාරක සේවා ලබාගන්නා හෙවත් රෝගී සත්කාරක සේවා වෙත ළඟා විය හැකි රෝගීන් සංඛ්‍යාව, වැඩි වර්ධනය වන වෛද්‍ය ප්‍රතිකාරවල ගුණාත්මකභාවය, එකිනෙකට වෙනස් වෛද්‍ය ප්‍රතිකාර හා නව අංගවලින් සමන්විත වෛද්‍ය ප්‍රතිකාර සේවා රෝගී සත්කාර සඳහා එකතු කිරීම මෙන්ම රෝගීන්ටත් දැරිය හැකි මිලකට ප්‍රතිකාර ලබාගත හැකිවන පරිදි සෞඛ්‍ය ආර්ථික විද්‍යානුකූල ප්‍රවේශයක් අලුතින් හඳුන්වා දීම වැනි කරුණු කෙරෙහි අවධානය ලක්විය යුතු බව අපගේ විශ්වාසයයි. එසේම සෞඛ්‍ය අංශයේ භෞතික සම්පත් වර්ධනයට සමගාමීව හා ඊට වඩා වැඩි ප්‍රවණතාවයක් මානව සම්පත ප්‍රවර්ධනය සඳහා ද සියලු සෞඛ්‍ය සේවකයන්ගේ දැනුම කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමත් අපගේ රටේ සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරගත කිරීම සඳහා අදාළ විෂය පථයන් සමඟ සාකච්ඡා කොට නව මානයන් සෞඛ්‍ය සේවයට එකතු කිරීම කෙරෙහි වන විෂයානුබද්ධ කරුණු සම්බන්ධයෙන් ඉතා සක්‍රිය ලෙස දායක වීමට අපි බලාපොරොත්තුවන වෙමු.
සුගත් පී. කුලතුංගආරච්චි