2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

ඩොලර් හිඟය ඉස්සරහට දාගෙන යමරෙට ගරන කඩදාසි මුදලාලිලා

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 88

ලංකාවේ පළමු වැඩවර්ජනය ලෙස සැලකෙන්නේ මුද්‍රණකරුවන්ගේ වැඩවර්ජනයයි. 1893 සැප්තැම්බරයේදී පැවැත්වූ එය සාර්ථක වුණේ නැත. ඒ කාලයේ කොළඹ නගරයේ මුද්‍රණ කාර්මිකයන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යන්නට විය. සංඛ්‍යාලේඛන අනුව එය දහස ඉක්මවා තිබිණි. එවකට පැවති එකම සන්නිවේදන මාධ්‍යය පුවත්පත් සහ පොත් ආදිය නිසා මුද්‍රණ කර්මාන්තයට ඉහළ තැනක් හිමිවිය. ජාතික ව්‍යාපාරවල සන්නිවේදන කටයුතුවලටත් මුද්‍රණ කර්මාන්තය ඉතා වැදගත් විය. මේ නිසා මුද්‍රණ කම්කරුවන්ට විශාල කේවල් කිරීමේ බලයක් පැවතුණි. නමුත් ඉන් සියවසකටත් වැඩි කලක් ගතවන අද වනවිට මුද්‍රණ කර්මාන්තයේ ගැටලු ගැන කියන්නට කෙනෙක් නැති තත්ත්වයකට රට පත්ව තිබේ. වාර්තා වන්නේ ඩොලර් හිඟය නිසා කඩදාසි ආනයනය අවම වීමෙන් මුද්‍රණ කර්මාන්තයද කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවයි. වෙළඳපොලේ කඩදාසි මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන අතර මේ හේතුවෙන් පොත් මුද්‍රණය සැලකිය යුතු ලෙස නැවතී ඇත. මෙය පොත් ප්‍රකාශනයට මෙන්ම පාසල් පොත් මුද්‍රණය සහ අභ්‍යාස පොත්වලටත් එකසේ බලපාන ගැටලුවකි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර පවසන්නේ පොත් මුද්‍රණයට ගන්නා කඩදාසි මිල සියයට 150 කින් පමණ වැඩිවී ඇති බවයි. ඒ මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ඩොලර් හිඟය මවාපාමින් කළුකඩයේ කඩදාසි මිල වැඩිකිරීම බවයි අපට නම් පෙනී ගියේ. දැනටත් කඩදාසි ආනයනකරුවන් කලකට පෙර පරණ මිල යටතේ ගෙන්වූ කඩදාසි ටිකෙන් ටික අලෙවි කරන්නේ හිතු හිතූ මිල ගණන් යටතේය. ඔවුන්ට අවශ්‍ය බල්ලො මරා හරි සල්ලි හෙවීම බව පැහැදිලිය. සිමෙන්තිවලට වී ඇතිදේම කඩදාසිවලටත් සිදුව ඇත. කනගාටුවට කරුණ නම් දුසිම් ගණන් පොරොන්දු දී පැමිණෙන දේශපාලන බලධාරීන් මේ අවස්ථාවේ වගකීම කරට ගන්නවා වෙනුවට බෝලය පාස්කරමින් ගැටලුවෙන් ලිස්සා යාමය. වෙනදා රු.100-200 වැනි මිල ගණන්වලින් ඉහළ යන කඩදාසි මිල දැන් සතියෙන් සතිය වැඩිවන්නේ රුපියල් දහස් ගණනිනි. මිල පාලනයක් නැත. ඒ ගැන සොයාබැලීමට වගකිවයුත්තෙක්ද ඇති බවක් නොපෙනේ. මුදලාලිලා හිතූ හිතූ මිල ගණන්වලට කඩදාසි මිල ඉහළ නංවති.

මේ ගැන අප මුලින්ම විමසුවේ  ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරියගෙනි: 

&කඩදාසිවල හිඟයක් දැන් ටික කලක සිට තිබෙනවා. මේක මුද්‍රණ කර්මාන්තයට වගේම ප්‍රකාශන කර්මාන්තයකටත් ඉතා අහිතකර ලෙස බලපාලා. කළුකඩකාරයෝ කඩදාසි හංගගෙන ඉන්න බව පේනවා. දින දෙකකට පෙර මම පොත් මුද්‍රණය කරන කඩදාසි රීම් එකක මිල ඇහුවාම රු. 6750යි කිව්වා. මාසෙකට පෙර තිබුණේ හාරදහස් ගණනකට. ඒත් රීම් 5යි දෙන්න පුළුවන් කිව්වේ. ඒක පොතක් ගහන්න මදි. ආට් පේපර් පවා ගිනි ගණං. ප්ලේට්වලත් ලොකු හිඟයක් තිබෙනවා. ඒ4 ප්‍රමාණයේ කොළ පැකට්ටුවක් තිබුණේ රු.800ට. දැන් රු.1500යි. විශාල ගණන්වලින් තමයි මිල වැඩිකර තිබෙන්නේ. මේ නිසා පොඩි මුද්‍රණාල වැහෙන තත්ත්වයක පවතින්නේ. 

මේ ගැන කර්මාන්ත ඇමැති සමඟ ටික කලකට පෙර සාකච්ඡාවක් කළා. අප එහිදී ඉල්ලා සිටියේ පොත් ප්‍රකාශනය කර්මාන්තයක් ලෙස පිළිගැනීම ලබාදෙන්න. කඩදාසිවල බදු අඩුකර සහනයක් ලබාදෙන්න කියලා. පසුව අපට දැනුම් දී තිබුණේ එම විෂය ඔවුන්ට අදාළ නැති බවත් එය අයිති මුදල් අමාත්‍යංශයට බවත්. බලධාරින් තැන් තැන්වලට ප්‍රශ්නය මාරු කරමින් ඉන්නවා. විසඳුමක් නෑ.

ඩොලර් හිඟය නිසා කඩදාසි මෙන්ම වෙනත් ආනයනික ද්‍රව්‍ය ආනයනය අවම වීමෙන් මෙරට මුද්‍රණ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් පොත් මුද්‍රණය මේ වනවිටද සැලකිය යුතු ලෙස නැවතී තිබෙන අතර මුද්‍රණාලවලට මුද්‍රණයට යැවූ පොත්ද මුද්‍රණය අසීරු වී පවතී. මුද්‍රණ කර්මාන්තය යනු පොත් ප්‍රකාශනය පමණක් නොව තවත් ක්ෂේත්‍ර රාශියක එකතුවකි. දසදහස් ගණනක් එම කර්මාන්තයේ නියුතුව සිටිති. කුඩා අත්පත්‍රිකා, අවමංගල දැන්වීම්, කාඩ්පත්, කේක් පෙට්ටි, අත්පත්‍රිකා, පෝස්ටර්, දැන්වීම් වැනි අංග රාශියක් එයට ඇතුළත්ය. මුද්‍රණ කඩදාසි මතු නොව තීන්ත සහ ප්ලේට් වෙනත් අමුද්‍රව්‍යද හිඟය. මහා පරිමාණ මුද්‍රණකරුවන්ට වඩා මේ අවුල බලපාන්නේ එදිනෙදා කීයක් හෝ සොයාගන්නා කුඩා මුද්‍රණාලවලටය. තවමත් නිශ්චිතව ගණන් බලා නොමැති මෙම කර්මාන්තයෙන් යැපෙන ඍජු හා වක්‍ර පුද්ගලයන් හා පවුල් සංඛ්‍යාව මේ නිසා දැඩි ආර්ථික අර්බුදයකට ලක්වීමේ අවදානමක් තිබේ. ඩොලර් හිඟය නිසා ඇතිවී තියෙන ආනයන බාධා මේ සෑම එකකටම බලපා ඇත. ඒ අතර වෙනම ඒකාධිකාරයක්ද ක්‍රියාත්මක වේ.

පාසල් පෙළ පොත් මුද්‍රණය, අතිරේක කියවීම් පොත් මුද්‍රණය, ඉගැනුම් ආධාරක මුද්‍රණය ආදී කටයුතුවලටද මේ නිසා බාධා එල්ලවී පවතී. ෆොටෝ කොපියක් ගහන A4 කඩදාසියේ පටන් මේ අවුල ඔඩුදුවා අවසන්ය.  

පොත් කර්මාන්තයේදී පොතක මුද්‍රණ වියදමෙන් සියයට 30ත් 32ත් අතර වැයවන්නේ කඩදාසි සඳහායි. ඒ අනුව කඩදාසි සඳහා පනවා ඇති බදු අඩුකරන ලෙස පොත් කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ඉල්ලීමක්ව පවතී. ඒත් ඒ ගැන සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී ඇති බවට නම් ආරංචියක් නැත. 

ප්‍රධාන පෙළේ ප්‍රකාශකයෙක් වන මරදාන සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි ඒ ගැන සඳහන් කළේ මෙලෙසයි: 

ගෙන්වන කඩදාසි වගේම මුද්‍රණ ප්ලේට් වගේ දේවල් ඔක්කොම පිටරටින් ගෙන්වන නිසා ඩොලර්වලින් තමයි ගෙවීම් කළ යුතු වන්නේ. නමුත් මට නම් පේන්නේ ඩොලර් ප්‍රශ්නය දඩමීමා කරගෙන වෙනත් වැඩක් මෙතන ක්‍රියාත්මක වෙන බවයි. මෙතන මාෆියාවක් තිබෙන බව පේනවා. පොඩි ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුතු කඩාකප්පල් කිරීමට තමයි ඉන් උත්සාහ ගන්නා බව පේන්නේ. ඉන්පසු අතලොස්සක් අතරට ඒ ව්‍යාපාර ලබාගැනීමේ අරමුණක් තිබෙන බව පේනවා. පොත් ප්‍රකාශනය විතරක් නොවෙයි සෑම ව්‍යාපාර ක්ෂේත්‍රයක්ම තමන්ගේ හිතවතුන්ට ලබාගැනීමේ වැඩපිළිවෙළක් තිබෙන බව පේනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නම් ගෙන්වන්නේ පිටකොටුවේ ඇපල්, දොඩම් ඕනෑතරම් තිබෙන්නේ කොහොමද? ඒවා ආනයනය සිදු වෙනවා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නැවත්වලා අවුරුද්දකට වැඩියි. නමුත් අත්‍යවශ්‍ය නොවන දේවල් ඕනෑතරම් ගෙන්වන බවයි අපට නම් පේන්නේ. අපට පොතක් පළ කිරීමට කඩදාසි ලබාගැනීම පවා අද ගැටලුවක් වෙලා.

මේ නිසා පිටු 200ක පොතක් මිල නියම කිරීම පවා ගැටලුවක් වී පවතී. එවැනි පොතක මිල රු.600-700 දක්වා ඉහළ යාමට පුළුවන් බවයි ප්‍රකාශකයන් පවසන්නේ. මේ ගැටලුවට විසඳුමක් නොලැබුණොත් ඉදිරි සති කිහිපය ඇතුළත කඩදාසි නැත්තටම නැතිවීමටත් ඉඩක් තිබේ. කොවිඩ් වසංගතය ඇරඹුණු 2020 මාර්තුවල සිටම පොත් ප්‍රකාශනයට වැදුණේ මරු පහරකි. රට වසා දැමීම නිසා පොත්හල් වැසුණු අතර, මේ නිසා පොත්හල්වල සේවක පඩිනඩි පවා ගෙව්වේ අමාරුවෙනි. රට විවෘත කිරීමෙන් පසු ප්‍රකාශකයන් සහ ලේඛකයන්  යාන්තම් හිස ඔසවාගෙන එනවිට දැන් යළිත් ගැටලුවකි. 

 කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05