2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

විදුලිය රටටම දෙන ෂොක් එක

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 107

අඳුර සහ ආලෝකය මිනිස් ජීවිතවලට පුදුමාකාර ලෙස බලපායි. බොහෝ සෙයින් මිනිසා බියක් දක්වන්නේ අඳුරට යැයි කිවහොත් නිවැරදිය. එනිසා ඔහු නිති උත්සාහ ගන්නේ අඳුරෙන් ආලෝකයට පියමැනීමටය. එහෙත් මේ දිනවල අප සැමටම අකැමැත්තෙන් වුවද සිටීමට සිදුව ඇත්තේ අන්ධකාරය තුළය. ඒ අන් කවරක් නිසා නොව, අඛණ්ඩව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙනි. මේ විදුලි කප්පාදුව අද ඊයේ සිදුවූ එක් සිදුවීමක ප්‍රතිඵලයක් නොව, ඉකුත් වසර කිහිපයක් මුළුල්ලේ සිදුවූ සිදුවීම් දාමයක ප්‍රතිඵලයකි. එම සිදුවීම් මාලාව තුළ මහජනතාව ද කොටස්කරුවන් වී සිටින අතර විදුලිබල මණ්ඩලයට පමණක් ඇඟිල්ල දිගු කිරීම අයුක්තිසහතය. කෙසේ වෙතත් මේ දිනවල සිදුවන විදුලි කැපිල්ල වටා ගෙතෙන කතා ගැන නම් මහජනයා සිටින්නේ එතරම් ප්‍රසාදයකින් නොවේ.

ඉකුත් සති අග දක්වාම මහජන උපයෝගිතා කොමිසම ස්ථිරව කියා සිටියේ විදුලි කැපීමක් සිදු නොවනු ඇතැයි බවය. එහෙත් විදුලි ඉංජිනේරුවන් අඛණ්ඩව අවධාරණය කළේ රටේ තිබෙන අර්බුදකාරී තත්ත්වයත් සමඟ බලාගාර කිහිපයක් අකර්මණ්‍ය වීම නිසා විදුලි කැපීමකට යා යුතුව ඇති බවයි. ජලාශවල ජල ධාරිතා පහළ යාම සහ ඉන්ධන හිඟය හමුවේ විදුලිය කැපීම හැර අන් විකල්පයක් නොමැති බව ඔවුන්ගේ මතය විය. මේ වන විට කැලණිතිස්ස, කොළොන්නාව, මතුගම, තුල්හිරිය, සපුගස්කන්ද කොළඹ වරාය ආශ්‍රිත පාවෙන බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක්ම අක්‍රිය වී ඇත්තේ ඩීසල් සහ නැප්ටා ආදි ඛණිජ නොමැතිවය. මෙම තාප බලාගාර ඇණහිටීමෙන් විදුලිබල මණ්ඩලයට අහිමි වී ඇති ධාරිතාව මෙගා වොට් 388කි.

ජනවාරි මස සිට වරින් වර විදුලි කැපීමක් සිදුවනු ඇති බවට විදුලිබල මණ්ඩලය ප්‍රකාශ නිකුත් කළද, මහජන උපයෝගීතා කොමිසමේ අවසරය ලැබීමෙන් පසු විදුලිය කැපීම නිල වශයෙන් ආරම්භ වූයේ මේ මස 21 වැනිදා සිටය. රටේ සියලුම ප්‍රදේශ කලාප 11කට බෙදා එක් එක් කලාපවලට සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 02ක් හෝ 03ක් බැගින් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කෙරිණි. ක්‍රියාත්මක තලයේ යම් යම් වෙනස්කම් සිදු වුවද මෙරට සෑම සාමාන්‍ය පුරවැසියකුටම විදුලිය නොමැතිව යම් කාලයක් අඳුරේ ගත කිරීමට සිදු විය. මුල් දින කිහිපයේ අගනුවර විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකළද මේ සටහන ලියන මොහොත වන විට කොළඹටද විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබුණි.

අද අප අත්විඳින විදුලි අර්බුදය යුගදනවි ගිවිසුම පිළිබඳ සංවාදයෙන් ඇරඹුණකි. එදා සිට විටින් විට බලාගාර අකර්මණ්‍ය විය. පළමු අවස්ථාව ලෙස ඉකුත් දෙසැම්බර් මස නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය කැඩී ගිය අතර එය තවමත් යථා තත්ත්වයට පත්කරගත හැකි වී නැත. මේ වන විටත් එහි අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පවතින බවත් චීන කණ්ඩායමක් ද එම කාර්යය සඳහා පැමිණීමට නියමිත බවත් සඳහන්ය. කැලණිතිස්ස තාප බලාගාරය ඉන්ධන නොමැතිව සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වූයේ පෙබරවාරී 02 වැනි දිනය. ඉන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ධාරීතාව මෙගා වොට් 297කි.  

2022.02.25 දින දහවල් කාලයේ ජාතික විදුලි අවශ්‍යතාව මෙගා වොට් 2250ක් ලෙසද, සවස 2350ක් හා රාත්‍රී කාලයේ 2700ක් ලෙසද පැවතිණි. එදින විදුලිබල මණ්ඩලය ජල බලාගාර, තාප බලාගාර, සුළං සහ සූර්යකෝෂ මගින් සපයාගන්නා විදුලියට හා පෞද්ගලික අංශයෙන් මිලදී ගත් විදුලියට අමතරව හිඟ විදුලි ධාරිතාව දහවල් කාලයේ මෙගා වොට් 478ක්ද, සවස 540ක් හා රාත්‍රියේ 574ක් ලෙසද විදුලිබල මණ්ඩලය නිකුත් කළ වාර්තාවේ සඳහන් විය. 

මේ වන විට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති නිසා ජල විදුලි නිෂ්පාදනය 20%කට සීමා වී තිබේ. විකල්ප බලශක්ති උත්පාදනයෙන් විදුලිය ලබාගත හැකිව ඇත්තේ 2%ක් පමණි. ඉතිරි 78% ලබාගැනීමට සිදුව ඇත්තේ ඉන්ධන මත ක්‍රියාත්මක තාප බලාගාරවලිනි. එහෙත් ඉකුත් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල ජල විදුලි නිෂ්පාදනය විදුලි අවශ්‍යතාවයෙන් 70%ක්ම ආවරණය කළේය. තාප බලාගාර අවශ්‍යතාවය 28%ක් තරම් අඩු අගයක් ගනු ලැබූ නිසා ඛණිජ අවශ්‍යතාව අවම මට්ටමක පැවැතිණි. එම තත්ත්වය ජාතික ආර්ථිකයට ද සුබදායී විය.

දැනට පවතින උණුසුම් කාලගුණයත් සමඟ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ඉතිරි කරගත යුතු බව මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල මණ්ඩලයේ අදහස වී තිබේ. දැනටමත් සෑම ජලාශයකම ජල ධාරිතාව 40%ක් තරම් ප්‍රමාණයකට පැමිණි ඇති නිසා ජල විදුලි නිෂ්පාදනය සීමා නොකළේ නම් මෙම අර්බුදය කෘෂිකර්මාන්තයට ද බලපානු ඇතැයි අනුමාන කෙරේ. එනිසා දැනටමත් කොත්මලේ, වික්ටෝරියා සහ රන්දෙණිගල ජලාශවල විදුලි නිෂ්පාදනය සීමා කර ඇත. මීට අමතරව මස්කෙළිය, කාසල්රී, සමනළවැව ජලාශවල තත්ත්වය සතුටුදායක තත්ත්වයක නොමැති බැවින් ඒවා ද සීමා කිරීම මහජන උපයෝගීතා කොමිසමේ යෝජනාව වී තිබේ.

කෘෂිකාර්මික අවශ්‍යතා සහ පානීය ජල අවශ්‍යතා සඳහා ජල ධාරිතාව රුකගැනීමට සිදුවීම හමුවේ විදුලි නිෂ්පාදනය මුළුමනින්ම රඳා පැවතීමට සිදුව ඇත්තේ ඉන්ධන මතය. මෙවැනි තත්ත්වයක් තුළ ඉදිරියේදී විදුලිය නිෂ්පාදනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ විදුලිය කැපීම හැර විකල්ප විසඳුමක් නොමැතිද යනුවෙන් විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති අනිල් ඉඳුවර මහතාගෙන් අප කළ විමසුමට ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.

“මේවට විසඳුම හැටියට අපි කියන්නේ නෑ විදුලිය කපන්න ඕන කියලා. අපි ඉන්නෙ විදුලිය දෙන්න. ඒත් තෙල් නැත්නම් කොහොමද මණ්ඩලය දුවන්නේ. අපේ තෙල් ගබඩා කරගන්නේ ටිකයි. තෙල් සංස්ථාව තමයි අපිට දෙන්න ඕන. යන්ත්‍ර තිබුණත්, ඉංජිනේරුවෝ හිටියත් විදුලිබල මණ්ඩලයට දුවන්න බෑ තෙල් නැතිනම්. ටොන් 1000ක් බර මැෂින් එකක් තියෙනවා. ඒක විනාඩියකට වට 3000ක් කැරකෙන්න ඕන විදුලිය ජනනය කරන්න. ඉංජිනේරුවෝ 1000ක් නෙවෙයි ලක්ෂයක් හිටියත් එච්චර වේගයකින් ඒ යන්‍ත්‍රය කරකවන්න බෑ. ඒක කරකවන්න තෙල්ම ඕන. හැමෝම අපිට සහයෝගය දෙන්න ඕන තෙල් හෝ වැස්ස ලැබෙනකම්. අනවශ්‍ය විදුලි පහන් පත්තු කරන එක නවත්තලා අනවශ්‍ය විදිහට ඒසී දාන එක අවම කරලා, රාජ්‍ය ආයතනවලත් මාධ්‍ය ආයතනවලත්, අනෙකුත් ආයතනවලත් යම් පාලනයක් ඇති කරගෙන විදුලිය පරිභෝජන කරන්න ඕන. හැමෝටම ස්වයං පාලනයක් ඕන මේ වෙලාවේ. මේ මොහොත විදුලිය නාස්ති කරන්න හොඳ වෙලාවක් නෙවෙයි.”

සෑම වර්ෂයකම ජනවාරි සිට මැයි මස දක්වා ජලවිදුලි බලාගාර ආශ්‍රිතව වැසි තත්ත්වය අඩු වුවත් තාප බලාගාර ධාරිතාව සහ පෞද්ගලික අංශයෙන් මිල දී ගන්නා විදුලිය මගින් තත්ත්වය කළමනාකරණය කරගනු ලබයි. එහෙත් මෙවර සැපයුම යථා පරිදි පවත්වා ගැනීම අසීරු වී ඇත්තේ ප්‍රමාණවත් ඉන්ධන සපයා ගැනීම අපහසු වීමත් සමඟය. 2022.02.25 දිනට විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය කියුබික් මීටර 2640ක්, නැප්තා 950ක් සහ ෆනන්ස් තෙල් 1036ක් ලෙස දැක්වේ. එහෙත් විදුලිබල මණ්ඩලය සතුව එදින පැවතියේ ඩීසල් 1560ක් නැප්තා 00 සහ ෆනන්ස් තෙල් 654ක් පමණි. 

තාප බලාගාරවල ධාරිතාව ඉහළ දමා විදුලි නිෂ්පාදනය වැඩි කිරීමට ගෙන ඇති විසඳුම සහ තෙල් සංස්ථාවේ ප්‍රතිචාර පිළිබඳව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමානිගෙන් අපි විමසීමක් කළෙමු. “මේ ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවෙත් කතා කළා. මොන විදිහකින් හරි අපිට තෙල් හොයාගන්න වෙනවා. ඛණිජ තෙල් සංස්ථාවත් එක්කත් සාකච්ඡාව යනවා. ඊළඟට ජල විදුලි බලාගාර ජලාශවල ජලය ශීඝ්‍රයෙන් බැහැගෙන යනවා. මේ වගේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ හැම ප්‍රශ්නයක් ගැනම අපි ඛණිජ තෙල් සංස්ථාවට දැනුම් දීලා තියෙනවා. අපිට මාසයක් තිස්සේ ප්‍රමාණවත්ව තෙල් ලැබිලා නෑ. තවමත් ඛණිජ තෙල් සංස්ථාව තෙල් දෙන තැනකට එකඟවෙලා නෑ. ඛණිජ තෙල් එකෙන් උත්තරයක් ලැබෙනකම් යම්කිසි දුරකට විදුලිය කැපීම තමයි අපිට තියෙන විසඳුම. අපි ස්ථිරව කපන්න පටන් ගත්තේ මේ සඳුදා ඉඳන්. හැබැයි මේ සියලුම ප්‍රශ්න තෙල් ආවා කියල විසඳෙන්නෙත් නෑ.”

විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව යන ආයතන දෙක අතර කලක් තිස්සේ ගනුදෙනු සම්බන්ධයෙන් පැවතියේ අර්බුකාරී තත්ත්වයකි. මේ වනවිට එම තත්ත්වය උග්‍ර වී තිබේ. විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට මිලියන 91000ක ණයක් ගෙවීමට ඇති බවත්, විදුලිබල මණ්ඩලය නිසා තෙල් සංස්ථාවට පාඩු ලැබීමට සිදුව ඇති බවත් සංස්ථාව පෙන්වා දෙයි. මෙවන් තත්ත්වයක් තුළ තවදුරටත් ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට සූදානම් නැති බව තරයේ කියා සිටියි. ලෝක තෙල් මිලෙහි පවතින ශීඝ්‍ර උච්චාවචනය මෙන්ම ඩොලර් හිඟය හමුවේ පැන නැගුණු තවත් අර්බුදයක් ලෙස විදුලි අර්බුදය දැක්විය හැක. මේ අතර විදුලිබල මණ්ඩලයට පාරිභෝගික මහජනතාව මිලියන 43000ක මුදලක විදුලි බිල් ගෙවීම පැහැර හැර තිබේ.

උසස් පෙළ විභාගය ද පැවැත්වෙන මේ කාලය තුළ කෙරෙන මෙම විදුලි කැපිල්ල විසඳෙනු ඇත්තේ කවදාදැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් දේශය අපි විමසීමක් කළෙමු. විදුලි කප්පාදුව නවතීද නැතිද යන්න තවමත් ප්‍රකාශ කළ නොහැකි බවත් එය තීරණය වන්නේ විදුලිබල මණ්ඩලය ලබා දෙන තෙල් සැපයුම මත බවත් ඔහුගේ අදහස විය.

කෙසේ නමුත් තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය යන ආයතන දෙකටම විසඳිය නොහැකි තරම් විදුලි අර්බුදය ඔඩුදුවා අවසන්ය. නහය ළඟටම වතුර ඇවිත් තිබෙන මේ මොහොතේ මහජනයාට ඉතා කල්පනාවෙන් කටයුතු කිරීම හැර අන් විසඳුමක් නැත. අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කිරීම, අනවශ්‍ය විදුලි උපකරණ නිවා දැමීම, හැකි සෑම මොහොතකම විදුලිය සහ ඛණිජ තෙල් වෙනුවට විකල්ප බලශක්තීන් භාවිත කිරීම ජනතාවගේ කාර්යයන් ලෙස දැක්විය හැක. සංස්ථාවට හෝ මණ්ඩලයට දොස් නගමින් ජනයා තමන්ගේ වගකීම් පැහැර හරිමින් සිටින්නේ නම් අවසානයේ සිදුවන්නේ මණ්ඩලය හෝ සංස්ථාව නොව සමස්ත රටම අඳුරේ ගිලී බංකළොත් වීමය. මෙම සමස්ත අර්බුදය මෙතරම් ඉක්මනින් අප හමුවට පැමිණියේ ඉකුත් කාලයේ එකදු බලාගාරයක් හෝ ඉදි නොකළ බැවිනි. එබැවින් අනාගතයට සූදානමක් ලෙස හැකි ඉක්මනින් බලාගාර ඉදිකිරීම කෙරෙහි පාලකයන්ගේ අවධානය යොමු විය යුතු බවද අවධාරණයෙන් මතක් කළ යුතුය.

 සටහන: සකීෆ් සාම්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05