පත්තරකාරයෙක් හැටියට පහුගිය සතිය දිහා ඇස් ඇර බලන්නට කැමැත්තක් ඇත්තටම නැත. මම ආදරේ කළ අපි ආදරේ කළ පත්තරකාරයෝ තුන්දෙනෙක් හදිසියේම නොකියා යන්න ගියහ. එය හදවත කම්පා කරන්නකි. ඊටත් වඩා පුදුමයකි. ඒ මෙතරම් හදිසියේ එකට කොහේ ගියාදැයි කියාය.
මේ තුන්දෙනා ගැන කලින් කිවයුත්තේ කා ගැනද පසුව කිවයුත්තේ කවුරුන් ගැනද යන්න පෙළක් සැදිය නොහැකි වුවත් මම මේ කතාව පටන් ගන්නේ පත්තර ලෝකය කර්මාන්තයක් කළ මිනිහාගේ සිටය. ඔහු අන් කවුරුත් නොව බන්දුල පද්මකුමාර මහතාය. එසේත් නැත්නම් පත්තකාරයන්ගේ බන්දුල අයියා ගැනය.
බන්දුල පද්මකුමාර නම කියූ සැණින් බොහෝ අයගේ මතකයට එන්නේ මුල් පිටුවය. පත්තර පිටු අතර කිමිදුනු පිරිසක් මැද පත්තර නොකියවූ පිරිසකට පත්තර අහන්න බලන්න සැලසුවේ මේ බන්දුලය. ඊටත් වඩා හොඳම වාසිය ගෙනාවේ පත්තරකාරයන්ටමය. ඒ එක පත්තරයකට සීමාවූ පත්තරකාරයන්ගේ නම් රටටම ඇහෙන්න කීවේ මෙකී බන්දුල පද්මකුමාරය. මෙයා අහවලාය, මෙයා අර පත්තරේ අහවලාය යන සන්නාම අපේ ජීවිතවලට ලබාදුන්නේ මෙකී බන්දුලමය. මට අද මෙන් බන්දුල පද්ම කුමාර මහතා මගේ නම රූපවාහිනියේ කියූ සැටි මතකය. මේ නිසාම දිනක් එක්තරා ස්ථානයකදී මගේ නම සඳහන් කොට එහි සිටි කාන්තාවක් මට කියූ කතාව අද මෙන් මතකය. ''ඔයාගේ නම හැමදාම මුල් පිටුවේ කියවනවා'' යනුවෙනි. ඒ නිසා එදා අපි වැනි අංකුර මාධ්‍යවේදීන්ට පෑනට අමතර වටිනාකමක් ලබාදුන්නේ මේ බන්දුලමය. ඒ නිසා බන්දුල පද්මකුමාර යනු නූතනවාදී ජ්‍යෙෂ්ඨයෙකි.
බන්දුල පද්මකුමාර ගැන ඔය මොනවා කීවත් ඔහුගේ පත්තර ඉතිහාසය මහා දැවැන්තය. යොවුන් පත්තර කලාවේ හෙවත් මල් පත්තර කලාවේ පියා ඔහුය. කුමරි, අරලිය වැනි තරුණ තරුණියන් වෙනුවෙන් කළ පුවත්පත් පමණක් නොව සිනමා පුවත්පත් කලාවේ පිබිදීමක් වූ සරසි සිනමා පුවත්පතද ඔහුගේ නිර්මාණයකි. ඔහු ඒ සෑම පුවත්පතකින්ම තරුණ නවකතාකරුවන් රුසකට ඉඩහසර පාදා දුන්නේය.
ඒ සියලු පෙරළිවලින් පසුව බන්දුල පද්මකුමාරගේ මීළඟ දැවැන්ත පෙරළිය වූයේ ලක්බිම පුවත්පතය. ලක්බිම පුවත්පත මෙරට ඉරිදා පුවත්පත් සංස්කෘතියට නවමු මානයක් ගෙනාවේය. ඒ රිද්ම අතිරේකය හරහාය. රිද්ම යනු මෙරට පුවත්පත් ඉතිහාසයේ ''ටැබ්ලොයිඩ්'' සංස්කෘතියේ ආරම්භයයි. ගෙදර පිරිමියාට පමණක් නොව බිරිඳටද පුවත්පත ආකර්ෂණය කළ එකම විසඳුම වූයේ මේ ''ටැබ්ලොයිට්'' පුවත්පතය. පසු කලෙක සියලු පුවත්පත් එය අනුකරණය කළේය.
ලක්බිම පුවත්පතෙන් ඉවත් වූ බන්දුල මහතා අවසානයේ ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂද, ඉන්පසුව සභාපතිවරයාද විය. එහිදී ඔහු තවත් පෙරළියක් කළේය. එනම් සිනමාව, කලාව ඉංග්‍රීසි පුවත්පතටද ගෙන ඒමය. අවසානයේ ඔහු ලේක්හවුසියෙන් ඉවත්වෙන තෙක්ම මුල්පිටුව සේම ලෝක සිතියම දෘෂ්‍ය කලාව තුළ ඇඳ බැඳ තබා ගැනීමට ඔහුට හැකිවිය. ඔහු තරුණයකු නොවුණත් ඔහුගේ වයසත් සමඟ ජනතාව සමඟ ගනුදෙනුව ඉතාම ප්‍රියමනාපව සිදුකළ බව අමුතුවෙන් කිවයුතු නැත.
බන්දුල මහතාගේ ඉතිහාසයේ ඉතාම වැදගත් කොටසක් වන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරී ආරම්භකයකු වීමය. ඊටත් වඩා පුවත්පත් කර්තෘවරුන්ගේ කර්තෘ සංසදයේ ආරම්භක සාමාජිකයකු පමණක් නොව ඊට මුල්ම අඩිතාලම දැමීමේ පුරෝගාමියෙකි. ඒ සියල්ලෙහි අවසානය වූයේ මෙරට පත්තකාරයන් ඇගයීම සඳහා ආරම්භ කළ සම්මාන උළෙලය. ඒ ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලය. අද බොහෝ පත්තකාරයන් හොඳම, තරුණ, අභියෝගාත්මක වශයෙන් ඇගැයුම් ලබන්නේ ඔහු නිසාය. ලියුම්කරුද එකී ඇගයුමට ලක්වූ අයකු නිසා පත්තරකාරයන්ගේ ආචාරය ඔහුට සෑමදා හිමිවිය යුතුය. එහෙත් අද බන්දුල පද්මකුමාර හෙවත් බන්දුල අයියා නික්ම ගොස්ය. එසේ මියගිය ඔහුගේ එක් කෝණයක් දැක ගැනීමට අපිට හැකිවූයේ නැත. ඒ ඔහුගේ සිනමා ඇසය. උපුල් ශාන්ත සන්නස්ගලගේ සරසවි දියණියෝ කතාව ඔහු සිනමාවට පෙරළුවත් අදටත් එය දකින්නට නැත. එයට සිදුවූ දෙයක්ද නැත. අදටත් එය ප්‍රශ්නයකි.
බන්දුල පද්මකුමාර මහතා සමුගත් දිනට පෙරදින තවත් පත්තකාරයෙක් නික්ම ගියේය. ඔහුගේ වචනයෙන්ම ගත්තොත් ඔහු සැබෑ පත්තරකාරයෙකි. මෙරට විකල්ප පුවත්පත් කලාවේ දැවැන්තයෙකි. අදීන පත්තරකාරයෙකි. ඔහු පත්තරකාරයන්ගේ සුනිල් අයියාය. හැමදා තමන් ගැන නොව වෘත්තීය ගැනත් වෘත්තීය ගෞරවය ගැනත් ඊටත් එහා යමින් ජනතාව ගැනත් සිතූ පත්තරකාරයෙකි. ඔහු සත්‍යවාදියෙකි. ඒ සුනිල් මාධව ප්‍රේමතිලකය. ප්‍රකට කවියකු වූ මීමන ප්‍රේමතිලකගේ පුත්‍රයකු වන සුනිල් මාධව පාසල් සමයේ පටන්ම ලේක්හවුසියේ පියගැට පෙළ නැගි අයෙක් විය. දිනමිණ, සිළුමිණ සියල්ලෙහි අකුරු හරඹ සිදුකළ සුනිල් අයියා අවසානයේ ලේක්හවුසිය අත්හැර උපාලි පුවත්පත් සමාගම වෙත යන්නේ දිවයින පුවත්පත ආරම්භ කිරීමටය. එහෙත් වැඩි කාලයක් නොසිටි සුනිල් අයියා ප්‍රතිපත්තිමය කරුණු මත අවසානයේ දිවයින අතහැර ගොස් ලක්දිව පුවත්පත අරඹා එහි සමාරම්භක කර්තෘ විය. නැවතත් කාලයකට පසු සුනිල් මාධව ප්‍රේමතිලක දිවයිනට ආවේය. ඒ සත්‍යවාදියකුගේ දිනපොත නම් තීරු ලිපියද සමඟය. අප වැනි අංකුර මාධ්‍යවේදීන්ට එය මහා උද්‍යෝගයක් ඇතිකළ පොතක් බවට පසුකලෙක පත්විය.
88/89 භීෂණය සමයේ සුනිල් යනු ජවිපෙ අම්මලාගේ කඳුළු පිසදමන්නා විය. දයාබර අම්මලා යකඩ ගැහැනුන් කළ පුත්‍රයා විය. මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව තරුණයන් පෑනෙන් පෙළගස්වන්නෙක් විය. ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව සුනිල් මාධව දැඩි ප්‍රහාර එල්ල කළ නිසා අවසානයේ දැඩි මර්දනයක් ඔහුගේ හිරු පුවත්පතට එරෙහිව ක්‍රියාත්මක විය. මේ නිසාම හිරු පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් මෙසේ පලවිය. ''ප්‍රේමදාස පුළුවන් නම් හැප්පිලා බලමු'' යනුවෙනි. එය තිගැස්සෙන සුළු සිරස්තලයක් සේම ප්‍රේමදාසට එරෙහිව සිදුකළ දැවැන්ත ප්‍රහාරයක් විය.
කෙසේ වෙතත් සියල්ල අවසානයේ සුනිල් මාධව පුවත්පත් කලාවට ආයුබෝවන් කියා යන්නට ගියේය. ඔහු රෝගාතුර වීමත් සමඟය. රෝගාතුර වී මිය යනතෙක්ම සුනිල් මාධව සිටියේ නිවසේය. විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම වැනි දේශපාලනඥයන් කාලයක් හැදුනේ මෙකී ආදරණීය සුනිල් අයියා සමීපයේය. කෙසේ වෙතත් සාහිත්‍යවේදියකු ලෙසත් පත්තරකාරයෙකු ලෙසත් තමන්ගේ නම ඉදිරියේ මහා ගෞරවයක් හිමිකම් කියූ සුනිල් අයියා ආයුබෝවන් කීවේ නිහඬවමය.
මගේ කතාවේ අවසන් පත්තරකාරයා ඉහත කී දෙදෙනා හා සමානව මෙකී මාධ්‍යකලාව වෙනුවෙන් වැඩකළ අයෙකි. අපි ආදරේට ආමන්ත්‍රණය කළේ කමල් අයියා යනුවෙනි. කමල් අයියා හෙවත් කමල් ලියනාරච්චි යනු සැබෑ පත්තරකාරයෙකි. ඇත්ත, ලක්බිම වැනි මාධ්‍ය ආයතනවල සේවය කළ කමල් අයියා මියයන විට රැකියාව කළේ පුවත්පත් පැමිණිලි කොමිසමේ සිංහල අංශයේ ප්‍රධානියා ලෙසය. කමල් අයියා යනු නිහඬ ගැඹුරු අයෙකි. ඔහු වැඩිය කතා නොකළ එහෙත් වැඩියෙන් වැඩකළ කෙනෙකි. අයාලේ ගිය පුවත්පත් කලාව වෙනුවෙන් නිවැරදි මාර්ගයක් හදන්න දිවා රෑ නොබලා රැකියා කළ කමල් අයියා අපිටත් විටෙක ගුරුවරයෙක් විය. පත්තරකාරයා අලුත්ද පරණද කල්ද අද ඊයෙද කියන මිම්ම අත්හල කමල් අයියා ගොඩකට (කමලා) වූ අතර අපිට ''කමල් අයියා'' විය.
දිනක් එක්තරා වැඩමුළුවක් මා රැකියා කළ ස්ථානයක සිදුකරන අවස්ථාවේ මා ඉන්නා තැනම මා විසින් ආචාරධර්ම බිඳි ප්‍රවෘත්තියක් ඔහු උදාහරණයට ගත්තෙමි. කලිසම පවා ගැලවෙන වැඩක් වුවත් කමල් අයියා එකෙන් එක පැහැදිලි කරන විට මම මගේ වරද හඳුනා ගත්තෙමි. මගේ හිත නරක් වූ බව දැනගත් කමල් අයියා ළඟට විත් ''වරෙන් යන්න ප්ලේන්ටියක් ගහන්න පහළට'' යනුවෙන් කතා කළේය. අපි දෙදෙනා ප්ලේන්ටියක් බොන ගමන් කතාකරන විට ඔහු ඇසුවේ ''උඹ මා එක්ක තරහද'' යනුවෙනි. තරහ වුවත් කමල් අයියාගේ මුණට කියන්න බැරි නිසා නෑ යනුවෙන් වෙමි. ඊටපසු කමල් අයියා මගේ වරද මම කීවේ ඊටත් වඩා ගැඹුරෙනි. ඒ සියල්ල අසා සිටි මට කමල් අයියා ගැන පුදුම වීමි. කමල් අයියා එතරම් දැනුම ඇති අයකු යැයි සිතන්නේ කෙසේද? කමල් අයියා ජ්‍යේෂ්ඨ පත්තරකාරයෙක් වුවත් ඔහුගේ සමකාලීනයන් මෙන්ම අපටද කියන්නට ඇත්තේ කමල් අයියා තරහාගත් අයකු නොවූ බවය. ඔහු සමඟ හෝ පැටලුණා යැයි අසා නැත. හැමෝම කියන දේ අසා සිටි කමල් තමන්ගේ අදහස සෘජුව කී අයෙක් විය.
විශේෂයෙන් මාධ්‍ය මර්දන සමයේ වෘත්තීය පත්‍රකලාවේදීන් සමඟත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමඟත් කරට කර වැඩ කළ කමල් අයියා එවකට විශාල සටනක් සිදුකළ අයෙක් විය. කමල් අයියා කා ගැනවත් වැරදි කියා නැත. ඒ වගේම කමල් අයියා ගැන කාගෙන්වත් අප වරදක් අසා නැත. හැමෝම කමල් අයියා ගැන කිව්වේ ''කමල් හොඳ එකා'' යනුවෙනි.
කමල් අයියා නික්ම ගියේ පෙර දෙදෙනාටම කලින්ය. කමල් අයියා ගිය බව ඇසූ මට එය දරාගත නොහැකි සිදුවීමක් විය. කමල් අයියා සේම ඔහුගේ බිරිඳත් කලක් ලක්බිමේම පත්තරකාරියක් විය. ඒ කමණි අක්කාය. සියලු දෙනාම මේ දෙදෙනාටම ඉතාම ආදරෙන් සැලකුවේ දෙදෙනාගේම හිත් එක හා සමාන නිසාය. කෙසේ වෙතත් කාටත් කලින් කමල් අයියා ඉක්මනින් කතාව අවසන් කළේය. එහෙත් කමල් අයියාගේ රාජකාරිය මෙතනින් එහා කරගෙන යන්නේ කවුද කියා අපි දන්නේ නැත. එහෙත් එක දෙයක් කීමට ඇත. එනම් කමල් වැනි මිනිසෙකු ආයේ බිහි නොවන බවය.
මේ කතාව මා අවසන් කරන්නේ ඉතාම කනගාටුවෙනි. ඔවුන් වෙත ආචාරය ගෞරවය පුදමිනි. මේ අපේ මහා ගස්ය. අපට ඒ ගස් සෙවනේ හුස්ම ගන්නට ලැබීම එක්තරා ආකාරයකින් සතුටකි. ඒ මේ කතාවට තිත තබන්නේ මුහුණු පොතේ දුටු නිර්නාමික කවියකිනි.
මුල් පිටුවත් ගැලවී ගිය
මැද පිටුවත් ගැලවී ගිය
පත්තරයක් සී සී කඩ
විසිර තිබිණි කඩ පොළොවක....
ගයාන් ගාල්ලගේ