2022 මාර්තු 06 වන ඉරිදා

අමකන නොකළ යුතු රටේ සැබෑ කොවිඩ් තත්ත්වය

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 42

සෞඛ්‍ය අංශවලට අනුව ශ්‍රී ලංකාවේ පැතිර යන ප්‍රධාන කොරෝනා ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්ව හමාරය. එසේම වාර්තාගත ප්‍රමාණයටත් වඩා ප්‍ර‍මාණයක් ආසාදිතයන්  සිටිය හැකි බවටද දැන් අනතුරු ඇඟවීම් නිකුත්ව ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ දිනකට සාමාන්‍ය වශයෙන් නව ආසාදන 1,141ක් වාර්තා වෙයි. ඒ අනුව පසුගිය සතිමැද වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 646,948කි. සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 609,092කි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ ආකාරයට බදාදා වනවිට   මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,244ක් විය.

මේ වනවිට කොවිඩ් රෝගය, ඩෙංගු සහ තවත් වෛරස් උණ රෝගයක් ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවක පැතිර යමින් ඇති බව වාර්තාවේ. එබැවින් උණ රෝගය පවතියි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නැයි සෞඛ්‍ය බලධාරින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

“ඩෙංගු රෝගය වගේ තත්ත්වයක් ප්‍රමාද වී පැමිණියාම එහි විවිධ සංකූලතා පැමිණෙනවා. ඒ නිසා මේ දිනවල උණ තත්ත්වය නොසලකා හරින්න එපා. විශේෂයෙන්ම නගර ආශ්‍රිතව ඩෙංගු රෝගයත්, වෛරස් රෝගයත්, කොවිඩ්-19 රෝගය යන තුනම එක හා සමානව පැතිරෙන නිසා උණ රෝග තත්ත්වයක් තියෙනවා නම් ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න කියන පණිවිඩය ලබා දෙනවා” යැයි රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහාචාර්යවරයා උපදෙස් දීමට කටයුතු කළේ ඒ අනුවය.

මේ වනවිට කොවිඩ්-19හි වඩාත් පොදු රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, උගුරේ අපහසුතාව, සහ හුස්ම ගැනීමේ අපහසුතාව හඳුනාගත හැකි වේ. සමහර පුද්ගලයන්ට වෛරසය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් වර්ධනය නොවන අතර අසනීප බවක් දැනෙන්නේද නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන ලබා දී ඇති උපදෙස් වන්නේ ඔබට මෙම රෝග ලක්ෂණ තිබේ නම්,

වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මිස වෙන කිසිදු කාරණයක් සඳහා නිවසින් පිටව නොයන්න. හැකි නම් තමාම පමණක් රැඳී සිටීමට කාමරයක් වෙන්කර ගන්න. නිවෙසේ ඔබ සහ අනෙක් අය අතර අවම වශයෙන් මීටරයක දුරක් තබාගන්න. හැකිනම් වෙනම වැසිකිළියක්, නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය, නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම, දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න. නිවසට ආගන්තුකයන් ගෙන්වා නොගන්න. එසේම ඔබ මෙන්ම අනෙකුත් නිවැසියන්ද නිතර නිතර හැකි සෑමවිටම සබන් යොදා තත්ත්පර විස්සක්වත් අත් සෝදාගත යුතුය. තමන් භාවිත කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබාගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදාගන්න. කහින විට හෝ කිවිසුම් යවන විට වැළමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂූ කඩදාසියකින් මුව වසාගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂූ කඩදාසි පියන සහිත කසළ බඳුනකට දමන්න. ඔබ භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිත නොකර පියන සහිත කසල බඳුනකට දමන්න යන කාරණාවන්ය.

වඩාත්ම වැදගත් කරුණ නම්, ඔබ පසුගිය සති දෙක ඇතුළත පිටරටකට ගොස් පැමිණියේ නම් හෝ කොවිඩ් රෝග ආසාදිතයකු හෝ එසේ සැකකළ හැකි පුද්ගලයකු ආශ්‍රය කර ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දීමද කළ යුතුව ඇත. ඔබට 1999 උපදෙස් සේවාව ඇමතීමෙන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීම ආදී ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාගත හැකිය.

මේ වනවිටද  එන්නත්කරණ වැඩසටහන රට පුරාම ක්‍රියාත්මක කර ඇත. මේ වනවිට ලක්ෂ 50කට වැඩි සංඛ්‍යාවක් බූස්ටර් එන්නත ලබාගෙන ඇති බවද සඳහන්ය. එන්නත්කරණය සාර්ථක කර ගැනීමට සහාය වන්නැයි මහජන සහායද රජය වෙනුවෙන් රාජ්‍ය ඇමැතිවරයා නැවත වතාවක් ඉල්ලා තිබුණි.

“මේ පැතිර යන, නැඟී එන කොවිඩ් රැල්ලෙන් වැළකෙන්න තියෙන හොඳම ක්‍රමය තමා බූස්ටර් එන්නත කඩිනමින් ලබාගැනීම. ඒක නිසා අපි ඉල්ලනවා සියලු දෙනාගෙන් මේ වෙනකොට කොවිඩ් රෝගය සඳහා බූස්ටර් එන්නත ලබාගෙන නැත්නම් එය හැකි ඉක්මනින්ම ලබාගන්න. විනෝද ගමන් යන එකයි, සාප්පු සවාරි යන එකයි පොඩ්ඩක් දවසක් දෙකක්වත් පරක්කු කරලා මුලින් බූස්ටර් එන්නත ලබාගන්න,”යැයි  රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “තාමත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා පළවෙනි මාත්‍රාව අරගෙන, දෙවැනි මාත්‍රාව ගන්නෙත් නැතිව ඒකත් මඟ හැරපු කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් ඔවුන් සමාජයට කරන්නේත් වැරුද්දක්, තමන්ට කරන්නෙත් වැරුද්දක්. ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියාය.”

මෙහිදී සංකූලතා ඇතිවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය ජයසුමන ප්‍රකාශ කර තිබුණෙ, “පළමු එන්නතෙන් ඇති නොවෙච්ච, දෙවැනි එන්නතෙන් ඇති නොවෙච්ච අමුතු ප්‍රශ්නයක් බූස්ටර් එන්නතෙන් ඇති වෙනවා කියලා කිසිම තැනකින් වාර්තා වෙලා නැහැ”යනුවෙනි. රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ මෙය සමාජ මාධ්‍ය මඟින් ඇතිකළ ව්‍යාජයක් බවය.

ශ්‍රී ලංකාව මේ වනවිට අවම වශයෙන් COVID එන්නත් මාත්‍රා 38,059,562 ක් ලබා දී ඇත. සෑම පුද්ගලයෙකුටම මාත්‍රා 2ක් අවශ්‍ය යැයි උපකල්පනය කළහොත් එය රටේ ජනගහනයෙන් 87.3%ක් පමණ එන්නත් කිරීමට ප්‍රමාණවත් වේ. පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් දිනකට මාත්‍රා 84,137 ක් පමණ ලබා දී ඇත. එම අනුපාතය අනුව, ජනගහනයෙන් තවත් 10%ක් සඳහා ප්‍රමාණවත් මාත්‍රාවක් ලබාදීමට තවත් දින 52ක් ගතවනු ඇත.

තවමත් අවුරුදු 12ට අඩු පිරිසට කොරෝනා වෛරසයට එරෙහිව එන්නත ලබා නොදෙන නමුත් එම දරුවන් මේ වනවිට පාසල් යන බැවින් දරුවන්ගේ යම්කිසි ආකාරයක රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවට රැගෙන ගොස් අවශ්‍ය වෛද්‍ය උපදෙස් මත පමණක් නිවෙස්ගත ප්‍රතිකාර කරන ලෙස මේ වනවිට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබේ. මෙයට හේතුව ළමා මරණ කිහිපයක්ද වාර්තා වීම නිසාය.

මේ වනවිට කොවිඩ්-19 හා සම්බන්ධ ගෝලීය ළමා මරණ සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබෙන බව වාර්තාවේ. එන්නත තිබියදීත් සෑහෙන ප්‍රමාණයක් මෙලෙස මියගිය යාමේ වගකීම දෙමව්පියන් වගේම වැරදි දේවල් ප්‍රචාරය කරන පුද්ගලයන්ද බාරගත යුතු බව විශේෂඥයන්ගේ මතය වී තිබේ.

 සුගත් පී. කුලතුංගආරච්චි