කාන්තාවන්ට ගරු කළ යුතු වන්නේ ඇයි? යන්න සිහිපත් වනවිට ලක්ශාන්ත අතුකෝරළ නම් කවියාගේ නූතන නිදහස් කවියක් උපුටා දක්වන්නට සිතුණි.
"සවස
වැඩ ඇරී
වැඩට යති
ගැහැනු"
රුකියාවක නිරත වන ගැහැනිය වැඩ ඇරී නැවත යන්නේ වැඩටමය. ඒ ගෙදර දොර වැඩ සඳහාය. සැබැවින්ම ඇය වැඩ කර වැඩට යයි. නැවත ඇවිත් වැඩ කරයි. එය මහත් කැපකිරීමකි. ඒ කැපකිරීම කරන්නේ සැමියා වෙනුවෙනි, දරුවන් වෙනුවෙනි. කාන්තාවකට ගරු කරන්නට ඔබට මෙම කවියම පාඩමක් කියා දෙයි.
කාන්තාවකගෙන් කැඩපත්කරණය වන්නේ “මාතෘත්වය”යි. අප්‍රමාණ දාරක ස්නේහයේ අනුහසින් රක්ත වර්ණ රුහිරු ධාරාවන් ශ්වේත වර්ණ කිරි දහරාවක් බවට පරිවර්තනය කරන සැබෑ මාතෘත්වය හඳුනන අම්මා කෙනකුගේ අසමාන සෙනෙහස සහ එහි බල මහිමය ගැන සිහිපත් කරද්දී මට මතක් වන්නේ මැක්සිම් ගෝර්කි යන රුසියානු ලේඛකයා කියූ කතාවකි. “මේ මහා විශ්වය නිර්මාණය වී තිබෙන්නේ මවගේ කිරි බිඳුවෙන් සහ හිරුගේ රුස් දහරින්..” ගෝර්කි කීවේ එහෙමය. ඔබ කාන්තාවන්ට ගරු කළ යුතු පළමු කාරණය නම් ඔබ ඔබ වී සිටින්නේ කාන්තාවකගේ අප්‍රතිහත කැපවීමෙහි ප්‍රතිඵලයක් නිසා බැවිනි.
නිවසේ ඕනෑම කාර්යයක් අනලස්ව සිදු කරන්නේ කාන්තාවය. කාන්තාව වර්තමාන ලෝකයේ විවිධ කාර්යයන්හි නිරත වෙයි. කාන්තාවක් ඉහළ කාර්යක්‍ෂමතාවක් පෙන්නුම් කරයි. කාන්තාව අවබෝධාත්මකය. කාන්තාවකට බොහෝ කාර්යයන් ඉමහත් සමාධියෙන් හා කරුණාවෙන් කිරීමට හැකිය. කාන්තාවන් දුර්වල යැයි සිතූ අවස්ථාද ඉතිහාසයෙන් ගත හැක. වෛදික යුගය තුළ පූජනීයත්වයට පත් වූ ඇය පුරුෂෝත්තමවාදී බ්‍රාහ්මණ චින්තනය තුළ අනේක සමාජීය පීඩාවන්ට සහ ගැරහුම්වලට පාත්‍ර විය. පිරිමින්ගේ දෙපතුළට පෑගෙන දුහුවිල්ලක් ලෙසින් සැලකූ ඇය බෞද්ධ දර්ශනයේ පුනරුදය විසින් ගොඩනැගූ සාධාරණ සමාජය තුළ ලද වටිනාකම් බොහෝමය.
මහ පොළොවක් සේ අකම්පාව, ඉවසිලිවන්තව, ජීවිතයේ දුක් පිරිපත දරාගන්නට ඈ සතු ශක්තිය සේම මාතෘත්වය තුළ ඇගේ කැපවීම සහ මෙහෙවර විසින් ආසියානු සංස්කෘතිය තුළ ඈ සම්භාවනාවට පාත්‍ර වූයේ ගෙදර බුදුන් යන ගෞරව නාමයෙනි.
බිළිඳිය, දියණිය, යෞවනිය, බිරිඳ, ගැහැනිය මේ ආදී ජීවන භූමිකාවන් තුළ සැරිසරන ඇය ප්‍රසංශනීය වගකීම් සමුදායක් දෙවුර දරන්නේ සැබැවින්ම මාතෘත්වය යන භූමිකාවේදී පමණක් නොවේ. රාජ්‍යත්වයේ කිරුළු දරන්නට තරම් අද්‍යතනය දක්වා ඇය විශ්වීය ගමනක් පැමිණ තිබේ. අතීතයේ මෙන්ම වත්මනෙත් කිරුළු දරණ රුජනිවරු ලෝකයේ සිටිති.
එහෙත් අදටත් විශේෂයෙන්ම ගෝත්‍රිකවාදී පුරුෂෝත්තමවාදී ගතානුගතික සංකල්ප තුළ සහ අන්තවාදී දේවවාදී ආගම් තුළ ඇය ගැරහුමට පීඩනයට පාත්‍ර වන ඉඩ හසර නැතුවාම නොවේ. එහෙත් අද්‍යතනයේ බහුතර කාන්තාවන් අධ්‍යාපනික සහ වෘත්තීයමය වශයෙනුත් සමාජීය වශයෙනුත් ලබා ඇති ප්‍රගමනය අති විශාලය.
ඒ අයුරින් ජීවිතය ඉහළින් ඔසවා තැබූ ගැහැනුන් ගැන මෙන්ම සෙත් කවියක් සේ ගැයෙමින් තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාගේ දරුවන්ගේ ජීවිත සුවපත් කරන්නට ජීවිතයම දන් දෙන කිරුළු නොපලන් උත්තම ගණයේ ගැහැනුන් ගැනද කතා කරන්නට මම මෙහිදී කැමැත්තෙමි.
කොයිතරම් අඩුපාඩු දුප්පත්කම් තිබුණද පතිනි මවුන් වෙසින් ස්වාමි භක්තියෙන් තම ස්වාමියාට කැපවුණු ගැහැනු අදටත් සිටිති. විශාඛා සිටු දියණිය දීගෙට යෑමට පෙර දිනයේ ඇගේ පියා ඇයට කීවේ දුවේ ගෙයි ගිනි පිටට දෙන්නත් එපා.. පිට ගිනි ගෙට ගන්නත් එපා යනුවෙනි. මෙම ඔවදනෙන් අපේක්ෂා කළේ කුටුම්භය ආරක්ෂා කරන ලෙසය. කුටුම්භය ආරක්ෂා කරන්නට කාන්තාවක් අනගි කැපවීමක් කරයි. ඒ ආකාරයෙන්ම බිරිඳකගේ මවකගේ යුතුකම් ඉටු කරන බුදුන් වහන්සේ වදාළ යහපත් බිරින්ඳෑවරුන්ගේ ගුණධර්මවලින් සංලක්ෂිත බිරින්ඳෑවරු අදටත් සිටිති.
නිසි තැන නොව සමතැන ඉල්ලමින් ඊනියා කාන්තා නිදහසක් වෙනුවෙන් කෑමොර දෙන ඇතැම් හිස් ගැහැනුන්ට සැබෑ ස්ත්‍රීත්වයේ පරිපූර්ණත්වය උදෙසා නිහඬවම සංනිදර්ශන සපයන ගැහැනු අදටත් සිටිති. ඉදෙන බත් හැලියේ මුදුන් කොටසින් ළඟ පාතක නැතත් තමන්ගේ ස්වාමියා ඔහු වෙනුවෙන් මුලින් බත් පත බෙදා වෙන්කරන ගැහැනු අදත් සිටිති.
මා මෙවැනි ගැහැනුන් ගැන කතා කළේ සම්මාන ඇගයීම්වලින් එවන් ගැහැනුන් ගැන කතා නොකරන පසුබිමක් දකින බැවිනි. ඒ සියලු යුතුකම් වගකීම් අතරේ ගල්කොරිවල ගල් කඩමින්, කුලී වැඩ කරමින්, ත්‍රීවිල් එලවමින් ගෙදර ආර්ථිකයට මහා ශක්තියක් වෙමින් ජීවිතයත් සමඟ ඔට්ටුවෙන ගැහැනුද සිටිති.
එහෙත් අදටත් වෙසඟනක් ලෙසින් හුදෙකලාව අවමන් ලබන්නේද ඇයමය. ඇය සමඟ යහන්ගත වෙන පිරිමියාට හැඳින්වීමක් නැති අසාධාරණය තුළ අදටත් සියලු ගල් මුල් ඒ උදෙසා විසි කරන්නේ ඇය වෙතය.
ජේසුස් වහන්සේ මද්දලාවේ මරියා කියන ගැහැනිය වෙනුවෙන් කතා කළ හැටි මගේ මතකයට නැගේ. සමාජයට අනුව ඇය ගණිකාවකි. ජේසුස් වහන්සේ අබිමුවට එන ඇයට මිනිසුන් ගල් ගසන්න සැරසෙද්දි ජේසුස් වහන්සේ කීවේ ඔබ අතරින් කිසිදා පවක් නොකළ කෙනෙක් වෙත්නම් එන්න ඇයට පළමු ගල ගසන ලෙසය.
මිනිසුන් මේ ලෝකයට සපැමිණෙන බිහිදොර යා වෙන්නේ මාතෘත්වය යන සංකල්පය සමඟිනි. ඒ සංකල්පය සමඟ ඇගේ ළය ලෙය උපදින දාරක ස්නේහය නීල දියවරක් හා සමානය. එය ලෝකය සනහන සුවපත් කරන තෝතැන්නකි. අම්මා කෙනකුගේ සැබෑ ආදරය ජීවිතයේ එක් දිනක් හෝ ඔබ විඳ ඇත්නම් ඊටත් වඩා හෘද සංවේදී සාක්ෂියක් ඒ වෙනුවෙන් තවත් කුමටද?
කාන්තා දිනයට පමණක් සීමා නොකර ගැහැනියකට මේ සමාජය වෙතින් ලැබිය යුතු ගෞරවය රුකවරණය නිසිතැන හැමදාම ලැබිය යුතු වග මගේ විශ්වාසයයි.
ගැහැනියකට ගෞරව කිරීම කාන්තා දිනයන් සමරමින් සිහිපත් කිරීමට තරම් දෙයක් නොවේ. සෑම කාන්තාවකටම ගෞරවය, සැනසීම සහ රුකවරණය ලැබිය යුතුය. මවක, සහෝදරියක, බිරිඳක හෝ ඕනෑම ගැහැනු ළමයකු ලෙස ඔවුන් සියල්ලන්ටම කොන්දේසි විරහිත ආදරයක් ලැබිය යුතු අතර මනුෂ්‍යත්වයෙන් සැලකීමට අවශ්‍යය. සෑම කාන්තාවකටම නිවැරදිව, ගෞරවයෙන් හා ආදරයෙන් සැලකිය යුතුය.
කාන්තාවද පිරිමියකු මෙන් මෙලොවට උපත ලබන්නියකි. ඇයට බුද්ධිමත් මනසක්, විශිෂ්ට ගෘහ නිර්මාණ කුසලතා සහ තවත් බොහෝ කුසලතා හිමිය. වර්තමාන සමාජ මාධ්‍ය ඔස්සේ ගැහැනියට ගැරහීම්, අපහාස කිරීම්, නින්දා කිරීම් එමටය. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් කාන්තාවන්ට ලබා දෙන්නේ සෙල්ලම් භාණ්ඩයක තත්ත්වයකි. එය එසේ නොවිය යුතුය. පිරිමියකු වශයෙන් කාන්තාවට මිහිරි වදනින් සංග්‍රහ කළ යුතුය. ඇය ලෝකයේ හොඳම කාන්තාව ලෙස සෑමවිටම ඇයට හැඟීමක් ඇතිවිය යුතුය. එම හැඟීම පිරිමින් විසින් ඇයට ලබා දිය යුතුය. පිරිමියකු වශයෙන් ගැහැනියකට නිවැරදිව සැලකිය යුතුය. ගැහැනියකට හොඳින් ගරු කළ යුතුය. මන්ද සැබෑ පිරිමින් කළ යුත්තේ එයයි.