2022 මාර්තු 06 වන ඉරිදා

රටට ගොඩ යා හැකි එකම මාර්ගය!

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 96

ආර්ථික අර්බුදය දේශපාලනයට ද බලපා ඇත. ගෙදර අගහිඟ අවසන් වෙන්නේ ගැටුම්වලිනි. හොඳ හිත පළුදු වෙයි. දෙන්නා දෙමහල්ලෝ විරසක වෙති. රටක ස්වභාවය ද එයට නොවෙනස්ය. ආදායම අඩුවන විට, වියදම ඉහළ යන විට ප‍්‍රශ්න මතුවෙයි. ජනතාව වෙනුවෙන් පොරොන්දු වූ දහසක් දේ කරගන්නට නොහැකි වන මැති ඇමැතිවරු බරපතළ මත මාධ්‍ය ඉදිරියේ විසුරුවා හරිති. ආණ්ඩුව තුළ තිබිය යුතු විවේචනය මහ පාරට ගෙන එන පියවර සුදුසු නැත. දරු පවුලක නැතිබැරිකම ගැන ඇවිලෙන ආරවුල අසල්වැසියන්ට බලපාන තරම අවබෝධ කරගත යුතුය.

එකමුතුව ප‍්‍රශ්නවලට මුහුණ දිය යුතුව තිබේ. ඇහුම්කන්දීම හොඳ ප‍්‍රතිඵලයකි. කැබිනට් මණ්ඩලය, ආණ්ඩු පක්ෂය, විපක්ෂය, විද්වතුන් පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තමන් දන්නා උත්තරයක් තිබේ. එම උත්තරයේ කොටසක් ආර්ථික ප‍්‍රශ්නවලට උත්තරයකි. සවන් දිය යුතු අතර විශේෂඥ අදහස්වලට නැඹුරු විය යුතුය.

ඉතිහාසයෙන් මෙපිට නොතිබුණු දෙයක්

ආර්ථිකය සුමට නැත. නිතරම වාසි සහගතව ක‍්‍රියා නොකෙරේ. උස් පහත්කම් සිදුවීම සාමාන්‍ය දෙයකි. අර්බුදයකට පත්වන අංශ නැවත නැගී සිටියි. එය ලෝක ධර්මතාවයයි. සංකීර්ණ අවස්ථාවල සන්සුන්ව උපේක්ෂා සහගතව කටයුතු කරන්නට අවශ්‍යය. නායකත්වය යනු කලබල වීම නොවේ. නොයෙක් පැතිවලින් සලකා බලා තීරණ ගැනීමය. දේශපාලනයට තෝරාගන්නා මහජන නියෝජිතයන් දෙසිය විසිපස් දෙනා සුළුකොට තැකිය නොහැකි පිරිසකි. ඔවුහු ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නෝය. ආණ්ඩුව අසාර්ථක වන තෙක් බලා සිටීම විපක්ෂයක වගකීම නොවේ. වන්දි ගෙවන්නේ සමස්ත ජන කොටසය. ඉතිහාසයේ නොතිබුණු බරපතළ අර්බුදයක් මතුව ඇති අවස්ථාවක පටු අදහස් තාවකාලිකව පසෙක තැබිය යුතුය. දුෂ්කරතාවය අවසන් කළ යුතුය. සියලු දෙනා එකතු වී හොඳම තීරණය ගත යුතුය.. එයින් පසු දේශපාලනය කළ යුතුය.

අද දවසේ දක්ෂතාවය වේදිකාවට නැග විවේචනය කිරීම නොවේ. හෙළා දැකීමෙන් හොඳම උත්තරය ලැබේ නම් ජනයා දොස් කියන ප‍්‍රමාණය හොඳම සාක්ෂියකි. කිරිපිටි, ගෑස්, ඉන්ධන, බෙහෙත් හේත් පමණක් නොව අතට මුදලක් නැති පිරිස උගස් බඩු පෝලිමේ සිට කරන්නේ ද ආණ්ඩුවට දොස් තැබීමය. තී‍්‍රවිලර් එකක කතාව ආණ්ඩුවේ අසාර්ථකභාවය හැර අනෙකක් නොවේ. මාධ්‍ය නාළිකාවල, අන්තර්ජාලයේ දොස් පරොස් අපමණය. ඒවා ප‍්‍රමාණවත්ය. ඒවා අහන, දකින පිටස්තර රටක් ලංකාවට අනුකම්පා කරන්නේ නැත.

ගැලවීම අප අතේමය 

ආණ්ඩුව, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා විරුද්ධ පක්ෂ එකට සාකච්ඡා කළ යුතු කාලයකි. ඉන්ධන නැවක්, බෙහෙත් තොගයක් ගෙන්වන්නට නොහැකි තරමට විනිමය හිඟවීම එක දවසක බලපෑමක් නොවේ. මහ බැංකු වාර්තා එය මැනවින් පැහැදිලි කරයි. මෑත වසර තිහ හතළිහ තුළ විදේශ වෙළෙඳාම අවාසි සහගතය. සෑම රටකටම යවන ප‍්‍රමාණයට වඩා ගෙන්වා ගන්නා ප‍්‍රමාණය ඉහළ ගොස් තිබේ. මුල සිට අධ්‍යයනය කළහොත් වැරදුණු තැන සොයාගැනීම අපහසු නැත. ශ‍්‍රී ලංකාවේ අනාගතය සඳහා අපනයනය කළ යුතුය. අපනයනය සඳහා මොනවා හෝ නිෂ්පාදනය අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ දේශීය ආයෝජකයන්ට ආයෝජනය සඳහා ධනය නැත. තාක්ෂණය හිඟය. ආණ්ඩුවට කිසිම දෙයක් කරගන්නට වත්කමක් නැත. මෙවැනි අවස්ථාවක රට තුළ කර්මාන්ත, ආයෝජනය හා වෙළෙඳාම ගැන අලුතින් හිතන්නට අවශ්‍යය.

1978 වසරේ සිට ආයෝජන කැඳවන්නට මහන්සි වී තිබේ. ඕනෑම ආණ්ඩුවක් ගෙන්වන්නට යන විට විපක්ෂය අවහිර කරයි. රට විකුණන, රටේ සම්පත් විජාතිකකරණය කරන බවට දෝෂදර්ශනය කරයි. ආයෝජන සඳහා උනන්දු වූ ලෝකයේ ප‍්‍රබල ආයතන ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැක. එම සමාගම් සාර්ථකව සැලැස්මක් ඇතිව රටට පැමිණියේ නම් ඔවුන් කරන වෙළෙඳාම මෙරට ආර්ථිකයට ජවයකි. දරුණු ප‍්‍රපාතයකට වැටී ඇති අතරවාරයේ ද කිසිම ආකාරයක ආයෝජනයකට ඉඩ නොදෙන, ඒවාට එරෙහි වන ව්‍යාපාරවලින් ජනතාවට ලැබෙන පංගුව කුමක්ද? අප සියලුම දෙනා අපගේ ගැලවුම්කරුවන්ය. පිටස්තරයන් දෙන ආධාර, හදිසි ණය ආපසු ගෙවන්නට සිදුවේ. ඉන්දියාව, චීනය පමණක් නොව දැන් ආරවුලක සිටින රුසියාවෙන් ද ආධාර ඉල්ලන බව අනාවරණය කෙරේ. කොතැනකින් ලැබෙන ආධාරයක් වේවා යහපත්ය. ආපසු ගෙවන්නට සිදුවේ. ගෙවන්නේ අනාගතයේය. දැන් වැඩපිළිවෙළක් හැදුණොත් අනාගත ආණ්ඩුවකට සැනසීමකට කාරණයකි. 

විනාශ වූ රටවල් ලෝක සිතියමේ නැත

ප‍්‍රතිපත්ති දුබලතා හෝ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ආර්ථිකය පහළට වැටුණු රටවල් එමටය. බලවත් රාජ්‍යයන් හා දුප්පත් රටවල් වශයෙන් වෙන් නොවේ. අමෙරිකාවේ ණය අර්බුදයක් හටගත් බව අමතක කළ යුතු නැත. නිවාස ණය ලබාගත් පිරිස් ඒවා නොගෙවීම බැංකු අර්බුදයකට ලක් විය. ජාත්‍යන්තර ප‍්‍රකට සිටි බැංකුව පවා බංකොළොත්භාවය ප‍්‍රකාශ කළේය. අමෙරිකානු ආණ්ඩුව සිටි බැංකුවේ කොටස් මිල දී ගෙන ප‍්‍රතිසංස්කරණයකට ලක් කළ අතර පසු කාලයක නැවත පෞද්ගලික අංශයට විකුණා දැමීය. බ‍්‍රසීලය ණය ගෙවාගත නොහැකි තැනට පත්විය. ජගත් ප‍්‍රජාව ණය කපා හැරියේය. ග‍්‍රීසිය, ආර්ජන්ටිනාව වැනි රටවල් උග‍්‍ර අර්බුද මැද හුදෙකලා විය. ආණ්ඩු පෙරළිණ. ජාත්‍යන්තර මුල්‍ය ආයතන තද කොන්දේසි මත ණය සපයන වැඩපිළිවෙළකට බල කළේය. දැන් එම රටවල් එතැන නැත. පොහොසත්ය. මැලේසියාව, තායිවානය ඇතුළු රටවල් අග්නිදිග ආසියානු මුල්‍ය අර්බුදයකට හසු වූ බව ඉතිහාසයේ ලියැවී තිබේ. එම රටවල් පවා නැවත ආයෝජන කැඳවා සාර්ථක පියවරවලට පැමිණ ඇත.

ආර්ථිකය විනාශ වන, රටවල් වැනසෙන චෝදනා පසෙක තබා එතැනට ගමන් නොකරන රටක් හා සමාජයක් හදන්නේ කෙසේදැයි සාකච්ඡා කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ පිළිගත් ක‍්‍රමය පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවේ දී විද්වත් සාකච්ඡාවකට යා හැක. දෙස් විදෙස් විශේෂඥයන් කැඳවා ප‍්‍රශ්න කරන්නට වෙනම සැසිවාරයක් සංවිධානය කළ නොහැකි ඇයි? පක්ෂ විපක්ෂ එකඟතාවයෙන් අලුත් සැලැස්මක් තාවකාලිකව හදන්නට එය ශක්තිමත් පදනමක් කරගත හැක. මහ බැංකුව ආර්ථික ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. පාත්ෆයින්ඩර් පදනම අවස්ථා ගණනාවක කළ යුතු හදිසි වෙනස්කම් හුවා දක්වා ඇත. ලර්න් ඒෂියා සහ වෙරිටේ වැනි ආයතන පර්යේෂණ පත‍්‍රිකා ඉදිරිපත් කර තිබේ. විද්‍යාර්ථින් පෞද්ගලිකව ද මාධ්‍යවලින් ද නොයෙක් කරුණු ඉදිරිපත් කර රට ගොඩනගන පිළිවෙළ ගැන මත හුවා දක්වා ඇත. මේවා ප‍්‍රයෝජනයට ගෙන සංයමයකින් යුතුව ක‍්‍රියා කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීමකි.

විශ්වාසය දිනාගැනීම පළමු පියවරයි

විදේශ විනිමය හිඟ, ආයෝජන දුර්වල වී ඇති අවස්ථාවක අනුගමනය කළ යුතු වැදගත් පියවර ගණනාවකි. පළමුව විශ්වාසය දිනා ගත යුතුය. දෙස් විදෙස් ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් වික්ෂිප්ත කිරීම සාධාරණ නැත. රට තුළ දේශපාලන කෝලාහලයක් පවතින අවස්ථාවක ධනය ගැන පරෙස්සම් වෙයි. තමන්ගේ වත්කම් අවදානමක් ඇති තැනක යොදවන්නේ නැත. ගෙදර ආරවුල් ඇති අවස්ථාවක අසල්වැසියකුගෙන් ණයක් ඉල්ලයි. ''ඕවා දීලා ආපහු ගන්නේ කාගෙන්ද?'' යන ප‍්‍රශ්නය හිතට නැගෙන බව අමතක කළ යුතු නැත. එවැනි අසරණ තැනකට රට තල්ලු කිරීමෙන් ආශ්වාදයක් නැත. රට තුළ වෙනස්කම් සිදුවන සහ තාවකාලික අර්බුදයකින් ගැලවෙන සාර්ථක පියවර ඇති බව පෙන්වා දීම වැදගත්ය. විශ්වාසය පළමු පියවරයි. එය හුදෙක් වහසි බස් දෙඩවීමක් නොවේ. ආර්ථිකයක දත්ත සැඟවිය නොහැක. ලෝකය විවෘතය. පවතින තාක්ෂණික යුගයේ තොරතුරු, දත්ත වේගයෙන් එහා මෙහා ගමන් කරයි. ලෝකයේ ඈත කෙළවරක සිදුවීම් රහසිගත වෙන්නේ නැත. දේශපාලන අස්ථාවරභාවයක්, නීතිරීතිවලින් දරදඬුවීමක් වාර්තා වන අවස්ථාවල ආයෝජකයෝ අධෛර්යයට පත් වෙති. විවෘත, විශ්වාසදායක තැනක් හොඳ ආයෝජන තෝතැන්නකි. 

ශ‍්‍රී ලංකාව අවස්ථා ගණනාවකදී ප‍්‍රශ්නවලට මුහුණ දුන් රටකි. නිදහසට පසු ගත වූ දශක ගණන තුළ අභ්‍යන්තර හා බාහිර ප‍්‍රශ්නවලින් රට ඉදිරියට හා පසුපසට ගමන් කරන ලද බව මතක තබා ගත යුතුය. යුද්ධයකට ගෙවන ලද වන්දිය මහත්ය. දකුණේ හා උතුරේ කැරලිවලින් විශාල සම්පත් ප‍්‍රමාණයක් නිරපරාදේ නාස්ති විය. දක්ෂතම තරුණ පිරිසක් රටට අහිමි විය. ආර්ථික අර්බුදය ද අලුත් වටයකින් මානව සම්පත අහිමි කර ගැනීමක් බවට පත් නොකිරීම ද වැදගත්ය. රට හැර යන දක්ෂතම පිරිස ජාතික ආර්ථිකය බියට පත් කළ යුතු කරුණකි. ආණ්ඩුවට පමණක් නොව ඊළඟට බලයට පත්වන ආණ්ඩුවකට ද මානව සම්පත තීරණාත්මක සාධකයකි. අලුතින් හිතන, අලුත් ක‍්‍රම ගැන අවධානය යොමු කරන අභියෝගාත්මක තරුණ පරපුර ඉච්ඡාභංගත්වයට පත් නොකිරීම මහජන නියෝජිතයන්ගේ වගකීමකි. විශ්වාසය අවශ්‍ය ආණ්ඩුවකට පමණක් නොවේ. රටටය. එය ඇති කරන්නට පාර්ලිමේන්තු කණ්ඩායම ක‍්‍රියා කළ යුතු තීරණාත්මක අවස්ථාවක් උදා වී තිබේ.

 සාරා කන්දෙගොඩ