2022 මාර්තු 06 වන ඉරිදා

සීතල නුවරඑළිය ගිනියම් කළ බාබකිව් මරණ දෙක

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 24

නුවරඑළියේ සංචාරයක් සඳහා ගිය පිරිසක අඹුසැමි යුවළක් ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරයක් තුළ අභිරහස් ලෙස මියගොස් තිබුණේ පසුගිය 27 වැනිදාය. නුවරඑළිය සංචාරක සමය ආරම්භ වීමට ආසන්නව තිබියදී වූ මේ සිදුවීම ඛේදජනකය. ආරක්ෂිත හෝටලයක නිදහස් කාමරයක් තුළදී මියගොස් සිටි අඹුසැමි යුවළ සම්බන්ධයෙන් වූ විමර්ශනයේදී හමුවූ එකම සාක්ෂිය එම කාමරය තුළ තිබියදී සොයාගත් මස් පිළිස්සු බාබකියු උඳුනය.

කුරුණෑගල ගොකරුල්ල ප්‍රදේශයේ සිට නුවරඑළිය සංචාරයකට ගිය පිරිසක් අතර සිටි අඹුසැමි යුවළක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව නුවරඑළිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ එච්.එම්.ඒ.කේ. හේරත් (59) එච්.ඒ.එම්.එන්. මොලගොඩ (57) යන දෙදෙනාය. කුරුණෑගල ගොකරුල්ල නැකැත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හේරත් - මොලගොඩ යුවළ සිය නිවැසියන් සමඟ විනෝද සවාරියක් යාම සඳහා බලාපොරොත්තුවෙන් සිට තිබුණේ කාලයක සිටය. පැවති කොවිඩ් අවදානම නිසා දිනෙන් දිනම කල්ගිය අදහස කෙසේ හෝ ඉක්මන් කොට තිබුණේ යුවළගේ දරුවන් විසිනි. ඒ අනුව සංචාරය සූදානම් කරගෙන තිබුණේ නුවරඑළිය දක්වා ගොස් එහි රුයක් ගත්කර ඇවිද විනෝද වීමටය.

මේ සඳහා හේරත් - මොලගොඩ යුවළ සමඟ ඔවුන්ගේ පුතා, දුව මෙන්ම ඥාති පුතුන් දෙදෙනකු හා තවත් කාන්තාවන් දෙදෙනකු සහභාගි වී සිට ඇත. පිරිස ගොකරුල්ල නැක්ත්ත ප්‍රදේශයේ පිහිටි නිවසින් පිටත්ව තිබුණේ පසුගිය මාසයේ අවසන් සති අන්තයේ දිනකය. එදින අලුයම් කාලයේ නිවසින් ගිය පිරිස දහවල් වනවිට නුවරඑළියට ගොස් තිබුණි. ග්‍රෙගරි වැව ඇතුළු ස්ථාන කිහිපයක ඇවිදිමින් සතුටු වූ පිරිස එදින රාත්‍රිය ගත කිරීම සඳහා තෝරාගෙන තිබුණේ නුවරඑළිය කැලේගාල ප්‍රදේශයේ පිහිටි නවාතැන්පළකි. පිරිස නොයෙක් තැන්වල ඇවිදිමින් පරිසරයේ අසිරිය විඳගත් පසුව තෝරාගෙන තිබූ නවාතැන්පළ වෙත පැමිණ තිබුණේ රාත්‍රී 8 ට පමණය.

ලැඟුම්හලක් ලෙස පවත්වාගෙන යන ගොඩනැගිල්ල මීට පෙර සාමාන්‍ය නිවෙසක් ලෙස භාවිතයට ගත් එකකි. එම නිවෙස ලැඟුම්හලකට සුදුසු ලෙස සංවර්ධනය කොට සංචාරකයන් වෙත ලබාදීම සිදුකරයි. එය සම්පූර්ණ වශයෙන් වෙන්කරගෙන තිබූ මොවුන් එහි ගිය සැණින් තම තමුන්ට අදාළ කාමර සඳහා ගොස් බඩු බාහිරාදිය එහි තබා සතුටු සාමීචියේ යෙදී ඇත.

අනතුරුව පිරිස ලැඟුම්හලේ සාලය වෙත රුස්ව තිබුණේ රාත්‍රී සාදය සඳහා සහභාගී වීමටය. ඒ සඳහා විවිධ බීම වර්ග කිහිපයක් රසවත් ආහාර කිහිපයක් මෙන්ම මස් පුළුස්සා කෑම සඳහා අවශ්‍ය අමු මස් ඒවා පිළිස්සීම සඳහා වුවමනා බාබකියු උඳුනක් ඇතුළු භාණ්ඩද ගෙන ගොස් තිබී ඇත. සාදය අතරතුර මස් පිළිස්සීමට අමතරව සොසේජස්ද ආහාරයට එක්කර ගැනීමට පිරිස ක්‍රියාකර ඇත. රාත්‍රී 9.30ට පමණ ආරම්භ වී ඇති සාදය පැය හයක් පමණ එකදිගට පැවතුණු බව එම නඩයේ සාමාජිකයෝ පවසති. ඒ අනුව පසුදින අලුයම 3.30 හෝ ආසන්න වෙලාවක් දක්වා සාදය පවත්වා ඇත. අනතුරුව පිරිස නින්දට ගොස් තිබුණේ පාන්දර 4.00ට පමණය.

නුවරඑළිය ප්‍රදේශයේ පවතින දේශගුණය අනුව එම දින කිහිපයේ රාත්‍රී කාලයේ අධික සීතලක් පැවතී ඇත. කුරුණෑගල ගොකරුල්ල ප්‍රදේශයේ වියළි දේශගුණික පරිසරයක සිට නුවරඑළියට පැමිණි පිරිසට එම සීතල දරා ගැනීම තරමක් අසීරුව ඇත. ඒ අනුව ජනේල හා කවුළු පවා සීල් තබා තිබෙන නිදන කාමරවල පැවතී ඇත්තේ දැඩි සීතලකි. රාත්‍රී සාදය නිමවා තම තමන්ගේ කාමරවලට පිරිස ගිය පසු හේරත් - මොලගොඩ යුවළද මොහොතක් කාමරයේ සාකච්ඡාවක යෙදී සිට ඇත. ඔවුන් කතාකර ගෙන තිබුණේ සීතල දරාගැනීමට නොහැකි වීම ගැනය. ඒ ගැන නඩයේ පැමිණි ඥාතීන්ට පැවසුවත් පිළියමක් තිබී නැත. අනතුරුව ඔවුන්ට සිහිවී ඇත්තේ මස් පුළුස්සමින් තිබූ බාබකියු උඳුන තවමත් ගිනි රස්නෙට සාලයේ කෙළවරක තිබෙන බවය.

වහාම කාමරයෙන් පිටට ආ දෙපළ එම බාබකියු උඳුන තල්ලුකරගෙන සිය නිදන කාමරය වෙත රැගෙන ගොස් පසෙක තබා නින්දට ගොස් ඇති බව කියති. වැඩි මොහොතක් යන්නට මත්තෙන් යුවළ සුව නින්දකට වැටී ඇත. නඩයේ සෙසු පිරිස නින්දට ගොස් පිබිදී තිබුණේ තරමක් එළිය වැටුණු පසුවය. මේ ආකාරයට නඩයේ සිටි පිරිසෙන් හය දෙනකුම උදේ 8.00 වනවිට පිබිදී සිට ඇත. තවමත් අවදි වී නැත්තේ නඩයේ සිටි වැඩිමහල් යුවළ වන එම සංචාරය සූදානම් කළ අයගේ මව හා පියා පමණි. ටික වේලාවකින් අවදි වී සාලයට එනු ඇතැයි සිතූ පිරිස එසේ සිටියද පෙරවරු 9.00 වනතුරුත් ඔවුන් පැමිණෙන බවක් දකින්නට ලැබී නැත. මේ නිසා දොරට තට්ටු කරමින් හඬ නගා කතා කරමින් උත්සාහ කළද ඔවුන්ගෙන් ඊට පිළිතුරක් නොවුණි.
එබැවින් ලැඟුම්හල බාරකරුවන් සමඟ එක්ව අගුලු දමා තිබූ දොර විවෘත කොටගෙන තිබෙන අතර යුවළ නිදියහනේ සිහිසුන්ව වැටී සිටිනු දැක ඇත. ඒ පිළිබඳ නිරීක්ෂණයේදී දෙදෙනාම මියගොස් තිබෙන බව හැඳිනගැනීමට හැකි වී තිබිණි. පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට අමතා තොරතුරු දැනුම් දී තිබුණේ ඉන්පසුවය. එහිදී නුවරඑළිය පොලිසියේ නිලධාරීන් පිරිසක් එහි පැමිණ මූලික විමර්ශන පවත්වද්දී. එම කාමරයේ තැනක පෙරදා රාත්‍රියේ සාලයේ භාවිත කළ බාබකියු උඳුන තිබෙනු දැක එය නිරීක්ෂණයට ලක්කර ඇත. නුවරඑළිය මහේස්ත්‍රාත් විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීර දෙක නුවරඑළිය රෝහල වෙත රැගෙන ගොස් ඇත. එහිදී නිගමනය කෙරුණේ උණුසුම සහිත බාබකියු උඳුන සීල් තැබූ නිදන කාමරයේ තබා ගැනීමේදී ඉන් පිටවූ කාබන්මොනොක්සයිඩ් වායුව නිසා ඔක්සිජන් අඩුවීමත් කාබන්මොනොක්සයිඩ් වායුව ආඝ්‍රාණය වීම නිසාත් මරණය සිදුව ඇති බවකි.

නොදැනුවත්කම හේතුවෙන් මෙම මරණ දෙක සිදුව තිබෙන බව පැහැදිලිය. එබැවින් එවැනි උඳුනක් භාවිතයෙන් පසුව නිදන කාමරයක හෝ නිවෙසක් ඇතුළේ තබා ගැනීම අනතුරුදායකය. සංචාරයේ යෙදෙන පිරිස් මේ පිළිබඳව අවබෝධ කරගැනීම අවශ්‍යය. තානායම්, හෝටල් හෝ නවාතැන් ලබාදෙන ඕනෑම තැනක හිමිකරුවන්ට කළමනාකාරීත්වයට මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අවස්ථාවක් පවතී. එය ඔවුන්ගේ යුතුකම හා වගකීමකි. නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ. ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත වැඩිදුරට විමර්ශන ක්‍රියාත්මකය.

සමන්ත විල්තෙර

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05