2022 මාර්තු 06 වන ඉරිදා

අපේ හසලක විරුවා මතකයට නැංවූ යුක්රේනයේ යුද විරුවා

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 767

ලෝක යුද්ධයක පෙරනිමිති පහළ කරමින් යුක්රේන රුසියා ගැටුම මේ වනවිට දරුණු අතට පත්වී තිබේ. රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් පැවසූ ඔහුගේ සාම සාධක බළඇණිය යුක්රේනයට ඇතුළු වූයේ රුසියාවේ ඇති යුද බලය පෙන්වමින් ලක්ෂ දෙකකට ආසන්න සොල්දාදුවන් සමග නවීන පන්නයේ යුද ටැංකි මිසයිල ප්‍රහාර කාලතුවක්කු සන්නද්ධ රථවලිනි. යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය, යුක්රේනයේ හදවත බඳු කියෙව් නගරය, නැගෙනහිර වරාය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ නගරයක් වන ඔඩෙසා ආදී ප්‍රධාන නගර රැසක් දිනෙන් දින අත්පත් කරගනිමින් රුසියානු සතුරු හමුදාව ප්‍රහාර දියත් කළේය. ඒ අතර රුසියානුවන්ගේ අති බිහිසුණු  ප්‍රහාර මධ්‍යයේ සිය රට වෙනුවෙන් සටන් කළ රණවිරුවකු පිළිබඳ අමරණීය මතකයක් ලෝක ඉතිහාසයට එක් වී තිබේ. 

දිගින් දිගටම සිය මාතෘ භූමියට රුසියාව එල්ල කරන ප්‍රහාර ඉවසාගත නොහැකිව 2015දී යුක්රේන රෑ රුජින කිරුළ හිමිකරගත් ඇනස්තාසියා ලෙනා නමැති කාන්තාව ස්වෙච්ඡාවෙන්ම හමුදා නිල ඇඳුමෙන් සැරසී අවි අතට ගෙන රුසියානු හමුදාවට එරෙහිව සටන් කරන බව මේ වනවිට පවසා ඇත. එසේම තවත් යුක්රේන ජාතිකයන් විශාල පිරිසක් ස්වෙච්ඡාවෙන් මෙම අරගලයට සටන් කිරීමට සූදානමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියානු ආක්‍රමණය පිළිබඳව කෝපාවිෂ්ට වූ යුක්රේන අබිරහස් ගුවන් නියමුවෙකු පැරැණි මිග් 29 යානාවක් උපයෝගී කරගනිමින් තනිවම රුසියාවට දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එයින් රුසියානු නවීන සතුරු ගුවන් යානා 6ක් විනාශ වී ඇති බවට පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය කළඹමින් වාර්තා වෙයි. මේ හේතුවෙන් ඔහු කිව් නගරයේ අවතාරය ලෙස නම් දරා සිටී. මෙම අබිරහස් ගුවන් නියමුවා පිළිබඳ සත්‍ය තහවුරු වී නොමැති වුවත් යුක්රේන වැසියෝ බොහෝ දෙනෙක් මෙම වීරත්වය තුළ බලාපොරොත්තුවක් සොයාගැනීමට උත්සාහ දරමින් සිටිති. 

සිය මාතෘ භූමිය මුදාගැනීමේ උත්සාහ රැසක් මැද මේ මොහොතේ යුක්රේනයේ හමුදා සෙබළෙක් ජාතික වීරයකු ලෙස නම් කරනු ලැබ සිටී. ඔහු නමින් ස්කකුන් විටාලි වොලොඩිමිරොවිච් නමැති 31 හැවිරිදි යුක්රේන යුද හමුදා ඉංජිනේරු බළකා සෙබළෙකි. රුසියානු බෙදුම්වාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් වූයේ යුක්රේනයේ කිව් අගනුවරයි. දින ගණනාවක් තිස්සේ එකම බිමක දෙපැත්තකට වෙඩි තියාගන්නා යුද්ධයකි. ක්‍රිමියානු අර්ධද්වීපයේ සිට යුක්රේනය දක්වා ඇති විශාල හෙනිචෙස්ක් පාලම පසු කරමින් මහා බලසම්පන්න යුද ටැංකි මාලාවක් ක්‍රමයෙන් ඉදිරියට ඇදෙයි. කියෙව් ජනතාව ජීවිත බේරාගැනීමට හිස් ලූ ලූ අත දිව යන්නේ දරුවන් පමණක් නොව ගෙදර සුරතල් සතුන් පවා ඔසවාගෙනය. රටේ ජනතාව ඒ තරමට අසරණ වෙද්දී න්‍යෂ්ටික යුද්ධයට ප්‍රථම රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින්ගේ දියණියන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඔහු සයිබීරියාවේ පිහිටි අධිතාක්ෂණික භූගත නගරයකට ගෙන ගොස් රඳවා ඇති බව රුසියානු මහාචාර්යවරයකු රෑප රාමු සහිතව අනාවරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

යුද ටැංකි මාලාව වේගයෙන් ඉදිරියට ඇදෙන දර්ශනය යුක්‍රේන ආරක්ෂක හමුදාවේ නිරීක්ෂණයට හසුවුවත් මෙම යුද ටැංකි මාලාවේ ගමන නැවැත්වීම සඳහා කිරීමට ඉතිරි වී තිබූ එකම පිළියම වූයේ යුද ටැංකි ඉදිරියට ඇදී එන මාර්ගයේ ඉදිරියේ පිහිටා ඇති විශාල පාලම කෙසේ හෝ පුපුරුවා හැරීමයි. 

කෙසේ වෙතත් ඉංජිනේරු ඛණ්ඩය එක්වී වහ වහා හෙනිචෙස්ක් ප්‍රදේශයෙහි පිහිටා තිබූ මෙම විශාල පාලමේ අධි බලැති බෝම්බ ගණනාවක් සවි කිරීමට කටයුතු කළේය. එකිනෙක සම්බන්ධ කරන ලද මෙම බෝම්බ පුපුරුවා හැරීම සාමාන්‍යයෙන් සිදු කරනුයේ දුරස්ථ පාලක උපකරණ භාවිතයෙන් වුවත් රුසියානු යුද ටැංකි ළඟ ළඟ පැමිණෙද්දී එය එසේ කිරීමට නොහැකි විය. පාලම පුපුරවා හරින්නේ කෙසේද යන්නට ක්ෂණික තීරණයක් ගැනීමට ඔවුන්ට සිදුවිය.
මෙම බෝම්බ පුපුරා හැරීම සඳහා මෙහිදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ 31 හැවිරිදි ඉංජිනේරු භට ස්කකුන් විටාලිවොලොඩිමිරොවිච්ය. සගයන්ගේ විරෝධය මැද තම කණ්ඩායම් සගයන්ට පසු බැසීමට ඉඩ සලසා විටාලි හෙනිචෙස්ක් පාලම මත අටවා තිබූ බෝම්බ මාලාව පුපුරුවා හරින්නේ ඒ සමග තමන්ගේ ජීවිතයේ අවසන් හුස්ම පොද වා තලයට මුසුකරමිනි. 

දැවැන්ත පිපිරීමකින් යුක්‍රේනයේ කිව් අගනගරයට ප්‍රහාරයක් දියත් කිරීමට මාන බලමින් ගමන් කළ රුසියානු යුද ටැංකි 80කට සහ ආයුධ සන්නද්ධ රථ 50කට ඔවුන්ගේ ගමන්මග සම්පූර්ණයෙන්ම අහුරා දමමින් ඒ මහා හෙනිචෙස්ක් පාලම බලා සිටියදී දෙකඩ වී ගියේය. රුසියානුවන් පැතූ සිහිනයද නොසිතූ විරෑ ලෙස බොඳ වී ගියේ එක් විරුවකුගේ තැනට සුදුසු නුවණ හේතුවෙනි. විටාලිගේ සිරුරෙන් ගලාගිය උණුසුම් රුහිරු ධාරා ලොවක් කම්පා කරමින් යුක්‍රේන මහපොළොව සිප ගත්තේ සෙබළ විටාලිගේ මෙම වීර ක්‍රියාව මුළු යුක්රේනයටම කම්පිත අභිමානයක් එක් කරමිනි.  

මෙම සෙබළාගේ වීර ක්‍රියාව සම්බන්ධයෙන් යුක්රේන හමුදාවේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක මෙසේ සඳහන් වෙයි. 

“අපේ රටට මෙම දුෂ්කර දිනයේදී, යුක්රේනියානු ජනතාව රුසියානු ආක්‍රමණිකයන් සෑම දිශාවකටම පලවා හරින විට, යුක්රේනයේ සිතියමේ වඩාත්ම දුෂ්කර ස්ථානයක් වූයේ පෙරෙකොප්හි ඉස්ත්මස්ය. එහිදී වෙනම නාවික බලඇණියක් පළමුවරට එක් විය. සතුරා හමුවන්න එන ටැංකි තීරුවේ ඉදිරි ගමන නැවැත්වීම සඳහා, හෙනිචෙස්ක් මාර්ග පාලම පුපුරුවා හැරීමට තීරණය කරන ලදී.

යුක්රේන සන්නද්ධ හමුදාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය පැවසුවේ වෙනම බලඇණියේ ඉංජිනේරුවකු වන විටාලි ස්කකුන් මෙම කාර්යය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බවයි. පාලම මත පුපුරණ ද්‍රව්‍ය ඇටවූ නමුත් ඔහුට පිටත් වීමට වෙලාවක් නොතිබුණි.

ඔහුගේ සගයන්ට අනුව, තමන් සම්බන්ධ වී පාලම පුපුරවා හරින බව විටාලි පැවසීය. වහාම පිපිරීමක් ඇසුණි. අපේ සහෝදරයා මිය ගියේය. ඔහුගේ වීර ක්‍රියාව සතුරාගේ ඉදිරි ගමන සැලකිය යුතු ලෙස මන්දගාමී වූ අතර එමඟින් ඒකකයට නැවත යෙදවීමට සහ ආරක්ෂාව සංවිධානය කිරීමට හැකි විය” එම නිවේදනයේ සඳහන් වෙයි. 

යුක්රේන යුදපිටියේ සිදුවූ බවට වාර්තා වූ මෙම සිදුවීම අපේ රටේ එක් යුද විරුවකු  වූ හසලක ගාමිණීගේ මතකය නැවත අලුත් කරන්නට සමත්විය. 

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හමුවේ සිය ජීවිතය පුදා අලිමංකඩ කඳවුර බේරාගැනීම සඳහා  පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් ඩෝසරයකට බෝම්බ රැගෙන පැන එම ඩෝසර රථයත් පුපුරුවමින් සිය ජීවිතය පූජා කළ හසලක ගාමිණී කුලරත්න විරුවා පිළිබඳ මතකය මෙරට යුද ඉතිහාසයෙන් ඉවත් කළ නොහැකි සදාතනික මතකයකි. 

අලිමංකඩ ඉදිරි ආරක්‍ෂක වළල්ල කඩා දමමින් 1991 වසරේ ජූලි 13 වැනිදා අලිමංකඩ යුද හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි ත්‍රස්තවාදීන්ගේ  පුපුරණ ද්‍රව්‍ය පටවාගත් ඩෝසරයට පැන එය පුපුරුවා හසලක ගාමිණි විරුවා සිය ජීවිතය පූජා කරමින් කඳවුර බේරාගත්තේය. මේ හේතුවෙන් අලිමංකඩ කඳවුරේ රාජකාරියේ නියුතු අනෙකුත් සහෝදර සෙබළුන්ගේ ජීවිත දහස් ගණනක් බේරාගැනීමට හැකි විය. ඔහු රට වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන්, අලිමංකඩදී පිළිරුවක් ඉදිකර ඇති අතර, විනාශ වූ එම යුද ටැංකියද ප්‍රදර්ශනයට  තබා ඇත. 

රුසියා යුක්රේන ගැටුමෙන් සිය රට වෙනුවෙන් දිවිපිදූ යුක්රේනයේ සෙබළ විටාලි අපේ රටට හසලක ගාමිණි කුලරත්න විරුවාගේ මතකය අලුත් කළේය. මෙලෙස අපට වඩාත් සමීප කටුක අත්දැකීම් ගෙනදුන් තිස් වසරක සිවිල් යුද්ධය තුළ මෙරට සිංහල, දෙමළ සමාජය තුළ මුල් බැසගත් යුද විරුවන් රැසක්ද අපේ මතකයේ තවමත් හොඳින් රැඳී සිටිති. යුද්ධය ඇත්තේ මිනිස් හදවත් තුළය. යුක්රේන රුසියා යුද ගිනි නිවී සාමයේ අරුණලු උදාවේවා.

 සසංක චලන ගිම්හාන

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05