2022 මාර්තු 06 වන ඉරිදා

මාස දෙකකදී 457ක් බිලිගත් හදිසි අනතුරු මාරයා

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 282

දිනපතාම සිදුවන රථවාහන අනතුරු හා මරණවල සංඛ්‍යාත්මක වර්ධනයක් දකින්නට ලැබේ. ඒ අනුව නවතම සංඛ්‍යාලේඛන වාර්තා වන්නේ රිය අනතුරු හේතුවෙන් දෛනිකව නව දෙනකු ජීවිතක්ෂයට පත්වන බවය. රියැදුරන්ගේ හා පදිකයන්ගේ නොසැලකිල්ල, මාර්ග නීති පිළිබඳ අනවබෝධය, පවතින නීති පිළි නොපැදීම ආදී හේතුවෙන් නොවිය යුතු අනතුරු රුසක් සිදුවෙමින් පවතී. මේ ආකාරයට වන රිය අනතුරු මරණ හා දේපළ හානිය රටේ ජාතික ආර්ථිකයට බලපාන බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ.

රථවාහන නීති බලගැන්වීම හා මාර්ග අනතුරු අවම කිරීම උදෙසා වගකිවයුතු රාජ්‍ය ආයතන පිහිටුවා ඇතත් ඒවායෙන් සිදුවන මෙහෙයක් දකින්නට නැත. එවැනි තත්ත්වයක් තුළ ඉකුත් සතියේ මාරක අනතුරුවලින් පුද්ගලයෝ 44 ක් ජීවිතක්ෂයට පත්වූහ. එම මරණ ප්‍රමාණයට අදාළව මාරක රිය අනතුරු 43ක් සිදුව තිබෙන බවද පොලිස් වාර්තා පෙන්වා දෙයි. පෙබරවාරි 19 වැනිදා සිට 25 වැනිදා දක්වා ගතවූ සතිය තුළ මෙම මාරක අනතුරු සිදුව තිබුණි. එම සතියක කාලය තුළදී බරපතළ තුවාල වූ රිය අනතුරු 120ක් සුළු තුවාල සහිත රිය අනතුරු 173ක් සිදුව ඇත. මේ අතරට යතුරුපැදි අනතුරු 17ක් ලොරි රථ අනතුරු 8ක් ත්‍රිරෝද රථ අනතුරු 5ක් ඇතුළුව සෙසු වාහන අනතුරුද සිදුව තිබේ.

මෙම අනතුරුවලින් යතුරුපැදිකරුවන් 16 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පදිකයන් 13 දෙනකුද ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවාසනාවන්ත ලෙසය. යතුරුපැදි අනතුරු හේතුවෙන් ඒවායේ ගමන්ගත් පසුපැදි කරුවන් 4 දෙනකු ඉකුත් සතියේ මරණයට පත්ව තිබෙන අතර අනතුරට පත් වාහනවල ගමන්ගත් මගීන් 7 දෙනකුද ජීවිතක්ෂයට පත්ව ඇත. මේ ආකාරයට සිදුවූ මාරක අනතුරු 43කදී මරණයට පත්වූ 44 දෙනා අතරින් 24 දෙනෙක් මගීන්, පසුපැදිකරුවන් හා පදිකයෝ වෙති. ඔවුන් රථවාහන පාලනය හෝ හැසිරවීම සඳහා කිසිදු සබඳතාවයක් නොදැක්වූ හා අනතුරක් පිළිබඳ හාංකවිසියක් හෝ නොදන්නා පිරිසකි.

ගෙවුණු සතියේ වාර්තා වූ මාරක අනතුරු හා මරණ සමග තවත් කනගාටුදායක කතාවක් වන්නේ රිය අනතුරු සිදුකර රථය සමඟ පලාගිය රියදුරන්ගේ ගණන පහක් ලෙස වාර්තා වීමය. මෙම සැකකරුවන් සොයා පොලිස් රථවාහන අංශ විමර්ශන සිදුකරමින් සිටී. ඒ අනුව රථවාහන සමඟ රියැදුරන් අත්අඩංගුවට ගැනීමට නියමිතය. ඉන්පසුව &රිය අනතුරු වාර්තා නොකිරීම* යන චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව නඩු පවරා නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකෙරේ.

ආරම්භ වූ 2022 වර්ෂයේ ජනවාරි 1 වැනිදා සිට පෙබරවාරි 25 වැනිදා තෙක් මාරක රිය අනතුරු 434ක් සිදුව තිබෙන අතර ඉන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 457 දෙනකු බවට වාර්තා වී තිබේ. මේ සමඟ බරපතළ තුවාල වූ රිය අනතුරු 861ක් සිදුව ඇති බවත් යතුරුපැදි 17ක් ලොරි රථ 65ක් ත්‍රිරෝද රථ 58ක් හා වෑන් රථ 28ක් මෙකී මාරක රිය අනතුරුවලට හේතු වී තිබෙන බවත් වාර්තා වේ.

මෙම මාරක අනතුරු හේතුවෙන් යතුරුපැදිකරුවන් 148 දෙනකු මියගොස් තිබෙන අතර පදිකයන් 146 දෙනකු හා මගීන් 56 දෙනකුද මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෙම අනතුරු සම්බන්ධයෙන් විමසීමේදී පෙනී යන බරපතළම කාරණය වන්නේ සිදුවන අනතුරුවලදී වැඩි වශයෙන් ජීවිතක්ෂයට පත්වන්නේ යතුරුපැදිකරුවන් බවය. මීට අමතරව රිය අනතුරු හේතුවෙන් වැඩි වශයෙන් මරණයට පත්වන්නේ පදිකයන් හා මගීන් බවටද අනාවරණය වී තිබේ. මෙම බරපතළ තත්ත්වය අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා රියැදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. ඒ අනුව ඔහු පවසන්නේ වාහනයක් ධාවනය කරන රියැදුරකු හෝ යතුරුපැදියක් පදවන අයකු වේ නම් රථයේ ගමන් ගන්නා මගීන් මෙන්ම මාර්ගයේ යන එන පදිකයන් පිළිබඳවද දැඩි අවධානයක් යොමුකරමින් රථය පදවන ලෙසය.

ජනවාරි පළමුවැනිදා සිට පෙබරවාරි 25 වැනිදා තෙක් මාරක රිය අනතුරු 434ක් සිදුවෙලා පුද්ගලයන් 457ක් මරණයට පත්වෙලා තිබෙනවා. පසුගිය 19 වැනිදා සිට 25 දක්වා සතියක් තුළ මාරක අනතුරු 43කින් පුද්ගලයින් 44ක් මියගොස් තිබෙනවා. මේක බරපතළ තත්ත්වයක්. වාර්තා වූ සෑම අනතුරක්ම රියැදුරන්ගේ නොසැලකිලිමත්කම මත සිදුව තිබෙනවා. ඒ අනුව බැලුවම පැහැදිලියි. එම අනතුරු එකක්වත් සිදු නොවිය යුතු ඒවා කියලා. සමහර රියැදුරන් අවදානම පෙනි පෙනී ඉස්සර කරන්න ගිහින් තියෙනවා. අධික වේගය සහ වැරදි තැන්වල ඉස්සර කිරීමත් ප්‍රධාන හේතුවක් ලෙස වාර්තා වුණා. යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඇතැම් ස්ථානවල මාර්ගය හොඳ වැඩි නිසා නොසැලකිල්ලෙන් ධාවනය කිරීමත් අනතුරුවලට හේතු වී ඇත. රියදුරන්ට අධික වෙහෙස නිදිමත විවේකයක් නොගැනීම, මත්පැන් පානය කිරීම මෙන්ම වේගය පාලනය කර නොගැනීම නිසාද අනතුරු සිදුව ඇත. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ මාර්ගය පසෙක නවතා තිබූ වාහනවල ගැටීම නිසා සිදුවන අනතුරුද බහුල බවය. ඇතැම් රියැදුරන් මාර්ගයෙන් පිටතට වාහනය නොගෙන මහා මාර්ගයේ කොටසක් අයත්වන ලෙස වාහන නතර කර තැබීම සිදුකරයි. මෙය අනතුරකට මුලකි. වෙනත් ඉඩකඩක් නොමැති අවස්ථාවක එසේ නැවැත්වුවද අවම වශයෙන් රථයේ පසුපස නැවතුම් ආලෝක සංඥා දල්වා තිබීම හෝ ලුමිනස් ස්ටිකරයක් සවිකර තැබීම කළයුතුය.

රාත්‍රී කාලයේ රථවාහනවල ඉදිරිපස ආලෝක ලාම්පුවලින් එකක් පමණක් දල්වාගෙන ගමන් කිරීම නිසා අනතුරු රුසක් සිදුව තිබෙන බවත් වාර්තා වේ. මේ ආකාරයට රියැදුරන්ගේ නොසැලකිල්ල හා පදිකයන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මාරක අනතුරු සිදුවන ප්‍රවණතාවක් දකින්නට ඇත. එබැවින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ රියැදුරා යන තැනැත්තා ස්වයං විනයානුකූල හා රථවාහන නීතියට ගරුකරන සහ පදිකයන්ට ගරුකරන පුද්ගලයකු විය යුතු බවය.

කොවිඩ් වසංගතය හමුවේ රට පැවැති අවස්ථාවේ රිය අනතුරු යම් පමණකට අඩුව පැවතියද සංචරණ සීමා ලිහිල්වීමත් සමඟ රිය අනතුරුවල වැඩිවීමක් දකින්නට ලැබී ඇත. කෙසේ වෙතත් දිනෙන් දින රිය අනතුරු හා මරණවල වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති අතර යතුරුපැදිකරුවන් හා පදිකයන් ඊට ගොදුරුවීමේ වැඩි බවක් දකින්නට ලැබේ. මේ නිසා සිදුවන මාර්ග අනතුරු අවම කිරීමට ස්ථීර විසඳුමක් ලබාදීමට බලධාරීන් හා ආයතන අපොහොසත් වී ඇති බව කිවයුතුය.

 සමන්ත විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05