කාන්තා දිනය නිමිත්තෙනි...
තක්ෂිලා කෝරළගේ කලක පටන් හීනයක් දුටු යුවතියකි. වැඩිහිටියන්ට ප්‍රතිකාර ලබාදෙන රෝහලක් ගොඩනැංවීම ඒ හීනය විය. මේ වෙද්දී එම හීනය යථාර්ථයක් වෙමින් රෝහල ඉදිකිරීමට සියල්ල සූදානම් වෙමින් මූලික අඩිතාලම දැමීමට ඇය සමත්ව සිටී.
''ජීවිතේ මම හීන තිබුණු කෙනෙක් නෙමෙයි. මම හීන දකින්න අයිතියක් නැති කෙනෙක් කියලයි මම හිතුවේ. ඒ නිසා මගේ කුඩා කාලේ ඉඳන්ම ලොකු හීන කිසිවක් මගේ හිතේ තිබිලා නැහැ. නමුත් ජීවිතේ එක තැනකදි මම හීනයක් දැක්කා. ඒ මම වෙනුවෙන් නෙමෙයි. මම ඒ හීනය මගේ අම්මා තාත්තා වෙනුවෙන් සහ ලංකාවේ අසරණ අම්මලා තාත්තලා බොහොමයක් දෙනා වෙනුවෙන් මම දැක්කා. අද මගේ ජීවිතේ බොහෝ දේවල් මට ලැබිලා තියෙනවා. බොහෝ ජයග්‍රහණ මම ලබලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් මගේ හීනවල තිබුණු දෙයක් නෙමෙයි.'' යැයි තක්ෂිලා කෝරළගේ දේශයට පැවසීය.
2016 අවුරුද්ද තක්ෂිලාගේ ජීවිතේ අවසානාවන්තම වසර විය. තම ආදරණීය පියාගේ වියෝවෙන් තක්ෂිලාගේ හිත කඩා වැටුණි. ඒත් සමඟම ඒ ගැහැනු හිතට අලුත් බලාපොරොත්තුවක් එකතු විය. එය විශාල කඩා වැටීමක් සමඟ හිතට එක්වුණු බලාපොරොත්තුවක් විය. ඇයට තම පියාගේ මරණය වෙනුවෙන් එක රුපියලක් වියදම් කිරීමට වත්කමක් නොවීය. තම රුකියාවේ පළමු වැටුප ලැබීමටත් පෙර තක්ෂිලා ඇතුළු දරුවන් සිව්දෙනකු සහ තම බිරිඳ තනිකර තක්ෂිලාගේ පියා මෙලොව හැර ගියේය. ඒ නිසාම තමන් ''යුතුකම් ඉටු කරන්නට බැරි දුවෙක්'' යැයි ඇගේ හිත නිතරම රිදුම් දෙන්නට විය. මේ ලෝකේ සිටින (අවාසනාවන්තම දියණිය) තමන් යැයි තක්ෂිලා තමන්ටම චෝදනා කර ගත්තාය. නමුත් තක්ෂිලාගේ පියා ජීවිතය හැර ගියේ තම එකම දියණියට මේ ලෝකයේ සුවහසක් අම්මාවරුන්ගේ පියවරුන්ගේ වගකීම භාර කරමිනි. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී රෝහල් ඉදිකිරීමට සිතට ලැබුණු ශක්තියයි.
''මහෞෂධ රෝහල සහ සුවතා මධ්‍යස්ථානය'' (Mahausadha hospital and wellness center) යනුවෙන් තක්ෂිලාගේ හිතේ ඇඳුණු රෝහල අද වෙද්දී යථාර්ථයක් වෙමින් පවතී. මෙය එක්වරම තක්ෂිලාගේ හිතේ ඇඳුණු හීනයක නාමයක් නොවේ. අවුරුදු ගණනාවක් හිතේ තිබුණකි. කවුරුවත්ම තමන්ගේ හීනය විශ්වාස කරන්නේ නැතිවේවි යැයි බයෙන් ඇය කාටවත්ම මේ බව කීවේ නැත. තමන් වැනි පොඩි මිනිසකු රෝහලක් ඉදිකිරීම හීනයක්ම යැයි තක්ෂිලාට සිතුණි. නමුත් ඇය ඒ හීනය සැබෑකර ගැනීමට අප්‍රමාණ මහන්සි වූවාය.
''අදටත් මම කියන්නෙ තක්ෂිලා වගේ පොඩි කොල්ලෙක්ට මේක තනියම කරන්න බැහැ. තව බොහෝ අය එකතුවෙලා කරන්න පුළුවන් ව්‍යාපෘතියක්. මේක බිලියන ගණනක ව්‍යාපෘතියක්. මේකට අදාළ අය අදාළ වෙලාවෙදි කොහේදී හෝ මට මුණගැහේවි කියල මම විශ්වාස කරනවා. මගේ තාත්තා වෙනුවෙන් මගේ යුතුකම ඉටුකරන්න මම ඒක කොහොම හරි කරනවා යැයි මම විශ්වාස කරනවා. 2022 ජනවාරි 04 වැනිදා AIA ආයතනයේ පැවැති රැස්වීමේදී ආයතනයේ මගේ ගුරුවරයා වුණු සුරංජිත් ගොඩගම මහතා මගේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මුල්ම මුදල් චෙක්පත මට ලබා දුන්නා. එදා මට ඇඬුණා. මගේ තාත්තා වෙනුවෙන් මේ අසරණ අම්මලා තාත්තලා වෙනුවෙන් දකින හීනය යථාර්ථයක් වෙන්නයි යන්නෙ. මම ජීවත්වෙලා ඉන්නව නම් ඒක අනිවාර්යෙන්ම වෙන බව මට විශ්වාසයි.'' යැයි තක්ෂිලා කෝරළගේ දේශයට පැවසීය.
මේ වෙද්දී විශාල මුදලක් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් තක්ෂිලාට ආධාර මුදල් වශයෙන් ලැබී ඇත. තක්ෂිලා මෙම ව්‍යාපෘතිය අරඹනවා යැයි සිතූ දවසේ සිට ඇය තම වැටුපෙන් කොටසක් හැම මාසයකම ඒ වෙනුවෙන් වෙන් කළාය. ඉතිරි කළාය. අද වෙද්දී එය ඉතා විශාල මුදලකි.
තක්ෂිලාගේ පියා වකුගඩු රෝගියෙකි. වයස විස්සක කාලයේදීත් ඔහු දියවැඩියා රෝගයෙන් අධික ලෙස පීඩා වින්ඳේය. වකුගඩු දෙකටම ඒ වෙද්දී දරුණු ලෙස හානි වී තිබුණි. තක්ෂිලාගේ පියා තම දෙනෙත පියාගත්තේ කෑගල්ල මහ රෝහලේ ඇඳක් මතය. තම පියාට අවශ්‍ය මූලික පරීක්ෂණ පෞද්ගලික රෝහලකදී සිදුකර අවශ්‍ය ප්‍රතිකාර මුල් කාලයේදීම ලබාදීමට තක්ෂිලාට වත්කමක් නොවීය. තම දරුවන්ට තමාගේ රෝගයේ අමාරුකම්, ශාරීරිකව තමන් විඳින වේදනාව ඔහු කීවේ නැත. ඔහු තම දරුවන්ව ජීවත් කරවන්නට අසීමිතව දුක් විඳි පියෙකි. කුසට ආහාරයක් නොගෙන ඔහු තම ව්‍යාපාරය වෙනුවෙන් මහන්සි වී අව්වට පිච්චෙමින් තම පවුල නඩත්තු කළේය. ඇතැම් දිනවලදී ඔහු දවසකට ආහාර ගත්තේ එක් වේලක් පමණි. තම දරුවන්ව ජීවත් කරවන්නට ඔහු එසේ අසීමිත ලෙස දුක් වින්ඳේය. එවන් පියකු මෙලොව හැර යද්දී තාත්තා වෙනුවෙන් කළ හැකි කිසිවක් ඇයට නොතිබිණි.
තක්ෂිලාගේ මවද ඉපදුණු දා සිට දුක් විඳි කාන්තාවකි. කුඩා කාලයේදීම තක්ෂිලාගේ මවගේ පියා නැතිව ඇයද ජීවිතේ කටුක අත්දැකීම් බොහොමයක් ලද කාන්තාවකි. අවුරුදු දහ නවයේදී විවාහ වුණු ඇයට තක්ෂිලා සහ පිරිමි දරුවන් තිදෙනෙකි. ඒ නිසාම තක්ෂිලා දැනුම් තේරුම් ඇති දිනයේ පටන් ඇයගේ මවත් පියාත් දරුවන් වෙනුවෙන් දුක් වින්ඳෝය. ඔවුන් සැපට සිටි දිනයක් ඒ වෙද්දී ඇය දැක තිබුණේ නැත. ඒ නිසාම වාහනයක් ගන්නට, ගෙයක් හදන්නට හීනයක් නොතිබුණු තක්ෂිලා තම මවත් පියාත් ආදරයෙන් සැපවත් ජීවිතයක් ගත කරනු දැකීමට පෙරුම් පිරුවාය.
තාත්තාගේ මරණයත් සමඟ තාත්තා වෙනුවෙන් ඇය පින්දහම් කළාය. තම සෑම වැටුපකින්ම ඇය යම් කොටසක් ඒ වෙනුවෙන් වෙන් කළාය. අදටත් ඇය අසරණ දරුවන් දෙදෙනකු රැකබලා ගන්නීය. ආබාධිත දරුවකු ජීවිත කාලයටම බලාගැනීමේ බර කරට ගෙන සිටින්නීය. හැම මාසයකම අසරණ අම්මා තාත්තා දෙපළකට අක්ෂි සැත්කමක් වෙනුවෙන් ඇය මුදල් පරිත්‍යාග කරන්නීය. ඒ සියල්ල ඇය කරන්නේ ඉතාම සතුටිනි. ඒ හැමදේම ඇය තම ආදරණීය පියා වෙනුවෙන් ඉටුකරන යුතුකම්ය. මේ වෙද්දී රෝහල වෙනුවෙන් ඇය තම වැටුපෙන් මුදල් වෙන්කර ඉතිරි මුදලින් තම අවශ්‍යතාවය වෙනුවෙන් වියදම් කරන්නීය. ඇගේ සිතට මෙම අරමුණ පැමිණි දා සිට ලබාගත් හැම වැටුපකින්ම 10%ක් ඇය ඒ වෙනුවෙන් වෙන්කළ අතර මේ වසරේ සිට එය 50%ක් වී තිබේ.
තක්ෂිලා කෝරළගේ කෑගල්ල ගලිගමුව අඹන්පිටිය ප්‍රදේශයේ යුවතියකි. වැඩිමහල් සහෝදරයන් දෙදෙනාත්, බාල සහෝදරයාත් සමඟ ගෙවුණු තක්ෂිලාගේ ළමා කාලය එතරම් සුන්දර නොවීය. ඇය අගහිඟකම් බොහොමයක් මැද තම ළමා කාලය ගෙව්වාය. අනුන්ගෙන් ඉල්ලාගත් සපත්තු, බෑග් රැගෙන ඇය පාසල් ගියාය. තක්ෂිලාගේ පියා බොහෝ මුදල් හිමි ව්‍යාපාරිකයෙකි. බදුල්ල ප්‍රදේශයේ එවකට ඔහු නමගිය ව්‍යාපාරිකයෙක්ව සිටියේය. ඒ හැමදේම අහිමි වී ගිය ඔවුහු තක්ෂිලා උපන් අවුරුද්දේ කෑගල්ලේ තක්ෂිලාගේ මවගේ ගමේ පදිංචියට ආහ. දැනුම් තේරුම් ඇති දවසේ සිට ''තාත්තාට ඒ හැමදේම අහිමි වුණේ මම නිසාද?'' යන සිතුවිල්ල තක්ෂිලාගේ හිතේ ඇතිවුණි. ඒ සමඟ ''මගේ තාත්තාට නැතිවෙච්චි හැමදේම මම දෙන්න ඕනෙ'' යන සිතුවිල්ල තක්ෂිලාට විය.
ඇය රන්වල මහනාග මහ විදුහලෙන් අධ්‍යාපනය ලැබුවාය. එය ගමේ පුංචි පාසලකි. ඇය කුඩා කාලයේදී හොඳින් ඉගෙනගත් ශිෂ්‍යාවක් නොවූවාය. ඇය බොහෝ දුර්වල ශිෂ්‍යාවකි. අට වසර පන්තියේදී වරක් ඇය පන්තියේ අන්තිමයා නොවී බේරුණේ එක් ළමයකුට පමණි. ගණිතය විෂයට ඇය ලබාගත්තේ ලකුණු විසිදෙකක් පමණි. නමුත් නවය වසරේදී ඇයට ගණිතය විෂය ඉගැන්වූ රෝමන් චන්ද්‍ර ගුරුතුමා ඇය ගණිත නායිකාව බවට පත් කළේය. කිසිම අයුරින් ඉගෙන ගැනීමට නොහැකිව සිටි තක්ෂිලාව පාසලේ ශිෂ්‍ය නායිකාවක් දක්වා ඔහු ගෙන ගියේය. එය තක්ෂිලාගේ ජීවිතේ හැරවුම විය. එදා තම ගුරුතුමා ගත් තීරණයට ඇතැම් ගුරුවරුන් විරුද්ධ වූ නමුත් වසරකට පසුව ඇය ගණිතය විෂයට ලකුණු අනූහයක් ලබා ගත්තාය. උසස් පෙළට වාණිජ විෂය තෝරාගනිද්දී විදුහල්පතිවරයා ගණිතය අංශය තෝරාගන්නා ලෙස තක්ෂිලාට අවවාද කළේය. නමුත් ඇය වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වූවාය. එතැන් සිට ඇය වාණිජ විෂයට සම්බන්ධ බොහෝ විභාගවලට මුහුණ දී ඒවා සමත් වූවාය.
ඇය කෑගල්ල සිට රැකියාවකට මුලින්ම කොළඹට ආවේ පෞද්ගලික ආයතනයක සේවය කිරීමටය. ඒ කැස්බෑව පොල්ගස්ඕවිට ප්‍රදේශයේය. ඇය රුපියල් දහසය දහසක වැටුපකට එම ආයතනයේ සේවය කළාය. වසර තුනක් සේවය කළද එය ආයතනයෙන් ඇගේ වැටුප වැඩි වූයේ රුපියල් දහඅට දහසකට පමණි. කොළඹ බෝඩිම් වී ආහාරපානවලට වියදම් කිරීමෙන් පසුව තම නිවැසියන් වෙනුවෙන් වියදම් කිරීමට තක්ෂිලාට මුදලක් ඉතිරි නොවීය.
''ඒ කාලේ මම හරියට කෑවේ නැහැ. මගේ කාර්යාලයේ හිටපු කසුනි අක්කගේ අම්මයි තාත්තයි හරිම හොඳයි. ඒ අය මට ඒ අයගේ දරුවකුට වගේ සලකලා මට දවල්ට කෑම එකක් කසුනි අක්කා අතේ එව්වා. ඒ කෑම එක කන්න මම දවල් එකොළහේ ඉඳලා බලාගෙන හිටියා. සමහරදාට මම ඒ බත් එක විතරයි දවසටම කෑවේ. මට බඩගින්න හොඳට තේරෙනවා. ඒ ජීවිතේ හරිම කටුකයි. පොඩි කාලේ ඉඳන් ගොඩක් දුක් විඳලා මගේ අම්මා තාත්තා වෙනුවෙන් කරන්නේ මොනවද කියලයි මගේ ඔළුවේ තිබුණේ. තාත්තාගේ අසනීපයත් එක්ක ඒ රුකියාවේ මට තවදුරටත් ඉන්න බැහැ කියලා මට තේරුණා. ඒ නිසාම මම ඒ රස්සාවෙන් අයින්වෙලා ගෙදර ආවා. ගෙදර ඉඳගෙන මම රස්සාවල් බොහෝමයකට අයැදුම්පත් දැම්මා. එක දවසක් සම්මුඛ පරීක්ෂණ පහකට සහභාගී වෙන්න මම කෑගල්ල ඉඳන් ආයෙමත් කොළඹ ආවා.'' යැයි තක්ෂිලා කෝරලගේ දේශයට වැඩිදුරටත් පැවසීය.
එදා තක්ෂිලාට කොළඹ එන්නට අතේ ලොකු මුදලක් තිබුණේ නැත. බෑගයේ තිබුණු වතුර බෝතලයෙන් තක්ෂිලා කුසගිනි නිවාගත්තාය. සම්මුඛ පරීක්ෂණ හතරකට සහභාගි වුණු තක්ෂිලා හෙම්බත්ව තම බලාපොරොත්තු අතහැර ආයෙමත් කෑගල්ලට යන්නට හිත හදාගත්තාය. AIA ආයතනයේ තිබුණු සම්මුඛ පරීක්ෂණයට සහභාගි නොවීමට ඇය තීරණයක් ගෙන තිබිණි. ඒ තරමටම ඇයට ජීවිතය ගැන කලකිරීමක් තිබුණි.
නොහිතුව වෙලාවක බස් රථයේදී තක්ෂිලාට ඇමතුමක් පැමිණියේය. ''අපි ඔයා එනතුරු බලාගෙන ඉන්නවා.'' AIA ආයතනයේත් දුන් ඇමතුම එයයි. ඒ වෙනුවෙන් සුරංජිත් මහතාට විනෝල් මහතාට සහ ප්‍රියන්ති මහත්මියට ඇය අනේක වාරයක් ස්තූති කරන්නීය. ඇය AIA රක්ෂණ ආයතනයේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූයේ සවස තුනයි තිහට පමණය. විනෝල් සහ ප්‍රියන්‍ති මහත්ම මහත්මීන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීමේ සම්මුඛ පරීක්ෂණය අවසන් වී AIA රක්ෂණ ආයතනයෙන් තක්ෂිලා පිටව යද්දී සවස හයයි තිහ පසු වී තිබුණි. ඇය මාස දෙකක් වැටුප් රහිතව සේවය කිරීමට පවා හිත හදාගත්තාය. එතැන් සිට AIA ආයතනයේ සේවයට බැඳුණු තක්ෂිලාගේ සෑම හීනයක්ම හැබෑවූයේ මෙම ආයතනය නිසාමය.
රුකියාව ලැබූ මුල් කාලයේදී තක්ෂිලා මහරගම බෝඩිං කාමරයක් නව නවාතැන කරගත්තාය. ඒ සඳහා මාසයකට රුපියල් එක්දාස් පන්සීයක් ගෙව්වාය. දවසකට එක වේලක් කෑවේ නැති තරම්ය. සති අන්තයේ ඇය ගෙදර ගියේ නැත. කෑගල්ලට යන්නට අතේ මුදල් තිබුණේ නැත. ඇය පිරිටන් පෙත්තක් බී සති අන්තයේ වැඩි කාලයක් නිදාගත්තාය. ඒ කුසගින්න ඉවසා ගන්නට බැරිවය.
නමුත් අද වෙද්දී තම ආයතනය හරහා ඇය බොහෝ අභියෝග ජයගෙන හමාරය.
''අපිට හීනයක් නැතිව දුක් වින්දාට වැඩක් නැහැ. අපේ ජීවිතේ හීනයක් තිබෙන්නත් ඕනේ. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්නත් ඕනේ. බුදු වෙන්න නිවන් දකින්නෙත් ස්වර්ගස්ත වෙන්නෙත් මේ හිතින්. මේ ලෝකේ හැමෝටම තියෙන්නේ එකම ශක්තියයි. ඒ ශක්තියෙන් ගන්න ප්‍රයෝජනවලින් ඔවුන් යන තැන තීරණය වෙනවා.
අද වෙද්දී තක්ෂිලාගේ හිතේ ඇඳුණු ''මහෞෂධ රෝහල සහ සුවතා මධ්‍යස්ථානය'' උමන්දාව භූමි ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් වෙමින් පවතී. ඒ වෙද්දී සමන්ත භද්‍ර හිමියන්ගේ සංකල්පයට අනුව උමන්දාවේ ඉදිකිරීමට සූදානම් වූ රෝහල තක්ෂිලා මැදිහත්ව එම භූමි ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත.
තක්ෂිලාගේ ජීවිතේ කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් මේ වෙද්දී ඇයට රටවල් විස්සක පමණ සංචාරය කිරීමට අවස්ථාව ලැබී තිබේ. ඇයට තම ජීවිතේ තමන්ටම කියා විදෙස් ගමන් බලපත්‍රයක හිමිකාරියක් වේ යැයි සිතුණේ නැත. ඇය ජාත්‍යන්තර සම්මාන කිහිපකටම හිමිකම් දැරුවාය. AIA ආයතනය ඇයගේ විදෙස් ගමන් වෙනුවෙන් වසරකට මුදලක් වියදම් කරන්නේය.
''මට ලොකු බලාපොරොත්තු නෑ. තිබෙන එකම බලාපොරොත්තුව මෙම රෝහල ඉක්මනින්ම නිමකර මේ රටේ අහිංසක අම්මලා තාත්තලාට තෑගි කරන එකයි. ඒක මට තනියම කරන්න බැහැ. ඒ වෙනුවෙන් මාත් එක්ක බොහෝ දෙනෙක් අත්වැල් බැඳ ගනීවි. අද මගේ අම්මා එයාගේ දුව ගැන ආඩම්බර වෙනවා ඇති. සතුටු වෙනවා ඇති. ඒ සතුට මගේ තාත්තා කොහේ හරි ඉඳගෙන බලාගෙන ඇති. මට අවුරුදු තිස් පහෙන් මම මේ රැකියාවෙන් විශ්‍රාම අරගෙන පූර්ණකාලීනව මහෞෂධ රෝහල සහ සුවතා මධ්‍යස්ථානයේම නතර වේවි. ඊට පෙර මම කොහොම හරි මේ හීනය හැබෑම කරගන්නවා.''
ඒ ඇගේ පැතුමයි. හිතේ හයිය ඇති ඇගේ හීනය හැබෑවක්ම වේවා!
තක්ෂිලාගේ දුරකථන අංක මෙසේය-
0711326143/ 0704581494
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ