2022 මාර්තු 06 වන ඉරිදා

සෙවණගල උක් ගොවීන්ගේ රුපියල් දෙකේ සටන රත්වෙයි

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 171

ගොවියාට ජීවත් වීම සඳහා නිසි ආර්ථික වැඩපිළිවෙළක් නොලැබීම, ගොවි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොමැති වීම හා ඒ සඳහා වන උපකරණ හා අනෙකුත් අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදි අධික මුදලක් වැයකිරීමට ගොවියාට සිදුවිම යන කාරණා හමුවේ ගොවියා ගොවිතැනින් ඉවත්වෙමින් සිටිති. පොහොර ගැටලුව හේතුවෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව ඊට එරෙහිව රටපුරා විරෝධතා පවත්වමින් සිටින මොහොතක සෙවණගල උක් ගොවීහුද උක් කිලෝ එකකට රුපියල් දෙකක මිල වැඩිකිරීමක් ඉල්ලා උක් අස්වනු නෙළීමේ කටයුතු වලින් මේ දිනවල ඉවත්ව සිටිති. මේ පිළිබඳව සොයා බැලීමට උක් ගොවින් සොයා පසුගිය දින අපි සෙවණගලට ගියෙමු.

සෙවණගල ගොවිසෙත ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩී.ඩී. ජයතිලක මහතා මෙලෙස පැවසීය.

සෙවණගල සීනි ආයතනය යටතේ හෙක්ටයාර 4000ක පමණ භූමියක ගොවි පවුල් 3500ක් උක් වගාව සිදුකර තිබෙනවා. එදා පටන්ම මේ උක් වගාව සිදුකරන ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට ලක්වෙමින් සීනි ආයතනයේ පරිපාලකයන්ගේ පීඩාවට ලක්වෙනවා. දැන් මේ 2022 වසරට අදාළව උක් අස්වනු නෙළීම සිදුකරන කාලය. නමුත් අපි මෙවර දැඩි තින්දුවක් ගත්තා. අද සියලුම දේවල් ගණන් ගිහින් තියෙනවා. හැබැයි උක් ගොවියට උක් කිලෝ එකකට ගෙවන ගාන මේ වෙනකම් වැඩි කළේ නෑ. අපි මෙවර සීනි ආයතනයෙන් ඉල්ලීමක් කළා අපිට උක් කිලෝ එකක් සඳහා රුපියල් දෙකක් මිල වැඩි කිරිමක් කරන්න කියලා. හැබැයි මේ වෙනකම් සීනි ආයතනයේ සභාපති වරයා හෝ රජයේ පාර්ශවයෙන් අපේ ඉල්ලීමට කන් දුන්නේ නෑ. රුපියල් දෙකක මිල වැඩි වීමක් ඉල්ලපු අපිට සීනි සමාගම දුන්නේ ශත පනහක වැඩිවීමක් විතරයි. මේ වෙනකොට උක් අස්වනු නෙලීමේ ගාස්තුව වැඩි වෙලා තියෙනවා. වගාවේ වල් මර්දනය සඳහා වෙනදට වඩා රුපියල් 27000ක වැඩි වීමක් සිදුවෙලා තියෙනවා. ඉතින් මේ විදියට හැමදේකම මිල වැඩිවෙලා තියෙද්දීත් මේ බලධාරීන් අපි ඉල්ලන මේ සාධාරණ විසදුමට කන් දෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි තීරණය කළේ අපිට උක් කිලෝ එකක් සඳහා රුපියල් 02ක මිල වැඩි කිරීමක් සිදුකරන තෙක් උක් අස්වනු නෙළන්නේ නෑ කියලා. දැනට සෙවණගල උක් ගොවීන්ගෙන් සියයට අනූපහක්ම උක් අස්වනු නෙළීමෙන් වැළකිලා ඉන්නේ. සෙවණගල ගොවියෝ සීනි ආයතනය පසුගිය දෙවසර තුළදී උක් මෙට්‍රික් ටොන් 546122කට වැඩි ප්‍රමාණයක් ඇඹරීම සඳහා ලබාදී තිබෙනවා. ඉන් නිෂ්පාදනය කෙරුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 33910කට වැඩි ප්‍රමාණයක්. ඉතින් එහෙම දුක් විඳලා සීනි නිෂ්පාදනයට උක් ගහ ආයතනයට ලබා දෙනකොට ආයතනය මොකද්ද කරන්නේ ගොවියගේම රීරී මාංශ හූරගෙන කාලා සීනි මිලත් වැඩි කරලා පාඩුවේ ඉන්නවා. ගොවියා දිහා හැරිලවත් බලන්නේ නෑ.

සෙවණගල උක් ගොවි බළමණ්ඩලයේ ලේකම් අයි.එච්.පියදාස මහතා

උක් ගොවියෙක්ට එදාට වඩා අද වනවිට උක් ටොන් එකක් නිෂ්පාදනය කිරීම සඳහා දරන්න වෙලා තියෙන පිරිවැය දෙතුන් ගුණයකින් ඉහළ ගිහින් තියෙනවා. උක් ටොන් එකක් නෙළීමේ ගාස්තුවත් මේ වනවිට රුපියල් 200කින් ඉහළ ගිහින් තියෙනවා. ඒ එකක් විතරයි වැඩි වෙච්ච. මේ විදියට හැමදේම වැඩිවෙලා තියෙනවා. අද උක් වගාකරුවන් උක් නිෂ්පාදනය සඳහා වැඩි වෙච්ච මුදල ගණන් හදලා බැලුවම උක් වගාකිරීම තිත්ත වෙනවා. මොකද අඩුම උක් වගාව සඳහා වැයවෙච්ච මුදලවත් අපිට සීනි ආයතනයෙන් ලැබෙන්නේ නෑ. පාඩුපිට පාඩු ලබමින් තමයි උක් ගොවියා උක් ගස් ටික සීනි ආයතනයට ලබා දෙන්නේ. අපි මේ සාධාරණ ඉල්ලීමක් බලධාරීන්ගෙන් ඉල්ලන්නේ. ආණ්ඩු පෙරළන්න අපිට ඕනේ නෑ. අපිට මේ ආයතනයට කවුරු පත්වෙලා ආවත් කමක් නෑ. අපි කියන්නේ ගොවියාට සාධාරණයක් ඉටු කරන්න කියලා විතරයි. මොකද අපිට අක්කර 02යි දීලා තියෙන්නේ. අපේ දරු පවුල් අපිට නඩත්තු කරන්න වෙන්නේ මේ අක්කර දෙකෙන් ලැබෙන ආදායමෙන්. 

එක්සත් පුබුදු ගොවි සංවිධානයේ ලේකම් එම්.කේ. පේමසීලී මහත්මිය:

ඇත්තටම ගොවීන් වෙච්ච අපි මේ වෙනකොට දැඩි පීඩනයකට ලක් වෙලයි ඉන්නේ. ණයතුරුස් වෙලා වගාව සිදුකළාට වැඩක් නෑ. අස්වැන්න දෙන්න වෙලා තියෙන්නේ තුට්ටු දෙකට. සෙවණගල සීනි ආයතනයට වත්මන් සභාපතිවරයා පත්ව ආව මුල් දවසේ කිව්වේ ගොවි ජනතාව නැගිට්ටවන්න මම කටයුතු කරනවා. ඒ නිසා වෙනත් වගාවන් කරලා තියෙන ගොවීන් කරුණාකරලා උක් වගාව යළි ආරම්භ කරන්න කියලයි. ඒ අනුව අපිත් ගොවි නායකයෝ හැටියට ගොවින් දැනුවත් කරලා උක් වගාව නතර කරලා හිටිය ගොවීන්වත් එකතු කරගෙන යළි උක් වගාව පටන් ගත්තා. නමුත් මේ සභාපතිවරයාගෙනුත් ගොවියාට සෙතක් ඉටු වුණේ නෑ. අපි ඉල්ලන්නේ උක් කිලෝවක් සඳහා රුපියල් 02ක් වැඩි කරන්න කියලයි. 

උක් වගාවේ නිරත ගොවි මහතෙකු වන කමලසිරි ජයවර්ධන මහතා:

මම දැනට අවුරුදු 35ක ඉඳන් උක් වගා කිරීමේ නිරත වෙනවා. මේ වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක උක් වගාව කරගෙන අපිට ජීවත් වීම ඉතා අසීරුවෙලා තියෙනවා. මිරිස් කිලෝ එක රුපියල් 600කින් වැඩිවෙලා. හාල් කිලෝ එකක් රුපියල් 80කට වැඩි ගාණකින් වැඩි වෙලා. අද උක් ටොන් එකක් නෙළීමේ ගාස්තුව රුපියල් 200න් වැඩි වෙලා. ඉඩම්වලට වල් නාශක යෙදීමේ ගාස්තුව රුපියල් 27කින් විතර වැඩි වෙලා තියෙනවා. මේ විදියට හැමදේම මිල ඉහළ ගිහින් තියෙද්දී උක් ගොවියාගේ උක් මිලෙහි කිසිදු වෙනසක් සිදුවෙලා නෑ. අද දුක් විඳලා උක්වගාව සිදුකරලා ඒක සීනි ආයතනයට දීලා අපිට අත්දෙක පිහිදාගෙන බලාගෙන ඉන්න වෙලා තියෙනවා. 

මේ සම්බන්ධයෙන් අප ලංකා සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවසීය.

ගොවීන් ඉල්ලන විදියේ වැඩි කිරීමක් නම් කරන්න දැනට හැකියාවක් නෑ. මේ වසරේදී අපි උක් ටොන් එකක් සඳහා රුපියල් 500ක් වැඩි කරලා තියෙනවා. ඉදිරියේදී තවත් වැඩිකිරීම කෙරෙහි අවධානය යොමු කරමින් තියෙනවා. හැබැයි මම මේ ටිකත් කියන්න ඕනේ. ඔය සමහර ගොවි සංවිධාන කියන විදියට උක් වගාවට මහ අමාරුකම් නෑ. මොකද එකසැරයක් උක් ගහක් හිටෙව්වට පස්සේ එකම ගහෙන් අවුරුදු 05ක් උක් අස්වනු නෙළනවා. කෙසෙල් වගාවක් කරන කෙනා කෙසෙල් කැණ කපා ගත්තම ඒ ගහ ඉවරයි. හැබැයි උක් වගාව එහෙම නෙමෙයි. සමහර ගොවීන් එකම උක් ගහෙන් අවුරුදු හයක් හතක් උක් අස්වැන්න නෙළනවා. එහෙම තියෙද්දි තමයි ඔය විවිධ ඉල්ලීම් කරන්නේ. මොකද ඔය උක්වගා කරන ගොවින් කවුරුවත් එක දිගට උක්වාගව විතරක් කරගෙන ඉන්න අය නොවෙයි. සියයට අසූවක්ම ගොවීන් වෙනත් විවිධ රැකියා කරන ගමන් තමයි උක් වගාව කරන්නේ. ඒ නිසා අපි උක් ගොවීන්ට මතක් කරනවා කන්තලේ සීනි සමාගම පරණ යකඩවලට විකුණන්න වුණා වගේ සෙවණගලට කරන්න එපා කියලා ඉල්ලනවා. අපි මේ සියල්ල නිසි පරිදි කළමනාකරණය කරලා වැසී යන්න තිබුණු ආයතන දෙකක් තමයි මේ ගොඩ නගාගෙන යන්නේ. ගිය වර්ෂයේ විතරක් අපි සෙවණගල ගොවින්ට ගෙවලා තියෙනවා රුපියල් ලක්ෂ දහ අටදාහක්. මේ සෙවණගල ඉන්නේ ගොවින් 3500යි.මේ ගාන මේ ගොවින්ගෙන් බෙදලා බලන්න එක ගොවියෙකුට කීයක් ලැබිලාද කියලා.

♦ සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර