ඇත්තටම ආයෙත් මට කල්පනා කරන්න ලැබුණේ රෝමියෝ එක්ක ගෙදර ඇවිල්ලත් පැයක් දෙකක් ගත වුණාට පස්සේ... එයා මට කතා කළේ හුඟක් සැරෙන්. ඒ මොකද එයා පාලම ළඟට ඇවිත් මට හුඟක් දොස් කිව්වේ නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරුවාත් ඉදිරියේ. රෝමියෝට ඒ තරමින්ම තරහා ගිහින් තිබුණා. එයා මට කිව්වා... මහ රෑ ගෙදරින් එළියට ඇවිත් පාළු පාලම් උඩ පිරිමියෙක් එක්ක හරි හරියට කතා කර කර ඉන්න ලැජ්ජා වෙන්න කියලා. තවත් මොන මොනවද කිය කියයි එයා මාව ගෙදර එක්ක ආවේ. මම දන්නේ නෑ අර ඉංජිනේරු අහංකාරයට ඊට පස්සේ මොකද වුණේ කියන්න...
අනේ මන්ද ඔහොම හදලා නම් උඹලට ඔය කෙල්ල හරියට හදාගන්න හම්බ වෙන්නේ නෑ.
තක්කිත් ඒ විදියටයි කතා කළේ... හ්ම්... දැන් ඒ ඔකාකොම ඉවරයි. මේ ගත වෙන්නේ මහ රෑ මැදියම මුළු පරිසරයම පාළුයි වගේ මිනර්වා කොටේජ් එකත් කිසිම සද්දයක් නෑ... මීයට පිම්බා වගේ...
ඒත් මට නින්ද යන්නේ නෑ. හරියටම කියනවා නම් මගෙ ඇස්වලට නෙවෙයි නින්දක් නැත්තේ මගේ හිතට. හිත මොකක්දෝ හැඟීමකින් ඔද්දල් වුණු ගතියකුයි තියෙන්නේ... තාමත් දැනෙනවා අර අහංකාර උද්දච්චයාගේ සිගරට් දුම්වලින් වහගත්තු සුවඳ... එයා... එයා හරිම කඩවසම්... මොකක්? මම මොනවද මේ හිතන්නේ...
නැගෙනහිර පැත්තට වෙන්න තියෙන පාන්දර අහස රෝසම රෝස පාටයි. මම හිතන්නේ එළිය වැටෙන්න තියෙන්නේ තව බොහොම ටික වෙලාවක්. අහස පුරාම තියෙන ඒ අපූරු පාළු ගතියට මගේ හිත ඇදිලා යනවා. අනේ මට හැකියි නම්... ඒ පේන රෝසම රෝස පාට අහසේ ඒ පාවෙන කුඩා වලාකුළකට නැගලා මගේ පාඩුවේ මගේ පුංචි පුංචි ලෝකෙට වෙලා කාටවත් හොයාගන්න බැරිවෙන්න හැංගිලා ඉන්න.
අදාරතීට තියෙන්නේ ලස්සන හිනාවක්. ඒ හිනාව කාගෙන්ද ලැබුණේ... මම දැකපු රෝමියෝ ළඟවත් මිනර්ලිනී ළඟවත් ඒ හිනාව නෑ...
මට මතකයි ලුසේන්... ඒ කියන්නේ විනීත තරුණයා දවසකදී එහෙම කියනවා. මම හිනාවුණා එදා එයාට. මම කිව්වා ඒක එන්න ඇත්තේ තක්කිගෙන් කියලා. එතකොට එයා කිව්වා... නෑ තක්කිගේ හිනාවත් නෙවෙයි ඒක කියලා. ඔව්. මට මතකයි මං මේ දැනුත් ඔච්චරමට, සවුත්තුවට වගේ ඉංජිනේරු අහංකාරයට හිනාවෙනකොටත් එයා මා දිහා බලා හිටපු හැටි.
ඇත්තටම මම එයාට බැන්නට එයා ළඟත් හොඳ ගති නෑ කියන්න බෑ. මම එක්ක මහ අහංකාරකමකින් වස ආඩම්බරකමකින් හිටියට එයා ඒ තරමින්ම අහංකාර කෙනෙක් නෙවෙයි. නැතිනම් මට මැණිකේ කියාවියැ.
තවමත් අහස රෝස පාටයි. ඒ වුණත් ඈතින් ඇති ගෙදරකින් කුකුලෙක් අඬලනවා ඇහෙනවා. කෝච්චියක් වේගයෙන් ගියා. සමහරවිට ඒ පාන්දර හතර හමාරට යන සීඝ්‍රගාමී එක. දැන් ටික ටික ඇහෙනවා කළපුවට යාබද බිම් තීරය දිගේ නැංගුරම් ලා තිබුණු බෝට්ටු එක එක ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම මගේ හිතත් එහෙමයි... ටික ටික ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒත් ඒ... මොනවා සඳහාද?
අදාරතී...?
මෙන්න තක්කි කතා කරනවා... දෙවියනේ එයා ඊයේ කිව්වා.... අද ඉඳන් ආයිත් අවන්හල ටිකක් ඇරගමු කියලා. ඒ මොකද බෝට්ටු වැඩපොළේ එතකොට ස්ටේෂමේ වැඩකරන මිනිහකුට තේ කහට ඩිංගක්වත් බොන්න තැනක් නෑ කියලා. එතකොට මම පහුගිය රූ පුරාම නිදයලා නෑ... පාන්දරවත් ටිකක් නිදාගන්න නෑ.
අදාරතී?
මට නිදිමතයි ආච්චි...
නිදිමතයි තමයි රෑ තිස්සේ පාලම් උඩ ඩෙඟා නටන කොට. එහෙමයි කියලා බෑ ඒ වුණාට. නැගිටලා වරෙන් පුතේ මට තනියෙන් අමාරුයි ටිකක්. අපි තේ බොන්න දෙන්න ආප්ප ටිකකුයි, පැණි ආප්ප ටිකකුයි විතරක් හදාගමු.
මල් සුවඳක් ආවා බොහොම ජයට අවන්හලේ පළවෙනි ලෑල්ල අරිනකොටම. තක්කි කිව්වේ ඒ රැක්අත්තන මල් සුවඳ කියලා. ඔව්. ඒක ඇත්ත. අවන්හලේ එහා පැත්තේ බිත්තියට යාබදව ඒ ගස් ඔක්කොම මල් පුරවගෙන. මම හිතන්නේ මම හරියට අවදි වුණේ ඒ මල් සුවඳින්.
මේ මොනවද මේ?
වණ්ඩු අලුවා...
ඒක හැදුවේ කොයි වෙලාවෙද?
ඊයේ මහ රාත්‍රියේ... මේං මේ ටිකත් අර සෝකේස් එක ඇරලා තියපං අදාරතී... කවුරු හරි පාන්දම ආවොත් තේ දෙන්න හැකි.
අපි මේ කඩේ කරන එක නවත්තමු ආච්චි.
ඒ ඇයි?
මට ලැජ්ජයි වගේ අප්පා...
මොකක්?
ඔව්.
ඒක යස කතාවක්නේ ලැජ්ජ වෙන්න ඕන හොරකං කරන්නයි. ඔය එක එක ජාතියේ කැත වැඩ කරන්නයි. ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න දුක් මහන්සි වෙන එක ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙවෙයි.
එහෙමනම් ආච්චි තනියෙන් කරගෙන යන්න.
අදාරතී? මොකෝ මේ එකපාරටම උඹට වුණේ... මටත් වඩා උඹනේ කඩේ කරමු කියන එක හරි හරියට කිව්වේ.
අනේ මන්ද ආච්චි. අපි කොයිතරම් දුප්පත්ද නේද?
දුප්පත්?
හ්ම්...
නෑ... උඹ දුප්පත් නෑ. අපි තරම්...
ඔන්න තක්කි අමුතු කතාවක් කිව්වා. මං හිතන්නේ එතෙක් කම්මැලි කමෙන් හිටපු මම බොහොම වේගෙන් හැරුණා තක්කි දිහාට...
මොකක්?
හ්ම්...
ඒ මොකක්ද ඒ කතාව?
මොකක්ද?
ආච්චි දැන් කිව්වේ?
මොකක්ද කිව්වේ.
මම දුප්පත් නෑ ආච්චිලා තරම් කියලා. ඒ කියන්නේ ආච්චිලා එක කට්ටියක්. මම තනියම කියන එකද?
ආප්ප ටික වට්ටියක් උඩින් ගැන ගැන තියපු වෙලාවේ හිතට ආපු කතාවක් එකපාරටම එළියට දාලා ආප්ප ටික ගැනලා ඉවර වුණාට පස්සේ නැවත පියවි සිහියට ඇවිත් වගේ මම අහපු ප්‍රශ්න ටික ඉදිරියේ ආච්චි නිරුත්තර වුණා වගේ එකක් වුණා.
ආච්චි?
හ්ම්...
කෝ... උත්තර. මම දැන් ප්‍රශ්නයක් ඇහුවා.
මොකක්ද?
හයියෝ... මොනවද ආච්චි. ආච්චිලා දුප්පත් මම විතරක් දුප්පත් නෑ කියලා කිව්වේ ඇයි?
ඇයි බං... කණ්ණාඩියක් ඉදිරියට ගිහින් මූණ ටිකක් බලාපංකෝ. අපි වගේද උඹ මොනතරම් ලස්සනද. හරියට දේව දූතිකාවක් වගේ. එහෙව් අය කොහොමද දුප්පත් වෙන්නේ. මේ හම රුලි වැටිලා හොට බිම ඇනුනු නාකි ගෑනු තරම්.
එතකොට ඒ හින්දද ආච්චි ඒ කතාව කිව්වේ?
ඔව්... ඒක තමයි මම කිව්වේ.
එහෙම නම් මේ කතාවත් මෙතැනින්ම නවත්තමුකෝ...
ඇයි තව මොන කතාවද නැවැත්තුවේ?
නෑ එව්වා ඕන නෑ...
මම ආච්චිට එහෙම කියලා හැරුණා අවන්හල ඉදිරියේ තියෙන ලොකු මැයි ගහෙන් වැටුණු කොළ රොඩු අතුගාන්න හිතලා ඉදල හොයාගෙන එන්න.... දෙවියනේ මෙච්චර උදේ මෙයා?
නිල් ඇස් කණ්ණාඩිකාර ඉංජිනේරුවාගේ කාර් එක ඇවිත් නැවැත්තුවා අවන්හල ඉදිරියේ. එයාගේ කාර් එකේ වීදුරුව පාත් වෙනකොට එයා හිටියෙත් අපේ කඩේ දිහා බලාගෙන. කඩේ කිව්වොත් වැරදියි. එයා මා දිහායි බලාගෙන හිටියේ. මගෙන් ඇස් කොහේටවත් උනේ නෑ... මම උත්සාහ ගත්තා... එයාගේ ඇස් මඟ අරින්නත්. ඒත්... එහෙම කරන්න බැරිවුණා. එයා කාර් එකේ ඉඳලම මගේ දිහාට මොනවද දික් කළා.
අදාරතී.... ආ ගන්න.