2022 මාර්තු 06 වන ඉරිදා

රට හරි මඟට ගන්න පක්ෂ එකොළහේ යෝජනා මෙන්න

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 61

යම් අයෙක් හරි මග කුමක්දැයි සොයන්නේ නම්, ඔහු මේ වනවිට ගමන අරඹා නැතැයි අපට සිතිය හැකිය. නොඑසේ නම් ඔහුට මේ වනවිටත් මග වැරුදී ඇතුවාට සැක නැත. ලාංකීය දේශපාලනය උණුසුම් කරමින් තුනෙන් දෙකක බලයක් ලද පොදුජන පෙරමුණ ආණ්ඩුවේ එතෙක් මෙතෙක් සිදුවූ දැවැන්තම ඉරිතැලීම ගෙවුණු සතියේදී සිදුවිය. එය සිදුවූයේ පසුගිය බදාදා ''මුළු රටම හරි මගට'' නමින් දසවැදෑරුම් යෝජනාවලියක් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක කණ්ඩායම ඉදිරිපත් කිරීම සමගයි.
''මුළු රටම හරි මගට'' ප්‍රකාශනය එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් ශාලාවේදී සිදුවිය. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක කණ්ඩායම විසින් සකස්කරන ලද මෙම යෝජනාවලියේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ක‍්‍රියාත්මක කළයුතු යෝජනා ඇතුළත්ව තිබුණි. හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන විවිධ පක්ෂවලට අයටත් මන්ත‍්‍රීවරුන් 30 දෙනෙක් පමණ මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙම යෝජනාවලියේ අන්තර්ගතය පිළිබඳ එකිනෙක විමසා බැලීමට අපි උත්සාහ කළෙමු. ඒ අනුව මූලික කරුණු දහයක් ඔස්සේ ඔවුන් සිය යෝජනා ඉදිරිපත් කර තිබුණි. විදේශ විනිමය ආදායම් සහ සංචිත වර්ධනය කරගැනීම සඳහා පළමු යෝජනාව ඉදිරිපත් වී තිබුණි. එහිදී ප්‍රධාන කරුණු නමයක් යටතේ විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව යෝජනා ඉදිරිපත් විය. කෙටිකාලීන විසඳුම් ලෙස ස්වෛරී බැඳුම්කර හැර සෙසු විදේශ ණය නැවත ව්‍යුහගතගත කිරීම, බහුපාර්ශ්වික ආයතන සමඟ දියුණු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් ආරම්භ කිරීම ඇතුළු යෝජනා රැසක් එහි අන්තර් ගතවිය. ඊට අමතරව විදෙස් රුකියා වෙළඳපොළ, දේශීය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමුඛ කරගත් සංචාරක කර්මාන්තය ඇතුළු කරුණු රැසක් පිළිබඳ යෝජනා මෙහි දක්නට ලැබුණි. වර්තමාන විදුලි අර්බුදයට පවා පිළියම් පළමු යෝජනාවලියේ අන්තර්ගත විය.

දෙවැනුව යෝජනා ඉදිරිපත් කොට තිබුණේ රටට විශාල වශයෙන් මූල්‍ය හානි ඇතිකරන මහා පරිමාණ වංචා සම්බන්ධවය. ඒ අනුව ''බදු වංචා, රාජ්‍ය ආදායම් එකතු කිරීමේදී සිදුවන වංචා සහ මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා මෙන්ම ප්‍රතිඅපනයන ජාවාරම් මගින් සිදු කෙරෙන වංචා වැළැක්වීම සඳහා සහ මහජනයා අතර ප්‍රබල ලෙස සංවාදයට ලක්වී ඇති ගැටලු පිළිබඳව නිසි පියවර ගැනීම මගින් මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා යෝජනා'' යන ශීර්ෂය යටතේ යෝජනා නමයක් ඉදිරිපත්ව තිබුණි. සීනි බදු වංචාව ඇතුළු විවිධ ජාවාරම් වළක්වා ගන්නා ආකාරය, ආනයන බදු වැඩිකිරීම සේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම සම්බන්ධවත් යෝජනා ඒ අතර විය.

තෙවනුව යෝජනා ඉදිරිපත් වී තිබුණේ දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීම, රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ගොවීන්ගේ ධීවර කාර්මිකයන්ගේ සහ සුළු අපනයන බෝග නිෂ්පාදකයන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම සම්බන්ධවය. තිරිඟු පිටි පරිභෝජනය අධෛර්යමත් කිරීම ඒවාට ලබා දී ඇති බදු සහන අහෝසි කිරීම කුඩා පරිමාණ සහල් මෝල් හිමියන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම, දේශීය කිරි ලීටරයක් සඳහා අවම මිලක් පැනවීම ආදී වූ යෝජනා රැසක් එහි ඇතුළත්ව තිබුණි. එම යෝජනාව පෙළගස්වා තිබුණේ මූලික කොටස් හතක් යටතේය.

දේශීය කර්මාන්ත පද්ධතිය ශක්තිමත් කිරීමට සඳහා යෝජනා අන්තර්ගත වී තිබුණේ සිව්වැනි යෝජනාවලියේය. රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දේශීය කර්මාන්තකරුවන්ට ප්‍රමුඛතාව ලබාදීම ඇතුළු යෝජනා රුසක් එහි අන්තර්ගත විය. දේශීය කර්මාන්තකරුවන් ලබාගෙන ඇති ණය පොලිය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවද යෝජනාවක් ඒ අතර වූයේය. මේ අතර පස්වැනි යෝජනාවලිය ඉදිරිපත් වී තිබුණේ ක්ෂ්‍රද්‍ර මූල්‍ය වහල්භාවයේ ගිලී සිටින සුළු නිෂ්පාදකයා සහ විශේෂයෙන්ම කාන්තාවන් ගලවා ගැනීම සඳහාය. ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය තුළ උපරිම පොලී අනුපාතයක් නියම කිරීම, රාජ්‍ය මැදිහත් වීමෙන් ණය ලබාදීම ආදී යෝජනා රුසක් ඊටද අන්තර්ගත විය.

ජාතියක් ලෙස පාරිභෝජන සංස්කෘතිය වෙනස් කරගැනීම මගින් ශක්තිමත් ලෙස අර්බුදයට මුහුණදීම සඳහා මහජනතාව පෙළඹවීම සඳහා සය වෙනුවට යෝජනා ඉදිරිපත් විය. දේශීය ආහාර සඳහා ජනතාව පෙළඹවීම සහ ඒවා ප්‍රචලිත කිරීමේ උපාය උපාය මාර්ගයන් මෙම යෝජනා අතර දක්නට ලැබුණි. ප්‍රධාන වශයෙන්ම මහජනතාවගේ මානසිකත්වය අර්බුදයට මුහුණදීම සඳහා සකස් කිරීම ඉලක්ක කරගනිමින්  එම යෝජනා සකස්ව තිබුණි.

හත්වැනි යෝජනාවල ඉදිරිපත් වී තිබුණේ මේ දිනවල බරපතළ ලෙස සාකච්ඡාවට ගැනෙන කරුණක් සම්බන්ධවය. ''තරුණ පරපුර රැකියා නියුක්තිකයන් බවට පත්කරලීමේ අනිවාර්ය වගකීම රජය සතුය. ඒ අනුව රට අතහැර යාමට උත්සාහ කරන සහ අපේක්ෂා භංගත්වයට පත්ව සිටින තරුණ පරපුර විශේෂයෙන්ම රැකියා වියුක්ති සහ අර්ධ රුකියා නියුක්ත පිරිස්වලට වෘත්තිය තාක්ෂණික අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථා පුළුල් කිරීම සහ එම ප්‍රවාහය තුළ විශ්වවිද්‍යාල මට්ටම දක්වා අධ්‍යාපනය ලැබීමට සහ විධිමත් ලෙස විදේශීය රැකියා වෙළෙඳපොළට ඇතුළුවීමයි.'' යන අදහස ඉදිරිපත් කරමින් ඒ සඳහා දොරටු විවෘත කරගැනීම වෙවෙන් මෙහි යෝජනා හතක් අන්තර්ගත කොට තිබුණි.

පවතින අර්බුදයට මුහුණදීමේදී සමාජ සාධාරණත්වය තහවුරු කිරීම සහ අඩු ආදායම්ලාභීන් සහ සමාජ ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව ආරක්ෂා කිරීම සඳහා අටවැනි යෝජනාවලිය සකස් විය. මෙහිදී යෝජනා දහයක් දැකගත හැකි වූ අතර විවිධ සමාජ කණ්ඩායම් සඳහා සහන ලබාදීමට යෝජනා ඉදිරිපත් වී තිබුණි. නවවෙනුව ඉන්දු පැසිෆික් කලාපයේ දිර්ඝකාලීන භූ දේශපාලන අර්බුද කළමනාකරණය කිරීම, ජාතික ආරක්ෂාව නව මානයකින් තහවුරු කිරීම, රාජ්‍යය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ජාතිය සතු මහා සම්පත්වලින් රාජ්‍යය ශක්තිමත් කිරීම සහ පොදු මහජනතාවට උපරීම ප්‍රතිලාභ ලබාදීම.'' යන මැයෙන් යෝජනා අටක් ඉදිරිපත් විය. විශේෂයෙන්ම මහා මහබලවතුන්ගේ ගොදුරක් නොවී නැගී සිටීම සම්බන්ධව යෝජනා ඒ අතර දක්නට ලැබුණි.

''මුළු රටම හරි මගට'' නමින් එළිදුටු දසවැදෑරුම් යෝජනාවලියේ අවසාන යෝජනාව ඉදිරිපත් වී තිබුණේ රාජ්‍ය දූෂණයට හේතුවන මූලයන් පිළිබඳ අවධානය යොමු කරමින් දූෂණය වළක්වා ගැනීමට පියවර ගැනීම සම්බන්ධවය. යෝජනාවලියේ දහවැනි කොටස විශේෂ ප්‍රකාශයක් ලෙස හඳුන්වා මූලික යෝජනා දෙකක් ඔස්සේ අනු කොටස්ද සහිතව පැහැදිලි කොට තිබුණි. පටවාගත් ආයතන තුළ දූෂණය වළක්වා ගැනීමේ සඳහා විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සීමා මූල්‍ය කළමනාකරණය සම්බන්ධවද මෙහි යෝජනා අන්තර්ගත විය. ඊට අමතරව රාජ්‍ය බදු ආදායම ඉහළ නංවා ගැනීම පිළිබඳ යෝජනාද මීට ඇතුළත් වී තිබුණි.

පිටු 38 කින් යුතු මෙම සමස්ත යෝජනාවලිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළඋරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂවල නායකත්වයේ එකඟතාව පළ වී තිබුණි. මෙහිදී උත්සවය සභාව ඇමතූ පක්ෂ නායකයන් ආණ්ඩුව සම්බන්ධ බරපතළ විවේචන ඉදිරිපත් කරනු දැකගත හැකිවිය.

ඒ අනුව ආණ්ඩුවේ පක්‍ෂ 11කට වෙනම වේදිකාවකට ගොඩ වී රටේ සහ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නට සිදුවූයේ රටේ ප්‍රශ්න කතා කිරීමට ආණ්ඩුව තුළ වේදිකාවක් නැති නිසා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ආණ්ඩුවේම පක්‍ෂ 11ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 දෙනකු වෙනම වේදිකාවකට ගොඩවීම ආණ්ඩුවට හොඳ දෙයක් නොවන බව පැවසුවේය. එසේම එලෙස එක වේදිකාවට ගොඩවීමට සිදුවූයේ ආණ්ඩුවේම වරදින් බව ඔහු මෙහිදී පැහැදිලි කළේය.

එහිදී ආණ්ඩුව ඉලක්ක කරගත් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වූයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කතාවේදීය. රට මුහුණ දී ඇති අර්බුදයෙන් මිදීමට නම් විශේෂඥ සහාය ලබාගත යුතු බවත් උද්ධච්ඡ හැසිරීම් පසෙක තැබිය යුතු බවත් ඔහු පැවසීය. මුදල් අමාත්‍යවරයා ඉලක්ක කරගෙන දැඩි වාග් ප්‍රහාරයක් දියත් කළ හෙතෙම මොළ 7ක් ඇති බැවින් කිසිවකුගේ උපදෙස් තැකීමකට ලක් නොකරමින් කටයුතු කිරීමට ඇතැමුන්ට ඉඩ නොදිය හැකි බවද සඳහන් කළේය.

''මහ බැංකුවේ අධිපතිතුමා කියනවා මාස 6ක් තිස්සේ මම ලිපි 9ක් ඇරියා මේ තත්ත්වය හමුවේ ගතයුතු පියවර නිර්දේශ කරලා කියලා. නමුත් ඒ කිසිදු ලිපියකට ප්‍රතිචාරයක් නෑ කියලා මහ බැංකුවේ අධිපතිතුමා කියනවා. හම්බෙන්න වෙලාවක් නෑ මුදල් ඇමැතිතුමාව කියලා. මෙච්චර විදේශ විනිමය අර්බුදයකින් රට පීඩා විඳින වෙලාවක මහ බැංකු අධිපතිව හම්බවෙන්න මුදල් ඇමැතිට වෙලාව නැත්තන් එක්කෝ මේක කෙලවා ගන්න ඉඩදී බලා සිටිනවා.''

මේ අතර වර්තමානයේ වැඩි අවධානයක් දිනාගෙන සිටින අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳව සිය විවේචන ඉදිරිපත් කළේය. ගම්මන්පිල මහතා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සම්බන්ධව සහ ආනයන සීමා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අදහස් දැක්වූයේය. මේ අතර රට මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් ජනතාව කැරලි ගැසීමට පවා ඉඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.

සෙසු පක්ෂ නායකයෝද මෙහිදී සභාව ඇමතූහ. කෙසේ හෝ ඉකුත් බදාදා පැවැති ''මුළු රටම හරි මඟට” ගෙනයාම සඳහා වූ යෝජනා ඇතුළත් (ජාතික ප්‍රකාශනය) සම්බන්ධ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය. ආණ්ඩුවේ පොදුජන පෙරමුණ පාර්ශ්වයද වෙනම ඒ පිළිබඳව සාකච්ඡා කොට තිබුණි. විපක්ෂයෙන්ද විවිධ මත පළ විය. සමස්තයක් ලෙස ගත් කළ නුදුරේදීම සිදුවන ආර්ථික දේශපාලන විපර්යාසයක් පිළිබඳ මෙම සිදුවීම් පෙළ හරහා ඉඟි පළවෙමින් තිබුණි.

 චමිඳු නිසල් ද සිල්වා