2022 මාර්තු 06 වන ඉරිදා

විදුලිය කප්පාදුවට පාර කැපුණු හැටි

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 94

අදට සති දෙකක් පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශ පැය 2 සිට පැය 07 දක්වා විදුලිය කැපීමකට මුහුණ පාමින් තිබේ. තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ප්‍රමාණවත් තෙල් ලබා නොදීමෙන් තෙල් අර්බුදය හටගත්තේ යැයි චෝදනා එල්ල විය. එමෙන්ම තෙල් සංස්ථාව පිරවුම්හල්වලට තෙල් බෙදාහැරීම සීමා කිරීම හේතුවෙන් පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ වාහන පෝලිම් තිබෙනු දැකිය හැකි විය. විදුලිය නිසි ලෙස නොසැපයීමත් තෙල් බෙදාහැරීම ක්‍රමවත්ව සිදු නොවීමත් ජනයා අර්ථකථනය කළේ රටේ පවතින්නේ අරාජක තත්ත්වයක් හැටියටය. විදුලිය හා තෙල් අර්බුදය විසඳිය නොහැකි මට්ටමකට ඔඩුදුවා ඇත්තේ වසංගත තත්ත්වය හෝ ඩොලර් අර්බුදයක් නිසා නොව එක්තරා කඩාකප්පල්කාරී කල්ලියකට වූ ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ වුවමනාව නිසා යැයි ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක් චෝදනා නැගුවේය. කෘත්‍රිමව නිර්මාණය කළ බවට චෝදනා එල්ල වන මෙම අර්බුදයේ අවසාන ප්‍රතිඵලය වූයේ බලශක්ති අමාත්‍ය ධූරය සහ විදුලිබල අමාත්‍ය ධූරය වෙනස් වීමය.

මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය ඉකුත් සතියේ කියා සිටියේ විදුලි කැපීම මාස තුනක් දක්වා දිගුවනු ඇති බවය. එහෙත් මීට දින කිහිපයකට පෙර මුදල් අමාත්‍යවරයා කියා සිටියේ මාර්තු 05 වැනිදායින් විදුලි කැපීම නවතිනු ඇති බවය. ප්‍රබලම විදුලි කප්පාදුවක් මීට පෙර සිදු වූයේ 1996 වර්ෂයේය. පැය 12ක කාලයක් දක්වා විදුලිය කැපීමට සිදුව තිබුණේ මාස හයක් පුරා අඛණ්ඩව පැවැති නියඟය හේතුවෙනි. ඉකුත් ආණ්ඩු කාලය තුළ හදිසි බිඳවැටීම් සිදුවීම සහ නොරොච්චෝලේ බලාගාරය අක්‍රීය වීම නිසා පැය හතරක කාලයක් විදුලිය කැපීමට සිදු විය. ඊට අමතරව නියං තත්ත්වයක් පවතින පෙබරවාරි, මාර්තු මාසවල විදුලිය යම් පමණකට සීමා කෙරිණි. විදුලිබල මණ්ඩලය මීට පෙර අවස්ථාවල ජලාශවල ජල මට්ටම 50%කට පැමිණි පසු ගොවිතැන් සහ පානීය අවශ්‍යතා සලකා ඉන්ධන මගින් විදුලිය ජනනය කිරීමට යොමු විය. ඒ අනුව නැප්තා, ඩීසල්, ගෑස් ආදිය විදුලිය නිෂ්පාදනයට භාවිත කෙරිණි. නිෂ්පාදනය ප්‍රමාණවත්ව සිදු කරගත නොහැකි නම් පෞද්ගලික අංශයෙන් හදිසි මිල දී ගැනීම්වලට යොමු විය. හදිසි මිලදී ගැනීම් කිරීමේ දී ඇතැම්විට එක් විදුලි ඒකකයකට රුපියල් හැටක් දක්වා වැය වේ. කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවල විදුලි කැපීම් සිදු වී තිබුණේ ජලාශවල ජල මට්ටමත් පහත බැස, ඉන්ධන ද ප්‍රමාණවත් නොවී හදිසි මිලදී ගැනීම් ද ප්‍රමාණවත් නොවූ අවස්ථාවලය. එහෙත් මෙවර තත්ත්වය ඊට වඩා වෙනස් ස්වරෑපයක් ගෙන තිබේ.

පළමු වරට ලංකාවට විදුලිය පිළිබඳ අත්දැකීම ලැබී ඇත්තේ 1882 වර්ෂයේ කොළඹ පැවැති ප්‍රදර්ශනයකදීය. නමුත් මුල්වරට මෙරට ඩීසල් භාවිතයෙන් විදුලිය උත්පාදනය කර පහනක් දල්වා තිබුණේ 1890 වර්ෂයේ කොළඹ බ්‍රිස්ටල් හෝටලයේදීය. 1885 වර්ෂයේ කොළඹ කොටුවේ බ්‍රිස්ටල් හෝටලය ඉදිරිපිට පළමු වාණිජමය විදුලි බලාගාරයක් පිහිටුවනු ලැබූ අතර එමගින් අවට වීථිවලට විදුලිය සපයා තිබිණි. 1905 වර්ෂයේ ගෑස්පහ හන්දියේ කොළඹ ගෑස් සමාගම විසින් කොටුව බලාගාරය පිහිටුවා කෙටි කලකින් කොල්ලුපිටිය දක්වා විදුලිය සැපයීම ව්‍යාප්ත කළේය. රජය පළමු ජලවිදුලි බලාගාරය ස්ථාපනය කරන ලද්දේ 1912 වර්ෂයේය. ඉන් වසර කිහිපයකට පසු, එනම් 1927 වර්ෂයේ රජයේ විදුලි දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබීය. 1929 වනවිට හර්බර්ට් ස්ටැන්ලි බලාගාරයෙන් නිෂ්පාදනය කෙරෙන මෙගාවොට් 03ක විදුලි ධාරිතාව මගින් නගර 16කට විදුලිය බෙදාහැරිණි. 

1924 සිට වැඩ අරඹා තිබුණු ලක්ෂපාන බලාගාරයේ වැඩ අවසන් වූයේ 1950 වර්ෂයේය. 1969 වර්ෂයේ පාර්ලිමේන්තු පනතකින් ලංකා විදුලිබල මණ්ඩලය පිහිටුවනු ලැබූ අතර රටට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කිරීම, සැපයීම හා බෙදාහැරීම එයට පවරනු ලැබිණි. ඒ අනුව විදුලිබල මණ්ඩලය යටතේ ජල විදුලි බලාගාර ගණනාවක් පිහිටුවනු ලැබූ අතර ජල විදුලිය නිෂ්පාදනය ඉතා ලාභදායී විය. 2020 වන විට මෙරට විදුලි පහසුකමෙන් 100%ක් සම්පූර්ණ කිරීමට විදුලිබල මණ්ඩලය සමත් විය. මේ වන විට මෙරටට අවශ්‍ය විදුලිය මෙගාවොට් 3000කට ආසන්නය.

කෙටි කලකින්ම විදුලි අවශ්‍යතාව ඉහළ ගිය අතර වර්ෂය පුරා එකම ප්‍රමාණයකින් ජලය නොලැබෙන බැවින් ජල විදුලි බලාගාර ප්‍රමාණවත් නොවීය. ජලාශ ප්‍රධාන වශයෙන් ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය ජලය සැපයීමේ ඉලක්කය ඇතිව තනා තිබූ බැවින් ජල මට්ටම 50% දක්වා පැමිණි පසු ජල විදුලි නිෂ්පාදනය සීමා කෙරිණි. එසේ සීමා නොකළේ නම් ගොවිතැන සහ පානීය අවශ්‍යතාවට ජල හිඟයක් ඇතිවීමට තිබිණි.

ඒ අනුව ජල විදුලි නිෂ්පාදනයට විකල්පයක් ලෙස තාප විදුලි බලාගාර ඉදිකිරීමේ අවශ්‍යතාව ඇති විය. විකල්ප පළමු ඩීසල් බලාගාරය ඉදිකරනු ලබුවේ 1964 වර්ෂයේය. එතැන් පටන් වරින් වර බලාගාර ගණනාවක්ම ඉදි කරනු ලැබිණි. පළමුවට ඉදි කළ කැලණිතිස්ස බලාගාරය මගින් අද වනවිට මෙගාවොට් 300ක් විදුලිය ජනනය කරනු ලබයි. සපුගස්කන්ද දැවි තෙල් බලාගාරයෙන් මෙගාවොට් 115ක් නිෂ්පාදනය කරන අතර ඒ හැර වරින් වර ස්ථාපනය කළ තුල්හිරිය, මතුගම, කොළොන්නාව ආදී කුඩා ඩීසල් හෝ දැවි තෙල් බලාගාර කිහිපයෙන් මෙගාවොට් 50 බැගින් නිෂ්පාදනය කරනු ලබයි. බාජ් බලාගාරයෙන් නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය මෙගාවොට් 60කි. අවසාන සහ විශාලතම ඩීසල් බලාගාරය ලෙස 2012 වසරේ ඉදි කළ යුගදනවි බලාගාරය සලකනු ලබයි. එමගින් මෙගාවොට් 300ක් නිෂ්පාදනය කරයි. මේ සියලු බලාගාර සඳහා ඉන්ධන සැපයීම සිදු කළ යුත්තේ ඛණිජ තෙල් සංස්ථාව මගිනි.

ඒ අනුව බාජ් බලාගාරයට සැපයිය යුතු ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 300කි. යුගදනවි බලාගාරයට මෙට්‍රික් ටොන් 1200ක්ද කැලණිතිස්ස බලාගාරයට ඩීසල් මෙට්‍රික් ටොන් 1000ක් සහ නැප්තා මෙට්‍රික් ටොන් 500ක් සැපයිය යුතු වේ. සෙසු කුඩා බලාගාරවලට ද සංස්ථාව මගින් ඉන්ධන සපයනු ලබයි. මෙම ඉන්ධන බලාගාරවලට අමතරව ගල් අඟුරුවලින් ක්‍රියාත්මක නොරොච්චෝලේ බලාගාරයක් ස්ථාපනය කර තිබෙන අතර එමගින් නිෂ්පාදනය කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 900කි. එහෙත් දෙසැම්බර් 03 වැනිදා නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක් නිෂ්පාදනය කරන ඒකකයක් නැවතී ගිය අතර වර්තමානයේ උද්ගතව තිබෙන විදුලි අර්බුදයේ ආරම්භය එයයි.

ඉකුත් දෙසැම්බර් මස වන විට සියලු ජලාශවල ජල ධාරිතාව සම්පූර්ණ මට්ටමට පැමිණ තිබුණි. ජලාශයක් සම්පූර්ණයෙන් පිරුණු පසු මාස හතක කාලයක් ජල විදුලිය කිසිදු ගැටලුවකින් තොරව නිෂ්පාදනය කළ හැකිය. ඒ අනුව ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් ජලයෙන් නිපදවිණි. නොරොච්චෝලේ ඒකකයක් අක්‍රිය වීම නිසා නොරොච්චෝලෙන් ලැබුණු ධාරිතාව මෙගාවොට් 600කට වැටී තිබුණද දෙසැම්බර් මාසයේ විදුලි අර්බුදයක් මතු නොවුණේ නොරොච්චෝලෙන් අහිමි වූ මෙගාවොට් 300 ජලයෙන් පියවා ගත් බැවිනි. ඒ අනුව ජනවාරි අවසානය වන විට ජල මට්ටම 50% සීමාවට ළඟා වී තිබුණි. එහෙයින් අනිවාර්යයෙන් ඉන්ධන වෙත යොමුවීමේ අවශ්‍යතාව ජනවාරි මස අවසානයේ පැන නැගුණි. නමුත් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන නොලැබුණු බැවින් මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඇතිව විදුලිබල මණ්ඩලය විසින් විදුලිය කැපීමට සිදුවන බව රටට නිවේදනය කළේය. තෙල් සංස්ථාව සතුව විදුලිබල මණ්ඩලයට ලබා දීමට ඉන්ධන නොමැතිවීමට හේතුව ඛණිජ තෙල් වෘත්තිය සමිතියේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මෙලෙස පෙන්වා දුන්නේය.

“ජනවාරි 23 වැනිදා විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවෙන් ඉන්ධන ඉල්ලුවා. ගිය නොවැම්බර් 15 පිරිපහදුව වැහුවා බොර තෙල් ගේන්නෙ නැතුව. මේක විදුලියට බලපානව කියල කිව්වම, නොවැම්බර් 19 වැනිදා බලශක්ති ඇමැතිවරයා සජීවී වැඩසටහනක දැවි තෙල් මෙට්‍රික් ටොන් 92000ක් තියෙනවා, ඕනම මොහොතක දෙන්න පුළුවන්, විදුලිබල මණ්ඩලයට ඉන්ධන ඕන වෙන්නෙ ජනවාරි පෙබරවාරි මාසවලනේ කියලා කිව්වා. ඒ කියල ජනවාරි ඉන්ධන ඉල්ලනකොට ඇමැතිවරයා තෙල් දෙන්නෙ ඩොලර් දුන්නොත් කියල කොන්දේසියක් දානවා. එතකොට විදුලිබල මණ්ඩලය ජලයෙන් වැඩිපුර විදුලිය නිෂ්පාදනය කළා. ඒකෙන් ජලාශ මට්ටම 22% දක්වා ශීඝ්‍රයෙන් බැස ගිය නිසා ජල විදුලිය නවත්තන්න වුණා. ඒ වෙනකොට ඉන්ධන නෑ. මෙට්‍රික් ටොන් 92000ක් පමණ දැවි තෙල් විදුලිබල මණ්ඩලයට දෙනවට වඩා අඩු මිලකට තෙල් සංස්ථාව විදේශීය සමාගමකට විකුණලා ගැටලුවක් නැතුව මෙට්‍රික් ටොන් 150000ක් ගබඩා කිරීමේ පහසුකම තියෙද්දිත්. ඒකයි විදුලිය කපන්න වුණේ. ජනවාරි 31 සහ පෙබරවාරි 14 මෙට්‍රික් ටොන් 90000 බැගින් සංස්ථාවට තෙල් ලැබුණා. පිරිපහදුව පෙබරවාරි 04 ඉඳන් නැවත ක්‍රියාත්මක කළාට ක්‍රියාත්මක කළේ 3200න්. දැවිතෙල් බලාගාරවලට දෛනිකව අවශ්‍ය 1800ක්. 5000න් ක්‍රියාත්මක කළා නම් දෛනිකව මෙට්‍රික් ටොන් 2000ක් නිෂ්පාදනය කරන්න තිබුණා. ඊළඟ නැව මාර්තු 13 එන නිසා මාර්තු 12 වෙනකම් 5000න් ක්‍රියාත්මක කරන්න තිබුණා. එහෙම කළා නම් යුගදනවි සම්පූර්ණයෙන් ක්‍රියාත්මකයි. කැලණිතිස්සත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මකයි. බාජ් එකත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මකයි. මෙගාවොට් 800ක් නිපදවගන්න තිබුණා. එහෙම නම් විදුලි කප්පාදුවක් අදත් නෑ.”

ආනන්ද පාලිත මහතාට අනුව විදුලි අර්බුදය කෘත්‍රිමව නිර්මාණය කළ එකකි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හදිසියේ සිදුවීම ද එය සැබෑවක් යැයි සිතීමට පොළොඹවයි. කෙසේ වෙතත් වසංගතය හමුවේ දේශීය නිෂ්පාදන හා විදේශ විනිමය උපයා ගැනීමේ ගැටලුව හේතුවෙන් ඩොලර් අර්බුදයක් පැන නැගී තිබේ. ඩොලර් අර්බුදය විසඳීමට විදුලිය කැපීම විසඳුමක් නොවේ. විදුලිය කැපීම නිසා කර්මාන්තශාලා ගණනාවක් ඇණහිටී ඇත. 

නිට්ටඹුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කරන සමීර මහතා කියා සිටියේ දහවල් වරුවේ පැය 05ක විදුලිය කැපීමක් සිදුවන නිසා දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවයි. මාසික නිෂ්පාදන විශාල ලෙස බිඳවැටීම නිසා තම කර්මාන්තයේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සැපිරීම අසීරු වනු ඇති බව ඔහුගේ අදහසය. මිනුවන්ගොඩ නගරයේ ටේලර් සාප්පුවක් පවත්වාගෙන යන 53 හැවිරිදි දෙදරු පියකු වන පියල් මහතා කියා සිටියේ දිනකට පැය හතක් විදුලිය කැපීම නිසා සිය රුකියාව කිරීම පවා විශාල අභියෝගයක් වී ඇති බවය. විදුලිය කප්පාදුව වසංගතයෙන් බැට කෑ රටක ආර්ථිකයට එතරම් සුභවාදී එකක් නොවන බවත් දෛනිකව තමන්ගේ ජීවිතය ගැටගසාගන්නා සේවකයන්ගේ අත්දැකීම්වලින් අප තේරුම්ගත යුතුය. එනිසා පවතින ගැටලුවට කඩිනම් විසඳුමක් සොයා තත්ත්වය පාලනය කිරීම දේශපාලන අධිකාරියේ වගකීමකි. 

  සකීෆ් සාම් තන්වීර්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05