ශ්‍රී ලංකාවේ තුන්වැනි රාජධානිය වන්නේ දඹදෙණියයි. ක්‍රි.ව. 1232 දී තුන්වැනි විජයබාහු රජු විසින් මෙහි රාජධානිය පිහිටුවා ගත් අතර, රජවරු තිදෙනෙක් යටතේ 1272 වනතෙක් එම රාජධානිය පැවතුණේය. ජනාවාස ඇතිවීම හා කෘෂිකර්මාන්තය වැනි කටයුතු නිසා දඹදෙණියේ බොහෝ නටබුන් විනාශ වී ගොස් තිබේ. දඹදෙණිය රාජධානිය හා සම්බන්ධ කතාපුවත් ගෙතුණු ස්ථාන ලෙස අද පවතින්නේ විජයසුන්දරාරාම විහාර භූමිය, මාලිගාගල සහ වඩුවාකෙටූ ගල යන ස්ථාන තුන පමණි.
පසුගියදා මාධ්‍ය ඔස්සේ කලබලයක් ඇති වුණේ ඒ අතරින් වඩුවාකෙටූ ගල විනාශ කරමින් ගල්කොරියක් පවත්වාගෙන යන බවටයි. අපි මේ මාධ්‍ය වාර්තා හා බැඳුණු පුවතේ සුලමුල සෙවීමට උත්සාහ ගත්තෙමු.
පසුගියදා මෙම ස්ථානයට ස්ථානීය පරීක්ෂණයක් සඳහා ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක්ද ගොස් සිටියහ. එහිදී දැකගැනීමට ලැබුණේ වනවදුලේ සමහර තැන්වල නිදන් සෙවීමට හාරා ඇති අන්දමයි. මෙම ගල් වළ පවත්වාගෙන යන්නේ බලපත්‍ර සහිතව නිසා එය නීතිවිරෝධී කටයුත්තක් නම් නොවේ. අර්බුදයක් බවට පත්වූ ගල්කොරිය සඳහා අවසර ඉල්ලා ඇත්තේ 2019 ජනවාරියේ වන අතර අවසර ලබාදී තිබෙන්නේ වර්ෂ 2019 මාර්තුවලදීය. එතැන් සිට එය කරගෙන ගොස් තිබේ. කැඩීමට භාජනය වුණු ගල් පර්වත ද මේ වන විට සෑහෙන දුරකට කඩා අවසන්ය.
නමුත් ඒ සඳහා අවසර ලබාදීමේ දී පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් වේද යන සැකය මේ වනවිට ජනතාව තුළ මතුව පවතී. දඹදෙණීයේ පුරාවස්තු වැනසෙන්නේ නම් ඒ ගැන කටයුතු කිරීමේ බලය ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය. ගල් කොරිය සඳහා අවසර ලබාදීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ද අත්‍යවශ්‍ය වේ. මධ්‍යම සංස්කෘතික අරමුදල ද දඹදෙණියේ සංරක්ෂණ කටයුතුවලට දායක වන ආයතනයකි.
ඒ ගැන දැන ගැනීමට අප කතාකළේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහටයි.
''මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබා දී තිබෙන්නේ අවට පරීක්ෂණයක් කිරීමෙන් පසුවයි. මට මතක හැටියට වඩුවාකෙටූ ගලේ සිට සෑහෙන දුරින් වගේ තමයි ගල්වළ පිහිටා තිබෙන්නේ. ආරක්ෂිත මායිමකුත් සලකුණු කරලා ඉන් පිටත බිමේ තමයි ගල්වළ පිහිටා ඇත්තේ. ඒ අවට බිමේ පුරාවිද්‍යා ස්මාරක හෝ ඒවා ගැන සලකුණක් හෝ නැහැ. අපිත් රටේ උරුමය ගැන කැක්කුමක් තිබෙන උදවිය. යම්කිසි ස්මාරකයකට හානි වනවා නම් මෙවැනි කටයුත්තකට අවසර ලබාදෙන්නේ නැහැ.''
මෙම සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ ද කතාබහක් ඇතිවිය. එහිදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ගල්කොරියෙන් පරිසරයට හා පුරාවස්තුවලට හානියක් වන්නේ දැයි පරික්ෂා කර බලා වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ ආයතනවලට නියම කරන බවත් එම වාර්තාව එනතෙක් එහි කටයුතු තාවකාලිකව නැවැත්වූ බවත්ය. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා ද මේ ගැන යළිත් පරික්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවට පෙරොන්දු වූ අතර ගල්කොරියේ කටයුතු තාවකාලිකව තහනම් කිරීමේ ලිපියක් නිකුත් කර තිබේ. මින් සැබෑවටම හානියක් වන්නේ දැයි විමසීමට එම වාර්තාව එනකෙත් බලා සිටිය යුතු වේ.
දඹදෙණිය නගරයට වම්පසින් වෙල්යාය මැදින් ඉහළට නැගී තිබෙන හුදෙකලා කන්ද වඩුවාකෙටූගල ලෙස හැඳින්වේ. මාපාගෙදර ගල නමින් ද එය හඳුන්වා ඇත. අංශක 70ක දළ බෑවුමකින් යුක්ත මේ ගල් පර්වතයේ කැපූ පියගැට පේළි ඈතට දැකගත හැකිය. ගල් වළ පිහිටා ඇත්තේ මේ පර්වතය ආශ්‍රිතව නොව එයට දුරින් වෙනත් ගල්පර්වතයක් ඇසුරු කර ගෙනය.
මේ පර්වතය කුමක් සඳහා යොදාගත්තේ ද යන්න ගැන නිශ්චිත සාධක හමුවී නැත. නමුත් ඒ හා සම්බන්ධ ජනප්‍රවාද කිහිපයක්ම හමුවේ. මේ ඉන් එකකි.
''තුන්වැනි විජයබාහු රජ්ජුරුවෝ රැක්මලේ වාසය කරමින් මාලිගය ඉදිකිරීම සුදුසු ආරක්ෂිත ස්ථානයක් ගැන පරීක්ෂා කරමින් සිටියා. ඒ කටයුත්තට මාලිගා ගල සහ වඩුවාකෙටූ ගල යන පර්වත දෙක යෝජනා වී තිබුණා. මුලින්ම එයට වඩුවාකෙටූ ගල තෝරාගත්තේ ඒකට කාටවත් ලේසියෙන් නැගීමට නොහැකි නිසයි. එහි පර්වතය ඔස්සේ පඩි කපමින් යන විට එයට නැගීම ඉතා දුෂ්කර බව අවබෝධවුණු නිසා මාලිගාවක් තැනීමට සුදුසු නොවන බව රජුට අවබෝධ වුණා. ඒ නිසා වඩුවාකෙටූ ගල ඉවත්කර දැන් පිහිටි මාලිගාගලට රජ මැදුර ගෙන ගියා.''
මේ ගැන වඩාත් ප්‍රකට ජනකතාව මෙයයි.
''දඹදෙණි රාජධානි කාලෙ ඉතා දක්ෂ ගල්වඩුවෙක් සිටියා. ඔහු කිසියම් වරදකට හසුවී මේ ගල මුදුනේ තිබුණු කුටියක සිරකරලා හිටියේ. ගමේ සිටින බිරිඳ දිනපතාම ඔහුට ආහාර අරන් යනවා. වඩුවා කෑම අඩුක්කුව රැහැන්පටක ආධාරයෙන් පර්වතය ඉහළට ගත්තා. ඒ සමඟට ගල්කටු ආදියත් රහසේ ගෙන්වා ගත්තා. ඔහු ඉහළ සිට පහළට පඩි කැපීමට පටන් ගත්තා. පඩිපෙළ කපා නිමවීමට පෙර ඒ ගැන සෙබළුන්ට දැන ගැනීමට ලැබුණා. සෙබළු ඔහු අල්ලා ගැනීමට එද්දී තවත් පඩි හතක් කපා නිමකිරීමට තිබුණා. ඒ ගැන දැනගත් බිරිය පර්වතය පාමුල පිදුරු ගොඩක් ගෙනවිත් දැම්මා. ගල්වඩුවා පහළ පඩියට බැස ඉන් පසු පිදුරු ගොඩට පැන දුවගොස් සැඟව බේරුණා.
මෙහි පියගැට 79ක් කපා තිබේ. ඒ අතරින් පියගැට 52ක් පුරාණ ඒවා බවත් අනෙක් පියගැට 40 මීට අඩසියවසකට පෙර කැපූ ඒවා බවත් පැවසේ. මේ පර්වතය මුදුනේ මහාදිපාද මන්දිරය සහ රාජකීය සිරගෙදර පැවති බව ජනප්රවාදයේ සඳහන් වේ. පව්ව මත වර්ග මීටර් 350ක ප්‍රදේශයක අත්තිවාරමක සලකුණු, ගල්වළවල්, ගඩොල්, උළුකැබලි, මැටිබඳුන් කැබලි ආදිය හමුවේ. පර්වතයේ උසම ස්ථානයේ සිට මීටර් 5ක් පහළින් ස්වභාවික පොකුණකි. එය අසල සක්කා ගල්වලින් තැනූ බැම්මකි. පසුගිය කාලයේ දුෂ්කර චාරිකා ප්‍රිය කරන්නන් මේ පර්වතය තරණය කිරීම විනෝදාංශයක් කරගෙන තිබුණි.
පර්වතය මත පුරාවිද්‍යා කැණීමක් කර නැති නිසා නටබුන් පවතින්නේ වනවදුලට යටවීය. මේ නිසා කුමන කරුණකට වඩුවා කෙටූගල භාවිත වුණාදැයි තවමත් රහසකි. ඒ අතර ගල්කොරියෙන් වඩුවාකෙටූගලට හානියක් නොවුණත් එහි කටයුතු නිසා පුරාවස්තු කලාපයට හානියක් වේදැයි දැන් හැමෝම තුළ කුතුහලයක් පවතී. මේ ගැන පරීක්ෂණ වාර්තා නිකුත් වන තෙක් අප බලාසිටිමු.
I කුසුම්සිරි විජයවර්ධන