2022 මාර්තු 06 වන ඉරිදා

මූල්‍ය අරමුදලේ දොරට තට්ටුවක්!

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 173

ශ්‍රී ලංකාවට දැනට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම පිළිබඳ මේ දිනවල මත දෙකක් ප්‍රකාශ වෙමින් පවතී. දැනට පත්ව ඇති අහිතකර තත්ත්වය සමනය කර ගැනීම උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බවට ආර්ථික විශේෂඥයෝ දිගින් දිගටම ආණ්ඩුවට බලපෑම් කරමින් සිටිති. ඒ අතර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රධාන ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම මේ අවස්ථාවේ නොකළ යුතු දෙයක් බවටය. එයට හේතුව මූල්‍ය අරමුදල අපට ආධාර දෙන මුවාවෙන් දැඩි කොන්දේසි පැනවීමට ඉඩ ඇති බවය. ඒ නිසා වෙනත් මාර්ග ඔස්සේ පවතින අර්බුදය විසඳාගත හැකි බව ඔවුහු කියති.

කෙසේ වුවද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත්තේ අද ඊයේ නොවේ. අපේ රට එහි සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ 1950 වසරේ අගෝස්තු 29 දින එහි 50 වැනි සාමාජිකයා හැටියටය. ශ්‍රී ලංකා මූල්‍ය අරමුදලට සම්බන්ධ වූදා සිට මේ වනවිට මේ දක්වා අවස්ථා 16කදී අරමුදලේ ණය පහසුකම් ලබාගෙන තිබේ. 1965 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අප ණය ලබාගෙන ඇති අතර 2009 වසරේදි වැඩිම ණය මුදල වූ ඩොලර් මිලියන 2566ක් ලබා ගැනීමට සමත් වී තිබේ. මේ ණය ලබාගැනීමේදී සුවිශේෂ ලෙස පෙනෙන දුර්වලතාව වන්නේ බොහෝ අවස්ථාවල මුළු ණය මුදලම ලබා ගැනීමට අපොහොසත් වීමය. ලබාගෙන ඇත්තේ වාරික 1-2 පමණි. අරමුදලේ කොන්දේසි අනුව ණය පරිහරණය කිරීමට අපොහොසත් වීම නිසා ඉතිරි වාරික ගෙවා නැති බව පෙනෙන්නට තිබේ.

මෙම ඉතිහාසය අනුව මෙවර දැඩි කොන්දේසිවලට අවනතව ණය ලබාගත්තද එය අසාර්ථක ප්‍රතිකර්මයක් වනු ඇති බව ප්‍රකාශ වේ. ඒ නිසා මේ පිළිබඳ ස්ථීර තීරණයකට යාමට බලධරයෝ අපොහොසත්ව සිටිති.

එසේ වුවද මුදල් අමාත්‍යවරයා ලබන අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මුදල් අරමුදල සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව නොනිල ආරංචි මාර්ගවලින් වාර්තාවෙයි. එසේ සහාය ලබාගැනීමට යන ප්‍රධාන හේතුවන්නේ විදේශ සංචිත වටිනාකම මේ වනවිට සිඳීයාම සහ ඉදිරියේදී ගෙවීම සිදුව ඇති ණය සඳහා සහනයක් ලබා ගැනීමටය. වර්තමාන ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට උපදෙස් ඉල්ලා ශ්‍රී ලංකාව පෙබරවාරි මස අවසන් සතියේදී මූල්‍ය අරමුදලට ලිපියක් යොමුකර ඇති බවද දැනගන්නට තිබේ. එසේ වුවද මුදල් ඇමැති පවසන්නේ තවමත් නිල වශයෙන් අරමුදලට යාමට තීරණයක් ගෙන නොමැති බවය. එසේ යන්නේ නම් එය මුදල් ඇමැතිවරයාට පමණක් තනිව ගත හැකි තීරණයක් නොවේ. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය වෙයි. මුදල් ඇමැති පවසන්නේ දැනට මූල්‍ය අරමුදලේ විශේෂඥයන්ගේ දැනුම ලබාගැනීමට ඉල්ලා සිටි බව පමණය. හෙට අනිද්දා ඔවුන් පැමිණ අපට උපදෙස් දෙයි. ඒත් ඒවා බාරගැනීමට තනිවම කරන්න බැහැ. ඔහු මාධ්‍යවලින් පවසා තිබේ.

මේ අතර මෙරටට පැමිණි මූල්‍ය අරමුදලේ නිලධාරීන් රටේ තත්ත්වය පිළිබඳව වාර්තාවක් රජයට ඉදිරිපත් කර තිබේ. එහෙත් ඒ වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ ගැටලුවක් ඇතිවී තිබෙන නිසා ආණ්ඩුව එය රහසක් ලෙස තබාගෙන සිටින බවද දැනගන්නට ඇත. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ අරමුදල ඉදිරිපත් කළ වාර්තාව ලබන දෙසතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළහොත් තමා එය ඉදිරිපත් කරන බවය. විදේශ ණය පියවීම සඳහා දිගින් දිගටම ඩොලර් සොයා ගැනීමේ අර්බුදයකට රට මුහුණ දී ඇත. පසුගිය මාසය මුල ඩොලර් මිලියන 500ක ණය මුදලක් ගෙවා ඇති අතර මේ මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 515ක ණයක් ඉන්දියාවට ගෙවීමට ඇත. පසුගිය ජනවාරිවල එය ගෙවීමට තිබුණද ඉන්දියාව එය ගෙවීමට මාර්තු දක්වා කල් දී තිබේ. එයට තවත් කල් නොලැබෙනු ඇත.

විදේශ ණය ගෙවීමට ආණ්ඩුව මේ දිනවල මිත්‍ර රාජ්‍යවල ආධාර පතයි. විපක්ෂය මෙය හඳුන්වන්නේ ඩොලර් හිඟමනේ යාම යනුවෙනි. පසුගිය කාලයේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් යළි ලබාගත් අතර මේ වනවිට තවත් ඩොලර් බිලියනයක ණයක් එරට අපට අනුමත කර ඇති බවද දැනගන්නට ඇත. එසේම ශ්‍රී ලංකාව මේ දිනවල ජපානයෙන් ඩොලර් බිලියන 2ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් පවතී. කෙසේ වුවද අසල්වැසි මිත්‍රයන් යැයි කියන රටවල් අපට කෙටිකාලීනව වුවද ණය දෙන්නේ විවිධ කොන්දේසි මතය. ඉන්දියාව විවිධ ආයෝජන අපෙන් බලාපොරොත්තු වේ. ජපානය එම ණය මුදලින් තම වාහන ආනයනය කළයුතු යැයි කොන්දේසි පනවයි. චීනයද විවිධ ආර්ථික ව්‍යාපෘතිවලට ගිජු බවක් දක්වයි. ඒ නිසා මේ සෑම රටක්ම අපට ණය දෙන්නේ අවස්ථාවාදී ප්‍රයෝජන ලබාගැනීමට මිස අපට දක්වන සුහද බව හෝ අනුකම්පාව මත නොවේ.

මෙම තත්ත්වය මත අපට යම් තාවකාලික සහනයක් හෝ ලබාගත හැක්කේ දිගටම ගෙවීමට ඇති බිලියන ගණනක ණය මුදල ගෙවීම ප්‍රමාද කිරීමෙන් බවට තර්කයක් නැත. ඒ සඳහා මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම අවශ්‍යව ඇති බවද පැවසේ. එසේ නැතිව දැන් සිදු කරනවා සේ අපට සුළු වශයෙන් ලැබෙන ඩොලර් ආදායම එකතු කර ණය ගෙවීම නිසා රට තුළ අත්‍යවශය භාණ්ඩ හිඟ වී පෝලිම් යුගයක් නිර්මාණය වෙමින් තිබේ. මෙම තත්ත්වය ඉදිරියේදී උග්‍ර වනවා මිස කෙළවරක් දැකිය නොහැකිය. ඒ නිසා මෙම තත්ත්වය නැතිකර ගැනීම සඳහා ඉදිරියේදී ගෙවන්නට ඇති ණය කෙටිකලකට හෝ නොගෙවා සිටීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

බොහෝ අය පවසන්නේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම මේ වනවිට ප්‍රමාද කර ඇති බවය. ඒ නිසා දැන් අරමුදලට ගොස් සහනයක් ලබාගැනීම උගහට බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. කෙසේ වුවද අපේ රටේ මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ ගොඩනගාගෙන ඇති ප්‍රතිරෑපය වෙනස් කිරීමට දැන් කාලය පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ සූදානම පිළිබඳ අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ මෙයට පෙර මූල්‍ය අරමුදලේ සහාය පැතුවා නම් මෙම ගැටලුව මෙතරම් දුරදිග නොයනු ඇති බවය.

&මෙය මෙයට බොහෝ කාලයකට පෙර ගන්න තිබුණු තීරණයක්. එහෙම වුණා නම් ප්‍රශ්න මේ තරමට ඇදී යන්නේ නැහැ. දැන් සිද්ධ වෙන්න යන්නේ රටේ ජනතාව සෑහෙන ලෙස හිරිහැරයට පත් වූ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ විශ්වාසය තැබීමයි. අපට අවාසිදායක තත්ත්වයක් ඇති වී ඇත්තේ ජාත්‍යන්තර මාධ්‍යවල ශ්‍රී ලංකාවට අහිතකර දේවල් පළවීම නිසයි. මුල සිට අපි IMF එක්ක සිටියා නම් එම තත්ත්වය නැතිකර ගන්න තිබුණා. එහෙත් දැන් එය සිදුවෙලා හමාරයි. අපේ ප්‍රතිරෑපයට විශාල ලෙස කැලැල් සිදුවෙලා.

දෙවැනි වාසි සහගත තත්ත්වය වන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ නිරීක්ෂණ ආයතනවලින් අප පහළ දැමීම නැතිකර ගන්නට තිබීමයි. මේ වනවිට රේටිං ආයතන තුනකින් අපේ රටේ මුලින් තිබූ තත්ත්වයෙන් පහළ දමලා තියෙනවා. එයින් අපට ලෝකය ඉදිරියේ අවාසි බවක් ඇතිවීමට හේතුවෙලා තිබුණා. එම අහිතකර තත්ත්වය මඟහරවා ගෙන අපේ ප්‍රතිරෑපය මුලදී ගොඩනගාගන්න තිබුණා. ඒත් දැන් ඒ අවස්ථාව අහිමිවෙලා.

මේ වනවිට ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මතය සාධනීය නොවෙයි. එයට හේතුව පසුගිය සමයේ විවිධ ආණ්ඩු කාලවල සිදුවූ අයහපත් සිදුවීම්. අපි ඒවා අපට කොතරම් හානිදායක නොවේ යැයි ඇදහුවත් ජාත්‍යන්තර මතය එයට හාත්පසින් වෙනස් එකක්. එම චෝදනාවලින් ගැලවෙන්න අපට බැරිවෙලා තියෙනවා. එසේ වුණත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වී දිගටම සිටියා නම් අපට ජාත්‍යන්තර මතය වෙනස් කරන්න අපහසු වන්නේ නැහැ. අප ගැන වැරදි කණ්නාඩියකින් බලන්නේ නැහැ.

අපි පෙර සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වී ඒ අයගේ උපදෙස් අනුව ක්‍රියා කළා නම් අපේ ආර්ථික තත්ත්වය අද තරමට කඩා වැටෙන්නේ නැහැ. විදේශ විනිමය අර්බුදයට, ඩොලර් අර්බුදයට පිළියම් යොදාගන්න තිබුණා. එහෙත් අවාසනාවට අපට එම ධනාත්මක තත්ත්වයට ළඟාවෙන්න හැකිවූයේ නැහැ. 

අද වනවිට අපි IMF වලට යාමට ප්‍රමාද වුණා වැඩියි. එහෙත් යන්නට සිදුව ඇති බව පෙනෙන්නට තිබෙනවා. මුල් ස්ථාවරය වෙනස් වෙමින් තිබෙනවා. එහෙම යනවා නම් අපි හිස් අතින් යා යුතු නැහැ. අපට සිද්ධ වෙනවා ඉදිරි වැඩපිළිවෙළ ගැන සැලසුමක් සකස් කරගෙන එය රුගෙන යා යුතුයි. ගිහිල්ලා ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. අපේ වැඩපිළිවෙළ ඒ අයට ඉදිරිපත් කරලා ඒ පිළිබඳ සංවාදයක නිරත විය යුතුයි. එය පදනම් කරගෙන සාකච්ඡා ආරම්භ කළයුතු වෙනවා. අද අපට කිසිම සැලසුමක් නැහැ. මෙතෙක් ගත් හා ගන්නට බලාපොරොත්තු වන පියවරවල් සියල්ල ව්‍යාකූල කිරීමට හේතුවෙලා තියෙනවා. හැම පැත්තෙන්ම ගන්න පුළුවන් තරම් ණය ගන්නවා. අනාගතය ගැන සැලකිලිමත් නොවී ඉහළ පොලියට කෙටිකාලීන වාණිජ ණය ගන්නවා. ඒවා ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ නැහැ. එක ප්‍රශ්නයකට පිළිතුරු සොයන්න ගිහින් ප්‍රශ්න ගණනාවක් ඇති කරගෙන තියෙනවා. කොහොම හරි සංචාරකයන් ගෙන්වා ගන්න බලනවා. ඒ ආදායම වැඩිකර ගන්න උපරිමයෙන් උත්සාහ කරනවා. සුළු ආයෝජන ප්‍රමාණයක් හදාගන්න බලනවා. මේ වනවිට යුක්රේනයෙන් පැමිණි සංචාරකයන් අපට ගැටලුවක් වෙලා තියෙනවා. සංචාරකයන්ගෙන් අප බලාපොරොත්තු වූ තරමේ ආර්ථික වාසියක් ලැබුණේ නැහැ. තත්ත්වය ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් ගැනද සලකා බලන්නේ නැහැ. මේ සියල්ල කෙටිකාලීන විසඳුම්. අප කළ යුත්තේ එදා වේල ටුවර්ස් වලට ප්‍රමුඛත්වය දී පවතින ගැටලු යටපත් කිරීම නොවෙයි. අප කළ යුත්තේ එදා වේලෙන් එහාට ගොස් ඉදිරි වැඩපිළිවෙළ ගැන සැලසුම් කිරීමයි. එහෙත් අප මෙතරම් ගැටලුවලට මුහුණ දී තිබියදී ස්ථීරසාර දිගුකාලීන වැඩපිළිවෙළට නොයාම පුදුමයට කරුණක්.

කෙසේ වුණත් දැන් අපි වැටී ඇති තත්ත්වය ගැන බලලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට තීරණය කරනවා නම් එය හොඳ අදහසක්. එහෙම නැතිව වෙනත් සහනයක් ලබාගත නොහැකියි. දැඩි ලෙස අන්තවාදී නොවී අපේ ගැටලු පිළිබඳ අවධාරණය යොමුකර යම් නම්‍යශීලී තැනකට යා යුතු වෙනවා. අපේ රට විතරක් නොවෙයි අපේ රටට වඩා අමාරුවේ වැටුණු රටවල් මූල්‍ය අරමුදල ළඟ නැවතී තිබෙනවා. එම කොන්දේසි හා උපදෙස් අනුව ක්‍රියා කිරීමෛන් ඒ අටවලට නපුරක් සිදුවෙලා නැහැ. ලෙබනන් රටට බොහෝ දැඩි කොන්දේසි පනවලා සැලසුමක් ගිය සතියේ තනා දුන්නා. ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ලෙබනනනය එම උපදෙස්වලට අනුව කටයුතු කළ යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම අපේ රටට අලුත් දෙයක් නොවෙයි. මෙයට පෙර 16 වතාවක් මූල්‍ය අරමුදලට ගොස් තිබෙනවා. එහෙම දහසය වතාවක් යාමට සිදුව ඇත්තේ මූල්‍ය අරමුදල විටින් විට දුන් උපදෙස් ක්‍රියාත්මක නොකළ නිසා විය හැකියි. නැතිනම් එකවරක් යාම ප්‍රමාණවත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දුන් සහන ණය පවා මුළුමනින්ම ලබාගැනීමට අපට හැකියාවක් ලැබිලා නැහැ. ඇතැම් වෙලාවලට මුල් වාරික 1-2 පමණයි ලබාගෙන ඇත්තේ. ප්‍රගතියක් නොපෙන්වූ නිසා ඉදිරි වාරික ගෙවා නැහැ. මොකද මූල්‍ය අරමුදල මුළු ණය මුදලම එකවර නොගෙවන අතර මුලින් නිදහස් කළ මුදල්වලින් ඉටුවූ දෙය ගැන අගැයීමක් කරලයි ඊළඟ වාරිකය දෙන්නේ.  ඒ නිසා මූල්‍ය අරමුදලට බොරුකළ නොහැකියි. එහෙම ඒ අය කොන්දේසි දමන්නේ රටේ ආර්ථික තත්ත්වය යහපත් කිරීමට බව අප දැනගත යුතුයි. මෙහිදී කළ යුත්තේ ආවේගයෙන් තීරණ ගැනීම නොව බුද්ධිය - දැනුම මෙහෙවා තීරණ ගැනීමක්.

 යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05