වර්තමාන ආර්ථික අර්බුද හමුවේ දැඩි ලෙස පීඩාවට පත්වූ ප්‍රජාවන් අතරේ ධීවර ප්‍රජාවට හිමිවන්නේ ප්‍රමුඛතාවකි. ඉන්ධන මිල ඉහළ යෑම, ඉන්ධන හිඟය සහ ධීවර ආම්පන්න මිල ඉහළ යෑම හේතුවෙන් ධීවර ප්‍රජාව මෙලෙස පීඩාවට පත්ව සිටිති. එම පීඩාව දරාගත නොහැකි වූ තැන ඔවුන් මහමඟට බැස විරෝධතාවල නිරතවූ අයුරු පසුගිය සතියේදී දැකගත හැකිවිය. එම නිසාම ධීවර ප්‍රජාව මුහුණ දී සිටින අර්බුදයේ ඇතුලාන්තය කියවා ගැනීමට අපි වෙහෙස වීමු.
මේ මොහොතේ ඉන්ධන හිඟය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්වී සිටින්නේ දෛනික ධීවර කර්මාන්තයේ නිරතවන කුඩා මෝටර් බෝට්ටුකරුවන්ය. මෙම බෝට්ටු සඳහා ධීවර වරාය අභ්‍යන්තර ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් නොකරයි. ඔවුන් ඉන්ධන ලබාගත යුත්තේ රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතු සාමාන්‍ය ඉන්ධන පිරවුම්හල් වලිනි. එම පිරවුම්හල්වල ඉන්ධන හිඟය සහ අධික තදබද හේතුවෙන් ධීවර ප්‍රජාව පිඩාවට පත්වී සිටිති. දිවයින පුරා කුඩා ධීවර වරායන් සහ තොටුපළවල් අසුර ධීවර කර්මාන්තයේ නියුතු කුඩා බෝට්ටු ධීවරයන් සැලකිවයුතු සංඛ්‍යාවක් පසුගිය දින කිහිපයේ කර්මාන්තයේ නියුතු වී නොමැත.
මෙම තත්ත්වය බේරුවල මීගමුව ඇතුළු ප්‍රදේශවල අධික ලෙස දක්නට ලැබේ. පසුගිය සතියේ වාර්තා වූ පරිදි එක් දිනකදී දොඩන්දූව ධීවර වරායේ පමණක් ධීවර යාත්‍රා තිහක් පමණ ඉන්ධන සපයා ගැනීමේ ගැටලු හේතුවෙන් කර්මාන්තයේ නිරතව නොමැත.
එකදිගට රස්සාවේ යන්න බෑ. තෙල් තිබුණොත් තමා යන්න වෙන්නේ. අපිට තෙල් ගෙවල්වල ගොඩගහගන්න තරම් සල්ලි නෑ. එක දවසක් රස්සාවේ ගියාම ඊළඟ දවසේ පෝලිමේ ඉන්න ඕනෑ. අපි පොඩි බෝට්ටු නිසා ධීවරයන්ට කියලා ෂෙඩ්වලින් විශේෂයක් කරන්නේ නෑ. අනික් එක අපේ බඩුමුට්ටු වුණත් දැන් හරි ගණන්.
අප සමඟ සම්මුඛ වූ කුඩා බෝට්ටු හිමියෙක් සහ ධීවරයෙක් වූ මොහොමඩ් රාෂික් මෙලෙස පැවසීය. ඔහු පවසන පරිදි මෙම තත්ත්වය තුළ මත්ස්‍ය මිල ගණන් ඉහළ යෑමට ඇත්තේ විශාල ඉඩකඩකි. කෙසේ වෙතත් මේ මොහොත වනවිටත් පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි තරමින් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ධීවරයන්ට සහන දෙනවා කියලා ඉතිහාසයේ ඉඳන්ම කරන්නේ බොරුව. පහුගිය කාලේ තෙල් ගණන් යනකොට දෙනවා කිව්ව සහන තාම නෑ. ඒ පාඩුවත් දරාගෙන අපි රස්සා කරන්නේ. දැන් ඒ මදිවට තෙල් ගන්නත් විදිහක් නෑ. අඩුගානේ තෙල් දෙනකොට ධීවරයන්ට විශේෂයක් කරන්න. අපි එච්චරයි ඉල්ලන්නේ.
ඒ බේරුවලදී අප සමඟ සම්මුඛ වූ තවත් පොඩි බෝට්ටු ධීවරයකු කී කතාවකි. සමස්තයක් ලෙස කුඩා බෝට්ටුකරුවන් මේ මොහොතේ පීඩාවට පත්වුවත් බහුදින ධීවර යාත්‍රා හිමියන් සහ ධීවරයන් කලක සිට වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වී සිටිති. ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන හිඟයට අමතරව ධීවර ආම්පන්න මිලදී ගැනීමේදී බහුදින යාත්‍රා ප්‍රජාව මුහුණ දී සිටින්නේ දැඩි අපහසුතාවයකටය. අපි ඒ පිළිබඳ බහුදින යාත්‍රා හිමියකු වන චාමර ද සිල්වා මහතාගෙන් විමසා සිටියෙමු.
&බහුදින ධීවර යාත්‍රාවල සියලු ආම්පන්නවල මිල දෙගුණයකින් තුන් ගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. එන්ජිමට භාවිතා කරන ඇණේ ඉඳන් මිල ඉහළ ගිහිල්ලා. ෆයිබර්, අයිස් සහ බෝට්ටුට දාන කෑම මිල ගණන් ඉහළ යාම අපිට දරා ගන්න බෑ. මේ හැම දෙයක්ම ඉහළ ගියාම බෝට්ටුවක් මුහුද යවන්න යන වියදම ඉහළ යනවා. වියදම ඉහළ ගියාම මාළු විකුණා ලැබෙන ලාභයෙන් වැඩක් නෑ. මේ කර්මාන්ත කරගෙන ගියපු විදියක් තිබුණා. දැන් ඉස්සරහට වෙන්නේ ණයවෙලා බෝට්ටු මුහුදු යවන්න.
ඔහු සඳහන් කරන පරිදි දැල් ආම්පන්න ඇතුළු බහුදින ධීවර කර්මාන්තය සඳහා භාවිත කරන සියලු ආම්පන්නවල මිල ඉහළ ගොස් ඇත. දින ගණනාවක් පුරා මුහුදු ගොස් පැමිණෙන මෙම යාත්‍රා සඳහා නිරන්තර අලුත්වැඩියාවන් සිදුකිරීමට සහ නව ආම්පන්න යෙදීමට සිදුවේ. යම් අවස්ථාවක බහුදින ධීවර යාත්‍රාවක කාර්මික දෝෂයක් ඇති වුවහොත් එය දැඩි ජීවිත අවදානමකි. ඒ නිසාම යාත්‍රා හිමියන් සේම ධීවරයෝද මෙම කටයුත්තේ දී ඉතා ප්‍රවේසම් සහගතය. ඒත් ඔවුන් අද වනවිට පවසන්නේ මුහුදු ගමනක් ගොස් පැමිණෙන විට තමන් පසුගිය වර ආම්පන්න මිලදී ගත් මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
බෝට්ටුවේ වියදමට අපෙනුත් පංගුවක් යනවා. අපි මාස ගාණකට කෑම බීම අරගෙන යන්නේ. ගියපාර දාපු කෑම බිල නෙවෙයි මේ පාර. බඩු ලයිස්තුව එකමයි. ඒත් බිලේ ගාන ඩබල් වෙලා. පහුගිය කාලයේ කිව්ව ප්‍රමාණයෙන් හදිසියේවත් ඩීසල් ඉහළ දැම්මොත්. අපිට මේ රස්සාව කරගන්න කොහොමත්ම බෑ. මේ බෝට්ටුවක ගේන්න පුළුවන් මාළු ප්‍රමාණයක් තියෙනවා ඊට වඩා මාළු අපිට ගේන බෑ. ඒ මාළු ප්‍රමාණයෙන් වියදමයි ලාබෙයි දෙකම අපි කවර් කරගන්න ඕනෑ.
මෙම පැහැදිලි කිරීම සිදුකරන්නේ බහුදින ධීවර කර්මාන්තයේ යෙදෙන ස්කීපර් වරයෙකි. ඔහු පවසන පරිදි ධීවර වරායන් තුළද ඉල්ලුමට සරිලන ප්‍රමාණයේ සැපයුමක් ලබා ලබාදීමට ඉන්ධන නොමැත. සාමාන්‍යයෙන් රෝහල් වලට සහ සාපේක්ෂව තදබදය අඩු නම් ධීවර වරාය ඉන්ධන පිරවුම්හල්වලද විටින් විට ඉන්ධන හිඟ වූ අවස්ථා වාර්තා වේ. මෙම සමස්ත පැහැදිලි කිරීම අනුව බහුදින ධීවර කර්මාන්ත පවතින්නේ දැඩි අනතුරකය. අනාගත පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත බවකි.
මීට අමතරව මිරිදිය ධීවර ප්‍රජාව ඇතුළු ධීවර කර්මාන්තයේ ෙසසු වෘත්තීන්වල නිරත වන පිරිස්ද වර්තමාන ආර්ථිකය අර්බුද හමුවේ පීඩාවට පත්ව සිටිති. පසුගියදා හලාවත කොළඹ මාර්ගය අවහිර කරමින් ධීවරයන් පිරිසක් දැවැන්ත විරෝධතාවක් දියත් කොට තිබෙනු අපට දැකගත හැකි විය. එසේම කොළඹදීත් විරෝධතාවයක් පැවැත්වුණි. නුදුරේදීම මෙම තත්ත්වය වර්ධනය වනු ඇති බවට අනාවැකි කිව හැකිය. කෙසේ වෙතත් ධීවරයන්ගේ ගැටලු සඳහා පිළියම් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේදී පවසා තිබුණි. එහෙත් එය සිදු කරන්නේ කවරාකාරයෙන්ද යන්න පිළිබඳ අදහසක් ලබාගැනීම දුෂ්කරය.
ධීවරයන්ට තෙල්ගන්න පහසුකම් දුන්නා
ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා (පෙබරවාරි 28 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක දී)
ධීවර වරායන්වල ඉන්ධන ගැනීමේ තදබදයක් නෑ. මේ කාලය රජයට අසීරැ අවස්ථාවක්. එහෙත් ධීවර කටයුතු සඳහා අඛණ්ඩව ධීවර කටයුතු පවත්වාගෙන යන්නට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ක්‍රමවත්ව ඉන්ධන නිකුත් කරනවා. කුඩා බෝට්ටු සඳහා ඉන්ධන ගන්නේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හල්වලින්. මේ ඉන්ධන හල්වලින් ඉන්ධන ගන්නා ධීවරයන්ගේ නම් ලැයිස්තුව මුදල් අමාත්‍යාංශය හරහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දුන්නා. එත්කරා දේශපාලනඥයකු සිය ධීවර යාත්‍රාවට ඉන්ධන ගෙන ඒවා තම පෞද්ගලික වාහනයට මුදාහැර තිබෙනවා. මෙය නීති විරෝධී ක්‍රියාවක්. ධීවර යාත්‍රා සඳහා සපයන ඉන්ධන පෞද්ගලික වාහන සඳහා යොදාගන්න බැහැ.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වලින් තම ඉන්ධන අවශ්‍යතාවයන් සපුරා ගත නොහැකි කුඩා බෝට්ටු හිමියන්ට LIOC ඉන්ධන හල්වලින් තමන්ට අවශ්‍ය ඉන්ධන ගත හැකියි. මේ සඳහා ධීවරයන්ට අතිරේකව දරන්නට වන මුදල් අමාත්‍යාංශය හරහා ප්‍රතිපූර්ණය කරන්නැයි අප ඉල්ලීමක් කර තිබෙනවා.
චමිඳු නිසල් ද සිල්වා