2022 මාර්තු 06 වන ඉරිදා

ලංකාවේ හිරවුණු යුක්රේන් - රුසියානු සංචාරකයෝ

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 193

පාස්කු ප්‍රහාරය, මෙන්ම කොවිඩි වසංගතය නිසා මෙරට සංචාරක කර්මාන්තයට  එල්ල වී තිබුණේ මරු පහරකි. ඒ කොයිහැටි වුවද මෙවර සංචාරක සමය ආරම්භවීමත් සමඟ විදේශීය රටවලින් සංචාරකයෝ අපේ රටට ඇදී එන්නට වූහ. මෙරට සංචාරක කර්මාන්තය තුළ යම් වර්ධනයක් ඇතිවෙමින් තිබුණි. විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ගේ අතමිට සරු විය.  ඔවුන් තුළ යම් ප්‍රබෝධයක් ඇතිවී තිබුණි. 2021 වර්ෂයේදී විදේශීය සංචාරකයන් 1,60,000ක් පමණ මෙරටට පැමිණ තිබුණි. එම සංචාරකයන් අතුරින් වැඩිම  පිරිසක් රුසියානු සංචාරකයන් වන අතර එම සංඛ්‍යාව 25,304කි. යුක්‍රේන සංචාරකයන් 12,600 දෙනකු ඉකුත් වර්ෂයේ (2021) මෙරටට පැමිණ තිබුණි. මෙකී සංඛ්‍යාලේඛන අනුව  මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් අතුරින් වැඩිම පිරිසක් රුසියානුවන් හා යුක්‍රේනුවන්ය.

මෙරට සංචාරක කර්මාන්තයේ යම්කිසි වර්ධනයක් ඇතිවෙමින් තිබූ පසුබිමක රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඇතිවී තිබෙන යුද ගිනිදැල් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයේ නිරතවූවෝද වික්ෂිප්තභාවයට පත්ව සිටිති.
 යුක්‍රේනය තුළ වර්ධනය වෙමින් පවතින යුදගැටුම නිසා සංචාරකයන් තුළ දැඩි අවිනිශ්චිත තත්ත්වයක් ගොඩනැගී ඇත. එපමණක් නොව ඇතැම් රුසියානු හා යුක්‍රේන  ජාතික විදේශීය සංචාරකයන් විසින් මෙරට හෝටල් සඳහා කරන ලද වෙන්කිරීම්  මේ වනවිට අවලංගු කොට ඇත.

එමෙන්ම යුද ගැටුම හේතුවෙන් මෙරට රැඳී සිටින යුක්‍රේන ජාතිකයින් මෙන්ම රුසියානු ජාතිකයින් මානසික වශයෙන් දැඩි පීඩනයට ලක්ව සිටිති. ඇතමුන් දැඩි වික්ෂිප්තභාවයට පත්ව සිටින අතර  කුමකින් කුමක් කරන්නේද  යන්න පිළිබඳව සිතා ගැනීමට නොහැකිව  ඔවුහු දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. ඇතැම් යුක්‍රේනුවන් කිසිවක් කරගැනීමට නොහැකිව සිය හෝටල් කාමරය තුළට වී බලාගත් අත බලාගෙන සිටිති.

යුක්‍රේනය තුළ  යුද ගැටුම් පැවතියද මෙරට හෝටල්වල රැඳී සිටින රුසියානුවන් හා යුක්‍රේන ජාතිකයෝ  ඉතා සුහදව මිත්‍රත්වයෙන් කටයුතු කරති. ඒ විතරක් නොව මානසික වශයෙන් පීඩනයට ලක්ව සිටිති. යුක්‍රේන හා රුසියානුවන්ගේ මනස සුවපත් කිරීම සඳහා මෙරට හෝටල් හිමියෝ විවිධ වැඩසටහන් දියත් කරති. උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් විසින් යුක්‍රේන හා රුසියානුවන්ට සිය හෝටල් තුළ නොමිලේ අවශ්‍ය ඉදුම් හිටුම් මෙන්ම කෑමබීම ලබාදෙමින් අවශ්‍ය සහයෝගය ලබා දී තිබේ. මෙම අවස්ථාවේ දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින යුක්‍රේන හා රුසියානුවන්ට උණවටුණේ සංචාරක හෝටල් හිමියන් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරමින් සිදුකරණ මෙම ක්‍රියාවන් අගය කළ යුතුය.

මහත්තයා යුක්රේන්: බිරිඳ රුසියා

උණවටුන රිදීවිලා හෝටලයේ නතරව සිටින යුක්‍රේන ජාතික එම්. ජෝර්ජ් එරට පෞද්ගලික ආයතනයක සේවය කරන බැංකු නිලධාරියෙකි. මොහුගේ බිරිඳ රුසියානු ජාතික කාන්තාවකි. යුක්‍රේනයේ පවතින යුද ගැටුම නිසා ජෝර්ජ් මානසිකව දැඩි කම්පනයට පත්ව සිටියේය. 

''මේ අවස්ථාවේ අපි ගොඩක් අසරණවෙලා ඉන්නේ මගේ බැංකු ගිණුමෙන් පවා මට මුදල් ගන්න බැහැ. සියල්ල නතරකරලා තියෙන්නේ. මගේ ළඟ  වියදමට පවා මුදල් නැහැ. යුක්රේනයේ අපි පදිංචිවෙලා ඉන්න නගරයටත් රුසියානු හමුදාව ප්‍රහාර එල්ලකොට තියෙනවා. මගේ දූ දරුවන් හිතවතුන් මිතුරන් මේ නිසා දැඩි අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. මගේ එක් දියණියක් රුසියාවේ මොස්කව් නගරයේ ජීවත්වෙනවා. මා යුක්රේන් ජාතිකයකු වුවත් මගේ බිරිඳ රුසියානු ජාතික කාන්තාවක්. 
මට රටවල් දෙකම එකයි. මනුෂ්‍යත්වයේ නාමයෙන්  යුද්ධය නතර කරන්න කියා පුටින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මගේ බැංකු ගිණුමෙන් මුදල් ගන්න බැහැ. සියල්ල නතර කරලා. නමුත් මා රැඳී සිටින හෝටලයේ හෝටල් හිමියා වන සුමිත්  නොමිලේ කෑමබිම ලබාදෙනවා. ඉඳුම් හිටුම් නොමිලේ ලබාදෙනවා. ඒ විතරක් නෙවෙයි මට වියදමට පවා මුදල් ලබාදුන්නා. ශ්‍රී ලංකාව සුන්දර රටක්. ඔවුන්ගේ ආගන්තුක සත්කාර ඉතා ඉහළයි. අසරණ වෙලා ඉන්න අපි වගේ අයට මොවුන් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරනවා'' යැයි ජෝර්ජ් කීවේය.

ලංකාවේ අය අපට හොඳට සලකනවා

යුද ගැටුම් හේතුවෙන් මව්රටට යාමට නොහැකිව මෙරට රැඳී සිටින රුසියාවේ  නිතීඥවරියක් වන එස්. ඩයරියා (52) උණවටුණේදී අපට මුණගැසුණි. ඇය කීවේ  මෙවැනි කථාවකි.

මා රැඳී සිටින හෝටලයේ යුක්රේන් ජාතිකයන්ද රැඳී  සිටිනවා. නමුත් අපි අතර කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි ඉතා සහෝදරත්වයෙන් කටයුතු කරනවා. පසුගිය නොවැම්බර් මාසයේ තමයි මම ලංකාවට ආවේ. රුසියානුවන්ට හා යුක්රේන් ජාතිකයන්ට යුද්ධය අවශ්‍ය නැහැ. 

පුටින් ජනාධිපතිතුමාට තමයි යුද්ධය අවශ්‍ය වෙලා තියෙන්නේ. යුද ගැටුම නිසා ඇතැම් යුක්රේන් ජාතිකයන් රුසියානුවන් සමඟ අමනාපයෙන් ඉන්නේ. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. ඔවුන් මානසික වශයෙන් දැඩි කම්පනයට ලක්වෙලා. අපිට අවශ්‍ය සාමය. අපිට යුද්ධය එපා. මේ අවස්ථාවේ ශ්‍රිලංකිකයින් අපිට හොඳින් සලකනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.''

ක්‍රෙඩිට් කාඩ් එකත් වැඩ කරන්නෙ නෑ

එම්. ඇඩෝනා (48) යුක්රේන් ජාතික කාන්තාවකි. ඇය යුක්රේනයේ ගුරුවරියක් ලෙස සේවය කරන්නීය. යුද ගිනිදැල් නිසා ඇය මානසික වශයෙන් දැඩි කම්පනයට ලක්ව සිටින්නීය.

''මගේ පවුලේ සාමාජිකයන් පදිංචිවෙලා ඉන්න නගරයටත් ප්‍රහාර එල්ලවෙනවා. ඔවුන් එම ප්‍රහාරවලින් බේරීම සඳහා පොළව යට බංකරවලට වෙලා ඉන්නවා. යුද්ධය නිසා මගේ රටවැසියන් දැඩි අසරණ තත්වයට ලක්වෙලා ඉන්නේ. යුද්ධය නතර කළ යුතුයි. මගේ රටට ආපසු කෙදිනක යාමට පුළුවන්ද කියා මට හිතාගන්න බැහැ. ණය කාඩ්පතෙන් පවා මුදල් ගන්න බැහැ. සියල්ල නතර කරලා. නමුත් මේ අවස්ථාවේ අපිට උණවටුනේ හෝටල් හිමියන් නොමිලේ කෑම බීම ලබාදෙමින් අපිව රුකබලා ගන්නවා. වීසා කාලය දිර්ඝ කරලා දෙන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා'' යැයිද ඇය කීවාය.

අපට කන්න දෙන්නේ ශ්‍රී ලාංකිකයන්

එස්. සේගා (50) යුක්රේන් ජාතිකයෙකි. ඔහු එරට පෞද්ගලික ආයතනයක කළමණාකරුවකු ලෙස සේවය කරන්නේය.

''මා යුක්රේන් ජාතිකයෙක් මගේ බිරිඳ රුසියානු ජාතික කාන්තාවක්. අපිට යුද්ධය එපා. යුද්ධය නිසා යුක්රේන් ජාතිකයන් මෙන්ම රුසියානුවන්ද මිය යනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කළයුතුයි. මේ අවස්ථාවේ ශ්‍රි ලාංකිකයන් අපිට ගොඩක් උදව් කරනවා. ශ්‍රී ලංකාව සුන්දර රටක්. අපි බඩගින්නේ තියන්නේ නැතිව අපිට උදව් කරනවා.'' යැයිද හෙතෙම කීවේය.

යුක්රේනයේ ඇවිලෙන  යුද ගිනිදැල් නිසා මෙරටට පැමිණි යුක්රේන් ජාතිකයන්ට සිය රටට යාමට නොහැකි වී ඇත. ඇතමුන්ගේ වීසා කාලය ඉකුත් වී ඇත. යුක්‍රේනයේ  බැංකු  කටයුතු ඇතුළු සියල්ල නතර වී ඇති පසුබිමක ණයකාඩ්පත් වලින් පවා ගනුදෙනු කිරීමට මොවුන්ට නොහැකි වී ඇත. ඇතමුන්ට  එදිනෙදා වියදම් කිරීමට පවා මුදල් නොමැත. කොවිඩ් වසංගත සමයේ පවා මෙරට රැඳී සිටි විදේශීය සංචාරකයින්ට උණවටුණේ හෝටල් හිමියෝ පිහිටවූහ. මෙවරද උණවටුණේ හෝටල් හිමියන්  යුක්‍රේනුවන් වෙනුවෙන්  උදව් පදව් කිරීමට ඉදිරිපත්ව සිටිති. මේ වනවිට මෙරට යුක්‍රේන ජාතික විදේශිකයන් 4122 දෙනෙකු රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

කෑම බීම ඉඳුම් හිටුම් නොමිලේ දෙනවා

මේ අතර උණවටුන සංචාරකයන් සංගමයේ ලේකම් හා උණවටුන රිදිවිලා හෝටලයේ අධිපති සුමිත් උබේසිරි මහතා යුක්රේනයේ ඇතිවී තිබෙන යුද වතාවරණය මෙරට සංචාරක කර්මාන්තයට බලපා හැකි ආකාරය විස්තර කරමින් අපි සමග කථාබහට වැටුණේය.

පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතය නිසා මෙරට සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ලවුණා. මෙරට සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක තමයි යුක්රේනයේ යුද්ධයක් ඇතිවෙලා තියෙන්නේ. සංචාරක ව්‍යාපාරයට කුමක් වේවිද කියා හිතාගන්න බැරිව තමයි අපි ඉන්නේ. දැනටම අපේ හෝටලයට ලැබී තිබූ බුකින් විශාල සංඛ්‍යාවක් අවලංගු වුණා. ඒ විතරක් නෙවෙයි සති දෙකක කාලයක් සඳහා හෝටලයේ ගත කිරීමට පැමිණි ඇතැම් රුසියානුවන් සිය මව්රට බලා යන්න ගියා. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාර අතින් ඉහළින්ම ඉන්න රටක් නිසා ඒ අය වෙනුවෙන් අවශ්‍ය කෑම බීම ඉඳුම් හිටුම් නොමිලේ සපායාදීමට අපිට හැකිවෙලා තියෙනවා. නමුත් මේක හැමදාම කරන්න බැහැ. සංචාරක ව්‍යාපාරය කියන්නේ ඉතා සංවේදී ව්‍යාපාරයක්. අපි අසරණ වෙලා ඉන්නේ. යුක්රේන් හා රුසියානු සංචාරකයින්ද අසරණ වෙලා ඉන්නේ. යැයි සුමිත් උබේසිරි මහතා කීවේය.

ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයි

උණවටුණ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති රෑපසේන කොස්වත්ත මහතා කීවේ මෙවැනි කථාවකි.

පසුගිය කාලයේ සංචාරක කර්මාන්තය තුළ ලොකු ප්‍රවර්ධනයක් ඇතිවෙමින් තියෙනවා. එය අපිට විශාල අස්වැසිල්ලක් වුණා. උණවටුණට පැමිණි සංචාරකයන් අතුරින් වැඩියෙන් ඉන්නේ රුසියානු හා යුක්රේන් සංචාරකයන්. රුසියාව හා යුක්රේනය අතර ඇතිවෙලා තියෙන යුධ වාතාවරණය නිසා යුක්රේන් සංචාරකයන් දැඩි අපහසුතාවයට ලක්වෙලා තියෙනවා. ඔවුන්ගේ ගුවන් ගමන් අවලංගුවෙලා තියෙනවා. ඔවුන්ට ඊ‍මේල් හෝ අන්තර්ජාලය මගින් කිසිදු සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න බැරිවෙලා තියෙනවා. තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් නැතිවෙලා තියෙනවා. ඔවුන් අසරණ වෙලා කල්පනා කරනවා කුමක්ද කරන්නේ කියලා. 

මගේ හෝටලයේ යුක්රේන් හා රුසියානු ජාතිකයන් නතරවෙලා ඉන්නවා. නමුත් ඔවුන් ඉතා සුහදව මිත්‍රත්වයෙන් කටයුතු කරනවා. මේක මිනිසුන් අතර පවතින යුද්ධයක් නෙවෙයි. මේක දේශපාලන යුද්ධයක්. මෙවර සංචාරක සමයේදී රුසියානු හා යුක්රේන් ජාතිකයන් විශාල පිරිසක් පැමිණිම නිසා සංචාරක කර්මාන්තය තුළ  ප්‍රවර්ධනයක් ඇතිවුණා. උණවටුන සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තයේ නිරතව සිටින අයගේ අතමිට සරුවුණා. ආදායම වැඩිවුණා. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වුණා. මේ වගේ ගැටලුවක් ඇතිවූ විට සංචාරක මණ්ඩලයට හෝ  සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතනවලට වැඩපිළිවෙළක් නැහැ කුමක්ද කරන්නේ කියලා. ඇතැම් සංචාරකයින්ට ඔවුන්ගේ රටට යාමට අවශ්‍යයි. නියමිත දිනට යාමට නොහැකිවුණොත්  ඒ අයගේ ගුවන් ටිකට්පත් අවලංගුවෙනවා. ඒ අයට ප්‍රශ්නයක් ඇතිවෙනවා අලුතින් ටිකට් එකක් ගන්න ඕනද නැතිනම් තියෙන ටිකට්පතින් යන්න පුළුවන්ද කියලා. එම රටවල්වලින් කියන්නේ අලුතින් ටිකට්පතක් ගන්න ඕන කියලා. මේ අවස්ථාවේ අලුතින් ටිකට්පතක් ගැනිමේ දි විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඉතා සිමිත මුදලක් ප්‍රමාණයක් අරගෙන තමයි මේ අය ඇවිත් තියෙන්නේ. මේ නිසා එම සංචාරකයින් අසරණ වෙනවා. මේ පිළිබද සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය යොමුවිය යුතුයි. මාර්තු මාසය සඳහාත් මගේ හෝටලය සදහා යුක්රේන හා රුසියානු සංචාරකයන්ගෙන් බුකින් තිබුණා. දැන් එවා අවලංගු වෙමින් යනවා. සංචාරක කර්මාන්තය අඩාල වෙන්න පුළුවන්. යුක්රේන හා රුසියානු සංචාරකයන්ට  මුදල් ගැටලු ඇතිවෙලා තියෙනවා. නමුත් මම ඔවුන්ට කීවා මුදල් ප්‍රශ්නය ගැන හිතන්න එපා අපි කෑම බීම ඉඳුම් හිටුම් දෙන්නම් යළි මව් රටට යනකම් හෝටලයේ නතරවෙලා ඉන්න කියා රෑපසේන කොස්වත්ත මහතා එසේ කීවේය.

උණවටුන අරලිය හෝටල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේ අසරණ තත්ත්වයට පත්ව සිටින යුක්රේන හා රුසියානු ජාතික විදේශීය සංචාරකයින්ට පිහිටවීම සඳහා තම හෝටලය මගින් වැඩපිළිවෙළක් සකස්කර ඇති බවය.

I යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05