2022 මාර්තු 06 වන ඉරිදා

ආර්ථිකය ගොඩගන්න මහ බැංකුවේ අලුත් වට්ටෝරුව

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 69

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රටේ බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩනගා ගෙන දැනට පවතින විදේශ විනිමය අර්බුදය සමනය කිරීම සඳහා සත් වැදෑරුම් උපදෙස් මාලාවක් පසුගියදා නිකුත් කළේය. එම ක්‍රියාමාර්ග නව විදේශ විනිමය ගලා ඒම ආකර්ෂණය කර ගැනීමට සහ රට තුළ පවතින විදේශ විනිමය සම්පත් රඳවා තබා ගැනීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී හඳුන්වනු ලැබූ තවත් බොහෝ ක්‍රියා මාර්ගවලට අමතරව බව මේ පිළිබඳ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මහ බැංකු අධිපති අජිත් කබ්රාල් පවසන්නේ මෙම නිර්දේශ මහ බැංකුව විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඒවා ක්‍රියාත්මක කරන්නේ නම් දැනට පවතින තත්ත්වය යම් පමණකින් හෝ පාලනය කිරීමට හැකිවන බවය. මේ පිළිබඳ දැනටමත් බලධරයන්ගේ අවධානය යොමුව ඇති අතර ඉදිරි කාලයේදී මෙම කරුණු පදනම්ව යම් යම් තීරණවලට එළඹෙනු ඇතැයි තමා විශ්වාස කරන්නේ යැයි හෙතෙම පවසයි.

මෙම කරුණුවලින් මුලින්ම දක්වා ඇත්තේ අත්‍යවශ්‍ය නොවන බවට සැලකෙන ආනයන භාණ්ඩ 700ක් පමණ ආනයනය අකර්මණ්‍ය කිරීමට අවශ්‍ය බවය. ශ්‍රී ලංකා මහ බැංකුව එම භාණ්ඩ මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඒවා ආනයනය සීමා කිරීමෙන් අනවශ්‍ය ලෙස විදේශ විනිමය වැයවීම අඩුකර ගත හැකි බව හෙතෙම පවසයි. මේවායේ ආනයන අකර්මණ්‍ය කිරීම සඳහා ඉහළ තීරු බදු පැනවීම සිදුකර ඒ මගින් ආනයන සඳහා ඇති ඉල්ලුම සීමා කිරීමෙන් විදේශ විනිමය ඉතිරි කර ගත හැකි වන අතර රජයට ඉහළ ආදායමක් ලබාගත හැකි බවද ඔහු පෙන්වා දෙයි. ඇතැම් ආහාර ද්‍රව්‍ය මෙන්ම සෙල්ලම් බඩු සුවඳ විලවුන් ආදී විච්චූරණ ද්‍රව්‍ය මෙයට ඇතුළත්ය.

ඉන්ධන මිල වැඩි කිරීම මගින් රාජ්‍ය බැංකුවල ද්‍රවශීලතාව වැඩිකර ගත හැකි බව දෙවැනි කරුණ වශයෙන් මහ බැංකුව පෙන්වා දෙයි. මේ නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින පාඩුව අඩුවීම මෙන්ම සමස්ත ඉන්ධන ඉල්ලුම අඩුවීමෙන් ඉන්ධන ආනයනයට යන විදේශ විනිමය වැයවීමද අඩුවන බව පෙන්වා දෙයි.

රටේ මූල්‍ය තත්ත්වය අනුව රජය අනිවාර්යයෙන්ම ඉන්ධන මිල වැඩිකළ යුතුය යන්න මහ බැංකු අධිපතිවරයාගේ මතය වේ. ''මිල ඉහළ නොදමා ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු ආයතන පවත්වාගෙන යාමට නොහැකිය. ඛනිජ තෙල් සංස්ථාව කරනුයේ ව්‍යාපාර කටයුත්තක් බැවින් එය පාඩු පිට දිගටම පවත්වාගෙන යා නොහැකිය. තෙල් වැඩි මිලට ලබාගෙන අඩුමිලට විකිණීම දිගටම කරගෙන ඒම දුෂ්කර අතර, ඉන්දියාවේ තෙල් මිල හා සැසඳීමේදී අපේ රටේ තෙල් මිල ඉතාම අඩු වේ. ඉන්දියාව තෙල් මිල ඉහළ අගයක පවත්වාගෙන යන්නේ ඒ රටේ ඒකපුද්ගල ආදායම අප රටින් හරි අඩක්ව තිබියදී බව අමතක කළ යුතු නැත. එනිසා ඉන්ධන මිල වැඩිකර රටේ ජීවන වියදම වෙනත් ක්‍රමෝපායන් අනුව කළමනාකරණය කළ යුතු යැයි'' මහ බැංකු අධිපති පවසයි. තෙල් සංස්ථාව පෙබරවාරි මස අග වනවිට කෝටි 1100ක පාඩුවක් ලබාගෙන ඇති අතර මේ තත්ත්වය වහා වෙනස් කළ යුතු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ඛනිජ තෙල් සංස්ථාවට මින් ඉදිරියට තෙල් සඳහා ණය ලබා නොදෙන ලෙසට සියලුම වාණිජ බැංකුවලට නියෝගයක් නිකුත් කර ඇත. දිගටම බැංකුවලින් සංස්ථාවට මුදල් පොම්ප කළහොත් බැංකු පද්ධතිය කඩා වැටෙන බවට රජයට අනතුරු අඟවා ඇති මහ බැංකු අධිපතිවරයා එසේ වුවහොත් එම වගකීම තමාට බාරගත නොහැකි බවද කියයි. එසේම රජයේ ඇතැම් පාර්ශ්ව දිගටම ණයට දෙන ලෙස තෙල් සංස්ථාවට බලපෑම් කරන බව බැංකු ප්‍රධානීහු පවසති. එසේම තෙල් මිල වැඩිකළ යුතු බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල රජයෙන් ඉල්ලා ඇතත්, තවම ඒ පිළිබඳ අවධානය යොමු වී නැති බවද දැනගන්නට තිබේ. එහෙත් දිගටම අද පවතින මිල ගණන් පවත්වාගෙන යාම දුෂ්කර වනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව දක්වන ඊළඟ නිර්දේශය වනුයේ විදේශ විනිමය ප්‍රේශණ කිරීම හරහා වාහන ආනයනයට යළි අවසර දිය යුතු බවය. එසේම එම වාහන සඳහා ගෙවනු ලබන තීරුබදු සහ අනෙකුත් ගාස්තුද විශේෂ විදේශ විනිමය ගෙවිය යුතු බව මහ බැංකුව කියයි. මෙම යෝජනාව හරහා රට තුළට සැලකිය යුතු විදේශ විනිමය ගලා ඒමකට සුදුසු වාතාවරණයක් සැකසෙන අතර, එමගින් සැලකිය යුතු ආදායමක් ලැබෙනු ඇතැයි මහ බැංකුව කියයි. මෙමගින් ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන තවත් වාසියක් වනුයේ දැනට ඉතා තියුණු ලෙස වැඩි වී ඇති වාහන මිල අඩුවනු ඇති බවය. දැනට රට තුළ ඇති පාවිච්චි කළ වාහන මිල අසාමාන්‍ය ලෙස වැඩිවී ඇති අතර මුදල් වැයකළ හැකි කෙනකුට පවා වාහනයක් ආනයනය කර ගැනීමට දුෂ්කර වී ඇත. වාහන බලපත්‍ර හිමියන්ට මෙම තත්ත්වය ඉතාම අයහපත් වේ. වාහන ව්‍යාපාර අඩපණ වීම නිසා දහස් ගණනක් වූ එමගින් යැපෙන්නන්ට විශාල අසාධාරණයක් සිදුවන බවට ව්‍යාපාරිකයෝ රජයට පෙන්වා දුන්හ. මහ බැංකු අධිපතිවරයාගේ මෙම නිර්දේශය රජය පිළිගතහොත් රටේ බිඳ වැටී ඇති වාහන ව්‍යාපාර යළි ගොඩ ගත හැකි බව ව්‍යාපාරිකයෝ පවසති.

එසේම විදුලි අර්බුදයට පිළියමක් ලෙස සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මහ බැංකුව පෙන්වා දෙයි. මේ නිසා විදුලිය නිෂ්පාදනයට ඉන්ධන පාවිච්චි කිරීම බොහෝදුරට අඩුවන අතර, අලුතෙන් ඍජු විදේශ ආයෝජන හා රුකියා අවස්ථාද බිහිවනු ඇති බව මහ බැංකුව පවසයි. දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාගැනීම පිළිබඳ බරපතල ගැටුමක් නිර්මාණය වෙමින් තිබේ. බලශක්ති ඇමැතිවරයා පවසනුයේ විදුලිබල මණ්ඩලයට තවදුරටත් ණයට ඉන්ධන සැපයිය නොහැකි බවකි. මෙම තත්ත්වය නිසා ඛනිජතෙල් සංස්ථාවේ පාඩුව වැඩි වී තිබෙන බව බලශක්ති ඇමැති අවධාරණය කරයි. එහෙත් පසුගිය දිනවල තෙල් නොමැතිවීමෙන් විදුලිබල මණ්ඩලය විශාල ගැටලුවකට මුහුණදීමට සිදුවූ අතර ජනාධිපතිවරයාටද ගැටලුවට මැදිහත් වී සමථයකට පත් කිරීමට අවසානයේදී සිදුවිය.

ඒ නිසා මහ බැංකුව යෝජනා කර ඇති පරිදි ඉන්ධන දහනයෙන් බලශක්තිය නිපදවීම වෙනුවට සුළං බලාගාර සහ සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට නොපමාව යොමුවිය යුතුව ඇත. එසේ වුවද අවාසනාවකට මෙන් සූර්ය සහ සුළං බලාගාර පිහිටුවීම සඳහා විදුලි බල මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය අල්ප වී ඇති අතර ඒ සඳහා අයදුම් කරන්නන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන බව දැනගන්නට තිබේ. එයට හේතු වන්නේ තාප බලාගාර තුළින් විවිධ අයථා ඉපැයීම්වලට මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් යොමුවීම බව දැනගන්නට තිබේ. ඇතැම් බලාගාරවල අයිතිකරුවන් වන්නේ එහි නිලධාරීන්ය.

මහ බැංකුව යෝජනා කර ඇති පස්වැනි පියවර වන්නේ විදේශ විනිමය ලබා ගැනීම හරහා නව ඉතුරුම් රට තුළට ආකර්ෂණය කර ගැනීම සඳහා නව සේවක අර්ථසාධක අරමුදල් යෝජනා ක්‍රමයක් ව්‍යාප්ත කිරීමය. එය ව්‍යාප්ත කිරීමට ඒ සඳහා ඉදිරිපත් වන්නන්ට විශේෂ දිරි ගැන්වීම් හඳුන්වා දිය යුතු බව මහ බැංකුව කියයි. මේ ක්‍රමය මගින් විදේශ ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් හෝ එකවර ගෙවීමක් සඳහා සුදුසුකම් ලැබීමට අවකාශය සකසා දීමට පුළුවන. මෙමගින් රටට අතිරේක වාසියක් ලෙස ණය නොවන විදේශ විනිමය විශාල ලෙස ගලා ඒමට වාතාවරණයක් ඇතිකළ හැකි බවද මහ බංකුව පෙන්වා දෙයි. මෙහිදී සේවකයන්ට සහනයක් වන අතර විදේශ ප්‍රේශණ රටට ලැබීමෙන් විනිමය අර්බුදයට පිළියමක් වෙන බවද පෙනෙන්නට තිබේ. මෙතෙක් කල් විදේශ ශ්‍රමිකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදල මෙන්වූ ක්‍රමයක් හඳුන්වා දී නොමැති අතර මෙමගින් සේවකයන් විදේශ ශ්‍රමය සැපයීම සඳහා ආකර්ෂණය කර ගැනීමට පහසු වෙනවා ඇත. මෙහිදී ණය නොවන විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබාගැනීමටද හැකි වෙයි.

දැනට ආර්ථික වශයෙන් වැඩි වාසියක් නොලැබෙන ඇතැම් රාජ්‍ය වත්කම් මූල්‍යකරණය කිරීම හෙවත් මුදල් උපයා ගැනීමට යොදා ගැනීමද මහ බැංකුවේ හයවන උපාය මාර්ගයට ඇතුළත් වෙයි. මේ හරහා අලුතින් ආර්ථික කටයුතු සලසා ගත හැකිවන අතර, ණය නොවන විදේශ විනිමය රට තුළට ඇද ගැනීමේ හැකියාව ලැබෙන බවද මහ බැංකු අධිපතිවරයා කියයි. දැනටමත් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාවේ යෙදවීම පිළිබඳ රජයේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙන අතර ඉදිරියේදී එම තත්ත්වය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි.

දැනට පැන නැගී ඇති බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් කාර්යාලවල වැඩ කිරීමේ කාලවේලා සංශෝධනය කිරීම සහ නිවසේ සිට වැඩ කිරීමේ (Work From Home) වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මහ බැංකුවේ හත්වැනි යෝජනාවේ දැක්වේ. කාර්යාලවල වැඩ කටයුතු සඳහා සේවා මුර ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු අතර උදේ 7.30 සිට සවස 3.00 දක්වා එක් සේවා මුරයක්ද ඊට පසු ප්‍රමාද වී ආරම්භ කරන සේවා මුරයක්ද වැඩකරන සතියේ දින ගණන අඩු කිරීමටද යෝජනා කර ඇත. මෙමගින් බලශක්ති පාවිච්චිය අඩුවන අතර මහා මාර්ගවල තදබදය අවම වීමෙන් ඉන්ධන නාස්තිය අඩු වනවාත් හැර පරිසර දූෂණයද අවම කර ගැනීමට හැකිය. මේ නිසා විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය වන ඉන්ධන සඳහා වැයකරන විදේශ විනිමය වියදම අවම කරගත හැකි බවද දැක්වේ. පසුගිය කොවිඩ් 19 වසංගත සමයේදීද රජය කාර්යාල වේලාවන් සංශෝධනය කරමින් කටයුතු කර තිබුණු අතර ඇතැම් සේවකයන්ට නිවෙසේ සිට රාජකාරි කිරීමටද, මාර්ගගත ක්‍රමවේද උපයෝගී කර ගැනීමටද පියවර ගත් බවද අපට මතකය. එම ක්‍රමවේදය යළි ක්‍රියාවට නැංවිය යුතු බවට මහ බැංකුව මෙවරද යෝජනා කර තිබේ.

I යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05